
ඉකුත් සති කිහිපය පුරා දකුණු පළාත භීතියෙන් ඇලළී ගොස් තිබිණි. පාසල්හි ප්‍රාථමික ශ්‍රේණිවලට හා පෙරපාසල්වලට නිවාඩු දෙනු ලැබිණි. ඒ, පැතිර යමින් තිබූ ඉන්ප්ලුවන්සා රෝගී තත්ත්වය හේතුවෙනි. රෝගය බෙහෙවින් හානිකර වී තිබුණේ ළදරුවන්ටය. ඒ අතරින්ද වැඩි දෙනා අවුරුදු දෙකට අඩු ළදරුවෝය. විවිධ ආකාරයේ තොරතුරුද දත්තයන්ද මුවින් මුව පැතිර ගියේය. අපි එහි සැබෑ තතු සොයා ගාල්ල සහ මාතර බලා පිටත්ව ගියෙමු. ආසියාවේ සෙසු රටවල් සමඟ මෙන්ම ලෝකයේ රටවල් බොහෝමයක් හා සසඳද්දී හොඳම සෞඛ්‍ය සේවාවක් පවතින්නේ ශ්‍රී ලංකාවේය. අපේ සෞඛ්‍ය ක්ෂෙත්‍රය අවදානමට සූදානම්ව සිටී. එබැවින් අපට මේ දුෂ්කර අවස්ථාවේ වූවද ඉන්ප්ලුවන්සා රෝග තත්ත්වය ජය ගත හැකිය. රෝගයට බිය වීමට නොව, රෝගයෙන් වැළැකී සිටීමට කටයුතු කිරීම මහජනයාගේ වගකීමයි.
කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියෙහි සිටි සියල්ලෝ මුඛ ආවරණ පැලඳ සිටියහ. අපි රෝහල් අධ්‍යක්ෂ ජයම්පතී සේනානායක මහතා සොයා ගියෙමු.
“මෙය ප්‍රතිශ්‍යා රෝග තත්ත්වයක්. රෝගය පැතිර යෑමට හේතු වූයේ රෝගකාරක වෛරස් හා බැක්ටීරියා වර්ග හතරක්. ඒ ස්ට්‍රෙපටෝකොකස් නියුමෝනියා (strepococcus pneumoniae), ඉන්ප්ලුවන්සා (Influenzavirus), නියුමොකොකොකකල් (neumocococal) හා ඇඩිනොස් බැක්ටීරියා (adinos bacteria). මේ උණ හා ප්‍රතිශ්‍යා රෝග තත්ත්වය හේතුවෙන් පසුගිය දින 30ක කාලයක් තුළ දරුවන් 8 දෙනෙකු මිය ගියා. ඉන් ළදරුවන් පස්දෙනකු මියගොස් ඇත්තේ නියුමෝනියා රෝග තත්ත්වය හේතුවෙන් බව නිශ්චිතව හඳුනාගෙන තිබෙනවා. අනෙක් තිදෙනා මිය ගොස් ඇත්තේ අදාළ රෝග තත්ත්වයෙන්යැයි තහවුරුව නෑ.”
මේ වන විට ඉන්ප්ලුවන්සා රෝගය හේතුවෙන් සිදු වීයැයි තහවුරු වූ මරණ වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් 4ක්, උඩුගම 1ක්, මැදමුලන 1ක්, ගාල්ල 1ක් වශයෙනි. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා කිවිසුම් යෑම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වේ. මේ රෝග ලක්ෂණ නියුමෝනියා රෝගය තෙක් උත්සන්න වීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම හා නියුමෝනියා රෝග තත්ත්වයට අමතරව සිදු වන ඇඩිනොස් බැක්ටීරියා ආසාදනය සමඟ පෙණහලු හානියට පත් වන බැවින් රෝගීන්ගේ මරණයට සිදු වේ යැයි හඳුනාගෙන ඇත. රෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව නැති, ප්‍රතිශක්තිය දුර්වල ළදරුවන්, ගැබිනි මවුවරුන්, වයෝවෘද්ධ පුද්ගලයන්, දියවැඩියා රෝගීන්, වකුගඩු ආශ්‍රිත රෝගීන් හා විශේෂයෙන් අවුරුදු 2ට අඩු දරුවන් හා උපතින් හෘදය හෝ පෙණහලු ආබාධ සහිත දරුවන් රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බව කරාපිටිය ශික්ෂණ රොහලේ අධ්‍යක්ෂ ජයම්පතී සේනානායක මහතා පවසයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය දකුණු පළාතේ පැතිර ගිය රෝග තත්ත්වය අධ්‍යයනය කර, මෙය වසංගත රෝග තත්ත්වයක් නොවන බව තහවුරු කර තිබේ. මේ වන විට රෝග තත්වය පාලනය වී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පතී සේනානායක මහතා පවසයි.
