ඉන්දියාව පුරා ප්ලාස්ටික් මාර්ග | සිළුමිණ

ඉන්දියාව පුරා ප්ලාස්ටික් මාර්ග

ප්ලාස්ටික් මේ වෙද්දී මිනිසාට අත්‍යවශ්‍යම වූ මෙන්ම පරිසරයට මහත්ම ව්‍යසනයක් සිදු කෙරෙන අමුද්‍රව්‍යයක් වී හමාරය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදුවන මේ මහත් පරිසර හානිය නිසා මෙවර ලෝක පරිසර දින තේමාව ප්ලාස්ටික් අවභාවිතය පිටුදකිමු යන්නය. එහෙත් අප අසල්වැසි රටවන ඉන්දියාව ප්ලාස්ටික්වලින් උපරිම ඵල නෙළා ගන්නේ එරට මහා මාර්ග තැනීම සඳහා ප්ලාස්ටික් යොදා ගනිමිනි.

ඉන්දියාව යනු ලොව දෙවැනි විශාලතම මහා මාර්ග පද්ධතිය සහිත රටය. එසේම ස්වභාවික ආපදා බහුල එරට මහා මාර්ග නිරන්තරයෙන් අබලන් වීම නිසා සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාවද අති මහත්ය. මෙයට අපූරු පිළියමක් යෙදුවේ එරට රසායන විද්‍යා මහාචාර්යවරයකු වන රාජගෝපාලන් වාසු‍දේවන්ය. අද ලෝකයම ඔහු හඳුන්වනුයේ ඉන්දියාවේ ප්ලාස්ටික් මිනිසා ලෙසිනි. ඔහු විසි එක්වැනි සියවසේ මහා මාර්ග තැනීම සඳහා නවතම තාක්ෂණයක් හඳුන්වා දීමට සමත් විය. වාසුදේවන් මහාචාර්යවරයා විසින් සංවර්ධනය කරන ලද නව තාක්ෂණය අනුව මේ වෙද්දී ඉන්දියාව පුරා ප්ලාස්ටික් මහා මාර්ග කිලෝ මීටර් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් තනා ඇතැයි 2017 වසරේ ලෝක ආර්ථික විද්‍යා ෆෝරමයේ වාර්තාව හෙළි කරයි.

ඉන්දියවේ පළමු ප්ලාස්ටික් මහා මාර්ගය වන්නේ චෙන්නායි හි ජම්බුලිංගම් පාරය. එය තැනුණේ මීට වසර 15කට පෙරය. එහෙත් එතැන් පටන් නව තාක්ෂණය ඔස්සේ පර්යේෂණ කරමින් මෙලෙස රටපුරා ප්ලාස්ටික් මහා මාර්ග තැනීම මහා පරිමාණව ආරම්භ කෙරුණේ පසුගිය ව‍සරේ ඔක්තෝබර් මාසයේ සිටය. ප්ලාස්ටික් යොදා තනන මාර්ග දැඩි ගං වතුර තත්ත්වයනට හා දැඩි උෂ්ණත්වයට ද ඔරොත්තු දෙමින් හොඳින් ජලය බැස යෑමට හේතුවන බවත් එකී වාර්තාවේ සඳහන්වේ.

ඉන්දියාවේ දෛනික කසළ බැහැර කිරීම ටොන් 15000 ඉක්මවයි. ඉන් කසළ ටොන් 9000ක් දිනපතා ප්‍රතිචක්‍රීයකරණයට ලක්වේ. ප්ලාස්ටික් අමුද්‍රව්‍ය තෝරා පිරිසුදු කර වියළා ඉතා කුඩා අංශු බවට පත්කර සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයක් යටතේ උණුකර ගැනීමෙන් මාර්ග තැනීම සඳහා යොදා ගන්නා තාර මිශ්‍රණයට එකතු කිරීම සිදුවේ. එලෙස ප්‍රතිචක්‍රීයකරණය කළ ප්ලාස්ටික් යොදා තනන මාර්ග සම්ප්‍රදායානුකූලව මහාමාර්ග තැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍යවලින් තනන මාර්ගවලට වඩා තුන් ගුණයකින් ශක්තිමත් බව පර්යේෂණවලින් ඔප්පු වී තිබේ. ප්ලාස්ටික් මහා මාර්ග සඳහා වන වියදම අඩුවීම හා කල් පැවැත්ම වැඩිවීම නිසා දැන් ඒ සඳහා දැඩි උනන්දුවක් ඉන්දියාව පුරා ඇතිවී ඇත. මෙලෙස මහා මාර්ග තැනීමට ප්ලාස්ටික් යොදා ගැනීම නිසා පරිසර දූෂණය අවම වී රැකියා උත්පාදනයක් ද සිදුව ඇතැයි ඉහත කී වාර්තාව පෙන්වා දෙයි. දැන් එරට කසළ එකතු කරන්නන් එකතු කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සියල්ල මිලදී ගනු ලබන්නේ මාර්ග ඉදි කරන්නන් විසිනි.

නෙදර්ලන්තයේ ද දැනටමත් මේ තාක්ෂණය යොදා ගන්නා අතර යුරෝපය පුරාද දැන් ප්ලාස්ටික් මාර්ග ‍කෙරෙහි අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ ප්ලාස්ටික් මාර්ග කෙරෙහි දැඩි අවධානයක් යොමුවීමත් සමඟ රජය මගින් ඉදිරි පස් වසර පුරා රට පුරා මාර්ග කිලෝ මීටර් 83677ක් ඉදි කිරීමේ ව්‍යපෘතිය සඳහා ඉන්දියානු රුපියල් ට්‍රිලියන 6.9 ක මුදලක් යොදවා තිබේ.

ද ගාඩියන් ඇසුරෙනි 

Comments