ඉන්‍ද්‍රිය ස්වභාවයන් දක්නා ඥානය | සිළුමිණ

ඉන්‍ද්‍රිය ස්වභාවයන් දක්නා ඥානය

 ලෝකයේ අවබෝධ කළ සියල්ල තම නුවණින් ම අවබෝධ කළ හෙයින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වේ. සියලු ධර්මයන් මනා කොට අවබෝධ කළ හෙයින් උන්වහන්සේට කිසිදු කරුණක් පිළිබඳ විමතියක් හෝ වැරදීමක් සිදු නොවේ. අතීත, වර්තමාන, අනාගත වශයෙන් පවත්නා සියල්ල තත් වූ පරිද්දෙන් ම උන්වහන්සේ අවබෝධ කරගෙන ඇත. එසේ අවබෝධ කළ ධර්මයන් අතර සත්ත්වයින්ගේ ශ්‍රද්ධා, වීර්යය ආදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණුව හා පරිහාණිය පිළිබඳ අවබෝධ කිරීම ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකිය. දසබල ඥාන අතර විද්‍යමාන සයවන ඥානයෙන් ප්‍රකාශ කරන්නේ එම ඥානය පිළිබඳව යි.

එය මෙසේ විග්‍රහ කොට ඇත.

“පුන ච පරං සාරිපුත්ත තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති...”

ලොව වසන අන්‍ය වූ සත්ත්වයන්ගේ හෝ අන්‍ය වූ පුද්ගලයන්ගේ ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වී ඇති බව හෝ නොමැති බව දැනගන්නා ඥානය මෙයින් විග්‍රහ කොට ඇත. සාමාන්‍ය ඥානයෙන් මේ පිළිබඳ අවබෝධ කළ නොහැකිය. එය ඉතා ගැඹුරු කරුණකි. පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය දියුණුව හෝ පරිහාණිය තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට පවා දුෂ්කර ය. එයින් ම මෙම ඥානයෙහි පවත්නා සුවිශේෂී බව සහ ගැඹුරු ස්වභාවය තේරුම් ගත යුතු ය. ධර්මය විග්‍රහ කිරීමේදී තවත් කෙනෙකුට එය වැටහෙන ආකාරයෙන් ඔවුන්ගේ චරිත ස්වභාවයන් දැක දේශනා කිරීමට තථාගතයන් වහන්සේ සමත් වෙති.

අන්‍යයන්ට දමනය කිරීමට නොහැකි වූ සත්ත්වයන් දමනය කිරීමට හා අන්‍යන්ට ධර්මය අවබෝධ කරවීමට නොහැකි වූ සත්ත්වයින්ට ධර්මාවබෝධය ලබා දීමට තථාගතයන් වහන්සේට හැකි වූයේ උන්වහන්සේ තුළ පවත්නා මෙම ඥානය හේතුවෙන් ය. මෙම ඥානයේ පවත්නා ගැඹුරු හා පෘථුල ස්වභාවය විවිධ පර්යායෙන් ධර්මය තුළ විග්‍රහ කොට ඇත. විභංග පාලියේ මෙම ඥානයේ ස්වභාවය මෙසේ විග්‍රහ කොට ඇත.

“ඉධ තථාගතො සත්තානං ආසයං පජානාති, අනුසයං පජානාති, චරිතං පජානාති, අධිමුත්තිං පජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛ්න්ද්‍රියෙ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති.”

මෙහි දැක්වෙන කරුණු දීර්ඝව සාකච්ඡා කළ යුතු හෙයින් මෙහි සංක්‍ෂිප්ත වශයෙන් පමණක් දක්වනු ලැබේ. ඒ ඒ සත්ත්වයින් තුළ විද්‍යමාන කරුණු තථාගතයන් වහන්සේ දක්නා ආකාරය මෙහි විග්‍රහ කොට ඇත.

ආශය වශයෙන් දක්වා ඇත්තේ වාසය කරන ස්ථානය යි. එනම් යම් කිසි දෘෂ්ටියක් ආශ්‍රය කොටගෙන එහි ඇසුරු කරමින් වාසය කරයි නම් එයට අනුසාරයෙන් මෙම නාමය භාවිත වේ. අනුසය නම් අප්‍රහීණ ස්වරූපයෙන් සන්තානය තුළ පවත්නා ක්ලේශ ධර්මයන් ය. එම ධර්ම සතක් (07) වශයෙන් දක්වා ඇත. කාමරාගානුශය, භවරාගානුශය, පටිඝානුශය, මානානුශය, දිට්ඨානුශය, විචිකිච්ඡානුශය, අවිද්‍යානුශය යනුවෙන් එම ධර්ම දක්වා ඇත.

