සාමසරකන්දේ වියැළුණු කඳුළු “නාය යයිද?” | සිළුමිණ

සාමසරකන්දේ වියැළුණු කඳුළු “නාය යයිද?”

 අර පේන කන්ද කඩාගෙන වැටෙයි ද?”

 

මහවැසි ඇද හැලෙන විට කඳු අවට, උස් බිම්වල දිවි ගෙවන ජනතාව ජීවත් වන්නේ බියෙන්, සැකෙන්. නමුදු උපන්දා සිට උදේ හවස නොව ගත වන මොහොතක් පාසා දුටු සාමසරකන්ද නාය යාවි යැයි යන සිතුවිල්ලක්වත් නොතිබුණ මොහොතක කන්ද ගම්මුන්ගේ සියල්ල යටකරගෙන මහ පොළොව මත දිගාවුණි. ඒ ජීවිත ගණනාවක් බිලිගත් සාමසරකන්ද නාය ගොස් වසර දෙකකි. උන්හිටිතැන් අහිමිවූ හරි හම්බ කරගත් සියල්ල අහිමිවූ ජනතාව මාස ගණනක් ජීවත්වූයේ කඳවුරු බිම්වලය. නමුදු අද වනවිට සමස්තයක් ලෙස හැම කෙනෙකුටම නිවාස ලැබී ඇත. දැන් උස්සාපිටිය ක්‍රීඩාංගණයේ හෝ වෙනත් ස්ථානවලද කඳවුරු නැත. කඳවුරුවලින් පිටමං වී තමන්ගේ ම කියා නිවෙස් ලැබුණු ජනතාවගේ අද තත්ත්වය කෙබඳු ද?

අරනායක නගරයේ සිට සාමසරකන්ද දක්වා යන්නට විමූ . කන්ද නාය ගිය දිනවල දකින්නට තිබූ මඩ පැහැය දැන් කන්දේ දකින්නට නැත .කන්ද කොළ පැහැ ගහ කොළින් වැසී ගොසින්ය. ප්‍රධාන මාර්ගයේ යන විට කන්ද දෙසට යා හැකි පටු මඟක් තිබුණි. ඒ මාර්ගයේ මද දුරක් ගිය විට බේබි අම්මාගේ තාවකාලික අටවා ගත් නිවෙස හමු වේ. ගෙවි ගිය වසර දෙක තුළ කිහිපවතාවක් එහි ගිය පුරුද්දට අප ඒ යන මාර්ගය සොයන්නට විමු . එනමුදු දැන් ඒ පටු මඟ සොයන්නට නැත. එය තහනම් කලාපයකි.

‘‘කන්ද පාමුලට යන්න බැරිද?’’ අසල සිටි ගැමියෙකුගෙන් ඇසිමූ

දැන් ඔය පාරේ යන්න බැහැ. කන්ද පැත්තට යන්න තහනම්. ඔය පාරේ ගෙදර හිටපු අය අලුත් ගෙවල් වලට ගියා. මිනිස්සුට දැන් ඛේදවාචකය අමතක වේගන යනවා. හැමෝටම වගේ ගෙවල් ලැබුණා. සමහරු රජයෙන් ගෙවල් දුන්නට බාර ගත්තේ නැහැ. හේතුව තමයි උපන් ගම් දාලා යන්න අකමැති වීම. අපේ ඉඩම් වල කරාබු නැටි සාදික්කා ගස් තියෙනවා. මම ගියා කැලේ මගෙ ඉඩම බලන්න. එත් ඒවායේ මුකුත්ම නැහැ. පොල් ඇට්ටියක් තැඹිලි ඇට්ටියක්වත් ගහක නැහැ. මේ කන්ද දිහා බලලා හූල්ලනවා ඇරෙන්න අපි මොනවා කරන්නද . එක එකාලා මේ කැලේ හොර වැඩ කරනවා. කසිප්පු විකුණනවා. දැන් ඔය අලුතින් පදිංචි කරවපු වතුවලත් කසිප්පු තියෙනවා. මේ මිනිස්සු ඔක්කෝම ඒවාට පුරුදු වෙලා. කවුරුවත් මේවා ගැන බලන්නේ නැහැ. කන්ද නාය ගිය දවස් වල නම් වැල නොකැඩි එක එක්කෙනා ආවා. දැන්නම් කාටවත් අප මතක නැති ගානයි.’’

ගැමියා පවසන්නේ නාය ගිය සාමසර කන්ද අවට මිනිස්සුන්ට සිදු වී ඇති දෙයයි. සාමසර කන්ද නාය යෑමෙන් මිය ගිය සංඛ්‍යාව විසි දෙකකි. අතුරුදහන් වූ සංඛ්‍යාව එකසිය එකකි.

