කානුවල ප්ලාස්ටික් සිරවීම ගංවතුරට ප්‍රධාන හේතුවක් | සිළුමිණ

කානුවල ප්ලාස්ටික් සිරවීම ගංවතුරට ප්‍රධාන හේතුවක්

 අලුත්ම විද්‍යාත්මක පර්යේෂණ අනුව ප්ලාස්ටික් අප රටට ලොකු පාරිසරික තර්ජනයකි. මධ්‍යම පරිසර අධිකාරිය හා කැලණිය සරසවියේ විද්‍යාඥයන් කළ පර්යේෂණ අනුව අ‍ෙප් රටේ එක් දිනකට ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 50ක් අවට පරිසරයට එක්වෙයි. එමෙන් ම දිනකට සිලි සිලි බෑග් ලක්ෂ 200ක් හා ලන්ච් සීට් ලක්ෂ 150ක් ද අප අවට පරිසරයට එක් කරන බව එම පර්යේෂණවලින් ‍ෙහළිවී ඇතැයි පරිසර විද්‍යාඥයෝ කියති.

පසුගිය ගංවතුර පිළිබඳව පරිසරවේදීන් කළ අලුත් ම ගවේෂණය අනුව ගම්පහ පුත්තලම කුරුණෑගල වැනි ප්‍රදේශවල පිටාර වතුරට ප්‍රධාන හේතුවක් වී තිබුණේ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මගින් කානු ප්‍රමුඛ ජල මාර්ග අවහිරවීමයි.

විශේෂයෙන් ප්‍රධාන නගරවලට වැස්ස වැඩිපුර වැටුණු විට කානුවල තිබූ ප්ලාස්ටික් වතුර ගලා බසින ජල මාර්ගවල සිරවෙයි. එවිට පිටාර ජලය වැඩිවී ගංවතුර ඇතිවේ.

අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ඇති සයන්ස් සඟරාවේ 2015 කලාපයක පළවූ ඇමෙරිකාවේ ජෝජියා විශ්ව විද්‍යාලයේ ජෙනා ජැම්බොක් නමැති පරිසර විශේෂඥවරිය ලියූ ලිපියකට අනුව ශ්‍රී ලංකාවේ මුහුද හා වෙරළ ලෝකයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණයෙන් පස්වැනි ස්ථානයට පත්ව තිබේ.‍

ඒ ලිපියට අනුව අපේ රට වටා ඇති වෙරළ මඟින් වසරකට ප්ලාස්ටික් රාත්තල් දස ලක්ෂයක් මුහුදට එක්වේ. කෙසේ වුවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි රුහුණු සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ මෙරට ප්‍රධාන ගංගාවලින් හා සංචාරක කලාපවලින් වන ප්ලාස්ටික් මගින් අපේ මුහුද වැඩිපුර දූෂණයට ලක්වෙන බවයි.

ඒවා වැළැක්වීමට රජය දැන් පියවර ගනිමින් සිටින බව ද ටර්නි මහතා පවසයි.

අපේ රටේ සිරිපා සමයකදී ප්ලාස්ටික් හා පොලිතින් මෙට්‍රික් ටොන් 5ක් එකතුවෙන බව ප්ලාස්ටික් පොලිතින් පිළිබඳව දැඩි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ ඩී.පී. මුණවීර මහතා පවසයි.

“ලෝකයේ අමෙරිකාව, එංගලන්තය ඉන්දියාව වගේ රටවල් පොලිතින් තහනම් කර තිබෙනවා ඒ අය කඩදාසි හා කාඩ් බෝඩ් බෑග් පාවිච්චි කරනවා. අපිටත් ප්ලාස්ටික් පොලිතින් තහනම් කරන්න පුළුවන් අපට ස්වභාව ධර්මයෙන් විකල්ප දී තිබෙනවා‍. රෙදි බෑග්, වීදුරු බෝතල්, කැන්ද කොළ, කෙහෙල් කොළ හා කොට්ටම්බා කොළ ඊට විකල්ප ලෙස යොදා ගන්න පුළුවන්. ප්ලාස්ටික් භාජන වෙනුවට මැටි භාජන යොදාගන්න පුළුවන්. දිරන ප්ලාස්ටික් කියලා දෙයක් නැහැ‍. දිරනව නම් ජලය උරාගත යුතුයි.

