
වසර තුන්සියයකට පෙර මෙසිරිලක සිදුවූ සිද්ධි දාමයක අතීත ස්මරණයන් සොයා යන ගමනේදී අනිවාර්යයෙන්ම දැකිය යුතු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් හඳුනාගන්නට අවස්ථාව අපට ලැබිණි. අපහසුවකින් තොරව මේ ස්ථානය දකින්නට මං පෙත් විවර කර දී ඇත්තේ අදාළ සිදුවීමෙන් සියවසකට පමණ පසු මෙරට පාලනය භාරගත් බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ මැදිහත් වීමෙන් බව පැවසුවහොත් එයද අතිශයෝක්තියක් නොවේ. මේ සටහන ඒ අපූර්ව කථාවේ පෙර- අපර සබැඳියාවන් ගැනය.
මෑත දශකය දක්වාම දුම්රියෙන්ම පමණක් හැර වෙනත් කිසිම වාහනයකින් ළඟාවිය නොහැකි වූ කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්ක මායිමේ අලගල්ල කන්දේ නිරිතදිග කොටසේ කඳුමුදුනට අඩි 2500ක් පහතින් සුන්දර දුම්රිය පොළක් පිහිටා තිබේ. ඒ ආරම්භයේ සිට 1970 දක්වාම "අලගල්ල" නමින් හැඳින්වූ වත්මන් "ඉහළ කෝට්ටේ" දුම්රිය පොළයි. මෙම දුම්රිය ස්ථානයට වාහනයකින් පැමිණෙන්නේ නම් මාවනැල්ල රඹුක්කන පාරේ මාකෙහෙල්වලට පැමිණ දකුණට හැරී මාකෙහෙල්වල පුරාණ විහාරය පසුකර ඉහළ කෝට්ටේ විහාරය අසලට පැමිණ අඩි 500 ක් පමණ ඉහළට නැඟිය යුතුය. (මාවනැල්ලේ සිට කි.මී. 8.2ක දුරක් ඇත.) දැනට එම කොටසේ පටු කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිව ඇත. මෙම දුම්රිය ස්ථානයට කොළඹ සිට දුර කි.මී. 95කි. මුහුදු මට්ටමේ සිට උස මීටර 322.17ක් හෙවත් අඩි 1050කි. මෙම හුෙදලා දුම්රිය ස්ථානය අද වන විට දේශීය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ "අලගල්ල" කන්ද නඟින්නට පා මඟක් එම දුම්රිය ස්ථානය අසලින් ඇරඹෙන නිසාය. නමුත් ඒ සංචාරකයින් බොහෝ දෙනෙකු නොදන්නා සුන්දර සහ පෞරාණික ස්ථාන රාශියක් මෙම දුම්රිය ස්ථානය ආසන්නයේ ඇත.
රඹුක්කන සිට කඩුගන්නාවට යන දුම්රිය මාර්ගයේ හමුවන, මෙරට දෙවැනියට දිගම දුම්රිය මාර්ග බිංගෙය වන මීයන්ඇල්ල (5A) බිංගෙයටත් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ පළමු ඇතුළු වීමේ සංඥාවටත් අතර ස්ථානයක සැතැපුම් 59 කණුව පිහිටා ඇත. මෙම කණුවට විරුද්ධව කඳු යාය දෙසින් පිහිටි අඩි 30ක් පමණ උසින් යුතු තරමක් දුම්රිය මාර්ගයට ආසන්නව පවතින ගල් කුළ ගැන දුම්රිය මඟීන්ගේ සුවිශේෂ අවධානයක් යොමු වන්නේ නැත. නමුත් මේ ගල් පර්වතය මෙරට බෞද්ධාගමිකයින්ට බොහෝ සෙයින් වැදගත් වන අතීත කතාවක නිහඬ සාක්ෂ්‍යකරුවෙකි.
මේ ගල් පර්වතය කරා යන්නට ඇති එකම මඟ වන්නේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මඟ දිගේ පාගමනින් යෑම පමණකි. බ්‍රිතාන්‍යයන් විසින් දුම්රිය මග ඉදි නොකළානම් අදටද ඉහළ කෝට්ටේ යනු සුන්දර වනගහනයෙන් වැසුණු අලගල්ල කදු පර්වතයේ පටු බෑවුම් ප්‍රදේශයක් පමණක් වනු ඇත. එසේ වූවා නම් මෙතරම් පහසුවෙන් මේ ගල් පර්වතය සොයා එන්නට අපට අවකාශ නොලැබෙනු ඇත.
