අනේක ධාතු නානාධාතු දක්නා ඥානය | Page 3 | සිළුමිණ

අනේක ධාතු නානාධාතු දක්නා ඥානය

 ලෝකයේ සත්‍යය ස්වභාවය විවිධ පර්යායෙන් අවබෝධ කිරීම තථාගතයන් වහන්සේගේ ඥානයේ පවත්නා සුවිශේෂී ස්වභාවය යි. දසබල ඥාන අතර විද්‍යමාන මෙම සිව්වැනි ඥානයෙන් ප්‍රකට වන්නේ උන්වහන්සේ ලෝකය අනේකප්‍රකාර ධාතු වශයෙන් අවබෝධ කළ ආකාරය යි. එම ඥානය මෙසේ විග්‍රහ කොට ඇත.

සිවුවන ඥානය

‘‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක ධාතු නානාධාතු ලොකං යථාභූතං පජානාති.’’

ලෝක වශයෙන් හඳුන්වන්නේ කවර ස්වභාවයක් ද යන්න ප්‍රථමයෙන් ම අවබෝධ කළ යුතු ය. ලූජ්ජති පලූජ්ජතීති ලොකො වශයෙන් දක්වන ආකාරයට සම්පූර්ණයෙන් නැති වන හෙයින් ද කොටස් වශයෙන් දිරී බිඳී පලුදු වී යන හෙයින් ද ලෝක වශයෙන් ව්‍යවහාරයට පැමිණේ. සත්ත්ව නොවන පුද්ගල නොවන ස්වභාවයන් ධාතු වශයෙන් හඳුන්වනු ලැබේ. ධාතුන්ගේ ස්වභාවය ධර්මය තුළ විවිධ ස්වරූපයන්ගෙන් විග්‍රහයට ලක් කොට තිබේ. සංයුත්ත නිකායේ ධාතු සංයුත්තය ආශ්‍රයෙන් එහි ස්වභාවයන් විමර්ශනය කළ හැක.

සංයුත්ත නිකායේ ධාතු නානත්ත සූත්‍රයේ ධාතු දහඅටක් (18) පිළිබඳ දක්වා ඇත. චක්‍ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු, සොත ධාතු, සද්ද ධාතු, සොත විඤ්ඤාණ ධාතු, ඝාණ ධාතු, ගන්ධ ධාතු, ඝාණ විඤ්ඤාණ ධාතු, ජිව්හා ධාතු, රස ධාතු, ජිව්හා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනො ධාතු, ධම්ම ධාතු, මනො විඤ්ඤාණ ධාතු වශයෙන් මෙම ධාතු දහඅට දක්වා තිබේ. මෙම විග්‍රහයට අමතරව සත්තධාතු සූත්‍රයේ වෙනත් වූ ධාතු සතක් පිළිබඳ දක්වා ඇත.

ධාතු සතක්

‘‘මහණෙනි, මේ ධාතූහු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්, ආලෝක ධාතු ය, සුබ ධාතු ය, ආකාසානඤ්චායතන ධාතු ය, විඤ්ඤාණඤ්චායතන ධාතු ය, ආකිඤ්චඤ්ඤායතන ධාතු ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතු ය, සඤ්ඤාවෙදයිතනිරොධ ධාතු යි. මහණෙනි, මොහු සප්තධාතූහු වෙති යි.’’

ඉහත දක්වන ලද ධාතු කවර වූ ධර්මතාවයක් හෙයින් විද්‍යමාන වන්නේ ද යන්න විග්‍රහ කොට ඇත.

‘‘මහණෙනි, යම් මේ ආලෝකධාතුවක් වේ ද, මේ ධාතුව අඳුර නිසා පැණේ. මහණ, යම් මේ සුබධාතුවත් වේ ද, මේ ධාතුව අසුභය නිසා පැණේ. මහණ, යම් මේ ආකාසානඤ්චායතනධාතුවක් වේ ද, මේ ධාතුව රූපය නිසා පැණේ. මහණ, යම් මේ විඤ්ඤාණඤ්චායතන ධාතුවක් වේ ද, මේ ධාතුව ආකාසානඤ්චායතනය නිසා පැණේ. මහණ, යම් මේ ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් වේ ද, මේ ධාතුව විඤ්ඤාණඤ්චායතනය නිසා පැණේ. මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනධාතුවක් වේ ද, මේ ධාතුව ආකිඤ්චඤ්ඤායතනය නිසා පැණේ. මහණ, යම් මේ සඤ්ඤාවේදයිත නිරොධ ධාතුවක් වේ ද, මේ ධාතුව (නාමස්කන්ධ) නිරෝධය නිසා පැණේ යි.’’

නානාත්ව ධාතු

මෙම ධාතුන්ට අමතරව නෙක්ඛම්ම ධාතු, කාම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු, අවිද්‍යාධාතු වශයෙන් ධාතුන්ගේ විවිධ නානාත්වයන් දක්වා ඇත. එම ධාතු නානාත්වය හේතුවෙන් සිදුවන දේ ධාතු සංයුත්තයේ මෙසේ දක්වා ඇත.

