ගෙලට සිදු වන ක්‍රීඩා අනතුරු මාරාන්තික වෙන්න පුළුවන් | සිළුමිණ

ගෙලට සිදු වන ක්‍රීඩා අනතුරු මාරාන්තික වෙන්න පුළුවන්

 හිස සිරුරට සම්බන්ධ කරන කොටස බෙල්ල නැතහොත් ගෙල වශයෙන් හැඳින්වේ.හිස්කබල සිරුරට දරා ගෙන සිටීම සඳහා අවශ්‍ය කශේරුකා හතකින් හා සිරුරේ සිට මොළයට හා මුහුණ ආශ්‍රිත කොටස්වලට රුධිරය සපයන ප්‍රධාන ධමනි හා ශිරාවලින් මෙන් ම අනෙකුත් වැදගත් මෘදු පටක රැසකින් ගෙල පෙදෙස සමන්විත ‍වේ. ආහාර මාර්ග පද්ධතියේ හා ස්වසන පද්ධතියේ මුල් කොටස ගෙල තුළ තැන්පත්ව ඇත.ආහාර මාර්ග පද්ධතියේ මුල් කොටස වන ග්‍රසනිකාවත්,ස්වසන පද්ධතියේ වැදගත් කොටසක් වන, කථනයේ දී වැදගත් වන ස්වරාලයත් මෙයට ඇතුළත් වේ. සිරුරේ පැවැත්මට ඉතා වැදගත් වන අන්තරාසර්ග ග්‍රන්ථියක් වන තයිරොයිඩ් හා පැරාතයිරොයිඩ් ග්‍රන්ථිද පිහිටා ඇත්තේ ගෙල ඉදිරිපස ය.

මේ නිසා ක්‍රීඩාවන්හි දී හෝ ක්‍රියාකාරකමක දී වුව ද ගෙල පෙදෙසට සිදුවන හානි ඉතා වැදගත් කොට සැලකිය යුතු ය. මධ්‍ය ස්නායු පද්ධතියේ කොටසක් වන අප සිරුරේ ස්නායු ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන සුෂුම්නාව ද ( Spinal Cord ) මොළයේ පහත කොටසේ සිට ආරම්භ වී පහළට ගමන් කරන්නේ ද ග්‍රෛවී කශේරුකා හත තුළිනි.ගෙලට සිදුවන ක්‍රීඩා අනතුරු වශයෙන් හදුන්වන්නේ මොනවා ද?,ගෙලට සිදුවන විශේෂිත ක්‍රීඩා අනතුරු මොනවා ද? එමඟින් සිදුවන බලපෑම කෙසේ ද? ගෙලට සිදුවන අනතුරු වැඩි ප්‍රවණතාවයක් ඇති ක්‍රීඩා තිබෙනවා ද? යන කරුණු පිළිබඳ කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය පද්මලාල් පතිරගේ මහතා දැක්වූ අදහස් මෙසේ ය

ගෙලට සිදුවන ක්‍රීඩා අනතුරු වශයෙන් හඳුන්වන්නේ මොනවා ද?

ක්‍රීඩාවන්වලට ආදාළව ගෙලට සිදුවන අනතුරු පහත පරිදි කොටස්වලට වෙන් කර දැක්වීමට පුළුවන. කොඳු ඇටපෙළේ අනෙකුත් කශේරුකාවන්ට සාපේක්ෂව ගෙලෙහි පිහිටන කශේරුකා අතර වැඩි චලනයක් දක්නට ලැබේ.එසේ වී තිබෙන්නේ හිස හාත් පස හැරවීමේ හැකියාව මිනිසාට ස්වභාවයෙන්ම උරුම වී ඇති නිසා ය.ක්‍රීඩාවක දී ගෙල ප්‍රදේශයේ හදිසියේ ඇති වන ක්ෂණික ගැස්සීම් ( whiplash Injury ) සිදුවන උලුක්කු හා මාංශපේශී ඇඳීම් ( Neck Sprains, Strains ) නිසා සිදු වන අනතුරු,ග්‍රෛවී කශේරුකාවල බිඳීම් හා විසන්ධි වීමේ අනතුරු ( Fractures Dislocations ) ස්නායූ මූලයන් හා අතට ගමන් කරන ස්නායූ රැහැන් වලට සිදු වන අනතුරු ( Nerve roots Brachial Plexus Injuries ) අන්තර් කශේරුක මඬල නැතහොත් කශේරුකා දෙකක් අතර පිහිටි කාටිලේජමය කොටසට සිදුවන අනතුරු ( Inter Vertewradisc Injuries) හා කශේරුකා අතරින් පිටත සුෂුම්නා ස්නායු තෙරපීමට ලක් වීම ( Cervical Stenosis ) නිසා සිදු වන අනතුරු වශයෙන් ගෙල ප්‍රදේශයට ක්‍රීඩාවලදී සිදුවන අනතුරු බෙදා දැක්වීමට හැකි ය.