පර සතුරන්ගෙන් සහ මිසදිටුවන්ගේ විවිධ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංඝ සමාජයට කිසියම් කාලවකවානුවකදී අහිමිව යන උපසම්පදාව යළි පිහිටුවන්නට පෙරමුණ ගනිමින් ශාසනයේ චිරජීවනය පිණිස මුළු ජීවිත කාලයම ඇප කැප කළ වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජ මාහිමියන් (1698 ජූනි 19 – 1778 ජූලි 18), සිය සාමනේර සමයේ මුහුණ පෑ අභියෝගාත්මක කාලවකවානුව ගතකර ඇත්තේ මේ ගල්ලෙන තුළය. වර්ෂ 1707 - 1739 සමයේ මහනුවර රජකම් කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ සමීපතමයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ දස්කොන් හෙවත් පේද්‍රෝ ගැස්කොන් අදිකාරම පිළිබඳව අපි අසා ඇත්තෙමු. කෙසේ හෝ අකාලයේ දස්කොන් මරණ දඬුවමට යටත් වනුයේ රජුගේ බිසවක සමග පැවැති අනියම් සබඳතාවයක් හෙළිවීමෙන් රාජ උදහසට ලක්වීමෙනි.
රන්මාලය පැළඳගෙන ගත සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගෙ සිත නුඹ පල්ලා
පන්දහසකට මැද තිබුණත් උඩ එල්ලා
රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලා
යන්නෝ මෙමග රෑ දහවල තොර වෙත්ද
බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා බොද්ද
දන්නෝ පහස ගෙට අඬ ගහලා දෙත්ද
දන්නෝ උපා මිණී බැඳි දොර නාරිත්ද
අකුරු කළේ කුමටද පොරණ ගුරුවරු
හකුරු කැලේ දමත් ද දියව යනතුරු
කපුරුමලේ සුවඳට වැනසෙති බමරූ
නපුරු මලේ දැන දැන නොකරන් වියරූ
ආදී ජනකවි අපේ ජනශ්‍රැති අතරට එක්වූයේ දස්කොන් සහ ප්‍රමිලා බිසව අතර ඇතිවූ අනියම් ප්‍රේමයේ අතුරු ප්‍රතිඵලයන් ලෙසය. කෙසේ වුවද තම හිතගත් "දස්කොන්" ට මරණ දඬුවම ලබාදීම ගැන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු පසුකාලීනව බෙහෙවින් පසුතැවිලි වී ඇත. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබාගන්නා, එවකට මහනුවර විසූ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා රජු සහ දස්කොන් අතර සිත් බිඳවීම සිදුකරන්නේ සූරියගොඩ තෙරුන් සහ ලෙව්කේ රාළහාමිගේ (ලෙව්කේ දිසාව නොවේ) කුමන්ත්‍රණයක් මත බව රජුට ඒත්තු ගන්වා ඇත. එම කීම පිළිගන්නා රජු විසින්, එකල සෙංකඩගල ප්‍රධානම බෞද්ධ විහාරය වූ සූරියගොඩ විහාරයේ සූරියගොඩ හිමියන්ව මරණ දණ්ඩණයට පත් කැර ඇත. ලෙව්කේ රාළහාමි අලගල්ලට නුදුරු මාකහෙල්වල ගමේ සිර අඩස්සියට පත් කැර ඇත.
මහනුවර ආශ්‍රිතව පිහිටි ප්‍රධානම පිරිවෙන සහ විහාරයේ විහාරාධිපති ගේ මරණීය දණ්ඩනයත් සමඟ එහි වැඩසිටි සාමණේර වරුන්ට ධර්ම ශාස්ත්‍ර හැදෑරීමට ගුරු හිමි කෙනෙක් නැති විය. රජුගේ ද්වේෂයට පත් සූරියගොඩ උන්නාන්සේගේ අපවත් වීමෙන් පසු සූරියගොඩ විහාරය රාජ අනුග්‍රහයෙන් විනාශකර ඇති අතර ගෝල හිමිවරු වටිනා පොත් පත් ආදිය බේරාගෙන රටේ විවිධ ප්‍රදේශ වලට ගොස් සැඟවී ජීවත් වී ඇත. ඉන් අනතුරුව උන්වහන්සේලා ගුරුවරුන් සොයා සී සි කඩ විසිර යන්නට විය. සමහරු උපැවිදි වූහ.
ඒ සාමණේර පිරිස අතරට මහනුවර සූරියගොඩ විහාරයේ දී සූරියගොඩ රාජසුන්දර සාමණේර හිමි යටතේ සරණංකර නමින් පැවිද්ද ලබාගත් වැලිවිට සරණංකර සාමණේර හිමි ද සිටි අතර උන්වහන්සේ තම ධර්ම පිපාසය සංසිදුවා ගැනීමට, තම ජීවිතයද නොතකා අවදානම් කටයුත්තක යෙදීමට පියවර ගත්හ. රාජාඥාව ද නොතැකූ උන්වහන්සේ මාකෙහෙල්වල ගමට ගොස් පාළි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති රාජ උදහසට ලක්ව මාකෙහෙල්වල ගමේ නිවාස බන්ධනයට ළක් කොට තිබූ ලෙව්කේ රාළහාමි හමු විය. උන් වහන්සේ ඔහු ගෙන් බාලාවතාරය නම් වූ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයේ නාම කාණ්ඩය උගත්තේය. ඉන් පසු පෝයමළු විහාරයේ වැඩ විසූ, වටපුළුවේ සාමණේර හිමි ගේ ශිෂ්‍ය, පල්කුඹුරේ අත්ථදස්සි සාමණේර හිමි ගෙන් සමාස කාණ්ඩය උගත්තේය.