අනුශය ධර්මයන්ගේ ස්වභාවය නම් සන්තානය තුළ කෙලෙස් නිදා සිටින අවස්ථාව යි. කුසල ධර්මයන් සිදු කිරීමට හෝ ධ්‍යානාදිය වැඩීමට අනුසය ධර්මයන්ගේ බාධාවක් නොමැත. රූපාවචර, අරූපාවචර ධ්‍යාන උපදවා, පඤ්ච අභිඥා, අෂ්ට සමාපත්ති උපදවාගෙන මහත් වු සෘද්ධි බල ඇතිව වාසය කරන අවස්ථාවේද මෙහි දක්වන ලද අනුසය ධර්මයන් සන්තානය තුළ පවතී. එම අනුසය ධර්මයන් ප්‍රහාණය කළ හැකි වන්නේ සාමාන්‍ය කුසල ධර්මයන්ගෙන් නොව මාර්ග චිත්තයන්ගෙනි. මෙම අනුසය ප්‍රහාණය අතිශය දුෂ්කර ය. අනුසය ධර්මයන් කොතෙක් සියුම් ලෙස පවතීද යනු ඇතැම් විට වර්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් කිසිදු ක්ලේශයක් මතුපිටට නොපැවතී නිදන්ගතව පවතී.

නේවසංඥානාසංඥා නම් වූ අරූපාවචර ලෝකය තුළ වාසය කරන මහාකල්ප අසූහාර දහසක් වැනි දීර්ඝ කාලය පුරා කිසිදු ක්ලේශයක් නූපදී. එහෙත් එම කාලය පුරා මෙම අනුසය ධර්මයන් සිත තුළ නිදා සිටියි. කවර කලෙක හෝ එයින් චුත වී බොහෝ කාලයක් ගත වු පසු යම් කලෙක කාම ලෝකයක් තුළ ප්‍රතිසන්ධිය ලබා සිටින අවස්ථාවේ යම් යම් අරමුණු සම්මුඛ වීමෙන් නිදා සිටි අනුසය ධර්මයන් ක්‍රියාත්මක වන්නට පටන් ගෙන සත්ත්වයා නැවත නැවත නරකාදී දුර්ගති ලෝකයන් කරා පමුණුවීමට මෙම අනුසය ධර්මයන් සමත් වේ.

ඇතැම් විට අනුසය ධර්මයන්ගේ පවත්නා සියුම් බව නිසා පැවිදි වී ධ්‍යාන උපදවා සිටි තෙරුන් වහන්සේලා තමන් දැන් රහත් ඵලයට පත් වී ඇතැයි සිතා රැවටුණු අවස්ථා ද තිබේ. එයට හේතුව ඇතැම් ක්ලේශ ධර්මයන් අවුරුදු තිහ හතලිය පුරා හටගෙන නොතිබී අනුසය වශයෙන් නිදන්ගතව පැවතීම ය. සත්ත්වයා දිගන් දිගට නොනැවති සසර තුළ ගමන් කරන්නේ මෙම අනුසය ධර්මයන් හේතුවෙනි.

එසේ හෙයින් මාර්ග ඵලයන් උපදවා අනුසය ප්‍රහාණයකින් තොරව සසර කෙළවර කළ නොහැකි ය.

ඇතැම් පුද්ගලයින් තමාගේ සැබෑ ස්වරූපය නොදැන සිටිය ද තථාගතයන් වහන්සේ ඔහු කවර වූ ස්වභාවයකින් යුතු පුද්ගලයෙක් ද යන්න නිවැරදිව දැන සිටියහ. කෙතරම් උසස් ලෙස සිටිය ද ඔහු කවර වූ ස්වභාවයන්ට පත් වන්නේ ද යන්න පිළිබඳ ඥානය තථාගතයන් වහන්සේට පවතී.

ඉන්ද්‍රියපරොපරියත්තේ ඥානයෙන් තථාගතයන් වහන්සේ සත්ත්වයින් චරිත වශයෙන් ද අවබෝධ කොට ගනිති. මෙහි සත්ත්වයින්ගේ චරිත වශයෙන් දක්වා තිබෙන්නේ ඒ ඒ සත්ත්වයින් විසින් පූර්ව භවයන්හි සිදු කරන ලද කුසලාකුසල කර්මයන් පිළිබඳව යි. අපගේ ජීවිතය සැකසෙන්නේ කර්මයට අනුව ය.

