තිරසර ගොවිතැනේ ලෝක ව්‍යාප්තිය | සිළුමිණ

තිරසර ගොවිතැනේ ලෝක ව්‍යාප්තිය

 එංගලන්තයේ එසෙක්ස් විශ්වවිද්‍යාලය, 2000 වර්ෂය වන විට රටවල් 52ක වගා බිම් හෙක්ටයාර් මිලියන 28.92ක තිරසර ගොවිතැන සිදු කරන ගොවීන් මිලියන 8.98ක් සිටින බව වාර්තා කර සිටියේය. විවිධ රටවල මේ ගොවිතැන ව්‍යාප්ත වන්නේ විවිධ තාක්ෂණ ඔස්සේය. මේ සඳහා විවිධ උපක්‍රම යොදාගනු ලැබේ. කියුබාව, ස්විට්සර්ලන්තය හා භූතානය යන රාජ්‍යයන්හි කෘෂිකර්ම ප්‍රතිපත්තිය තිරසර ගොවිතැන ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත රාජ්‍යයේ ප්‍රතිපත්තිය වන්නේද තිරසර ගොවිතැනයි.

1990 ගණන්වල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ තාක්ෂණය වූවේ කොළ පොහොර භාවිතය හා ඒකාබද්ධ පළිබෝධ පාලනයයි. ඒ අනුව ගොවීහු 55,000 දෙනෙක් ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම භාවිත කර කුඹුරු හෙක්ටයාර් 33,000ක බිමක පළිබෝධ පාලනය කළහ. මෙ‍මඟින් කෘමිනාශක ඉසින වාර ගණනද 2.9% සිට 0.5% දක්වා අඩු කරගත හැකි විය. මීට සමගාමීව ඉන්දුනීසියාවේද පළිබෝධ පාලනය සිදු කරන ලදී.

ආරම්භයේදී එතෙක් භාවිත කළ කෘමිනාශක 57ක් නීත්‍යනුකූලව තහනම් කරන ලදි. ගොවි ක්ෂේත්‍ර පාසල් හරහා පුහුණුව ලත් ගොවීන් මිලිනයක් අක්කර ලක්ෂ පහක කුඹුරුවල පළිබෝධ පාලනය කර තෙල් ඉසින වාර ගණන 2.9% සිට 1.1% දක්වා අඩු කරගත් අතර, අස්වැන්නද 10%ක් දක්වා වැඩි කරගනු ලැබීය. වියට්නාමයද ගොවීන් මිලියන දෙකක් සමඟ තෙල් ඉසින වාර ගණන 3.4% සිට 1% දක්වා අඩු කරගත්තේය.

චීනය වී වගාවට සත්ත්ව පාලනය ඒකාබද්ධ කරගත් අතර, එය අලුත් අත්දැකීමක් විය. එය තිරසර ගොවිතැන ඉදිරියට ගෙන යෑමකි. වී වගාව හා මත්ස්‍ය වගාව, වී වගාව හා ඉස්සන්, වී වගාව හා කකුළුවන් බෝ කරගත් අතර, එමඟින් වී නිෂ්පාදනය 10% සිට 15% දක්වා ප්‍රමාණයකින් වැඩි වූ බව වාර්තා වෙයි. තවද හෙක්ටයාරයකින් 1/15කින් කිලෝ ග්රෑම් 50ක මාළු නිෂ්පාදනයක් සිදු කරගත හැකි වූ අතර, එමඟින් ගොවි පවුල්වලට ප්‍රෝටීන් අවශ්‍යතාවද සම්පූර්ණ විය.

සූක්ෂ්ම වී වගා පද්ධතිය (The System of Rice Intensification (SRI) ක්‍රමය හඳුන්වා දෙන්නේ මැඩගස්කරයයි. පැළ අතර පරතරය පුළුල් කිරීම, වල් මඬින යන්ත්‍ර යොදා කිහිපවරක් වල් පාලනය කිරීම, ගොයම් පැළ සිටුවීම මෙහි ප්‍රධාන ලක්ෂණ වෙයි.

පස වියළීම හා වාතනය ප්‍රමුඛ අවශ්‍යතාවක් නිසා ජල භාවිතයද අඩුය. වැය වන ශ්‍රමයක් ඇත. පසුකාලීනව මේ වී තාක්ෂණය චීනය, ඉන්දුනීසියාව, කාම්බෝජය, නේපාලය, ඉන්දියාව, කියුබාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාවටද ව්‍යාප්ත විය. මේ තත්ත්වය හේතුවෙන් අස්වැන්නේ වැඩි වීමක් සිදු වූ අතර, ගොයමේ පළිබෝධ ගහනයද අඩු විය.

ඉන්දියාවේ වියදම් නැති ස්වාභාවික ගොවිතැන (Zero Budget Natural Farming) ජාතික ප්‍රවාහයට එක් වූ තිරසර ගොවිතැන් ක්‍රමයකි. මෙයට ප්‍රධාන සංරචක හතරක් ඇත. එකක් නම් ක්ෂුද්‍රජීව ද්‍රාවණයයි. එය ජීව මෘත ලෙස හැඳින්වෙයි. බෝ කරගැනීමට අවශ්යප ක්ෂුද්‍රජීවීන් ලබාගන්නේ ගොවි බිමෙන්ම හෝ ප්‍රදේශීයවය. ඒවා බෝ කරගැනීම සඳහා අවශ්‍ය මාධ්‍යයද එකතු කරගන්නේ ප්‍රදේශීයවය. කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන් සම්භවයක් සහිත පදාර්ථ මේ සඳහා අවශ්‍ය වෙයි. ගොම සහ ගව මූත්‍රද අවශ්‍ය අනෙක් අනුපානයන්ය. මෙසේ යොදා ගන්නා ක්ෂුද්‍රජීව ද්‍රාවණය බෝගයේ පත්‍රවලට සහ පසට ඉසිනු ලැබේ. එමඟින් පසේ සාරවත්භාවය වර්ධනය වෙයි. දෙවන සංරචකය වන්නේ බීජාමෘතයි. නීරෝගි බීජයක් මෙන්ම පැළ වූ බීජය ආරක්ෂා කරගැනීමත් මෙමඟින් සිදු කරයි. මෙසේ වූ විට දිලීර නාශක යෙදීම අවශ්‍ය නොවේ.

