සියවස් දෙකකින් පසු වතුකරයේ සිහිනය සැබෑ වෙයි | සිළුමිණ

සියවස් දෙකකින් පසු වතුකරයේ සිහිනය සැබෑ වෙයි

 1840 වර්ෂයේදී බ්‍රිතාන්‍යන් විසින් මෙරට කෝපි වගා කිරීම සදහා දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගන්නා ලද ජනතාව පසුව තේ හා රබර් කර්මාන්තය ආශ්‍රිතව කම්කරුවන් ලෙස යොදා ගන්නා ලදී. ඔවුන්ට සිය වාසස්ථාන ලෙස ලබා දුන්නේ ලයින් කාමර සහිත පේලි නිවාසයන්ය.

මිනිසාගේ මූලික අවශ්‍යතා අතර මුල් තැනක් ගෙන ඇත්තේ නිවාසයන් බව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. එහෙත් තමන්ගේම ගෙයක් දොරක් නැතිව මෙරටට පැමිණි ඒ ජනතාවත් ඔවුන්ගේ පසු පරම්පරාව උපන් දා සිටම මේ ලැයින් කාමරවල දිවි ගෙවූයේ ගෝත්‍රික ජනතාව ගෙවන දිවියට බොහෝ සමාන අයුරිනි. මේ වන විට අතිවිශාල පවුල් සංඛ්‍යාවක් එනම් පවුල් 172700 ක් උඩරට කඳුකරයේ තේ වතු ආශ්‍රිතව හා අනෙකුත් වතු ආශ්‍රිතව දිවි ගෙවති.

පියා, මව සහ වැඩිමහල් දරු දැරියන් මේ සියලු දෙනාම එකම කාමරයක් දිවි ගෙවිය යුතු විය. එසේම විවාහ වන තරුණ යුවළද බොහෝ විට පවුලේ පිරිස සමඟ එම එකම කාමරය තුළ දිවි ගෙවිය යුතු විය. මෙය සංස්කෘතික හා සමාජමය වශයෙන්ද විශාල ගැටලුවකට මඟ පාදන්නක් විය.

මේ ජනතාව ගෙවූ තෝත්‍රිකයන්ට සමාන දිවි පෙවෙතින් ඔවුන් මුදවා ගෙන නිවාස තනා දෙන්නට විවිධ අවස්ථාවලදී කතාබහට ලක් වුවත් ඒ සියල්ල කතා බහට පමණක් සීමා විය.

ඔවුන්ගේ මූලික අවශ්‍යතා පවා තේරුම් ගෙන කටයුතු කළ බවක් නොපෙනුණි. මේ නිසා ඔවුන් තව තවත් කබලෙන් ළිපට ඇදුණේ දිනෙන් දින ඉහළ යන වතුකරයේ ජනගහනයත් සමඟය.

වතු ආශ්‍රිතව ගෙවූ කම්කරු දිවියෙන් ඔබ්බට යන්නට ඔවුන්ට අවස්ථාවක් තිබුණේ නම් ඒ ඉතා අල්ප වශයෙනි. මේ ලයින් කාමර දිවිය ඒ සියල්ලටම හරස් විය. පොතක පතක වැඩක් කර ගැන්මට හෝ දරු දැරියකට අවස්ථාවක් නොවුණේ නිවසේ සිට සියල්ල කළ යුතු වූ නිසාය.

එයට විසඳුමක් ලබා දීම මේ රජයේ පොරොන්දුවක් විය. වතු ජනතාවට දේශපාලන පොරොන්දු හොඳට හුරුය. මේ පොරොන්දුවත් ඒ අනුවම දේශපාලන පොරොන්දුවක් බව ඔවුන් සිතුවද එය එසේ නොවීය.

වැවිලි ප්‍රජාවගේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා වන (2016-2020) පස් අවුරුදු ජාතික සැලැස්මක් 2016 මාර්තු මස 10වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී.

විශේෂයෙන්ම පලනි දිගම්බරන් මහතා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ලෙස ප්‍රතිනාම ගත කරන ලදි. අමාත්‍යාංශය භාර ගැනීමෙන් පසුව මේ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම ඇමැතිවරයා කඩිනම් කෙළේය.

ඒ අනුව වතු ජනතාවට නිවාස තැනීම වේගවත් හා ක්‍රමික බවින් යුක්තව ආරම්භ විය.

එය අති සාර්ථක විය. ඒ අනුව මේ වන විට නිවාස 5000ක් ජනතාව වෙනුවෙන් තනා නිවාස අයිතිය ඒ ජනතාවට පවරා දී ඇත. කාමර දෙකක පහසුකම් ඇති මුළුතැන්ගෙය සාලය ඇති මේ නිවාස ඔවුන්ට දිව්‍ය ලෝකයන් හා සමානය. එක දිග ලයින් පේලි නිවාසයන්හි දිවි ගෙවීමේ ජනතාව දැන් ඒ ගෝත්‍රික තත්ත්වයෙන් මිදී නව නිවාසයන්ට පැමිණීමේ සතුට ඔවුන්ගේ මුහුණු වලින් දක්නට ඇත.

ලක්ෂ 10ක් වටිනා නිවාස මේ ජනතාවට හිමි වන්නේ පර්චස් 07ක භූමියක අයිතියද සමඟිනි.