පූර්ව භවයන්හි අප ජීවිත ගත කළ ආකාරයට අනුසාරයෙන් මෙම ජීවිතය සැකසී ඇත. අප බහුල වශයෙන් සිදු කරන ලද කර්මයන් අනුව අපගේ චිත්ත සන්තානය ගමන් කරයි. ජීවිතයේ ස්වභාවය තේරුම් ගැනීම පහසු නොවන්නේ මෙවැනි කර්මයන්ගේ බලපැවැත්මක් ඇති හෙයිනි.

ඇතමුන්ගේ සන්තානය තුළ කෙලෙස් බහුල ලෙස වැඩී තිබේ. අධික කාමයන්ගෙන් යුක්ත, නිතර නිතර ද්වේෂයෙන් පසුවන ස්වභාවයෙන් යුක්ත පුද්ගලයින් මෙයට සමාන ය. ඔවුහු මහා රජක්ඛ නම් වේ. එනම් කෙලෙස් බහුල ලෙස සන්තානයෙහි වැඩී තිබෙන පුද්ගලයින් ය. ඇතමුන් ඉතා සාමාකාමී ස්වරූපයෙන් සිටිනු දැකිය හැක. එවැනි පුද්ගලයින් අල්ප රජක්ඛ නම් වේ.

ධර්මාවබෝධයට අතිශය වැදගත් ධර්මයන් ලෙස ඉන්ද්‍රිය ධර්මයන් දැක්විය හැක. සද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා යනු එම ඉන්ද්‍රිය ධර්මයන් ය. කුසල ධර්මයන් භාවිත කිරීමෙන් සන්තානය තුළ නැවත නැවත වැඩීමෙන් දියුණු කරගත් ඉන්ද්‍රිය ඇති පුද්ගලයෝ තික්ඛින්ද්‍රිය නම් වෙති. නැවත නැවත ආසේවනයෙන් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු නොකළ පුද්ගලයෝ මුදින්ද්‍රිය නම් වේ.

සසර පුරා සිදු කරන ලද මෙවැනි අනේකප්‍රකාර ක්‍රියා හේතුවෙන් ලෝකය තුළ විවිධ ස්වරූපයෙන් යුතු පුද්ගලයන් දක්නට ලැබේ. තථාගතයන් වහන්සේ තුළ විද්‍යමාන මෙම ඥානය තුළින් පුද්ගලයින්ගේ සැබෑ ස්වරූපය උන්වහන්සේ මනා කොට අවබෝධ කොට ගනිති. එසේ හෙයින් ලෝකයේ කිසිදු දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට හෝ මිනිසෙකුට තථාගතයන් වහන්සේ මුලා කළ නොහැකි ය.

එසේ ම උන්වහන්සේ රැවටිය නොහැක. කිසිදු දෙයක් උන්වහන්සේගෙන් සැගවිය නොහැක. තමා කෙතරම් දරුණු ක්‍රියා කළ ද සැබවින් ම ඔහු එවැනි ස්වභාවයකින් යුක්ත නොවන බව තථාගතයන් වහන්සේ මෙම ඥානය ඔස්සේ අවබෝධ කර ගත්හ. මිනිසුන් දහස් ගණනක් මරා දැමූ අංගුලිමාල එවැනි දරුණු පුද්ගලයකු නොවන බව උන්වහන්සේ විසින් දැන ඔහුගේ යථා ස්වභාවය මතු කරමින් අර්හත්වයට පැමිණවීමට කටයුතු කරන ලදි. දෙව්දත් තෙරුන් වහන්සේ පැවිදි වී සිටිය ද දරුණු සිත් ඇත්තෙකු බව තථාගතයන් වහන්සේ පළමුව අවබෝධ කර සිටිය හ.

සාමාන්‍ය ජීවිතයේ අප අන්‍යයන් පිළිබඳ විශ්වාස කරනුයේ හෝ ඔවුන් මෙවැනි පුද්ගලයින් විය යුතු යැයි නිගමනය කරනුයේ බාහිර ස්වරූපයන් ආශ්‍රයෙනි.

