දිස්ත්‍රික්ක 20ක් වෙළාගත් ආපදාව | Page 3 | සිළුමිණ

දිස්ත්‍රික්ක 20ක් වෙළාගත් ආපදාව

 සිංහල අවුරුද්ද පහුවෙලා දවස් 45 ක් පසු වුණා ම ගලනවා” යැයි පැරැණි කියමනක් ඇත. ඒ පැරැණි කියමන අදටත් සත්‍ය වෙයි. ඒ අනුව මෙවරත් සිංහල අවුරුද්ද පසු වී දින 40ක්–45ක් ගත වූ විට දිස්ත්‍රික්ක 10කට අධික වැස්ස, ගංවතුර හා නායයෑම් ඇති විය. තවත් දිස්ත්‍රික්ක තදබල වැසි ඇති විය. එහෙත් සිදු වූ ආපදා 2017 වසරේ තරම් දරුණු වූයේ නැත.

දැනට ලැබී ඇති අලුත් වාර්තා අනුව පසුගිය සතියේ දිස්ත්‍රික්ක 20කට සිදු වූ ආපදා තත්ත්වය නිසා මරණ 16ක් සිදු වී ඇත. පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව 130,000කට ආසන්නය. ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 150 කට පමණ ආපදා බලපා තිබේ. මේ තත්ත්වය කනගාටුදායකය.

එසේ වුවද මෙවර මේ වැස්ස නිසා රටේ වියළි කලාපයට වෙස්වළාගත් ආශීර්වාදයක්ද ඇති විය. වසර 2කට අධික කාලයක් තිස්සේ දිය පොදක් ‍නොලැබුණු පුත්තලම, කුරුණෑගලට මෙන්ම නියඟයෙන් පීඩා විඳි අනුරාධපුර, පොලොන්නරුව, වවුනියාව, මන්නාරම, මුලතිව්, යාපනය වැනි ප්‍රදේශවලටද මෙවර වැස්ස ලැබිණි. මේ නිසා රටේ සියලු ගංගා හා බොහෝ ජලාශ දැන් පවතින්නේ පිරී-ඉතිරී යන තත්ත්වයකි.

කන්න 5ක් හරියට වගා කිරීමට වැස්ස නොලැබුණු වයඹ පළාතේ ජනතාවට විශේෂයෙන්ම මේ වැස්ස ආපදාවක් නොවේ. ආශිර්වාදයකි. ඔවුනට යල කන්නය 100%ක්ම අස්වද්දන්නට මේ වැසි ජලය ඉතා වටිනා සම්පතකි. පසුගිය සතියේ පුත්තලමට ආනමඩුවට මිලිමීටර් 1000ක පමණ වාර්තාගත වැස්සක් ලැබී ඇත. මේ නිසා වසර 50කටවත් පෙර වාන් දමා නැති වැව් දැන් වාන් දමා ඇත. තබ්බෝව ජලාශයේ දොරටු 20ක් සිකුරාදා වාන් දැම්මේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවටය. මේ අනුව වයඹ ගොවිජනතාවට මේ වැස්ස ආපදාවක් නම් නොවේ.

රටේ දිස්ත්‍රික්ක 19කට මේ වැස්ස ලැබුණු නිසා එමඟින් ලැබෙන ජලයෙන් උතුරුමැද, උතුරු, නැගෙනහිර, ඌව යන පළාත්වල කන්න 5කට පසු ඉදිරි යල කන්නය හොඳින් වගාකිරීමට හා ‍රටට ජල විදුලිය නොඅඩුව ලබාදීමට අවස්ථාව ලැබී තිබේ. මේ වැස්ස නොලැබුණා නම් යල කන්නටය නිසරු වනු ඇත. ජල විදුලිය නිපදවීම සීමාවනු ඇත. විශේෂයෙන් මේ වනවිට කොත්මලේ, රන්දෙනිගල, සමනලවැව, ලක්ෂපාන, ඉහළ කොත්මලේ, කුකුලේ, පොල්ගොල්ල හා විමලසුරේන්ද්‍ර ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ පිරී-ඉතිරී යයි‍. උතුරු මැද, වයඹ පළාත්වල සියලු ජලාශ හා වැව් පිරී ඇත. උඩවලව වාන් දමා ඇත. කළු, කැලණි, නිල්වලා හා ගිං ගංගා ඉතිරී ගොස් ආපදා ඇති වුවත් ඒ ජලයද අනාගත කෘෂිකාර්මික සංවර්ධනයට ඉමහත් ප්‍රයෝජනයකි.

