මවුපියන්ට, යුතුකම් කළා මදිද කියලත් හිතෙනවා | සිළුමිණ

මවුපියන්ට, යුතුකම් කළා මදිද කියලත් හිතෙනවා

මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර

රජරට විශ්වවිද්‍යාලයේ සමාරම්භක උපකුලපතිවරයා මෙන් ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයකු ද වූ, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මෙතෙක් ආ ගමන් මඟ විමසමින් සිළුමිණ සමඟ කළ සංවාදය මෙලෙස දිග හැරේ.

• ඔබ ඉපදුණේ?

මගේ ගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ, කුඹල්ගමුව. බොහොම පිටිසර ගමක්.

• ළමා විය ගතවුණේ කොහොමද?

මට අවුරුදු 11 වෙනකල් ගියෙත් ගමේ ඉස්කෝලෙට. පා ගමනින්මයි ගියේ. 5 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා 6 ශ්‍රේණියට පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළුවෙන්න ලැබුණා.

අභියෝග තිබුණා. ඒත් ප්‍රසන්නව ගත වුණා. ශිෂ්‍ය නේවාසිකාගාරයේ නතරවෙලා හිටියෙ. නේවාසිකාගාරය භාරව සිටියේ මිස්ටර් ඩී.ඒ. ජයතිලක. හරිම සැරයි‍, කවුරුත් බයයි. හැම සතියෙම සිකුරාදා ශිෂ්‍ය නිවාසයේ සියලු දෙනා එකතුවෙලා රැස්වීමක් පවත්වනවා. මේ සතියෙ සිංහල සමිතිය, ඊළඟ සතියෙ ඉංගිරිසි සමිතිය, ශිෂ්‍ය නිවාසයේදී කතා කරන්න ඕන ඉංගිරිසියෙන්. එහෙම නොකළොත් වචනයකට ශත 50 ක දඩයක් ගැහුවා. කෑම මේ‍සයේදී ආහාර අරගෙන අවසන් වූ පසුවත් සිංදුවක්, කවියක්, කතාවක් ඉදිරිපත් කළ යුතු වුණා. මිස්ටර් ජයතිලකගෙ මේ වැඩපිළිවෙළ නිසා අපි කවුරුත් හොඳ හුරුවක් ලැබුවා. කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න පුංචි කාලෙ ඉඳන්ම පුරුදු වුණා.

• ඒ කාලේ ආර්ථික තත්ත්වය කොහොමද බලපෑවේ?

අපට ශිෂ්‍යත්ව ආධාරය ලැබුණෙත් රුපියල් 22/50. සුමානයකට සැරයක් තාත්තා හරි සීයා, හරි ගෙදරින් කෑම හදාගෙන එනවා. ඒ නිසා කෑම ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. ඒ ජීවිතයට හුරුවුණා.

• පාසල් කාලයේ ඔබ නිශ්ශබ්ද ශිෂ්‍යයෙක්ද? දඟ වැඩ කළා ද?

මේ දෙකම තිබුණා. ඉගෙනීමේ කටයුතු හොඳින් තැන්පත්ව ගුරුවරුන්ට අහු නොවෙන්න ඇතැම් විට දඟකාර වැඩත් කළා. දවසක් අපේ පන්තිභාර අබේසේකර සර් අපට නිශ්ශබ්දව පොත - පත වැඩක යෙදෙන්න කියල කාර්යාලයට ගියා. ඔය වෙලාවෙ මම ටිකක් ශබ්ද කරමින් අනෙක් ළමයින්ට වඩා අවිනීත ලෙස හැසිරුණා.‍ සර් හිතාගෙන හිටියෙ මං ඉතා හොඳ ශිෂ්‍යයෙක් කියලා. මගේ ළඟ සිටිය ශිෂ්‍යයා ගෙන් ඇහුවා. කවුද ඝෝෂා කළේ කියලා. ඔහු කීවේ නෑ. අන්තිමට ඔහුටත් දඬුවම් කළා.

• අධ්‍යාපන කටයුතුවලට බාහිරව මොනවගේ ක්‍රියාකාරකම් ද කළේ?

