ජෙමාගේ බූරු ගැහිල්ලටත් එහා ගිය ක්‍රිකට් ගැහිල්ල! | සිළුමිණ

ජෙමාගේ බූරු ගැහිල්ලටත් එහා ගිය ක්‍රිකට් ගැහිල්ල!

 අල් ජසීරාව මුට්ටිය බින්දේය. ක්‍රිකට් ක්‍රීඩාව ජෙමාගේ බේබි කැපිල්ල තරමේ සිල්ලර ස‍ූදුවක් බවට පත් කර ඇති ආකාරය ඔවුන් ලෝකයට පෙන්වා දුන්නේ සමීප රූපරාමු සමඟය. මේ කතාවෙන් අපේ මිනිස්සුන්ගේ සිත් බොහෝ සේ සලිත වුණේය. ඒ ඔවුන්ගේ ලෝකවල සිටි සමහර ක්‍රිකට් වීරයින් තට්ටු දෙකේ හිඟන්නන් වී මුදලට ක්‍රීඩාව පවා දීම සඳහා ඩීල් දමන්නට ගොස් ස්වකීය යට ඇඳුම් පවා ගලවා අල්ජසීරා මාධ්‍යවේදියා ඉදිරියේ නිරුවත්වීම නිසාය.

මැච් ෆික්සර් කෙනකු ලෙස කුප්‍රකට රොබින් මොරිස්, ඔහුගේ දීන ව්‍යාපාරයේ සගයකු වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන ඉන්දීය ජාතික ගව්රව් රාජ්කුමාර්, සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන් ම හිටපු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ජීවන්ත කුලතුංග, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තවමත් සංචිතගතව සිටිනා දිල්හාර ලොකුහෙට්ටිගේ, අන්තර්ජාතික ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකාරවරයා ලෙස මෙන් ම තණතිල්ලේ ප්‍රධාන පාලක ලෙස පෙනී සිටින තරංග ඉන්දික, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු ව‍ූ තරිඳු මෙන්ඩිස් සිය රට, ඒ රටේ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රාර්ථනා සාහසික ලෙස පාවා දුන් ආකාරය අල් ජසීරාව ලෝකයට හෙළිදරවු කළේය.

රට මහත් අභිමානයෙන් සැමරූ ජයග්‍රහණ මෙන්ම නින්දාසහගත ඉරණමකට මුහුණ දුන් අවනතීන් මේ කාලකණ්ණි ක්‍රිකට් පාවා දෙන්නන්ගේ පිටපත් අනුව සිදුව ඇතැයි විශ්වාස කළ හැකි ආකාරයට සිද්ධි පෙළ ගැසී තිබුණි. මැච් ෆික්සර් කෙනකු වූ රොබින් මොරිස්ට අවශ්‍ය ආකාරයට ගාලු ක්‍රීඩාංගණයේ තණතිල්ල සකස් කළ ආකාරය තරංග ඉන්දික කීවේය. රොබින්ට අවශ්‍ය පන්දු යවන්නන්ට සුදුසු තණ තිල්ලක්ද, පන්දු යවන්නන්ට නම් දඟපන්දු යවන්නන්ටද වේග පන්දු යවන්නන්ට ද, නොඑසේ නම් පිති කරුවන්ටද යන්න කී විට ඒ අනුව තණතිල්ල සකස් කරන ආකාරය ඉන්දික හෙළි කළේය. තරිඳු මෙන්ඩිස් එය වඩාත් විචිත්‍ර ලෙස විස්තර කළේය.

ගාල්ලේ පිච් ෆික්සිං සූදුව

ගාලු ක්‍රීඩාංගණය සම්බන්ධව හෙළි වන මේ පිච් ෆික්සිං සූදුව වෙනුවෙන් ග්‍රවුන්ඩ් බෝයිට ලබාදෙන මුදල ලක්ෂ 25ක් බවත්, එක මැච් එකක් ෆික්ස් කිරීම වෙනුවෙන් ලබනා මේ මුදල ඔහුගේ අට වසරක වැටුපට සමාන බවත් රොබින් මොරිස් කියන්නේ ඒ ගෙවීමෙන් ඔහු වෙනස් කළ තරග දෙකක් ගැන කියමිනි. එක් තරගයක් වූයේ අප ප්‍රමෝදයට පත් කරමින් ඔස්ට්‍රේලියාව ලෝකය හමුවේ විලිලජ්ජාවට පත් කළ 2016 අගෝස්තු 4 දා ගාල්ලේ දී ඇරඹුණ ටෙස්ට් ක්‍රිකට් තරගයයි. තරගය නිමා වෙන්නට තිබුණේ අගෝස්තු අට ‍වැනිදාය. එහෙත් දින දෙක හමාරකින් තරගය නිමා වුණේය. රංගන ඇතුළු ශ්‍රී ලාංකික දඟපන්දු ඇණිය අමතක නොවන පන්දු යැවීමක යෙදුණේ ය. එහෙත් මොරිස් විස්තර කළේ දඟපන්දු යවන්නන්ට සුදුසු තණ තිල්ලක් සකසා ඔස්ට්‍රේලියා නන්නත්තාර කළ වික්‍රමය පිටුපස තිබුණේ තමන් විසින් සකස් කළ පිටපත බවය.