රෝහල්ගත කරනු ලබන වයස අවුරුදු 16ට අඩු උණ රෝගීන් වෙනම පරීක්ෂා කර රෝහල්ගත කෙරෙන අතර, ඉන්ප්ලුවන්සා රෝග ලක්ෂණ පෙන්වන දරුවන් බාහිර රෝගි අංශයේදීම නාසයේ ඇති ශ්ලේශමල පරීක්ෂා කිරීමෙන් ඔවුන්ට රෝගය වැලඳී තිබේද යන්න පැයක් ඇතුළත තහවු කරගැනීමට කටයුතු යොදා ඇති බවත්, මේ හේතුවෙන් ඉන්ප්ලුවන්සා නොවන රෝගීන් රෝහල්ගත කිරීම වැළකී ඇති බවත්, රෝගය පැතිර යෑම පාලනයටද එය උපකාරි වන බවත් රෝහල් අධ්‍යක්ෂවරයාගේ අදහසයි.
ඉන්ප්ලුවන්සා රෝගියකු වෙනුවෙන් දින 5ක ඖෂධ මාත්‍රාවට රජයෙන් රුපියල් 5000ක් පමණ වැය වන බව වාර්තා වේ. අවශ්‍ය ඖෂධ, හිඟයකින් තොරව රෝහලේ ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. එහෙත් වෛද්‍ය කාර්යමණ්ඩලය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් වෙත නිකුත් කර ඇති ඖෂධවල ප්‍රමිතිය කෙරෙහි සැක පහළ වන බවයි.
“සමහර වෙලාවට අපේ වෛද්‍ය දැනුම පිළිබඳවත් අපට සැක හිතෙනවා. ප්‍රධාන වශයෙන් මේ රෝගීන්ට රෝහලෙන් ඖෂධ වර්ග තුනක් ලබා දෙනවා. ලබාදෙන ඖෂධවලට රෝගීන් දක්වන ප්‍රතිචාර ඉතා දුර්වලයි. ඒ වෙලාවට උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ පිටින් ගෙන්වා දී රෝගී ජීවිත බේරගන්න අපිට සිදු වෙනවා එත් ඒ ඖෂධ මිල අධිකයි.” එය එසේ නම් ආනයනික ඖෂධවල ප්‍රමිතිය කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යෙමු විය යුතුය. එය සමස්ත අසරණ රෝගීන් කෙරෙහි මහත් උපකාරයක් වනු ඇත.
මේ වන විට පෞද්ගලික අංශ මඟින් වයිරස් හා බැක්ටීරියා මර්දනය සඳහා එන්නතක් භාවිතයට ගනු ලැබයි. එහි වලංගු කාලය වසරක් පමණි. එහි ගුණාත්මක භාවය පිළිබඳ අදහසක් ප්‍රකාශ කිරීමට වෛද්‍යවරු ඉදිරිපත් නොවෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් හෝ මෙහි ගුණාත්මක භාවය සනාතකර නැත. එහෙත් මිල අධික මේ එන්නත තම දරුවන්ට ලබා දීමට දකුණු පළාතේ දෙමාපියන් බොහෝ දෙනෙකු කටයුතු කර තිබේ. ඒ තම දරුවන්ගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීම සඳහාය.
