ආපදාව සමඟ මතුවූ මානුෂීය මෙහෙයුම් | සිළුමිණ

ආපදාව සමඟ මතුවූ මානුෂීය මෙහෙයුම්

පසුගියදා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා තබ්බෝව ජලාශයේ ජලය අධික ලෙස පිරී යත්ම එහි වාන් දොරටු විවෘත කරන්නට වාරි ඉංජිනේරුවන්ට සිදු වුණා. ඒ රාත්‍රී කාලයේ කවුරුත් නොසිතූ වේලාවක. ඇත්තෙන්ම ජලාශයක වාන් දොරටු අරින්නට සිදු වන්නේ අපට ඕන වෙලාවට නෙමෙයි. නමුත් එහිදී නොසිතූ විරූ දෙයක් සිදු වුණා. අධික ජල කන්දරාවක් වාන් දොරටුවලින් පිටවීම නිසා තබ්බෝව වැව අසල පහත් බිම් යටවුණා. මේ බව බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඔවුන් රාත්‍රියේ නින්දේ. රට රැක ගන්න දිවි නොතකා සටන් වැදුණු යුද හමුදාව මේ අවස්ථාවේදී පිහිටට ආවා. වහාම සියලු ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගෙන යන්නට යුද හමුදාව කටයුතු කළා. නාවික හමුදාවත් පසුව පැමිණ ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා. එසේ නොවුණානම් ඒ ජනතාවට නොසිතූ විරූ ලෙසින් දිවි අහිමි වෙන්නට පවා තිබුණා.

අපි මේ කිව්වේ පසුගියදා ඇද හැළුණු මහ වරුසාව නිසා සිදු වන්නට ගිය එක් විනාශයක් වළක්වා ගත්ත හැටි විතරයි.

ඒ විපත්වලින් 20කට අධික පිරිසක් මියගියත් හමුදාවේ මේ මානුෂීය ක්ෂණික මෙහෙයුම් නොවන්නට ජීවිත හානි මීටත් වඩා බොහෝ වැඩිවන්නට තිබුණා.

විශේෂයෙන්ම මේ සඳහා වැඩියෙන්ම ඇප කැපවී කටයුතු කෙළේ යුද හමුදාවයි. ගංවතුර හා නායයාම් ආපදා ඇති වන්නට පෙර සිටම යුද හමුදාවේ 1000ක බළ ඇණියක් ඒ සඳහා සූදානම් කර තිබුණා. වැස්ස වැඩි වීමත් එක්කම ඒ පිරිස 3000ක් දක්වා වැඩි කරන්නට යුද හමුදාපතිවරයා උපදෙස් දී තිබුණා. කොහොම වුණත් යුද හමුදාවේ දස්කම් නිසා මේ මෙහෙයුම් සඳහා අවශ්‍ය වුණේ 750ක පමණ පිරිසක් විතරයි. ඒ වගේම නාවික හමුදාවේද 1000ක පමණ පිරිසක් මේ මුදවා ගැනීම් හා සහන සේවා සඳහා සූදානමින් සිටියත් ඔවුන්ගේ පූර්ව සූදානම් ක්‍රමවේද නිසා අවශ්‍ය වුණේ 400ක පමණ පිරිසක් විතරයි.

ඒ වගේම ආපදාවට ලක් වු ප්‍රදේශවල සියලු පොලිස් නිලධාරීන් මේ කාර්යය සඳහා දායකත්වය සැපයූ බවයි පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ. එසේම ඒ මහතා අපට කිව්වේ. එසේමවිශේෂපුහුණුව ලද කණ්ඩායම් රැසක්ද මේ ගලවා ගැනීම සඳහා එක් කළහ.

මේ පිරිස් අධික ගංවතුර මෙන්ම අධික ලෙස මාර්ග අවහිරතා වළක්වාලමින් සලසන ලද සේවාව සුළුපටු නොවෙයි. මේ සහන සැලසීමේ සේවාවන්වලදී අපට අසන්නට දකින්නට ලැබුණු විශේෂම සිදුවීම් කිහිපයක් ගැන වාර්තා කිරීම සුදුසු බවයි අපට වැටහුණේ. එයින් එක් සිදුවීමක් වාර්තා වුණේ හොරණ, වගාවත්ත ප්‍රදේශයෙන්. නිවසක පැවැති දානමය පිංකමක් සඳහා වැඩම කළ මහා සංඝරත්නය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් එම නිවසට යාමට නොහැකිව අතරමංව සිටි අවස්ථාවක 582 වන බලසේනාවේ භට පිරිස් ජලයේ වූවද ධාවනය කළ හැකි WMZ වර්ගයේ සන්නද්ධ රථයකින් එම භික්ෂූන් වහන්සේ වැඩම කිරීමට කටයුතු කළා. ‘මේ වැස්සේ මොන දානද?’ කියල අහපු පිරිස්වලට හමුදාවෙන් ඒ විදිහටයි පිළිතුරු ලැබුණේ.