දෙවැනි තරගය පසුගිය වසරේ ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වූ ජූලි 26 සිට‍ 30 තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබූ ඉන්දියා ලංකා ටෙස්ට් තරගයයි. මෙම තරගයේදී බුකී කරුවන් අපේක්ෂා කළ පිතිකරුවන්ට උචිත තණතීරුව තමන් විසින් සකස් කළ ආකාරය තරංග ඉන්දික කීවේය. තණතීරුව මුළුමනින්ම රෝලර් කර මතුපිට ගන ස්ථරයක් තැනූ ආකාරය තරංග ඉන්දික කියන විට තරගයේ කාසිය වාසිය දිනූ විරාත් කෝලි කීවේ තණතීරුවේ මතුපිට ඇති ගන බව නිසා මුලින් ම පිතිකරණයේ යෙදෙන බවය. ඉන්දියාව මුල් ඉනිම සඳහා ලකුණු 600 ලබාගත්තේය.‍ අප ඉනිමක පරාජයක් ලැබුවේය. තරගය දින හතරකින් නිමා විය. මේ ප්‍රතිඵලය ගැන රොබින් මොරිස් කීවේ එය තමන්ගේ සැලසුමක් වූ ආකාරයය. මේ ආකාරයෙන්ම මේ වසරේ නොවැම්බර් මස 6 සිට 10 තෙක් ගාල්ලේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය වෙනුවෙන් බුකි කරුවන්ට අවශ්‍ය ආකාරයට තණතිල්ල සකස් කිරීමේ සැලැස්ම මේ අලජ්ජි මිනිසුන් අතින් හෙළිදරව් විය.

ක්‍රිකට් වීරයන්ගේ කුණු වූ ආත්ම

වඩාත්ම හිරිකිත ලෙස ස්වකීය කුණු වූ ආත්මය එළියට දාන්නේ ජීවන්ත කුලතුංගය. “ක්‍රිකට් ක්‍රීඩා කිරීම උදෑසන දත් මදිනවා වගේ සාමාන්‍ය දෙයක්. ඔබේ සැලසුම කියන්න. ඒ අනුව ක්‍රීඩා කිරීම අපට පීඩනයක් නොවෙයි. උපරිම දක්ෂතා දක්වනවාට වඩා දක්ෂතා නොදක්වා ඉඳීම පහසුයි. රොබින් ඔබට මේ බව පැහැදිලිව කීවා. රොබින් අපට කියලා තිබෙනවා මොනවද කරන්න ඕනෑ කියලා. අප එය කරන්නම්. එය ඉතා පහසුයි. අප ඔබ බලාගන්නම්. ඔබ අප බලාගන්න.” බුකි කරුවකු ලෙස වෙස් වළාගෙන සිටිනා අල්ජසීරා මාධ්‍යවේදියාට ජීවන්ත කුලතුංග කියන ආකාරය දකින විට හිතෙන්නේ රූපවාහිනිය පොළොවේ ගසන්නටය. ජීවන්ත කුලතුංග සමඟ බුකිකාරයාගේ සැලසුම සාර්ථක කරගැනීමට එක් වන්නේ දැනටත් විස්සයි-20 ක්‍රීඩා කරන දිල්හාර ලොකු හෙට්ටිගේය.