‘‘මහණෙනි, ධාතුනානාත්වය නිසා සංඥානානාත්වය උපදී. සංඥා නානාත්වය නිසා සංකල්පනා නානාත්වය උපදී. සංකල්පනා නානාත්වය නිසා ඵස්ස නානාත්වය උපදී. ඵස්ස නානාත්වය නිසා වෙදනා නානාත්වය උපදී. වෙදනා නානාත්වය නිසා ඡුන්ද නානාත්වය උපදී. ඡුන්ද නානාත්වය නිසා පරිදාහ නානාත්වය උපදී. පරිදාහ නානාත්වය නිසා පෙර්යෂණා නානාත්වය උපදී. පෙර්යෂණා නානාත්වය නිසා ලාභනානාත්වය උපදී.’’

ධාතු නානාත්වය පිළිබඳ බුදුරදුන් තුළ පැවැති විශිෂ්ට අවබෝධය මෙයින් ප්‍රකට වේ. උන්වහන්සේ තුළ විද්‍යමාන වූ මෙම ඥානය විග්‍රහ කිරීමේ දී පඤ්චස්කන්ධය, ආයතන දොළොස, ධාතු අටළොස යන ධර්මයන් ද විග්‍රහ කළ යුතු ය. ධාතු අටළොස පිළිබඳ ඉහත දක්වා ඇත. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකය පිළිබඳ පූර්ණ වූ අවබෝධයක් තථාගතයන් වහන්සේට ඇත. අනේක ධාතු නානාධාතු ලෝකය දක්නා ඥානය තුළින් මේ ධර්මයන් පිළිබඳ අවබෝධය තථාගතයන් වහන්සේට නිවැරදි ලෙස පවතී. එක් එක් ස්කන්ධයන්ගේ සියලු ස්වභාවයන් පවත්නා ස්වරූපයෙන් ම විග්‍රහ කොට ඇත. ලෝකයේ සත්‍යය වශයෙන් පවතින්නේ ස්කන්ධයන් පමණි. නාම රූප වශයෙන් ද විග්‍රහ වන්නේ මෙම ස්කන්ධ පඤ්චකය යි. නාමඤ්ච රූපඤ්ච ඉධත්‍ථි සච්චතො වශයෙන් දක්වා ඇති පරිදි ලෝකයේ සත්‍යය වශයෙන් පවතින්නේ මෙම ධර්මයන් පමණි. කවර අයුරකින් විග්‍රහ කළ ද එයින් මතු කිසිවක් නොලැබේ. ලෝකය තුළ කාම, රූප, අරූප වශයෙන් බෙදීමක් තිබුණ ද ඒ සෑම ස්ථානයක ම ස්කන්ධ පඤ්චකය හෝ ඉන් කීපයක් විද්‍යමාන වේ. ඒ සෑම ධර්මයක් පිළිබඳව ම අවබෝධය තථාගතයන් වහන්සේට පවතී.

දසබල ඥාන

දසබල ඥාන අතර පස්වන ඥානය වන්නේ සත්ත්වයන්ගේ නානාධිමුක්තිකත්වය දන්නා ඥානය යි. එම ඥානය පහත අයුරින් දක්වා ඇත.

‘‘පුන ච පරං සාරිපුත්ත තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති...’’

සත්ත්වයින්ගේ යථා ස්වරූපය දැක ගැනීම අතිශය දුෂ්කර ය. ඔවුහු විවිධ අදහස් ඇත්තෝ ය. සසර පුුරා පුරුදු කරන ලද කුසල අකුසල ධර්මයන්ට අනුව ඔවුන්ගේ අදහස් විවිධ ය. මෙහි අධිමුක්ති යනුවෙන් සඳහන් කොට තිබෙනුයේ එම ස්වරූපය යි. බාහිර ස්වරූපයන් ඔස්සේ එම කරුණු අවබෝධ කර ගැනීම පහසු නොවේ. ඇතමුන් ස්වභාවයෙන් ම කරුණා, මෛත්‍රී ආදි ගුණයන්ගෙන් යුක්ත වූවෝ වෙති. එම ස්වභාවයන් එසේ වන්නේ සසර පුරුදු කරන ලද ධර්මයන්ට අනුව ය. එසේම ඇතමුන් ස්වභාවයෙන් ම රෞද්‍ර වූ ස්වභාවයෙන් යුතු වූවෝ වෙති. එය ද සසර කරන ලද කර්මයන්ගේ ස්වරූපයට අනුව සැකසි ඇත. අන්‍යයන් බිඳ වන, අනුන්ට හිංසා කරන, සතුන් මරන, හිංසා කරන, මුසා පවසන, සුරාපානයට හා ස්ත්‍රීනට ලොල් වූ, මිත්‍යා අදහස් ඇති ස්වරූපයෙන් යුක්ත වූ අදහසින් යුක්ත ස්වභාවයන් ඇති පුද්ගලයින් හීනාධිමුක්තික පුද්ගලයෝ වෙති.