මේ කටයුතු පහසු වනු පිණිස සරණංකර සාමණේර හිමියෝ ලෙව්කේ රාළහාමි සිරගතව සිටි ඊට නුදුරු මාකෙහෙල්වලට නුදුරු අලගල්ල කන්දේ පිහිටි ගල්ලෙනකට රහසේ වැඩම කොට සැඟවී වාසය කළේ රාජ උදහසින් බේරී ධර්‍මය හැදෑරීමටය. අද දවස වන විට කොළඹ- මහනුවර දුම්රිය මාර්ගයේ පෙර සඳහන් කළ ස්ථානයේදී හමුවන්නේ එසේ උන්වහන්සේ වැඩ සිටි ගල්ලෙනය. කිසිදු හදුනාගැනීමේ පුවරුවක් නොමැති මේ ගල් පර්වතය, ගල්ලෙනක් බව පෙනෙනුයේ හොඳින් විපරම් කළොත් පමණි. එසේ නැතහොත් දුම්රියේ යන එන්නෙකුට එය පටු දුම්රිය මාර්ගය ආසන්නයෙන් හමුවන තවත් එක් ගල් කුළක් පමණි. ලෙව්කේ රාළහාමි මාකෙහෙල්වල ගමේ විසූ නිවෙසද, තාවකාලිකව භාවිතා කළ තවත් ගල්ලෙනක්ද මේ වනවිටත් මාකෙහෙල්වල ගමේ ඇති අතර මෙම චරිත ආශ්‍රිත ජනකථා බොහොමයක්ද ගම් වැසියන් අතර පවතී.
උන්වහන්සේ මෙම ගල්ලෙනෙහි වසර ගණනාවක් වාසය කිරීමෙන් පසු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ නියෝගයකින් ලග්ගල ප්‍රදේශයට වැඩම කර වාසය කර ඇත. පසුකාලීනව භාරතයෙන් පැමිණි බමුණකුගේ ශ්ලෝකයක් විසඳා ගැනීමට රජුට වුවමනා වූ අතර එකල වැඩ උන් ගණින්නාන්සේලා ඊට අපොහොසත් වූහ. අවසානයේ එය විසඳා ලූයේ සරණංකර සාමණේර හිමිය. ඒ හේතුවෙන් රජුගේ ප්‍රසාදය නැවත දිනා ගැනීමට උන්වහන්සේ සමත් වූහ. පසුව උන්වහන්සේ රජුගේ උපකාරයෙන් මහනුවර ඇම්බැක්කේ නියමකන්ද නම් තැනක පිරිවෙනක් පිහිටුවා ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනයේ අභිවෘද්දියට කටයුතු කළ අතර ඇවෑමෙන් රජවූ ශ්‍රී විජය රාජසිංහ (ක්‍රි.ව 1739-1747) සමයේදී සියම් රටෙන් උපසම්පදා භික්ෂූන් මෙරටට වැඩමවීමටද මූලිකව ක්‍රියා කළේය.
වර්ග අඩි හයසිසයක් පමණ විහිදෙන මෙම ගල්ලෙන තුළ තරමක් විශාල පොකුණක්ද ගල්ලෙන ආසන්නයේ කුඩා ළිඳක්ද වේ. මේ වන විට වවුලන්ගෙන් සහ කුඩා සතුන්ගෙන් පිරී ඇති එම ගල්ලෙන ඛාදනය වි දුම්රිය මාර්ගයට පෙරලීමට ඇති ඉඩකඩ අහුරමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගලින් කළ බැම්මක්ද වේ. දැනට මාස කිහිපයකට වරක් මේ අවට ශුද්ධ පවිත්‍ර කිරීම මෙම මාර්ග කොටසේ වැඩ කරන දුම්රිය සේවකයින් විසින්ම සිදු කෙරේ.
ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානයට ඉතා අාසන්නව පිහිටි මේ ගල්ලෙන සහ අදාළ පුරාවිද්‍යා වටිනාකම් ස්ථාන ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මෙතෙක් යොමුවී නැත. එසේ අවධානය යොමු කර සංරක්ෂණය කර පවත්වාගෙන යන්නේ නම් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයද ඉහළ කෝට්ටේ දුම්රියපොළ වෙත ලැබෙනු ඇත. කලකට පෙර සංචාරක අමාත්‍යංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ඉදිකළ සංචාරක නිවහනක් ද ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානයේ පවතින අතර එයද තවමත් මහජනතාව සඳහා විවෘත කොට නැත.
තොරතුරු සපයාදුන් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ හිටපු ස්ථානාධිපති විජේසිරි මහතාට සහ සෆ්රාස් මහතාටත්, විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපති සෝමසිරි මහතාටත් ස්තූතිවන්ත වෙමු.
ඡායාරූප - දමින්ද ප්‍රාසංගික සහ චතුර හේමාල්
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