කෙසේ වෙතත් මේ වැඩසටහන සම්බන්ධ විවාදාත්මක තැන් මතුවෙමින් තිබේ. අයිසීසීය සිය පරීක්ෂණ සඳහා ඉල්ලන සිද්ධිය සම්බන්ධ සංස්කරණය නොකළ දර්ශන සැපයීමට අල්ජසීරාව තවම සූදානම් නැත. එමෙන්ම අල්ජසීරාව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණතීරු සකසන්නා ලෙස හඳුන්වා දෙන තරංග ඉන්දික ඇත්තටම ප්‍රධාන තණතීරු සකසන්නා නොවේ. ඔහුට ඉහළින් තවත් නිලධාරීහු දෙදෙනෙක් වෙති. ඔහුට තනිවම මෙවැනි ව්‍යාපෘතියක් පූරණ කළ නොහැකිය. එහෙත් තරංග ඉන්දික යනු මීට පෙර ගාල්ල තණතීරුව බුකි කරුවෙකුට පාවාදීමේ චෝදනාවට අයිසීසීයේ දණ්ඩනයට ලක් වූ පුද්ගලයාගේ සමීපතමයකු බව කියැවෙන්නේය.‍ තමන් මේ පිච් ෆික්සිං සූදුවේ ගොදුරක් බව ලෝකය ඉදිරියේ පෙන්වූ තරංග ඉන්දික ගාල්ල ක්‍රීඩාංගණයේ තෝරු මෝරු අතර ගැවසෙන හාල්මැස්සෙක් තරම් පුංචි චරිතයක් නිසා මේ දුර්දාන්තය පසුපස තවත් පුද්ගලයෝ වෙත්ද, නොඑසේ නම් බුකි කරු ලෙස පෙනී සිටි අල්ජසීරා මාධ්‍යවේදියා අන්දන්නට ගොස් කට්ටියම ඇනගත්තාදැයි පසුව හෙළිදරවු වීමට නියමිතය.

එහෙත් අපට කියැවීමට කතාවක් තිබේ.‍ ඒ අල් ජසීරාවේ හෙළිදරව්වත් සමඟ අන්දකයිප්පු කෑ උන් සේ හැසිරෙන ක්‍රික‍ට් බලධාරීන්ගේ විප්‍රකාරය. මේ මිනිසුන් විටෙක කියන කතා අතාර්තිකය. විටෙක පරස්පර විරෝධීය; විටෙක පට්ටපල් බොරුය.

‍රටේ සම්මත නීති ප්‍රකාරව තරග පාවාදීම්වලට අදාළව ක්‍රිකට් ක්ෂේත්‍රයේ කවරකු වරදකරු වුවත් ඔවුන්ට එරෙහිව දඬුවමක් දීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන නැත. මොන පරීක්ෂණ පැවැත්වුවත් ලංකාවේ නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ අඩුම තරමේ ගුවන් ගමන් බලපත්‍රය තහනම් කර නඩු පැවරීමට බලයක් අපේ නීතියට නැති බවත්, සූදුකරුවන් මෙපමණ සැහැල්ලුවෙන් රට තුළ හැසිරෙන්නේ ඒ පිළිබඳ වන නිසි අවබෝධයෙන් බවත් නීති විශාරදයන් පෙන්වා දෙන්නේය.

එමෙන්ම රටේ ක්‍රියාත්මක වන අල්ලස් පනත රාජ්‍ය අංශය‍ට සම්බන්ධ සේවකයන් වෙනුවෙන්ම සැකසුණකි. ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ එහි සේවකයෝ රාජ්‍ය සේවකයෝ නොවෙති. එබැවින් පවතින නීතිය යටතේ අල්ලස් ලබාගැනීම සම්බන්ධව මේ වංචනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි වන්නේ නැත. මේ පසුබිමේදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධව අයිසීසීයට සමගාමීව කෙරෙන අභ්‍යන්තර පරීක්ෂණය විහිළුවකි.

ක්‍රිකට් බලධාරීන් කියන්නේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත්, රහස් ‍පොලීසියට මේ පිළිබඳ පැමිණිල්ලක් කළ බවත්ය. එහෙත් ක්‍රිකට් ආයතනය හෝ වෙන කිසිම ආයතනයක් තමන්ට මෙ‍තෙක් පැමිණිල්ලක් නොකළ බව පොලීසිය විසින් තහවුරු කළ ආකාරය බීබීසිය පසුගිය බ්‍රහස්පතින්දා (30) වාර්තා කළේ ය.

පාවාදීමේ චෝදනාව

මේ හෙළිදරව් වීම අතර අපට ඇති එකම සැනසීම අපේ ක්‍රිකට් කණ්ඩායම මේ බුකිකරුවන් සමඟ ගනුදෙනු නොකළ බවට අල්ජසී‍රාව දෙන සහතිකය පමණය. එහෙත් තරග පාවාදීම සම්බන්ධව වන අතිශය සිත් කල කිරවන සුළු සැක සංකා ඉතිහාසය පුරාම අපට තිබුණි. ඒ අතීතය 1993 වසර තෙක් යන්නේ ය. එවක ලාංකික ක්‍රීඩා ලෝලීන් අප්‍රමාණ ගෞරව සහිතව සම්මානිත කළ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ලක්නව්හි පැවති ඉන්දියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගයක් බුකි කරුවන්ට අනුව ක්‍රීඩා කිරීම සඳහා ඩොලර් දස දහස බැගින් ලබාදුන් සිද්ධියක් ගැන කියැවිණි. ඉන්දීය මධ්‍යම බුද්ධි කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ගුප්තා නැමැති එම බුකී කරු කළ පාපොච්චාරණය තවමත් ඉන්දීය රහස් පොලිස් වාර්තාවල තිබේ.