ඒ කාලෙ මට කථික තරගවලට එහෙම හුඟක් ආසාවෙන් ඉදිරිපත් වුණා. ජ්‍යෙෂ්ඨ පන්තියට පසුව මම පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් වුණා. පොරමඬුල්ලදිත්, මලියදේව විද්‍යාලයෙදි සහ විශ්වවිද්‍යාලයෙදිත් විවාද කණ්ඩායම්වල නායකත්වය දැරුවේ මම. එක් අවස්ථාවක මට මතකයි මම හිටපු නේවාසිකාගාර ශාලාවෙ විවාද කණ්ඩායම් නායකයා මම විය යුතුයි කියද්දි දෙවැනි තුන්වැනි තැන්වල සිටි ශිෂ්‍යයො ඊට අකැමැති වුණා. ඒත් අනෙක් ශිෂ්‍යයො කීවෙ මම නායකයා විය යුතු බව. ඉතින් මට එය ලැබුණා. දිගටම මං විවාද කණ්ඩායම් නායකත්වය දැරුවා. පොරමඬුල්ලෙදි මල්ලවපොර වගේ ක්‍රීඩාත් කළා.

• ඇයි ඔබ පොරමඬුල්ලෙන් මලියදේවෙට යන්නෙ?

ඒ කාලෙ දැන් වගේ නෙවෙයි, මධ්‍ය විද්‍යාලවල පවා හොඳ ගුරුවරුන්ගේ හිඟයක් තිබුණා. ලංකා ඉතිහාස‍යත් ඉන්දීය ඉතිහාසයත් උගන්වපු ගුරුවරයා මාරුවෙලා ගියා. ගුරුවරයෙක් ආවේ නෑ. මගේ අක්ක හිටියෙත් පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයේ. අක්ක කිව්වා තාත්තට කියලා නුවර ධර්මරාජෙට හරි කුරුණෑගල මලියදේවෙට හරි යන්න කියලා. එහෙමයි මලියදේවෙට ආවේ.

• අම්මා තාත්තා ගැන මතකය කොහොමද?

අපේ පවුලේ 9 දෙනයි‍‍. අපට දුකක් නොදුන්නට තාත්තා - අම්මා අපව හැදුවෙ හුඟක් දුක් මහන්සියෙන්. දැන් දෙමවුපියො ජීවතුන් අතර නෑ. ඒ දෙපළ වෙනුවෙන් කරන්න තිබුණු යුතුකම් ඉටුකළා මදිද කියල අද ඇත්තටම හිතෙනවා. ඔවුන් ඒ තරම්ම දුක් වේදනා ඉසිලුවා. අපි තරුණ වියට එළැඹුණාටත්, විවාහ වුණාට පසුවත් අම්මා - තාත්තා අපට උදව් උපකාර කළා. අපි තමයි අම්ම - තාත්තට උදව් කරන්න ඕන.‍ ඒත් ඒ කාලෙත් ඔවුන් තමයි අපට උදව් කළේ. අද මට ඒ ගැන හිතෙන කොට කනගාටුවක් ඇතිවෙනවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් වුණත් පොඩි වැටුපක් ලැබුවේ, දරුවොත් එක්ක ජීවත්වෙන්න ගියාම අභියෝගයක් වුණා.

• ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස සම්බන්ධ වෙන්නෙ කොයි කාලෙද?

1964 දී. 1960 දී විශ්වවිද්‍යාලයට ගිහින් ඉතිහාසය ගෞරව උපාධියක් කරලා ප්‍රතිඵලත් එන්නත් කලින්. ආධුනික කථිකාචාර්යවරයෙක් හැටියට පත් වුණා. එය තාවකාලික පත්වීමක් වුණත් ඒ කාලෙ පත්වීම් ස්ථිර කළා. වැටුප් දීමනා ද සහිතව රුපියල් හයසිය පහයි. පී.එච්.ඩී‍. උපාධිය කරන්න ලන්ඩන් ගිහින් අවුරුදු 3 කට පස්සෙ මෙහාට ආවාම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පත්වීම ලැබුණා. වැටුප රුපියල් නවසියයයි. විශාල ආර්ථික ශක්තියක් තිබුණේ නෑ.