“ප්ලාස්ටික් භාජනවල පොලිතින්වල යම් දෙයක් දැම්මාම ටික වෙලාවක් යනවිට ඒක ඇතුළත ගැමා කිරණයක් ඇතිවෙනවා. මේ ගැමා කිරණ නිසා පසුව ප්ලාස්ටික් රත්වෙලා ඒකේ තියෙන දේවල් පිළිකාජනක බවට පත්වෙනවා.

“ගැමා කිරණ නිසා සයනයිඩ් විෂ හා තවත් විෂ වර්ග ගණනාවක් ඇතිවෙනවා. ප්ලාස්ටික් බෝතල්වල උණුවතුර පැට්රල්, ලුනු දෙහි, තේ කහට, ඇඹුල් රසැති බීම වර්ග, පොල් තෙල් ආදිය දමා ආහාරයට ගැනීම පිළිකා කාරක ඇතුළු වස විස රැසක් ශරීරගත කිරීමක්,, ඩී.පී. මුණවීර මහතා පවසයි.

අලුත්ම පර්යේෂණ අනුව පොලිතින් ප්ලාස්ටික් නිෂ්පාදනයේ සිටම පරිසරයට අහිතකර දේ එක්වේ. පොලිතින් බෑග් 50000ක් නිපදවන විට සල්ෆර් ඩයොක්සයිඩ් කිලෝ ග්රෑම් 17ක් වායු ගෝලයට එක්වෙන බව ද පර්යේෂණ අනුව හෙළිවී තිබේ.

එතෙර මෙතෙර පාරිසරික විද්‍යාඥයන් කළ පර්යේෂණ අනුව ආහාරපාන වර්ග ප්ලාස්ටික් බෝතල හා ඇසුරුම්වල ගබඩා කිරීමේදී ඉතා සැලකිලිමත් විය යුතු ය. බාල වර්ගයේ ප්ලාස්ටික් බෝතල හා අසුරන හිරු එළියට නිරාවරණය කිරීම නිසා එම ආහාර ද්‍රව්‍යවල වස විස ඇතිවීමට පුළුවන. ඒවා ආහාරයට ගත් විට අපට හොඳ කිරීමට බැරි හඳුනා නොගත් ලෙඩ රෝග ඇතිවීමට ඉඩ ඇතැයි ද වෛද්‍ය විශේෂඥයන් පෙන්වාදී ඇත.

‘ප්ලාස්ටික්’ යන වදන සෑදී ඇත්තේ ‘ප්ලාස්ට්කොස්’ නමැති ග්‍රීක වදනින් ය. ඛනිජ තෙල් නිෂ්පාදනයේ අතුරුඵල ලෙස වන පොලිස්ටරින්, පොලිඑතිලින්, පොලිවයිනල් ක්ලෝරයිඩ් හා පොලිකාබනේට් ආදී සියල්ල ප්ලාස්ටික්වලට හා පොලිතින්වලට අයත් වෙයි. කෙසේ වුවත් මේ ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයට ආවේ ගසක් සුරකිමු (save free) යන අරමුණ ඇතිවය. එදා පරිසරයට මිතුරු ලෙසින් ආ ප්ලාස්ටික් අද පරිසරයේ හතුරෙක් බවට පත්වී තිබේ.

අපේ රට ඇතුළත නිවාස පිරිසුදු කරන විට කරන ලොකුම අපරික්ෂාකාරී දෙය නම් නිවාස අසලම ප්ලාස්ටික් පිලිස්සීමයි. මේ දුමේ වැඩිපුරම අඩංගු වන්නේ පිළිකාකාරයන්ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර මහත්මිය පවසන්නේ ප්ලාස්ටික් පිලිස්සීමෙන් සිදුවන වායු දූෂණය නිසා මරණය ද ඇතිවිය හැකි බවයි.

මළ දරු උපත් බර අඩු දරු උපත් හදවත් රෝග ආඝාතය පෙනහලු පිළිකා, ඇදුම, මුඛ පිළිකා ආදිය මේ දුම නිසා වැලදෙන බව ද ඇය පැවසුවාය.

