ඉපලෝගමදී මොකද වුණේ? | Page 2 | සිළුමිණ

ඉපලෝගමදී මොකද වුණේ?

 රටක ඉතිහාසය ලොවට කියා පාන්නේ එරටේ ඉපැරණි පුරාවස්තු මඟිනි. මේ නිසා තම රටේ පුරාවස්තු සංරක්ෂණය කෙරෙහි ඕනෑම රටක රජයේ විශේෂ අවධානයක් යොමු වන අතර, අප රටෙහි නම් පුරාවස්තුවක් විනාශ කිරීම වනාහි පුරාවස්තු ආඥා පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇප නොලබන දැඩි වරදකි.

ඒ කොයි අණ-පනත්, නීති තිබුණත් දිනෙන් දින අසන්නට ලැබෙන පුරාවස්තු විපත්වල නම් අඩුවක් නැත. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුරාවස්තු පිහිටි භූමියක් නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් කැලෑවක් සුද්ද කිරීමට ගෙනා ඩෝසරයක් මඟින් විනාශ කිරීම මෑතදී මහත් ආන්දෝලයට තුඩු දුන් සිද්ධියකි. ඒ හා ගෙතුණු විවිධ කටකතා සම්බන්ධ රාවයන් පැතිර යන්නේ මෙහි විමර්ශන මෙන්ම පරීක්ෂණ කටයුතු තවමත් සිදු වෙමින් පවතින අතරතුරදීය.

ඉපලෝගම සිදුවීමේ මූලාරම්භය මෙසේය:

ලබන වසර අවසන් වන විට නිවාස ව්‍යාපෘති 2500ක් රට පුරා ඉදි කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය විසින් කටයුතු සූදානම් කර ඇති අතර, එයින් 710ක ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නිවාස ව්‍යාපෘති 50ක් ඉලක්කය වී ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරියගේ වගකීම වී ඇත්තේ ඊට අදාළ සුදුසු ඉඩම් සොයා දීමය.

අනුරාධපුරය හා පොලොන්නරුව යනු අපේ අතීත පුරාවස්තු අතිබහුතරයක් වැළලී පවතින ප්‍රදේශ වන හෙයින් ‍මේ කටයුතු කරන්නට පෙර සිතන්නට බොහෝ දේ වූවත් කොතැනක හෝ කවුරුන් විසින් හෝ සිදු කළ යම් වරදක් හේතුවෙන් මේ වන විට ඉපලෝගම පූගොල්ලාගම ග්‍රාමයේ අගනා පුරාවස්තු කිහිපයක්ම විනාශ වී තිබේ. නිවාස ව්‍යාපෘතියද නැවැතී, නිලධාරීන් කිහිප දෙනකුගේ සේවයද අතිහිටුවී ඇත.

“අපේ නිවාස ව්‍යාපෘතියට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නිවාස ව්‍යාපෘති 50ක් ආරම්භ කළ යුතුයි. මේ නිසා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියගෙනුත් අපි සුදුසු ඉඩමක් ඉල්ලුවා. ඇය අපිට දැන්වුවා පූගොල්ලාගම ග්‍රාමයේත් ඉඩමක් තියෙනවා කියා. මේ ඉඩමේ නිවාස 50ක් හැදෙන නිසා මැනුම් කටයුතු කර දෙන ලෙස අප ඉල්ලා සිටියා. ඒ වගේම අප්‍රේල් 9 වැනිදා ඉඩම සුද්ද කිරීමේ කටයුතු ආරම්භ කළා. මේ අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරිය වෙනුවට ඇයගේ පරිපාලන නිලධාරීවරයාත්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාත් සහභාගි වුණා. ඒත් මැයි 5 වැනිදා මාධ්‍යවලින් පෙන්වුවා මේ සුද්ද කිරීම් නිසා පුරාවිද්‍යා භූමියක් විනාශ වෙලා කියලා. සොයා බලද්දි සිදු වෙලා තියෙන්නේ, අපිට දුන් ඉඩමින් පිටත බැකෝ යන්ත්‍රය යොදා කැලෑව සුද්ද කර තියෙන බවයි. එතැනදි තමයි මේ හානිය සිදු වෙලා තියෙන්නේ. මෙහි වරදක් වෙලා තිබෙනවා. මෙහි වගකීම ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට. මේ පිරිසුදු කිරීම් කරන අවස්ථාවේ අපේ නිලධාරීන් එහි රැඳී සිටියා නම් මේ වරද සිදු වන්නේ නැහැ. මේ නිසා ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි පරීක්ෂණ කිහිපයක්ම මේ වන විටත් ආරම්භ කර තියෙනවා...”

එසේ පැවැසුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතායි. මේ ඉඩම පුරාවස්තු රැඳි ප්‍රදේශයක් හේතුවෙන් ඉඩමේ වැඩි බලතල හිමි වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. රටේ සාමාන්‍ය නීතියට අනුව ශ්‍රී ලංකාවේ කුමන පොළෝ කැණීමක්, සංවර්ධන කටයුත්තක් වුව කරන්නට පෙර අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අවසරය ගත යුතු වෙයි. එසේ නම් මෙහිදී වරද සිදු වූයේ කොතැනකද?