තුන්වන සංරචකය තවත් ප්‍රමුඛ යෙදවුමකි. එය වැස්මක් හෝ වසුනකි. මෙය පිදුරු වැනි අජීව වැස්මක් විය හැකිය; නැති නම් උදලු ගා දමන වල් හෝ තෘණ හෝ කලින් කන්නයේ ඉතිරි වූ බෝග ශේෂද විය හැකිය. පසේ මතුපිට ඇති කරන ආවරණය නිසා ක්ෂුද්‍රජීව ක්‍රියාකාරිත්වය ඉක්මන් වෙයි; උෂ්ණත්වයද ඒකාකාරි වෙයි. හතරවන සංරචකය නම්, උෂ්ණත්වය හා වායුගෝලයේ ආර්ද්‍රතාව හා පසේ තෙතමනය බෝගයේ වර්ධනයට අවශ්‍ය අන්දමට ගොවිබිමේ ක්ෂුද්‍රජෘව පරිසරය සකස් කරගැනීමය.

මේ සඳහා ස්තරායනයක් සහිත අතුරු බෝග වගාව, සමෝච්ච වැටි ස්ථාපිත කිරීම වැනි තාක්ෂණ භාවිත කෙරේ.

මේ වන විට මේ ගොවිතැන් ක්‍රමය කර්නාටක ප්‍රාන්තයේ රජය එහි කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ගොවීහු මිලියන 4ක් හතරක් මේ ක්‍රම අනුගමනය කර සාර්ථක අස්වනු ලබති.

දකුණු අමෙරිකානු හා කැරිබියානු රටවල ශූන්‍ය බිම් සැකසුම ප්‍රධාන භාවිතයකි. වගා කරනු ලබන්නේ පිහිටි පොළොවේම වීම මෙහි ලක්ෂණයයි. වල් වඳ කිරීම සඳහා වල්නාශක යොදනු ලැබේ. වල් මැරුණු විට එම බිමේ ඍජුව බීජ වගා කෙරේ. අප්‍රිකාවේද මෙවැනිම දෙයක් සිදු වේ. ඇකේෂියා ඇල්බීඩා කෘෂ්ටීය ශාකයකි. වර්ෂාව ආරම්භ වන විට එහි පත්‍ර හැළී ගස යට පස සරු කරයි. ගොවීහු මෙහි කුරක්කන් හා සෝගම් වගා කරති. වර්ෂාව අවසන් වන විට නැවතත් දළු ලන නමුත්, ඒ වන විට බෝගවලින් අස්වැන්න ගෙන අවසන්ය.

ස්විට්සර්ලන්තය 2003 වර්ෂයේදී කෘෂිකර්ම පනත සංශෝධනයට ලක් කළේය. ගොවිතැනේ තිරසරභාවය මට්ටම් තුනකට වෙන් කර ඒවාට සහනාධාර දීමේ ක්‍රමයක් හඳුන්වා දුනි. එයින් පළමුවැනි ආධාරය ලබාදෙන්නේ තම ගොවිබිම් ස්ථාපිත කරන ජීවී ආකෘතිවලටය (Bio type). තණබිම් සහ පහත් බිම්, දෙණි, ඕවිටි වැනි භූරූප දර්ශන පවත්වාගැනීම, ඉහළ කඳන් සහිත ශාක වගා කිරීම, මායිම් වැට ස්ථාපිත කර තැබීම වෙනුවෙනි. කොටින්ම කියතොත්, වගා බිමක වගා නොකරන බිම්කඩවල් ස්ථාපිත කළ විට, පළමු සහනාධාරය ලැබේ.

දෙවන මට්ටමේ සහනාධාරය ලබාදීම සිදු කරන්නේ අඩු යෙදවුම් සහිත ඉහළ ගුණත්වයෙන් යුත් පාරිසරික ක්‍රියාවලි ගොවිබිමට ඒකාබද්ධ කිරීම වෙනුවෙනි. පාරිසරික ගොවිතැන සම්පූර්ණ ලෙස ගොවිබිමට ආදේශ කර ස්ථාපිත කළ අය වෙනුවෙන් තුන්වන මට්ටමේ සහනාධාරය ලැබේ. මේ අනුව, 2003 වර්ධනය වන විට ස්විට්සර්ලන්තයේ තිබූ ගොවිපළ 75,000න් 20%ක් පමණම තිරසර ගොවිතැන ප්‍රමාණවත් ලෙස හා ගුණාත්මක ලෙස සිදු කර තිබිණි.

මෙයින් පැහැදිලි වන්නේ ප්‍රජාව හරහා, ප්‍රජා සංවිධාන, රජය හා රාජ්‍ය ප්‍රතිපත්ති මඟින් තිරසර ගොවිතැන ව්‍යාප්ත වන බවයි. 

Comments