ප්ලාස්ටික් මුහුදට එක්වීම නිසා හිරු එළියේ පාරජම්බුල කිරණවලට ඒවා ලක්වෙයි. එවිට ඒ ප්ලාස්ටික්වල ඇතිවන PCB නම් රසායනිකය නිසා ජලයේ උග්‍ර විෂවීම් බහුලව ඇතිවෙන බව පරීක්ෂණ අනුව හෙළිවී තිබේ. මෙය පසුව මේ විෂ ජලය ශාක මගින් උරා ගනී‍. මේ දේවල් ආහාර දාම ඔස්සේ අපගේ ශරීරවලටත් යෑමට පුළුවන‍. අද අපේ රටේ මෙන් ම විදේශවලත් සත්ත්ව පරපුරට ප්ලාස්ටික් මාරකයෙකි. අපේ රටේ දී අලි මරණවල මරණ පරීක්ෂණ ගණනාවක් කළ හිටපු වනජීවී අධ්‍යක්ෂ දොස්තර නන්දන අතපත්තු මහතා පැවසුවේ අලින්ගේ බඩවැල් තුළ ද ප්ලාස්ටික් බහුලව තිබෙනු තමාට දක්නට ලැබුණු බවයි. කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසන්නේ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් රට‍පුරා තිබෙන බැවින් ප්ලාස්ටික් භාජනවල උණු ජලය පොල්තෙල්, ඇඹුල් සහිත ආහාර උණු පාන වර්ග දැමීමේ ප්‍රතිඵල වන්නේ සොයාගත නොහැකි ලෙඩ‍ රෝග අපට වැලඳීම බවයි. පානීය ජලය රැස් කිරීමටත් විවිධ ඉන්ධන රැස්කිරීමටත් ප්ලාස්ටික් බෝතල් හා බැරල් භාවිතය ද පරෙස්සමෙන් කළ යුතු බව ද වෛද්‍ය වරුණ ගුණතිලක අවධාරණය කරයි.

ගෙවත්තේ පුලුස්සන ප්ලාස්ටික්වලින් නිකුත්වන පිළිකා කාරක දුම කිලෝ මීටර් ගණනක් දුරට විහිදී යන බව පෙන්වා දෙන වෛද්‍ය වරුණ ගුණතිලක තවදුරටත් පෙන්වා දෙන්නේ මේ දුම ආශ්වාස වීමෙන් දරුවන්ගේ ප්‍රජනක පද්ධතිය සම්බන්ධ ආබාධ ඇතිවිය හැකි බවයි. එමෙන් ම වෛද්‍ය විශේෂඥවරුන් තවදුරටත් පෙන්වා දෙන්නේ ස්නායු ආබාධ ඇතිවීමට දරුරවන්ගේ මොළය වර්ධනය අවම වීමට ද මේ ප්ලාස්ටික් දුම හේතු වෙන බවයි.

මධ්‍යම පරිසර අධිකාරිය හා පළාත් පාලන ආයතන ප්ලාස්ටික් පොලිතින් ප්‍රතිචක්‍රීකරණයට පිළිසරු ව්‍යාපෘතියෙන් අලුත් වැඩසටහන ක්‍රියාවට නැංවීම සතුටුදායක කරුණකි. හෝමාගම ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක කරන ප්ලාස්ටික් හා පොලිතින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන නිසා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්ලාස්ටික් පොලිතින් ගැටලු අවම වී ඇත.

වනජීවී සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ රජයේ මූල්‍ය ආධාර යටතේ කාර්යක්ෂම ලෙස දියුණු කළ යුතු බවයි.

දරුවන්ට ජලය ගෙනයාමට ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනීමේදී එහි යට පැත්තේ ඇති අංකය පරීක්ෂා කළ යුතුය. අංක 1 – 2 - 3 යට පැත්තේ ඇති ඒවාට ජලය යළි යළි පිරවීම සෞඛ්‍යාරක්ෂිත නැත. බෝතලයේ යට අංක 4 – 5 ඇති බෝතල්වල සාමාන්‍ය ජලය දමා පාසලට ගෙන යාමට දරුවාට ලබාදීම අහිතකර නොවෙන බව ද විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පෙන්වා දෙයි. මල නොබැඳෙන වානේ බෝතල් වීදුරු බෝතල්වල නිවූ උණු ජලය දමා දරුවන්ට බීමට ඉඩ දීම හිතකරය. වැඩිහිටි අය වුව ද යම් ගමනක් යනවිට ජලය ගෙන යා යුත්තේ අංක 4 – 5 ගැසූ බෝතල්වල පමණි.