ඔවුන්ගේ ක්‍රියාවන්, වචන අනුව මෙවැනි පුද්ගලයෙක් යැයි සිතා ඔවුන් ඇසුරු කරනු ලබ යි. ඇතැම් විට තමා කිසි කළෙක නොසිතු යමක් ඔවුන් කළ විට ඔබ පුදුමයට පත් වේ. ඔහු මෙවැන්නක් කළේ කෙසේ ද යන්න ප්‍රශ්න කර යි. ඇතැම් විට එවැනි පුද්ගලයින් සමග ගැටුම් ඇති කර ගනියි. ඔවුන්ගේ ක්‍රියාවන් විවේචනය කරමින් දෝෂාරෝපණය කරයි.

එවැන්නක් සිදු වූයේ පුද්ගලයින්ගේ සැබෑ ස්වරූපය අවබෝධ කළ හැකි ඥානයක් නොපැවති හෙයිනි.

පුද්ගල ස්වභාවයන් අවබෝධ කිරීම මෙසේ අතිශය දුෂ්කර හෙයින් අප කිසිවිට අන්‍යයන් සමග ගැටුම් ඇතිකොටගත යුතු නොවේ. අප ‘දරුණු‘ යැයි සිතන පුද්ගලයන් සැබවින් ම දරුණු නොවීමට පුළුවන, අප ‘හොඳයි, ගුණවත්‘ යැයි සිතන පුද්ගලයින් එසේ යහපත් නොවීමට ද පුළුවන. පුද්ගල ස්වභාවය එවැන්නකි. අප වැරදියට ලෝකය තේරුම් නොගෙන සැබෑ ස්වරූපයෙන් ලෝකය දැකීමට උත්සහවත් විය යුතු ය.

ඒ ඒ ක්‍රියාවන් ලෝකයට විද්‍යමාන වීම පුද්ගල දෝෂයක් නොව එය සසර තුළ ඇති කොටගත් චින්තනයේ ඵලයකි. අප කිසිවිට පුද්ගලයන් හොඳ නරක වශයෙන් බෙදීමට උත්සහ නොකළ යුතු ය. එයට හේතුව එය සාමාන්‍ය ඥානයකින් දැකීමට නොහැකි වීම ය. සාරිපුත්ත තෙරුන් වහන්සේ තම අතවැසි ස්වර්ණකාර තෙරුන් රාග චරිතයක් යැයි ඔහුගේ ස්වරූපය අවබෝධ කොට එම තෙරුන්ට පිළිකුල් භාවනා කර්මස්ථානය වඩන්නට උපදෙස් දෙන ලදි.

එහෙත් මාස හතරක් වැනි කාලයක් එම කර්මස්ථානය වැඩුව ද කිසිදු ප්‍රතිඵලයක් දක්නට නොවුණු හෙයින් එම තෙරුන් බුදුරදුන් අභිමුවට පමුණුවන ලදි.

බුදුරදුන් ඔහු රාග චරිතයක් නොව පූර්ව භවයෙහි බොහෝ කාලයක් රන් භාණ්ඩ නිපදවන අයෙක් වශයෙන් කටයුතු කොට ඇති හෙයින් නිරතුරුව ප්‍රිය ආරම්මණයන් ඔස්සේ ඔහුගේ සිත ගමන් කරන බව අවබෝධ කරගන්නා ලදි.

එසේ හෙයින් ඔහුට නුපුරුදු පිළිකුල් අරමුණු ඔස්සේ අවුරුදු සියයක් සිත පුරුදු කළ ද දියුණුවක් ලද නොහැකි ය.

බුදුරජාණන් වහන්සේ විසින් දුන් ඔහුට ගැලපෙන ආකාරයෙන් ම රනින් නිර්මාණය කළ නෙළුම් මලක් කමටහන වශයෙන් දී සිත එකඟ කිරීමට සලස්වා ධර්මය පහදා දී එක් වරුවකින් ම අර්හත්වයට පමුණුවන ලදි.

මෙයින් ම පුද්ගල ස්වරූපය දැක ගැනීම කෙතරම් අසීරුද යන්න තේරුම් ගත යුතු ය. බුදුරජාණන් වහන්සේ මෙවැනි ආකාරයෙන් පුද්ගලයින් සතු සියලු විස්තරයන් තම ඥානයෙන් අවබෝධ කොට ම ධර්මය දේශනා කළ බව අවබෝධ කොටගත යුතු ය. 

Comments