රෝගය පාලනයට හා රෝගය වැලඳීමෙන් වැළකී සිටිමට හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යෑම කළ යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි. රෝහලකට හෝ රෝගියකු වෙත ගිය සැණින් අත් සේදීම, මුඛ ආවරණ පැලඳීම, රෝහල වෙත නීරෝගි දරුවන් රැගෙන එමෙන් වැළකී සිටීම, රෝගීන් බැලීමට අවම රෝගීන් සංඛ්‍යාවක් පැමිණීම, මහජනයා වැඩිපුර ගැවැසෙන ස්ථාන මඟහැර සිටීම කළ යුතුය. රෝග ලක්ෂණ ඇත් නම් හැකි පමණ පෝෂ්‍යදායි ආහාර ගැනීම, ඇඳ විවේකය ගැනීම, සිරුරේ ප්‍රතිශක්ති කරණය වැඩි කරගැනීම, පාසල් හෝ රැකියා ස්ථාන වෙත නොයා සිටීම වැදගත් බව ද පෙරපාසල් හා ප්‍රථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා දීම රෝග පාලනයට උපකාරි වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
රෝගබීජ ශරීරගත වී දින 4ක්-5ක් ගිය තැන රෝගලක්ෂණ පහළ වන බැවින් වහාම ළඟම ඇති රෝහලට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ජනතාව රෝගය පිළිබඳ දැනුවත් වීම හේතුවෙන් සේම්ප්‍රතිශ්‍යා උණ වැලඳුණු දරවන් පාසල මඟින් වෛද්‍යවරුන් වෙත යොමු කිරීම රෝගය පාලනයට උපකාරි වීය යන්න ඒ මහතාගේ අදහසයි.
නියුමෝනියාව වැලඳුණු දරුවන්ගේ හුස්ම ගැනීම පහසු කිරීම හා අධිපීඩනයෙන් යුතුව ඔක්සිජන් ලබා දිය හැකි හයිප්ලෝනොසල් කැනියුලා දහයක් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ලබා දී තිබේ. ඒ හැරුණු විට ඉන්ප්ලුවන්සා පරික්ෂා කිරීමට අවශ්‍ය උපකරණද ලැබී තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයාගේ අවසරය ලැබ ළමා වාට්ටු වෙත යෑමට අපට හැකි විය. වෛද්‍යවරු හා හෙද කාර්ය මණ්ඩලය යුහුසුලුය. ළමා වාට්ටු තුන හදිසි ප්‍රතිකාර ඒකකයක් (ICU) ලෙස ක්‍රියාත්මක වේ. එහෙත් ඔවුන් සතුව රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව උපකරණ හිඟය. එක් දරුවකුට ප්‍රතිකාර කරද්දී තවත් දරුවකු වෙත මොනිටරිං යන්ත්‍රයක් (හෘදය ස්පන්දනය, ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය, හුස්ම වේගය මනින උපකරණ) අවශ්‍ය වූ විට වෛද්‍යවරුන් මෙන්ම හෙද කාර්ය මණ්ඩලයද අසරණ වේ. වාට්ටුවකට ඇත්තේ උපකරණ තුනක් පමණි. දිනකට මේ වාට්ටුවක් වෙත දරුවෝ 20 දෙනෙක් පමණ ඇතුළත් කෙරේ. අවම වශයෙන් වාට්ටුවක රෝගි ළමයි 60ක්-70ක් පමණ සිටිති. වාට්ටු අංක දෙකෙහි මොන්ටරිං උපකරණ තුනේන් එකක් අක්‍රිය වී ඇත. “අපිට පැය විසිහතරෙම වැඩ කරන්න පුළුවන්, මේ දරුවො ජීවත් කරන්න පුළුවන් නම්...” ළමා රෝග විශේෂඥ වෛද්‍ය හේමාලි ශ්‍රියානි ද සිල්වා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය පවසයි.