මීට අමතරව ගෙලෙහි පිහිටි මෘදු පටකවලට ක්‍රීඩාවන් අතරතුර සිදු වන සීරීම්, කැපීම් හා තැලීම් යනාදියත් ක්‍රීඩාවන්හි දී ගෙලට සිදු වන අනතුරු වශයෙන් සැළකිය හැකි ය.

ගෙලට සිදුවන විශේෂිත ක්‍රීඩා අනතුරු මොනවා ද? එමඟින් සිදුවන බලපෑම කෙසේ ද?

සුළු සිරීමක, කැපීමක හෝ තැලීමක සිට ගෙල කශේරුකා බිදී හෝ විසන්ධි වී එමගින් සුෂුම්නාවට හානි සිදු වීම දක්වා පරාසයක විහිදී තිබේ.ගෙලට සිදු වන ක්‍රීඩා අනතුරු මගින් ජීවිතයට සිදු වන බලපෑම විවිධාකාර ය.ගෙලෙහි තැලීමකින් හෝ මාංශපේශී ඇදීමකින් හෝ උලුක්කුවකින් හෝ ඇතිවන අපහසුතාව තාවකාලික හෝ විවේක ගැනීමෙන් හෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන් ම යථාතත්ත්වයට පත් කළ හැකි ය.එනමුත් ගෙල කශේරුකා බිඳීමක දී විසන්ධි වීමක දී හා එමගින් කශේරුකාව තුළින් ගමන් කරන සුෂුම්නාව නැතහොත් ස්නායු රජ්ජුවට ( Spinal Cord ) සිදු වන හානි ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත් වීමේන් හෝ කල් පවතින ස්නායුගත ආබාධ උරුම කර දීමට ඉඩ තිබේ.ගෙලෙන් පහළ ශරීරයේ සියලුම මාංශ පේශීන් හා අවයවවල ස්නායු ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ ග්‍රෛවී කශේරුකා තුලින් ගමන් කරන සුෂුම්නාව හා ඊට සම්බන්ධ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසා වීම එයට හේතුව වේ.

ගෙලකට සිදු වන අනතුරුවල දී කශේරුකා දෙකක් අතර ඇති අන්තර් කශේරුක මඬල වලට හානි වීම හෝ කශේරුකා එකිනෙක විසන්ධි වීම නිසා සුෂුම්නාවට හා එයින් පටන් ගන්නා සුෂුම්නා ස්නායුවලට අනතුරු සිදු විය හැකිය.එසේ වුවහොත් , එම අනතුරට ලක් වූ මට්ටමේ සිට සිරුරේ පහළ කොටසේ අවයව හා ඉන්ද්‍රියවලට ඇති ස්නායු සැපයුම අඩපණ වීමේන් දැඩි අපහසුතා තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ.අතක,පයක සම හිරි වැටීමක සිට පූර්ණ අකර්මන්‍යතාවයන්ට ( සංවේදී නොමැති වීම හා අංශභාග තත්ත්වයන්ට පත් වීම) සිදු විය හැකි ය.

අත් පා සතරටම ක්‍රියාකාරීත්වයෙන් තොර වීම ( quadriplegia ) පාද පමණක් අක්‍රීය වීම (Paraplegia ) ,මළ පහ වීම හා මුත්‍රා යාම පාලනය කිරිමට නොහැකි වීම ( Faecal urinary incontinence) වැනි පුද්ගලයන් අසරණ කරන තත්ත්වයන් මේ නිසා ඇති විය හැකි ය.

ගෙලට සිදුවන සෑම කශේරුකා බිඳීම් හා විසන්ධි වීම් තත්ත්වලදී මෙම අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙන්නේ නැත. අනතුරු වළක්වා ගැනීමට කටයුතු කිරීමේන් හා අනතුරට ලක් වූ අවස්ථාවල දී , නිසි ක්‍රමවේදයන්ට අනුකූලව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් බොහෝ තත්ත්වයන් පාලනය කළ හැකි වේ.

ගෙලට සිදුවන අනතුරු වැඩි ප්‍රවණතාවයක් ඇති ක්‍රීඩා තිබෙනවා ද?