දිනපතා කාර්යාලයට යනවිට ප්ලාස්ටික් භාජනයක ආහාර රැගෙන යන්නේ ඒ සඳහා පතුලේ අංක 5 ගැසූ ප්ලාස්ටික් භාජනයක් ප්‍රයෝජනයට ගැනීම ඉතා සුදුසු බව ද විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක අවධාරණය කරයි.

කෙසේ වුවත් මොන මට්ටමේ ප්ලාස්ටික් බෝතලයක භාජනයක වුවත් ඔබ කන බොන දෑ දැම්මත් එය හිරු එළියට නිරාවරණය වීම වැළැක්විය යුතුම ය. මන්ද ඒ ප්ලාස්ටික් හිරු එළිය සමඟ ප්‍රතික්‍රියා කර අර ආහාර පානවලට ද වස විස එක්කිරීමට හැකි බැවිනි. මේ සියල්ලට හොඳම විකල්ප විසඳුම ප්ලාස්ටික් පාවිච්චිය අවම කිරීම හා සෞඛ්‍ය ආරක්ෂිත ප්ලාස්ටික් භාජන නැවත නැවත පාවිච්චියයි.

කෙසේ වුවත් මේ ප්ලාස්ටික් අර්බුදයෙන් හා අවභාවිත කිරීමේ ගැටලුවට තවත් විසඳුමක් වන්නේ ඒ සඳහා සුදුසු විකල්ප ජනප්‍රිය කිරීම හා ප්‍රතිචක්‍රීකරණයට උනන්දු කිරීමයි.

මධ්‍යම පරිසර අධිකාරිය ඒ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී මෙරට බහුලව පාවිච්චි කරන වතුර බෝතල්වලට හා බාල ප්ලාස්ටික්වලට තහනමක් හෝ වාරණයක් දැමීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසන්නේ ප්ලාස්ටික් හා පොලිතින් අවභාවිතය අවම කිරීමට හා වැළැක්වීමට තම ආයතනය පියවර රැසක් ගත් බවයි. ඒවා සියල්ල සාර්ථක වී ඇති බවත් තහනම් පොලිතින් වැටලීමට කටයුතු කළ බවත් අජිත් මහතා කියයි‍.

මේ පිළිබඳව සුවිශේෂ අධ්‍යයනයක් කර ඇති කැලණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඒ.ජී.‍ අමරසිංහ මහතා පැවසුවේ ප්ලාස්ටික් අපේ ජන ජීවිතයට පහසු කිරීමට සුදුසු ද්‍රව්‍යයක් වුවත් එය අවභාවිතය හා එය ඉවක් බවක් නැතිව බාහිර පරිසරයට ඉවත් කිරීම නිසා අද විශාල පරිසර ප්‍රශ්නයක් ඇතිවී ඇති බවයි. එමෙන් ම අපේ රටේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට ජාතික මට්ටමින් එක්වුණු පසු භාවිත ප්ලාස්ටික් පිළිබඳ ජාතික ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක නොවීම ප්ලාස්ටික් ගැටලුව විසඳීමට ලොකු බාධාවක් බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමරසිංහ පවසයි.

අපේ රටේ එක පුද්ගලයකු දිනකට ප්ලාස්ටික් හා පොලිතින් හා අපද්‍රව්‍ය ග්රෑම් 500ක් පරිභෝජනය හා භාවිතය කරන බව ආචාර්ය අමරසිංහ කළ පර්යේෂණ අනුව හෙළිවී තිබේ.‍ මින් සියයට 10ක් ම යළි නොදිරන ප්ලාස්ටික් හා පොලිතින් වන බවත් ඒවා විවෘත පරිසරයට මුදා හරින බවත් ආචාර්ය අමරසිංහ පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවේ දිනකට ප්ලාස්ටික් හා පොලිතින් කිලෝ 20000 ක් පමණ විවෘත භූමිවල එකතුවෙන බව පර්යේෂණ අනුව අනාවරණය වී ඇත. මීට අමතරව අපේ රටේ දිනකට ලන්ච් සීට් ලක්ෂ 150ක් හා ප්ලාස්ටික් බෑග් ලක්ෂ 200 ක් පමණ අපේ ජනතාව පරිභෝජනය කිරීම හා භාවිත කිරීම සිදුකරයි. මේ තත්ත්වය අවම කිරීමට දැනුම්වත් කිරීම පසු භාවිතය ප්‍රතිචක්‍රීකරණය විධිමත් කළ යුතු බව ද ආචාර්ය අමරසිංහ මහතා පවසයි. 

Comments