අන්‍යයන්ට උපකාර කරන, දානාදි කුසල කර්මයන් සිදු කරන, බණ අසන, භාවනා කරන, සෑම විටම කුසලය පිණිස යොමු වූ සන්තාන ඇති ස්වභාවයන්ගෙන් යුක්ත වූවෝ කල්‍යාණාධිමුක්තික නම් වේ.

හේතු ප්‍රත්‍යය

ලෝකයේ සියලු දේ සිදු වන්නේ හේතු ප්‍රත්‍යයන්ට අනුවම ය. යම් විටෙක පුද්ගලයින් දෙදෙනකු හෝ සමූහයක් එකට එක් වන්නේ නම් ඒ සියලු දෙනා ඔවුනොවුන්ගේ අදහස්වලට අනුරූපීව ම එකතු වෙති. ඇතැම් විට පුද්ගලයින් දෙදෙනකු එකට එක් වී සිටින විට ඒ ඔවුන් කිනම් අදහස් සම වීමෙන් එකට එක් වී ඇති ද යන්න තථාගතයන් වහන්සේ මනාකොට දන්නා සේක. එහෙත් එම පුද්ගලයෝ එහි යථාස්වභාවය නොදකිති. ලෝකයේ සෑම විටම පුද්ගලයින් එකතු වන්නේ අදහස් ගැලපීම නිසා ය. සතුන් මරණ පිරිස් සතුන් මරණ පිරිස් හා එකතු වෙති. සොරකම් කරන පිරිස් සොරකම් කරන පිරිස් හා එකතු වෙති. සුරාපානය කරන පුද්ගලයෝ ඔවුන් හා එක් වෙති. කාමමිත්‍යාචාරයෙහි යෙදෙන පිරිස් ඔවුන් හා එක් වෙති.

දානාදි කුසලයන් කරන පිරිස් ඔවුන් හා සම පිරිස් සමඟ එකතු වෙති. සමථ භාවනා වඩන පිරිස් සමථ කර්මස්ථාන වඩන පිරිස් හා එක්වෙති. විදර්ශනා වඩන පිරිස් ඔවුන් හා සම පිරිස් සමඟ එකතු වෙති. ලෝකයේ සෑම කාලයක ම එය එසේ ම සිදු වෙති. එම සියලු ස්වභාවයන් තථාගතයන් වහන්සේ මෙම ඥානයෙන් මනා කොට දකිති. සංයුත්ත නිකායේ ධාතු සංයුත්තයේ එය මෙසේ විග්‍රහ කොට ඇත.

‘‘මහණෙනි, යම් සේ කිරි කිරි සමඟ සැසඳේ ද, තෙල් තෙල් සමඟ සැසඳේ ද, එකතු වේ ද, ගිතෙල් ගිතෙල් සමඟ සැසඳේ ද, එකතු වේ ද, මී මි සමඟ සැසඳේ ද, එකතු වේ ද, පැණි පැණි සමඟ සැසඳේ ද, එකතු වේ ද, මහණෙනි, එසෙයින් ම සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසඳෙති. එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමඟ සැසඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි ද (අතීතයේ), මතු කල්හිදු (අනාගතයේ), මහණෙනි, දැන් වත්මන් කල්හිදු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමඟ සැසඳෙති, එකතු වෙති.’’

එහි පවත්නා තවත් ස්වරූපයන් ධාතු සංයුත්තයේ අස්සද්ධ සූත්‍රයේ පහත පරිදි දක්වා ඇත.

සැසඳීම

‘‘මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසඳෙති, එකතු වෙති. සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමඟ සැසඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමඟ සැසඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමඟ සැසඳෙත්, එකතු වෙත්. නූගත්තු නූගතුන් සමඟ සැසඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමඟ සැසඳෙත්, එකතු වෙත්. මුළාසිහි ඇත්තෝ මුළාසිහි ඇත්තවුන් සමඟ සැසඳෙත්, එකතු වෙත්. නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමඟ සැසඳෙත්, එකතු වෙත්.’’

මෙම ස්වරූපයන් කිසි කලෙක වෙනස් නොවේ. අතීත කාලයේ ද, අනාගතයේ ද, වර්තමානයේ ද එය හේතු සහිතව ම සිදු වේ. කරුණු මෙසේ හෙයින් යම් පිරිසක් එකට එක් වී කටයුතු කරන විට ඒ සඳහා එකතු වී ඇති පිරිස් පිළිබඳ විමසා බැලීමෙන් ඔවුන්ගේ සැබෑ අරමුණු හා ස්වරූපයන් මනාව අවබෝධ කළ හැකි ය. බුදුරදුන් මෙම ඥානයෙන් පුද්ගලයින්ගේ සැබෑ ස්වරූපයන් මනාව අවබෝධ කොට ඔවුනට ගැලපෙන අයුරින් කටයුතු කොට ඇත. මෙම ස්වරූපයන් මනාව අවබෝධ කොට ගැනීම සෑම විට ම යහපත පිණිස හේතු වේ.

ජී. ජී. ජී. පුෂ්පකුමාර්

Comments