ඇත්තෙන්ම ආක්‍රිමණශීලී හා ප්‍රවේගකාරී ක්‍රීඩාවල දී වැඩි වශයෙන් ගෙලට සිදු වන අනතුරු සිදු වේ.මේ අතරින් රගර් හා පාපන්දු තරඟ උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.මීට අමතරව කිමිදුම් තරඟ ( Diving), බයිසිකල් හා මෝටර් බයිසිකල් තරඟ, හිම ක්‍රීඩා හා හිම මත ලිස්සා යාමේ තරඟ, අසුපිට යාමේ තරඟ ( Horse Riding ) හා ජිම්නාස්ටික් වැනි ක්‍රීඩාවල දී ගෙල ආශ්‍රීත ක්‍රීඩා අනතුරු බහුලව නිරීක්ෂණය කර තිබේ.

ගෙලට ක්‍රීඩා අනතුරක් සිදු වූ විගස එය දැන ගන්නේ කෙසේ ද?

ක්‍රීඩාවක් අතරතුර දී, ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින වෛද්‍යවරයෙකුට ( විශේෂයෙන් ආක්‍රිමණශීලී ක්‍රීඩාවලදී) ක්‍රීඩකයෙකුගේ ගෙලට සිදු වන අනතුරක් අනුමාන වශයෙන් දැන ගත හැකි ය. ගෙල පෙදෙසේ ඇති වන දැඩි හෝ තරමක වේදනාවක් ක්‍රීඩකයෙකු තුළින් දිස්විය හැකි ය. එම වේදනාව ගෙල සිට උරහිස් හා අත්වලට පැතිරී යන්නේ නම්, ඉදිමීමක්, හෝ රතු වීමක් ඇත්නම් සහ අත් පාවල දනීමේ වෙනසක්, හිරිවැටෙන ස්වභාවයක් හෝ මාංශපේශීවල දුර්වලතාවයක් නීරීක්ෂණය කළ හැකි ය.

ක්ෂණිකව අත් පා අකර්මණ්‍ය ස්වභාවයකට පත්වේ නම්, සුෂුම්නාව ගෙල පෙදෙසේ දී දැඩි ලෙස අනතුරකට පත් වී ඇති බවට අනුමාන කළ හැකි ය.

එවැනි තත්ත්වයක් ක්‍රීඩා පිටියේ දී නිරීක්ෂණය කළහොත් විගස කළ යුතු වන්නේ කුමක්ද?

එවන් අවස්ථාවක දී වහාම පුහුණුව ලත් වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔසවාගෙන යනු ලබන ගිලන් මැස්සක ( Stretcher ) තබා, ප්‍රවේසමෙන් ක්‍රීඩකයා ක්‍රීඩා පිටියෙන් ඉවතට ගත යුතු ය. එසේ ක්‍රීඩකයෙකු ඇඳ මත තැබීමේ දී පවා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රමවේදයක් ඇත.ප්‍රථමාධාරකරුවන් කිහිප දෙනෙකු එකතු වී ගෙල පිටුපසට , සිරුරේ බඳට හා පාදවල පිටුපස ප්‍රදේශයට ආධාරක වශයෙන් තම දෑත් යොදමින් ලී කොටයක් එකවර එසවෙන ආකාරයට ( Log Rolling Method ) රෝගියා ඇඳ මතට ඔසවා තැබීම කළ යුතු ය. යම් හෙයකින් ක්‍රීඩකයාගේ ගෙල කශේරුකා බිඳී තිබුණේ නම් ඉන් සුෂුම්නාවට, ගෙල සෙලවීමෙන් තව දුරටත් හානි වීම වැළකේ. ඉන් පසු රෝහල දක්වා ප්‍රවාහනයේ දී තව දුරටත් ග්‍රෛවී කශේරුකාවන්ට හා සුෂුම්නාවට හානි නොවන සේ , ගෙල රැඳවුමක් ( Cervical Collar ) යොදා ගත හැකි ය.

රෝගියා ප්‍රවාහනය කරන ගිලන් රථ ඔක්සිජන් සැපයුමක්,ජීවිතාරක්ෂක උපකරණ, වෛද්‍යවරයෙකු හා පුහුණු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් සහිත විය යුතු ය.රෝගියා රැගෙන යා යුත්තේ ස්නායු ශල්‍ය වෛද්‍ය පහසුකම් සහිත හදිසි අනතුරු ප්‍රතිකාර සහිත රෝහලකට ය.

මදාරා මුදලිගේ 

Comments