පුර්ණ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව හැත්තෑ දෙකකි. එමෙන්ම මෙම ඛේදවාචකයෙන් විපතට පත් වූ වන් සඳහා වන්දි ලබා දීමට නිවාස ලබාදීමට රජය කඩිනමින් කටයුතු කළේය . නමුදු හිමිකම් ලබා ගැනීම සඳහා පවුල් දාහතරකම කිසිවෙක් නොවූහ. අරණායක, එළඟපිටිය, දෙබත්ගම, පල්ලේබාගේ මෝරගම්මන , අම්බලකන්ද නාරංගල ආදි ප්‍රදේශවල අවතැන් වූවන්ට අරණායක ප්‍රාදේශිය බල ප්‍රදේශයේ පදිංචි වීමට අවස්ථාව ලැබීය. මේ මිනිසුන්ගේ අද තත්වය කෙබදුද? ඒ ප්‍රශ්නයට පිළිතුර සෙවීමට අපි එහි ගියෙමු.

අපි මුලින් ම ගියේ අරණායක වසන්තගමට. වසන්තගමට යන අතරමඟදි වම්පසින් පෙනෙන්නේ නාය ගිය සාමසරකන්දයි. දැන් කන්ද ගහකොළින් වැසී ගොස් ය. දිනෙක වියරුවී කඩා හැළුණ අරණායක කන්ද මෙයම දැයි කෙනෙකුට සැක පහළ වනු ඇත.

“උදේ හවස කන්ද දකින විට සිතට දුකක් දැනෙනවා. අපිට තිබ්බ හැමදේම නැති වුණා. අම්මයි මමයි මේ අලුත් ගෙදර ඉන්නේ. අම්මා ගොඩාක් වයසයි. ඇවිද ගන්නත් බැහැ. අම්මට වැඩිහිටි දීමනාව මාසිකව රුපියල් එක්දහස් නවසීයක් ලැබෙනවා. කොහොම වුණත් ඉන්න ගෙයක් ලැබුණ එක හිතට සතුටක්. අපේ වතුවල කරාබු නැටි, සාදික්කා තිබුණා. ඒ ආදායම අපට ජීවත් වෙන්න හොඳටම ඇති. දැන් ඉතින් ඒ දේවල් ගැන හිතලා දුක්වෙනවා ඇරෙන්න අපට වෙන කරන්න දෙයක් නැහැ” සුමනා පවසන්නේ කනගාටුවෙනි.

අලුත් නිවාස ලැබුණ ඇත්තෝ දැන් ජීවත්වීමට මං සොයති. මේ ගමනේදී අප නිවැසියන් සොයා ගිය ද බොහෝ දෙනෙකු රැකියා සොයා ගෙන ගමෙන් පිට ගොස් ය. කෙසේ වුවත් රජය මැදිහත් වී සාමසර කන්ද නායයෑමෙන් අවතැන් වුවත් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා වියදම් කළ මුදල රුපියල් මිලියන තුන්සිය විස්සකට වැඩිය. මෙම නිවාස තනාදීමේදී පෞද්ගලික අංශය ද ඊට දායක විය. එසේ සාදා දුන් නිවාස සංඛ්‍යාව එකසිය හැත්තෑපහකි.

නාය යෑමෙන් අවතැන්වූවන් මෙන් ම අධි අවදානම් කලාපවලින් ඉවත් කළ එළඟපිටිය, දෙබත්ගම ආදී ගම්වල ඇත්තන්ගෙන් ඇතැමෙක් අද සිටින්නේ කලුගල ගමේ ය. රජයෙන් ඉදිකළ නිවාසවල වාසය කරන ඔවුන් සිටින්නේ කනස්සල්ලෙනි.

“අපි ජීවත්වුණේ අධි අවදානම් කලාපයක. අපිට ගෙවල් ලැබුණේ කලුගලින්. වතුර විදුලිය තිබුණත් ගමට යන්න බස් එකක් නැහැ. වීල් එකකට ලොකු මුදලක් දෙන්න වෙනවා. අපිට මේ පාර හදලා දෙනවා නම් ඒක ලොකු පිනක්.” නම ගම කීමට අකැමැති වූ ගැමියා පවසන්නේ කනගාටුවෙනි.

ඉඩම්, නිවාස ලැබුණද ඇතැමුන් බොහෝ මැසිවිලි නගති. ඇතැමෙක් පවසන්නේ තමන්ට කිසිවක් නොලැබුණ බව ය. සැබැවින් ම මේ කතාවල ඇත්ත නැත්ත කුමක් දැයි විමසීමට අප අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් ඒ. එම්. ෆයිසාල් මහතා හමුවීමු.