ඒත්, මට බාල සහෝදර - සහෝදරියො හොඳින් බලාගත්තා. අම්මා - තාත්තා දඹදිව එක් කරගෙන යන්න තිබුණා නම් හොඳ වුණත්, ඒකට ආර්ථික ශක්තියක් තිබුණේ නෑ. හැබැයි දැන් මං විශ්‍රාම ලැබුවට පසුව තත්ත්වය වෙනස්. මගේ 76 වැනි ජන්ම දිනය අප්‍රේල් 26 වැනි දාට යෙදුණේ. විශ්‍රාම ගියාම හුඟ දෙනෙක් ආර්ථිකව ඉතාම දුර්වල වුණත් මම ආර්ථිකව ශක්තිමත් වුණේ විශ්‍රාම ලැබුවාට පසුව.

• ආදරය ප්‍රේමය පිළිබඳ අත්දැකීම් කොහොමද?

ඕක පාසල්වියේ පටන් ම ඒ වයසෙ දරුවන්ගේ ඇතිවන හැඟීමක්‍. අද නුවණ මුහුකුරා ගොස් හැරිල බලද්දී ලජ්ජා හිතෙන්න පුළුවන් වුණත් ඒ වයසෙදි ඒක සාමාන්‍ය දෙයක්. මටත් ඒක අදාළයි. බොරු අභිමානයක් මවාගෙන නෑ එහෙම නෑ කියන්න අවශ්‍ය නෑ, තිබුණා. හැබැයි ඒවා දුර දිග ගියේ නෑ. එකම දේ අපි කැමැති අය අපිට කැමැති නෑ. අපිට කැමැති අයට අපි කැමැති නෑ.

විශ්වවිද්‍යාලයෙදි ඔය වයසෙදි හුඟක් වෙලාවට වෙන දෙයක් තමයි, ඔය වගේ හැඟීම් හරියට ප්‍රකාශ කරන්න දන්නෙ නැතිකම. ලජ්ජා - භය තිබුණා. යහළුවන් සමඟ තමයි කිව්වෙ.

•‍ මෙතෙන්දි වර්තමාන පරපුර දිහා ඔබ දකින්නේ කොහොමද?

වර්තමාන තරුණ පරපුර ඔය වගේ හැඟීම් ප්‍රකාශ වෙද්දී දෙමවුපියො - ගුරුවරු හුඟාක් අනුකම්පාවෙන් බැලිය යුතු බවයි මගේ නම් අදහස. විහාර මහා දේවි උද්‍යානයෙ හරි ගාලු මුවදොර හරි කුඩයක් යටට වෙලා සිටින පෙම්වතුන් යුවළක් දෙස එය සාමාන්‍ය දෙයක්ය යන හැඟීමෙන් බැලිය යුතුයි. එසේ අනුකම්පාවෙන් බලන අතරම අද කාලෙ හැටියට ප්‍රවේසම් වීමත් අවශ්‍යයි. ෆේස්බුක් සහ අන්තර්ජාලය වගේ ම, මත්ද්‍රව්‍ය, සමාජ ශාලා, ජීවිතය වගේ දේවල් නිසා තරුණ දරුවො ප්‍රවේසම් විය යුතුයි. දෙමවුපියොත් අවධානයෙන් සිටිය යුතුයි.

දරුවො ආගම - දහමට නැඹුරු කිරීම ඉතාම අවශ්‍යයි. ගමේ පන්සලට, පල්ලියට, කෝවිලට වගේ ම දෙමවුපියන්ටත් මෙතැනදී විශාල වගකීමක් පැවරෙනවා. එවැනි නැඹුරුවක් ඇතිවනවා නම් හානිකර තත්ත්ව විශාල වශයෙන් අඩුවේවි.

• ශිෂ්‍ය අවදියෙදි ඔබ දේශපාලනය කළාද?

අපි විශ්වවිද්‍යාලයෙ ඉන්න කාලෙ මූලික වශයෙන් ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිෂ්ට් පක්ෂය සහ පිලිප් ගුණවර්ධන මහත්මයාගේ මහජන එක්සත් පෙරමුණ තිබුණා. මහජන එක්සත් පෙරමුණ තමයි ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කළේ. වැඩි ශිෂ්‍ය පිරිසක් ඒකරාශි වුණෙත් මේ පක්ෂ වටා.