ඒ මේ මානුෂීය මෙහෙයුම් එක් සිදුවීමක් විතරයි. ඊටත් වඩා ඇඟ කිලිපොළා යන කතාවක් අපට අසන්නට ලැබුණේ මාරවිල තොඩුවැව ප්‍රදේශයෙන් ගංවතුරෙන් අවතැන් වූ පිරිස් බේරා ගෙන සිටියදී තනිවම සිටි ගැබිනි කාන්තාවකට කිසිවක් කර කියා ගත නොහැකිව ඇය අතරමං වුණා. විදුලිය බලය නොමැති නිසා දුරකතන පණිවුඩයක්වත් ලබා දෙන්නට ඇයට හැකියාවක් තිබුණේ නැහැ. කොහොම වුණත් 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් වෙත ඒ ගෙදර ගැබිනි කාන්තාවක් සිටි බව දැන ගන්නට ලැබුණා. ඒ වන විට නිවසේ ගේට්ටුවද පෙනෙන නොපෙනෙන තරමට ජලයෙන් යට වී තිබුණා. වහා ක්‍රියාත්මක වූ ඔවුන් නිවසේ මේසයක් මත නැඟී ඉතාම අවදානම් ලෙස සිටි ඇය මුදාගෙන එන්නට සමත් වුණා. තවත් පැයක් දෙකක් පමා වූවානම් ඇයගේ ජීවිතය අනතුරට පත් වන්නට හොඳටම ඉඩකඩ තිබුණා. ඒ පසුගිය 24 වැනිදා. ඇය මුදාගෙන යුද්ධ හමුදා ට්‍රක් රථයක් ආධාරයෙන් මාරවිල රෝහලට ඇතුළත් කළා.

මීට අමතරව ඇවිද ගත නොහැකිව සිටි වයෝවෘද්ධ අය මෙන්ම කුඩා දරුවන්ද සුරතල් සතුන් මෙන්ම ගැබිනි මවුවරුන් රැසක් ඔසවාගෙන එන්නට ඔවුන් කටයුතු කළා.

ඒ සිදුවීම් දුටු අපට මතක් වුණේ අවසන් සටනේදී නන්දිකඩාල් කළපුවෙන් පැමිණි වයෝවෘද්ධ දෙමළ ජාතික ආත්තම්මාවරුන් ඔසවාගෙන පැමිණි ආකාරයයි.

මේ හා සමානවම විශාල සේවාවක් කරන්නට නාවික හමුදාවත් කටයුතු කළා.

විශේෂයෙන්ම කිව යුතු වන්නේ ඔවුන් ගැබිනි මවුවරුන් 9 දෙනකු බේරා ගැනීමයි. වතුර අඩි 4ක් පමණ තිබූ අවස්ථාවක ඒ මවුවරුන් සිටියේ ඉතාම අවදානම් අඩියකයි.

එසේම ගංවතුරට කොටුවී ගසා ගෙන යාමට ආසන්නව සිටි ගැබිනි මවක් සහ මාස තුනක දරුවකුද බේරා ගැන්මට ඔවුන් කළ මෙහෙය අපමණයි.

නාත්තන්ඩිය මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන් කළ වෑන් රථයක් නොසිතූ විරූ ලෙස සැඩපහරට හසුවී ගසා ගෙන යමින් තිබුණේ පසුගිය 24 වැනිදා අලුයම 4.00ට පමණ. පැය 24ම අවධානයෙන් සිටි නිසා ඒ වෑන් රථයක් සහ ඒ තුළ සිරවී සිටි පුද්ගලයන් දෙදෙනාද නිරුපද්‍රිතව ආරක්‍ෂිත ස්ථාන වෙත ගෙන ඒමට නාවික හමුදා සහන සැලසීමේ කණ්ඩායමක් සමත් වුණා.

ඒ විතරක් නෙමෙයි මතුගම, මෝල්කාව ප්‍රදේශයේ අවමංගල්‍ය නි‍ෙවසක මෘත දේහයක් ගංවතුර හේතුවෙන් රැගෙන යාමට අපහසුවී අවමංගල්‍ය කටයුතු සිදු කර ගැන්මට නොහැකිව තිබියදී නාවික හමුදා සහන කණ්ඩායමක් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දී අවශ්‍ය කටයුතු සම්පාදනය කළා.

අපි මේ කිව්වේ යුද හා නාවික හමුදා සහන කණ්ඩායම් විසින් සිදු කළ සහන සැලසීම් කිහිපයක් ගැන විතරයි. මේ සහන කණ්ඩායම් පැය 24ම අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම නිසා ජීවිත හා දේපොළ අපේ වටිනා වාරි කර්මාන්තත් රැක ගන්න පුළුවන් වුණා.