“අපි දැන් 2016 ආපදා ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මම එහෙම කියන්නේ අපි ඒ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාදුන්න නිසයි. මේ වනවිට අප නිවාස 531 ක් හදලා බාරදී තිබෙනවා. ඉඩම සමඟ නිවාසයක් ලබාගන්න ලක්ෂ 10 ක් දුන්නා. තවත් අයට ඉඩම ලබාගන්න ලක්ෂ 4 යි. නිවෙස හදාගන්න ලක්ෂ දොළහකුයි දුන්නා. අධි අවදානම් කලාපවලින් ඉවත් කළ අයට තවමත් ඒ ප්‍රදේශවල තියෙන තමන්ගේ ඉඩම්වල භවබෝග භුක්ති විදීමට පුළුවන්. නමුත් එහි ඉදිකිරීම් කරන්න බැහැ. නාය ගිය ඉඩම්වලට කාටවත් යන්න බැහැ. අපි සැලසුම් කරන්නේ ඒ භූමිය රක්ෂිතයක් කරන්න. එ වගේ ම එහි පලතුරු වවන්නත් සැලසුම් කරලා තියෙනවා. ඒ පරිසරයේ පලතුරු හැදුණම රිළවු වඳුරෝ ගම් වදින එක නතර වෙනවා. රජයෙන් ඉඩම් නිවාස ලබා දුන්නත් තමුන්ට කිසිවක් අවශ්‍ය නැතැයි කියා ප්‍රතික්ෂේප කරපු අයත් ඉන්නවා. ඔවුන් කියන්නේ තමන්ට තමන්ගේ පැරණි ඉඩම්වලින් ඉවත් වෙන්න බැහැ කියලා. ඔවුන් අපිට ඒ බව ලිඛිතව දන්වා තියෙනවා. ඒ වගේ ම වසන්තගම ඉන්න අයට ස්වයංරැකියා ආරම්භ කරන්න රුපියල් 56000 බැගින් ලබාදී තිබෙනවා. නිවාස විස්සක් පමණ සෑදීම ප්‍රමාද වෙලා තියෙනවා. ඊට හේතුව ඒ නිවාස හිමියන්ගේ උනන්දුවක් නැතිකම. අපි මුදල් ලබාදෙන්නේ අදියර කිහිපයකින්. නමුත් මේ අය නිවාස ඉදිකිරීමට ප්‍රමාදයි.

එහි වරද අපේ නොවෙයි. කළුගල පදිංචි කරව‍ූ අයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පාර අබලන් වීම‍. මේ මාර්ගය සකස් කිරීම සඳහා මිලියන 44 ක් වෙන්කර තිබෙනවා. අපි දෙපාරක් ටෙන්ඩර් දැම්මා. නමුත් කවුරුවත් ඒ පාර හදන්න ටෙන්ඩරය බාර ගැනීමට ඉදිරිපත් වී නැහැ. ප්‍රාදේශීය ලේකම්වරයා පවසන්නේ දෙවසරක් තුළ සිදුවූ කටයුතු පිළිබඳව ය.

ඔවුහු ජනතාව වෙනුවෙන් අපමණ කැපවීමෙන් වැඩ කරති. ඒ නිලධාරීන් අතර සිටි එරංග විකුම්සිරි පිළිබඳ මතකය අලුත් කළේ ප්‍රාදේශීය ලේකම්වරයා ය. “මම එදා හිටියේ කච්චේරියේ රැස්වීමක. ඒ හැන්දෑවේ මට කිහිප දෙනෙක් ම කතා කරලා තොරතුරු එව්වා. එක්කෙනක් කිව්වා සර් “ෆලයිට් එකක් කන්දේ හැප්පුනා. දාහකට වඩා මැරෙන්න ඇති” කියලා.

ඒ කෙනා එහෙම කියන්න හේතුව තමයි කලින් වතාවක අෂ්රොෆ් මහත්තයා ගිය ගුවන් යානය ඌරාකන්දේ වැදුණේ.