මොහොමඩ් අසරුදීන් ඉන්දීය ක්‍රිකට් නායකයාව සිටි සමයේ පුණ්‍යාධාර වෙනුවෙන් සංවිධානය කළ බව කියන, ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඇතුළත් කණ්ඩායම් හා ඉන්දීය ක්‍රීඩකයන් සහිත කණ්ඩායම් ක්‍රීඩා කළ තරග බුකි කරුවන්ගේ ඔට්ටු සංතර්පනය කළ තරග බව කියැවුණි. පසුව තරග පාවාදීමේ වරදට මොහොමඩ් අසරුදීන් වරදකරු විය. ඒ වකවානුවේ සලීම් මලික් මෙන් ම දකුණු අප්‍රිකානු නායක හැන්සිර් ද තරග පාවාදීමේ වරදට වරදකරු වී ජීවිතාන්තය තෙක් ක්‍රිකට් තහනමට ලක් වූයේය. මේ මාෆියාවේ ස්වරූපය ගැන කියන්නට සූදානම් වෙමින් සිටි ක්‍රොන්යේ හදිසි ගුවන් අනතුරකින් මිය ගියේය.

1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායම 1999 දී ලෝක කුසලාන තරගයේ ප්‍රකට කළ අස්වාභාවික අදක්ෂකම ගැන ඒ වකවානුවේ කතාබහට ලක් වූයේය‍. 2009 වසරේ විස්සයි-20 ලෝක කුසලාන අවසන් තරගයේදී අපේ ප්‍රසිද්ධ ක්‍රීඩකයකු බුකි කරුවකු සමඟ හැසිරුණු අසංවර ආකාරය ගැන එවකට කණ්ඩායමේ කළමනාකාරවරයා සිය වාර්තාවේ සඳහන් කර තිබුණි. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන්නේදැයි සැක සංකා මතු විය. අපේ ක්‍රීඩකයන් වැඩි දෙනකුගේ කළමනාකරු වූ චාලි ඔස්ටින් නමැත්තාට චෝදනා එල්ල විය. සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවේ කළ සංචාරයේදී කුජීත තරගාවලි පරාජයක් ලැබීම මෙන්ම එහිදී ගත් අතිශය අස්වාභාවික තීන්දු බුකි කරුවන්ගේ වුවමනාවට සිදු වූ බවට චෝදනා එල්ල විය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණම ක්‍රීඩකයෙක් උපයාගත් අතාර්කික වත්කම් ගැන පරීක්ෂණයක් කරන්නට සී.අයි.සී. නියෝජිතයෝ පිරිසක් ලංකාවට පැමිණියහ.

මේ අතාර්කික සිදුවීම් සමඟ ගැටගැ‍සෙන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ විමර්ශනය කිරීමට ක්‍රිකට් ආයතනයේ බලධාරියෙක් සිටියේය. හිටි හැටියේ ම ඔහු සිය තනතුරින් අස් වුණේය‍. ඔහු එකතු කළ බව කී තොරතුරු ආගිය අතක් නැති විය.

අල්ජසීරාව කියන්නට පෙර කණ්ඩායම ඉල්ලන තණතීරු තමන්ට නොලැබෙන බව කීවේ ශ්‍රී ලංකා විස්සයි-20 නායකයාව සිට ලසිත් මාලිංගය. මාලිංග මේ චෝදනාව කළේ ක්‍රීඩා කරමින් සිටින අතරය. මේ කතාවෙන් පසු මාලිංග කණ්ඩායමෙනුත් විසිවුණේ ය. තේරෙන නොතේරෙන මොනවාදෝ යමක් අපත් ක්‍රිකට් ක්‍රීඩාව අතරත් දෝලනය වෙමින් ඇත.

ඒ දෙස බලා ඉන්නා විටෙක හිතෙන්නේ මේ ක්‍රිකට් ගැහිල්ලත් අපේ ගමේ ජෙමාගේ බ‍ූරු ගැහිල්ලත් එකක් වගේ කියා ය. වෙනසකට ඇත්තේ ජෙමා ජෙනුවින් වීමය. මක් නිසාද යත්: ජෙමා බූරු ගහන්නේ තමන් බූරු ගසන බව ලෝකයට වහං කරන්නේ නැතිව නිසාය. 

Comments