පසුගියදා මහනුවර, පුපුරැස්ස, ලෙවලන් වතුයායේ නව නිවාස ජනතා අයිතියට පැවරූ අතර පසුගිය 20 වැනිදා නුවරඑළිය - හැටන් - පූල්බෑන්ක් වතුයායේ ඉදිකල නිවාස ව්‍යාපෘතියේ නව නිවාස රැසක් ජනතා අයිතියට පැවරීම සිද කරන ලදී. අඬ බෙර නොගසා කරනු ලබන මේ නිවාස ව්‍යාපෘතීන් අපට මහා ලොකු වැඩක් ලෙස නොපෙනුනද එය එම ජනතාවට මහ මෙරක් ලැබුණා හා සමානය.

සාමාන්‍ය ජන දිවියෙන් බොහෝ ඈත්ව සිටි මේ අයට උරුම වූයේ උදෑසන කහට කෝප්පයෙන් සප්පායම්ව තේ දළු කැඩීම හා හවසට පැමිණ මොනවා හෝ කුසට දමා ගෙන නින්දට යාම පමණි. දරු දැරියන්ගේ පාසල් ගමන්ද එතරම් සාර්ථක වූ බවක්ද පෙනුණේ නැත. තේ දළු කර්මාන්තයට මේ දරුවන් යොදා ගන්නට මවුපියන් විසින් කටයුතු කරන්නේ දරුවන් කුඩා කළ සිටම තම ආදායම් මාර්ගය වැඩි කර ගන්නටත් කර්මාන්තය ඔවුන්ට හුරු කරන්නටත් අවැසි නිසාය.

දැන් මේ දරු දැරියනටත් තමන්ට හිමි නිවසක සිට අධ්‍යාපනය ලබන්නට හැකියාව ලැබී ඇත. සෙල්ලම් කරන්නට ක්‍රීඩා සිටියක් ලැබී ඇත.

පුස්තකාල ඇතුළු පොදු පහසුකම් සියල්ල හිමිව ඇත. පොදු වැසිකිළි භාවිත කළ ඔවුන්ට දැන් තමන්ගේ නිවෙසේ වැසිකිළි භාවිතයට අවස්ථාව හිමිව ඇත. පසුගිය කාලයේ ගැබිනි මවුවරුන්ට පවා මේ පොදු වැසිකිළිවල පෝලිමේ ඉන්නට විය.

එවන් දුක් ගැහැට විදි ජනතාවට මධ්‍යම කඳුකරයේ දිගම්බරන් ඇමැතිවරයා අතින් නිවාස බාර දීමේ උත්සවය පැවැත්වුණේ මහ මැසි මැදය.

විශේෂයෙන්ම මේ ගම්මාන සංකල්පය අනුව වර්ග අඩි 550ක නිවාස 1890ක් 2016 වසර අවසන් වන විට ජනතා අයිතියට පත්කරන ලදී.

2017 වසරේ නිවාස 10,000ක් සදහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර අමාත්‍යවරයාගේ අපේක්ෂාව 2020වන විට නිවාස ඒකක 50,000ක් වැවිලි ප්‍රජාව වෙනුවෙන් ඉදිකර දීමයි.

විශේෂයෙන්ම ඉන්දියානු රජයේ සහය ඇතිව වැවිලි ප්‍රජාව වෙනුවෙන් නිවාස 4000ක් ඉදිකිරීමට අමාත්‍යාංශය විසින් මේ වන විට පියවර ගෙන ඇත

වසර 200ක් පමණ පැරණි ලයින් කාමර පේලි වතුකරයේ තවදුරටත් දැකගත හැකිය. ඒවායේ වහල දිරාගොස් ඇති බැවින් නව නිවාස ඉදිකරන තෙක් අලුතින් සෙවිලි තහඩු සෙවිලි කිරීමටද මෙහිදී කටයුතු කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 81ක් වැයකර ඇත.

ලෝක බැංකු ආධාර යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හා මේ අමාත්‍යාංශය එක්ව පූර්ව ළමාවිය සංවර්ධනය සදහා වන පස් අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එහි සමස්ත ආයෝජනය ඇ.ඩො.මි. 10ක් වේ. වැවිලි ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 3-5 අතර දරු දැරියන්ගේ ළමා සංවර්ධන කටයුතු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වැඩිදියුණු කිරීම මෙහි අරමුණ වන අතර එයද වසර 2020 දී නිම කිරීමට නියමිතය.

මේ යටතේ ගොඩනැගිලි , ක්‍රීඩාපිටි සහ උපකරණද සහිතව ඉදිකිරීමට අපේක්ෂිත නව ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 140කි. එමෙන්ම වැවිලි ප්‍රදේශ තුළ වැඩිදියුණු කිරීම ආරම්භ කර ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 175කි. එමෙන්ම ක්‍රීඩා උපකරණද සහිතව නව ක්‍රීඩාපිටි 175ක් ඉදිවන අතර දැනට ඉදිකර ඇති ක්‍රීඩාපිටි 210ක් ද නවීකරණය කෙරේ.

වතුකරයේ නිවාස හිමි වූ සියලු ජනතාව මේ වන විට සිටින්නේ තමන්ගේ භූමිය යන හැඟුම්බර ආසාවකිනි. තම පරම්පරාව කෙසේ කුමන රටේ වුවද ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බව අප අමතක නොකළ යුතුය‍.

සේයාරූ - විමල් කරුණාතිලක
තාරක වික්‍රමසේකර

 

Comments