මගේ තාත්තා එහෙම එජාප දේශපාලනයට නැඹුරු අය වුණත් විශ්වවිද්‍යාලයෙදි මම සමසමාජ පක්ෂයට සම්බන්ධ වුණා. හුඟ දෙනෙක් සමසමාජය මොකක්ද කියලවත් හරියට දැන සිටියේ නෑ. නමුත් අපෙන් සමහරු කල්‍යානන්ද තිරාණගම වගේ අය විශ්වවිද්‍යාලයට එනකොටම මාක්ස්වාදය ගැන යම් අවබෝධයකින් සිටියා. ඇත්තම කිව්වොත් මම මාක්ස්වාදය මොකක්ද කියල දැන ගත්තෙ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වුණාටත් පසුව.

රැල්ලට යන මේ දේශපාලනය විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රධාන ප්‍රවණතාවක්‍. මූලික වශයෙන් බලපෑවෙ තමන් අයත් කණ්ඩායමේ අදහස්. කොහොමටත් ඒකාලේ දේශපාලනය ප්‍රචණ්ඩ නෑ‍. අනෙක එදා දේශපාලනයයි, අදයි අතර වෙනසක් තියෙනවා. නිදහස ලැබිලා අවුරුදු ගණනකට පසුව අන්තර්ජාතික ප්‍රශ්නවලදී ප්‍රගතිශීලී දේශපාලනයට සම්බන්ධ අය වැඩි වශයෙන් මැදිහත් වුණා. 1961 කොංගෝවේ ලුමුම්බා මරලා දැම්මා. ඊට එරෙහිව ශිෂ්‍යයො විශ්වවිද්‍යාලයේ සිට නුවරට පා ගමනින් ගොස් විරෝධය පළ කළා. බණ්ඩාරනායක මැතිනියගෙ රජය ඊට බාධා කළේ නෑ. ක්වින්ස් හෝටලය ඉදිරිපිට රැස්වීම පැවැත්වූවා. එංගලන්තයෙන් ආ කථිකාචාර්යවරයෙක් කතාවක් කළා. අපි හිටියෙ පසු පසින්.

අපිට ඉංගිරිසි තේරුණෙත් නෑ.‍ හරියට ඇහුණෙත් නෑ. ඒත් අපිත් සැරින් සැ‍රේ ජයවේවා! කියමින් කෑ ගැහුවා. ඔය අතර ඒ ආසන්නයේ තියෙන වෝඩ් ආණ්ඩුකාරයාගේ ප්‍රතිමාවෙ බෙල්ලට කඹයක් දාලා ශිෂ්‍යයෙක් අදින්න පටන් ගත්තා. තවත් අය එකතු වුණා. එක් වරම කඹය කැඩිලා ඇදපු අය පස්ස පැත්ත බිම ඇණගෙන ඇදගෙන වැටුණා.

• නවක වදය ගැන ඔබ දකින්නේ කොහොමද?

නවකවදය හරිම අශෝභනයි. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටම මේ ගැන අවලාද නැඟීම සුදුසු නෑ.‍ මොකද සමාජ ප්‍රචණ්ඩත්වයේම පිළිබිඹුවක් නිසා. ශිෂ්‍යයන්ට දඬුවම් කරලා විශ්ව විද්‍යාලයෙන් නෙරපලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. එහෙම කළා කියල මේ තත්ත්වයේ අඩුවකුත් නෑ‍. ප්‍රචණ්ඩත්වය වැඩිවෙනවා විතරයි.

• පරිපාලකයෙක් විදිහට ඔබට දැඩි තීරණ ගැනීමට සිදුවූ නැතිනම් සංවේදී අවස්ථා තියෙනවාද?