එකදිගට පැය 18ක් වැඩ කරන රෝහල් සේවකයෝ අපමණ කැප කිරීමක් මේ හදිසි අවස්ථාවේ සිදු කරති. එහෙත් මේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් රෝගයෙන් වැළැකී සිටීම සඳහා අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධයක් හෝ ලබා දී නැති බවද දැනගැනීමට ලැබිණි. විකිරණ ශිල්පීන් වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත වූවද රෝගීන්ගේ අවශ්‍යතා මඟහැර හෝ එම වගකීමෙන් ඉවත්ව රෝගීන් පීඩාවට පත් කර තිබුණේ නැත. ඔවුන් මේ හදිසි අවස්ථාවේ තම වගකීම නිසි ලෙස ඉටු කර තිබිණි. කරාපිටිය රෝහල වෙත දකුණ පළාතේ මූලික රෝහල්වලින් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ රෝගීහු යොමු කෙරෙති. මෙතැනට බොහෝ විට යොමු වන්නේ දුස්සාධ්‍ය රෝගීහුය. ඔවුන් වෙනුවෙන් පහසුකම් හා සේවා උපරිම ලෙස සැපැයීම රෝහල් කාර්ය මණ්ඩලයේ වගකීමයි. ඒත් පවත්නා අඩුලුහුඬුකම් එයට බලපෑම් කරයි. කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර එකකයේ ඉහළ මාලයේ ඉදි කර ඇති හදිසි ප්‍රතිකාර ඒකකයට අවශ්‍ය උකරණ ලබා දෙන්නේ නම් දරුවන්ට මීටත් වඩා හොඳ සේවාවක් ලබා දිය හැකි බව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අදහසයි. මේ කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වන්නේ නම් එය මේ රෝගී දරුවන්ට ලැබෙන මහඟු සේවාවකි.
මේ වන විට දකුණු පළාතේ දරුවන් වෙනුවෙන් මිලියන 1000ක් වැය කොට රෝහලක් ඉදි කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනානායක මහතා කටයතු කරමින් සිටී. ඒ අතර ඉදි කර ඇති දැඩිසත්කාර ඒකකය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට එතුමන්ගේ අවධානය යොමු වන්නේ නම් මේ හදිසි අවස්ථාවේ එය අනැගි මෙහෙයක් වනු ඇත. එහි අවශ්‍යතාව දැඩිව දැනෙන්නේ පසු ගිය 24 වැනිදා වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල්හි ලියාපදිංචි රෝගි සංඛ්‍යාව 35ක් (වලස්මුල්ල 20, තංගල්ල 19, තිස්ස 6) ගාල්ල මූලික රෝල්වලින් 56ක් (බලපිටිය 6ක්, උඩුගම 6ක්, ඇල්පිටිය 39ක්) මාතර 42ක් (දෙණියාය 16ක්, කඹුරුපිටිය 26ක්) ලෙස වාර්තා වී තිබූ බැවිනි. මේ වන විට රෝග තත්ත්වය මැඬ පැවැත්වුවද රෝගීන් 600කට වැඩි පිරිසක් රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල් ගතව සිටින බැවිනි.
මේ දිනවල පැතිර-යන උණ රෝග තුන අතරින් ඉන්ප්ලුවන්සා තත්ත්වය ප්‍රබල වී ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ජනතාව දැනුවත් කරමින් රෝගී තත්ත්වයෙන් වැළැකී සිටීමට අවශ්‍ය දැනුම ලබා දෙන බවත් දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ශාන් විජය ලාල් මහතා පවසයි. හදිසියේ ඇති වූ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් උපකරණ හා ඖෂධ හිඟයක් ඇති වූවද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දකුණු පළාතට අවශ්‍ය ඖෂධ ඉක්මනින් ලබා දුන් බවද , හිඟ උපකරණ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කොට ඉක්මනින් ලබාගැනීමට කටයුතු කරන බවද පැවැසීය.
වසංගත රෝග ඒකක අධ්‍යක්ෂවරයා මේ රෝග තත්ත්වය උත්සන්න වී නැති බවත්, වසංගත තත්ත්වයට පත්ව නැති බවත් වාර්තා කර තිබේ. එසේ වුවද රෝගය කෙරෙහි දැක්වූ අවධානය කිසි ලෙසකින් අඩු වී නැති බවත් දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සේයාරූ - විමල් කරුණාතිලක
ටෙක්ලා පද්මිණී කාරියවසම්