ඌරාකන්දයි සාමසරකන්දයි මුහුණට මුහුණලා තිබෙන්නේ. මිනිස්සුන්ට ඒ මතකය අලුත් වෙන්න ඇති සද්දේ ඇහුණාම. තවත් ගමේ කෙනෙක් අඬ අඬා කිව්වා “සර් ලොකු නාය යෑමක්. දාහකට වඩා යන්නැති‍” කියලා. මේ කතා අහන කොට මම කලබල වුණා. මම නිලධාරීන් කිහිප දෙනෙකුටම කතා කළා. කාවවත් සම්බන්ධ කරගන්න බැහැ. අන්තිමට තමයි එරංගට මම කතා කළේ. මම පරිපාලන සේවයේ වසර දහතුනක කාලයක් ඉන්නවා. නමුත් ඒ වනතුරු මම කතා කළාම කිසිම නිලධාරියෙක් මට කියලා නැහැ පස්සේ කතා කරන්නම් කියලා. ඒත් එදා හැන්දෑවේ මම එහෙම කතා කළා ම ඔහු මට කිව්වා. සර් පොඩි බබෙක් ගහගෙන යනවා. මට එයා බේරගන්න ඉඩදෙන්න මම සර්ට පස්සේ කතා කරන්නම් කිව්වා. එච්චරයි. මම ඉන් පස්සේ කීප වතාවක්ම එරංගට කතා කළා. එයාගේ ෆෝන් එක වැඩ කළේ නැහැ. මට කාටවත් කියන්නත් බැහැ.

අපි ඔහු ගැන සෙව්වා. මගෙ හිත මට කිව්වා එරංග නායයෑමට හසුවුණා ද කියලා. ඒත් හරියටම දන්නේ නැතිව කොහොමද කියන්නේ පහුවදා උදේ හමුදාවෙන් ගෙනාව මුල්ම මළ සිරුරු තුන අතර එරංගගේ මළ සිරුර තිබුණා. මමයි හඳුනාගත්තේ. ඔහුගේ මල්ලිත් මේ එක්කම මිය ගිහින් තිබුණා. ත්‍රීවිල් එකක් එතැන තිබුණා. ප්‍රාදේශීය ලේකම් ෆයිසල් මහතා පවසන්නේ තමන්ට සිටි කාර්යක්ෂම නිලධාරියකු අහිමි වීමේ කනගාටුවෙනි. අරණායකට යළිත් වැසි වැටෙන්නට පටන්ගෙන ඇත. ඒ හැන්දෑවේ මහ වැසි මැද්දෙන් අප අගුරුවැල්ල වරකාපොළ පාරේ පදිංචිව සිටින එරංගගේ බිරිය සොයා ගියෙමු. ඇය දිස්නා චතුමාලි පතිරණ.

මම බැන්දේ 2014 අවුරුද්දේ. එරංග අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියා හැටියට හිටියේ. එරංග නැති වෙනකොට පුතාට වයස අවුරුද්දයි මාස තුනයි. එයා හොඳ ගතිගුණ තිබුණ කෙනෙක්. එදා නාය ගිය දවසේ මං හිතුවා එයාට වතුර නිසා එන්න බැරිව අම්මලාගේ ගෙදර වෙන්නැති කියලා. අම්මගෙන් ඇහුවම අම්මා කිව්වා මග කොහේ හරි වෙන්නැති කියලා. රෑ පුරා මම එරංගට කෝල් ගත්තා. පහුවදා උදේ තමයි එයා මැරුණ බව දැන ගත්තේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි අපට මේ ගේ හදලා දුන්නේ. එරංගගේ වැටුප ලැබෙනවා. ඒත් ඒකෙන් අපට ජීවත් වෙන්න අමාරුයි. මට රැකියාවක් ලබාදෙන බව කිව්වත් තාම ලැබුණේ නැහැ” පුතු තුරුළට ගනිමින් දිස්නා පවසයි.

ඒ දවස්වල කිව්වනේ රස්සාවක් දුන්නා කියලා මම ඇසිමි.

“ඔව් දුන්නා. එතකොට එරන්ද නැතිවෙලා මාසයකට වැඩියි. මට පුතාව දාලා යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මට ලැබුණේ අල්ගම මධ්‍යම බෙහෙත් ශාලාවේ රැකියාවක්.‍ ඒ දවස්වල මට තිබුණ අපහසුව කියලා ලියුමක් භාර දුන්නා. නමුත් මට ලියුමක් නිකුත් කරලා තිබුණා මම සේවය පැහැර හැරියා කියලා. මම ඉන් පස්සේ රස්සාව ලබාගන්න විවිධ අය හමුවුණා. මට රස්සාවක් දෙන බවයි කියන්නේ. නමුත් තාම ලැබුණේ නැහැ.

ඇයගේ හඬ හැඬුම්බර ය. තම පියා සමඟ නව නිවසේ පදිංචිව සිටින දිස්නා සිටින්නේ දෙගිඩියාවෙනි. ඒ තම දරුවාගේ හෙට දවස ගැනය. අරණායකට යළිත් වැසි වැටේ. ඉස්සර මෙන් නොව දැන් පුංචි වැස්සටත් අරණායක අවට ජීවත්වෙන්නෝ කඳු ගැන විමසිල්ලෙන් සිටිති.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු
ඉනෝකා සමරවික්‍රම

Comments