ඔව්. රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් හිටපු කාලයේ අවස්ථාවක ශිෂ්‍යයො ඇවිත් මගේ කාර්යාලය වටලලා යන්න නොදී රඳවාගෙන සිටියා. ඒ අවස්ථාවේ මට වේදනාවක් ඇතිවුණා. වයඹ මණ්ඩපය රජරට විශ්වවිද්‍යාලයේ කොටසක්. ඒක වයඹ විශ්වවිද්‍යාලය කියල පිහිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. මං ඒකට විරුද්ධව වැඩ කළේ නෑ කියල තමයි ඔවුන් එසේ කළේ. ඒ අවස්ථාවේ මං පොලිසිය කැ‍ඳෙව්වේ නෑ. ඉතාම සානුකම්පිකව ප්‍රශ්නය විසැඳුවා.

මගේ උපකුලපති කාලසීමාව තුළ කිසිම ශිෂ්‍යයකුට පන්ති තහනමක් කිරීම තබා දඬුවමක් ලෙස පෞද්ගලිකව ලිපියක් නිකුත් කිරීමක් වත් සිදුකර නෑ. ශිෂ්‍ය පරම්පරාව දිහා මං ඉතා සානුකම්පිකවයි බැලුවෙ.

සංවේදී අවස්ථා කොතෙකුත් තිබුණා. මම මහාචාර්යවරයෙක් වුණායින් පසුව, වුණු එක් සිද්ධියක් ගැන කියන්නම්. විභාගයට ඉදිරිපත් වෙන්න නම් ශිෂ්‍යයන්ට පැමිණීම 80% අවශ්‍යයි. එක ගැහැනු ළමයෙක් පැමිණීම අත්සන් කරගන්න ‍ආවා. හරිම අඩු ප්‍රමාණයක් තිබුණේ. 20% ක් වගේ. ඇස්වලින් කඳුළු ආවා. මේ ළමයා කිව්වා සර්, බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි. ඒත් මට දරුවෙක් ලැබෙන්න හිටියා කියලා. ගෙදර හිටපු කාල සීමාවෙ පුළුවන් තරම් පාඩම් කළා කියලත් කිව්වා. නීති - රීති තියෙනවා තමයි, ඒත් මං පැමිණීම හරි කියලා අත්සන් කරලා දුන්නා.

• ඔබේ පවුලේ ‍තොරතුරු කොහොමද?

මගේ බිරිය ගුරුවරියක් ලෙස සේවය කළා. ඇය දැන් විශ්‍රාමිකයි. දියණිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භෞතචිකිත්සක අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. බෑනණුවන් වෛද්‍යවරයෙක්. ඔවුන්ට දරුවො දෙදෙනෙක් සිටිනවා. මගේ පුතා පරිගණක තාක්ෂණය හදාරලා ප්‍රමාණ සමීක්ෂණ ආයතනයක රැකියාව කරනවා.

• ගතවූ කාලය දිහා හැරිල බලද්දී ඔබ තෘප්තිමත්ද?

හැමදෙයක්ම වගේ නිරායාසයෙන් ම ලැබුණා. අපේක්ෂා නොකළ දේ පවා ලැබුණා. ඒ නිසා ලෝකයේ කිසියම් බලවේගයක් තියෙනවා නම් මට ඉතාම කාරුණිකව සලකලා තියෙනවා. පසුතැවිල්ලක් තියෙන්නෙ දෙමවුපි‍යන්ට හිතේ හැටියට සලකගන්න බැරිවීම සහ වැඩිහිටි සහෝදර සහෝදරියන්ට ඔවුන් අපට සලකපු තරම් සලකන්න බැරිවීම ගැන‍. අනෙක් ලොකුම පසුතැවිල්ල ඉතාම වැදගත් අවමංගල අවස්ථා කිහිපයකට සහභාගිවීමට නොලැබීම.

වෘත්තීය ජීවිතයේ හැම විනාඩියක්ම මං අපතේ නොහැර වැඩ කළා. ඒ ගැන සතුටුයි.

• ඔබේ ලේඛන කාර්ය සහ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කිරීම ගැන යමක් කිව හැකිද?

මගේ ජීවිතයේ ඉතාම ආසාවෙන් කරන කාර්යය පොත්පත් ලිවීම. මා සතු දැනුම් සම්භාරය එලෙස ඉතිරි කර තැබීමට මම හැකි තාක් වෑයම් කරනවා.

සංවාදය - ධම්මික සෙනෙවිරත්න
සේයාරූ - සුදම් ගුණසිංහ

Comments