විශේෂයෙන්ම නිකවැරටිය උඩුනෝව වැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත් භූමි වෙත ජලය කාන්දුවෙන ස්ථානයන්හි වැලි කොට්ට ඇතිරීම සඳහා 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සමන්විත භට පිරිසක් කටයුතු කළා. එසේම මල්වාන, පාහුරුඔය ප්‍රදේශයේ බිඳිගිය කැලණි ගඟේ බැම්ම වැලි කොට්ට අතුරා ජලය කාන්දුවීම වළක්වා ගැනීමටත් යුද හමුදාව සමත් වුණා.

ඒ වගේම කරුවලගස්වැව, මෝරියකුලම ඇළ මාර්ගයේ ජල මට්ටම ඉහළයාමෙන් බැම්ම බිඳී ගොස් ප්‍රදේශය ජලයෙන් යටවීම වළක්වා ගැනීමටත් යුද හමුදාව කටයුතු කළා. මෙවන් කාර්යයන් රැසක් කරන්නට ත්‍රිවිද හමුදාවටත් පොලිසියටත් හැකි වුණේ මීට පෙර වසරවල ලත් අත්දැකීම් ඇසුරෙන් තිබූ පූර්ව සූදානම නිසයි. ආපදාව පැමිණෙන තුරු සිට ඊට මුහුණ නොදී ආපදාවක් ඇතිවන බව වැටහී යන අවස්ථාවේදීම ත්‍රිවිධ හමුදාවම ඒ සඳහා සූදානම් කර තිබූ බවයි හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ. උදාහරණයක් වශයෙන් ඇහැලියගොඩ, බුලත්කොහුපිටිය වැනි ප්‍රදේශවලට වැසි ඇද වැටෙන විටම බෝට්ටු යැවීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දැනුම් දීම පරිදි කටයුතු කළ බවද ඒ මහතා කිව්වා. මේ නිසා ආපදා අවම කර ගැනීමටත් ගුවන් හමුදාවේ සහායක අවශ්‍යතාවයෙන් තොරව සහන සැලසීමට හැකි වූ බවයි ඒ මහතා පැවසුවේ. ගුවන් හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවම කටයුතු කෙළේ කඩුවෙල පාලම බිඳී ගිය අවස්ථාවේදී පමණක් බවත් ඒ මහතා කිව්වා.

එසේම ආපදාවක් සඳහා අවශ්‍ය වන සියලු උපකරණ ආපදා රථ මෙන්ම ප්‍රථමාධාර ඒකක ආහාර බෙදීමට අවශ්‍ය කරන උපකරණ හා අනෙකුත් සියලු දේ පූර්ව ලෙසින් සූදානම් කළ නිසා මේ කටයුතු පහසුවෙන් සිදු කරන්නට හැකි වූ බවයි ඒ මහතා පැවසුවේ.

අවදානමට පෙර සූදානම තිබූ නිසා මෙවර විශාල විනාශයන් වළක්වා ගැනීමට හැකි වූ බවයි අපට පෙනී යන්නේ. ඒ වගේම අපටත් මේ ආපදාවන් තරමක් හෝ වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ අප අවට පරිසරය පිරිසුදු කර ගත්තොත් පමණයි. විශේෂයෙන්ම ජල මාර්ග අවහිර වී තිබූ බොහෝ ස්ථානවල තිබී ඇත්තේ හිස් ප්ලාස්ටික් බෝතල් හා අපි කවුරුත් දන්නා සිලි සිලි බෑග්.

ආපදාවන් අප ඇති කරගෙන ඇති බවයි මේ අනුව පෙනී යන්නේ. හමුදාවට කළ හැකි උපරිම සේවාව ඔවුන් විසින් දිවා රෑ මෙන්ම ආහාර පාන ලබා ගන්නා වේලාවන් පවා නොබලා සිදු කළා විශේෂයෙන්ම වර්ෂාවෙන් අනිවාර්යෙන්ම බලපෑම් ඇති වන රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවලට විශේෂ අවධානයක් යොමු කර ආරම්භයේ සිටම නිසි අවබෝධයක් ලබා ගෙන භූමිය හා පරිසරය ගැන ලබාගත් අවබෝධය නිසා මේ කටයුතු සියල්ල පහසුවෙන් කර ගැන්මට හැකි වූ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

සරලව පවසන්නේ නම් ආපදාවන්හි සියලුම මෙහෙයුම් කාර්යයන් සිදු කරන්නට හමුදාව කළ මෙහෙය අප අගය කළ යුතු වෙනවා. ඒ මානුෂීය මෙහෙයුම් පිළිබඳව ඔවුන්ට ඇති අවබෝධය නිසයි.

 

Comments