“සාමාන්‍යයෙන් නීතියට අනුව යම් ප්‍රදේශයක සංවර්ධන කටයුත්තක් කරන්න මත්තෙන් ප්‍රාදේශීය ලේකම් විසින් ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අවසරය ගත යුතුයි. ඒත් මෙතනදි ඒ අවසරය ගෙන නැහැ. මේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ අප්‍රේල් මුල. එහෙත් අපෙන් අවසර ඉල්ලු ලියුම පවා සකස් කර ඇත්තේ අප්‍රේල් මස 25 වැනිදා. මේ ලියුම අපිට ලැබුණේ මැයි 1 වැනිදා. ඒ ලිපිය ලැබුණු සැණින්ම අපේ නිලධාරීන් තිදෙනෙක් එහි ගියා. එසේ යන විටත් ඩෝසර් මඟින් පුරාවස්තු විතැන් කර අවසන්. මේ නිසා අපි අදාළ තොරතුරු පොලීසියට ලබා දුන්නා. මේ වන විටත් මේ ඉඩම පුරාවිද්‍යා රක්ෂිතයක් නොවේ. රක්ෂිතයක් කරන්න නම් එය දිගු ක්‍රියාමාර්ගයක් තුළින් ගැසට් කළ යුතුයි. ඒත් මේ වන විටත් මේ ප්‍රදේශයේ පුරාවස්තු බහුල නිසා සංරක්ෂිත ප්‍රදේශයක් බවට අපි පත් කරමිනුයි සිටියේ. කෙසේ වෙතත් පුරාවස්තු විතැන් කිරීමට මෙන්ම ඒවාට හානි කිරීමට නිතීය තදයි. පොලීසිය චුදිතයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප ලැබෙන්නේ නැහැ....”

ඒ, වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය බන්දුල මණ්ඩාවල මහතාය. පුරාවස්තු සංරක්ෂණය කළ යුතු වූ යුගයක මෙවැනි නොසැලකිලිමත්කම් නිසා සිදු වන අපරාධවල බරපතළකමද විශාලය.

මේ පිළිබඳ අදහස් දැක්වූ අනුරාධපුර ප්‍රාදේශීය සභාවේ සහකාර සාමාන්‍යාධිකාරි පියතිස්ස මහතා දැක්වූයේ මෙවන් අදහසකි:

“බැකෝ යන්ත්‍රයක් දාලා හෑරූ කතාව අසත්‍යයක්. ඉඩම සුද්ද කිරීමට යොදාගත්තේ ඩෝසරයක්. ඩෝසරයක් මඟින් හාරන්න බැහැ. තල්ලු කිරීමක් පමණයි සිදු වුණේ. යම් හානියක් වෙලා තියෙනවා. අපි නැහැ කියන්නේ නැහැ. මේ ඉඩම සුද්ද පවිත්‍ර කිරීමේදි මීටර 100ක පාරක් කපන්න යෝජනා වුණා. මෙහි මීටර 50ක් කපද්දි තමයි මේ ගල් ප්ලේට් මතු වෙලා තියෙන්නේ. පසුව ඩෝසර් කිරීම නතර කළා. පසුව අනුරාධපුර ජාතික නිවාස අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරතුමා පුරාවිද්‍යා නිලධාරීන්ට කතා කර මේ බව දන්වා මේ ඉඩම වෙන් කර දෙන ලෙස දැන්වුවා. කෙසේ වෙතත් මේ පුරාවස්තු සහිත ඉඩම ලොකු කැලයක්. ගම්වාසීන් කියනවා නිදන් හොරු පවා ගැවසෙන බව. ඒ වගේම මීට පෙරත් පාරක් කැපීම සඳහා මේ පුරාවස්තු විනාශ කළ බව ගම්වාසීන් පවසනවා. කෙසේ වෙතත් මේ ප්‍රශ්නය විස‍ඳෙන කල් මේ කටයුතු තාවකාලිකව නවතා තිබෙනවා...”

මේ නිවාස ව්‍යාපෘතියේදී නිවාසලාභීන් තෝරාගැනීමේදීද යම් යම් ප්‍රශ්න මතු වූ බවයි ගැමියන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් ගම්වාසීන් පවසන්නේ මෙහි ඇත්ත තත්ත්වය මාධ්‍ය ඔස්සේ ලබා නොදුන් බවකි. අපි ඔවුන්ගේ අදහසටද කන් දෙමු:

“1994 වසරේදීත් මේ ඉඩමේ තිබුණු ගල් පිළිම තුනක් හාරලා අලාභ-හානි සිදු කළා. ඉන් පස්සේ 2001දී මේ හරහා යෝධ ඇළ බන්ට්-එකේ සිට ජය ගඟ දක්වා ඩෝසර් කළා. එදා ඒ ඩෝසරයටත් ගල් ලෑලි, සඳකඩපහන් තල්ලු වුණා; අන්තිමේදි පාරත් නැති වුණා; ගමේ බසයත් නැති වුණා. ඒ නිසා මෙය අලුත් දෙයක් නොවෙයි. ඒ වගේම මේ නිවාස ව්‍යාපෘතියට ආගමික සහජීවනය කියලා මුස්ලිම් අයටත් නිවාස දෙන්න සූදානම් වුණාම අපේ අය එයට විරුද්ධ වුණා. අපි අපේ ගමේ අයටත් නිවාස දෙන්න ඉල්ලුවා. පස්සේ අපේ ගමේ අයටත් අල්ලපු ගමේ අයටත් නිවාස කිහිපයක් දෙන්න පොරොන්දු වුණා. මේ අක්කර 7-8 අප්‍රේල් මාසයේ 9 වැනිදා සිට 11 වැනිදා දක්වා සුද්ද කරලා අවුරුදු නිවාඩුවට නැවැත්වුවා. මේ වැඩ කටයුතු කරද්දි 25 වැනිදා දක්වා කිසිම රජයේ නිලධාරියෙක් සහභාගි වුණේ නැහැ; සිවිල් අය පමණයි හිටියේ. ඩෝසර් කරන වෙලාවේ රජයේ නිලධාරියෙක් හිටියා නම් මේ දේවල් වෙන්නේ නැහැ. මේ ප්‍රදේශය පුරාවස්තු බිමක් කියලා හෝ 'ඇතුළු වීම තහනම්' කියලා හෝ කිසිම සඳහනක් තිබුණේ නැහැ. අනික මේ නටබුන් තල්ලු වෙලා ගියේ අද ඊයේ නෙවේ. මීට කලිනුත් මේ දේවල් වුණා. මේ හරියේ නිදන් හොරු ඉන්නවා. ඒ අයට ඕනෑ වුණා නිවාස ඉදි වන එක නවත්වන්න. බැලුම්ගල ගලේ කෑල්ලක් මේ නිසා කැඩිලා ගියා කියලත් කියනවා. ඒත් අපි දන්න තරමින් මේ හරියේ නෙමේ බැලුම්ගල තියෙන්නේ...”

ඒ නම සඳහන් කිරීමට අකැමැති වූ පූගොල්ලාගම ගම්වැසියෙකි. මේ තවත් එවැනිම වූ කතාවකි. මොවුන්ගේ චෝදනා විවිධ පැතිකඩ කරා විහිදෙයි. මේ තැනැත්තා මේ නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලාභියකුද වන අතර, මේ කටයුත්තේ ක්‍රියාකාරි සාමාජිකයෙක්ද වේ.

“අපි මේ කටයුත්තේදි ගම්වැසියන් එකතු වෙලා සමිතියක් පිහිටුවාගත්තා. ඩෝසර් කරන අයට කන්න බොන්න දෙන්න, තෙල් ගහන්න ගමේ අහිංසක පුද්ගලයකුට පවරලා එයාට මුදලක් දුන්නා. ඒත් මේ කටයුතුවලදි කිසිම නිලධාරියෙක් සහභාගි වුණේ නැහැ. ඩෝසරයත් පෞද්ගලිකව ගමේ අපි සොයාගත් එකක්. කැලෑව සුද්ද කරද්දි කැලෑවේ මැද ඉතුරු වුණා. මොකද: මැද හරියේ ලොකු ගල් අහු වුණ නිසා. ඒ කොටසේ තමයි මේ පුරාවිද්‍යා නටබුන් තිබිලා තියෙන්නේ. කැලෑව නිසා පෙනුණේ නැහැ. මේ දේවල් කැඩෙන කොට අපි වහාම ඩෝසරය නැවැත්වුවා. මෙය සිදු වුණේ අනවබෝධයෙන්. ඒ වගේම අදාළ නිලධාරියෙක් හෝ සිටියා නම් මේ දේ නොවෙන්න තිබුණා. මෙතැන පුරාවස්තු විනාශ වෙලා තියෙනවා නම්, ඒකටත් ඉතිහාසයක් තියෙනවා. වසර ගණනකට පෙර මේ හරහා මාර්ගයක් හදන්න ඉඩම ඩෝසර් කළා. එදත් මේ විනාශය වුණා. අන්තිමේදි අපට වුණේ ලැබෙන්න තිබුණු නිවාස ව්‍යාපෘතියත් අහිමි වුණු-එක විතරයි...” ඔහු පවසන්නේය.

බොහෝ දේ සිදුව අවසන්ය. බොහෝ රාවයන් පැතිරුණද මෙහි විධිමත් පරීක්ෂණ අදාළ අංශ මඟින් තවමත් සිදු වන්නේය. වරද සිදු වූයේ කොතැනද යන්න යථා කාලයේදී හෙළිදරවු වන්නට ඉඩ ඇත. එහෙත් මේ සියල්ලද නොබෝ දිනකින්ම කාලයේ වැලි තලාවෙන් නටබුන් සේම අපේ මතකයෙන්ද යටපත් වනු ඇත.

සුභාෂිණි ජයරත්න 

Comments