අපේ රටට පසුගිය දිනවල ඇති වූ ආපදාවලට ප්‍රධාන හේතුව වූයේ වැස්ස වැඩි වීමයි. කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් මහතා පවසන පරිදි අන්තර් මෝසම් වැස්ස හා රටේ ඊශාන දිසාවේ ඇතිවූ කැලඹිලි ස්වභාවය මේ වැස්සට හේතු විය. ඒ සමඟම නිරිතදිග මෝසම සක්‍රීය වීම ආරම්භ කරමින් නිරිතදිගින් සුළං හැමීමත් නිසා ඒ සුළං ධාරාව මගින් ද වැසි ඇති විය. මැයි මාසය අවසන් වන තෙක් වැඩි වැසි ප්‍රමාණයක් ඇති වන අතර, ජූනි මස ආරම්භ වන විට නිරිතදිග මෝසම සක්‍රීය වුව හොත් ජූනි මාසය පුරාද නිරිතදිග මෝසම් ඇති විය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව ජූනි, ජූලි මාසවලත් වැසි හා ආපදා තත්ත්ව පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ඔහු කියයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන පරිදි මෙවර අම්පාර, මොනරාගල, මඩකලපුව, කිලිනොච්චි යන දිස්ත්‍රික්ක හැරුණු විට අන් සියලු දිස්ත්‍රික්කවලටද මේ ආපදා සිදු වී ති‍ෙබ්.

ආපදාවලට මුහුණදීමට කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා දැනට බෝට්ටු 110 හා අගුල් 170ක් ලබාදී ඇත.

ආපදා පිළිබඳව දැනුම් දීමට උපදෙස් ලබාගැනීමට 117 දුරකතන අංකය පුළුල් පරාසයකදී දැන් ක්‍රියාත්මකව පවතී. ඊට අමතරව දිස්ත්‍රික් ආපදා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ද පැය 24 පුරාම ක්‍රියාත්මකව ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ බුලත්සිංහල ප්‍රදේශයට ගිය විට දක්නට ලැබුණේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල බෝට්ටු කිහිපයක් සූදානම් කර තිබූ අයුරුය. ඇයි මේ ගිනිගහන දවස්වල බෝට්ටු? මම එහි නිලධාරීන්ගෙන් ඇසුවෙමි. “ලබන මාසේ 20 – 25 වෙනකොට මෙහාට ගංවතුර එනවාලු. ඒකට පෙර සූදානමක් ලෙස ආපදා එකෙන් මේ ‍බෝට්ටු අපට එව්වා” එහි නිලධාරීහු පැවසූහ. ආපදා පෙර සූදානම පිළිබඳව මෙය මා දුටු සතුටුදායක අත්දැකීමකි. එය ගිය වසරවලට වඩා ආපදා සහන ක්ෂේත්‍රයේ ලොකු ප්‍රගතියකි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කළ දීප ව්‍යාප්ත සමීක්ෂණ‍යක් අනුව 2016 – 17 වසරේදී අපේ රටට බලපා ඇති සියලු ආපදා නිසා අප රටට සිදු වූ හානිවල වටිනාකම රුපියල් කෝටි 16000ක් බව තක්සේරු කර ඇත. එහෙත් මෙවර ආපදා නිසා එතරම් හානි සිදු නොවීමට රජය ආපදාවට පෙර සූදානම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. එය සාර්ථක විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පෙර සූදානම් පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ සුනිල් ජයවීර මහතා පවසන්නේ මෙවර නිරිතදිග මෝසම් වැස්ස පිළිබඳව ආපදා පෙර සූදානම ආරම්භ කළේ 2018 ජනවාරි මාසයේ සිට බවයි. ඒ අනුව මුලින්ම අපි සැලැස්ම හැදුවා. ඊට පසුව අප්‍රේල් 13 පස්සේ අපි ජාතික මට්ටමේ ඉහළ නිලධාරීන් දැනුම්වත් කළා. වාරිමාර්ග, කෘෂිකර්ම, පරිසර, ආපදා, කළමනාකරු, ස්වදේශ කටයුතු, පළාත් සභා වගේ අමාත්‍යාංශ නිලධාරීන් ඊට සහභාගි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ නිලධාරීන් දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ඉහළ නිලධාරීනුත් දැනුම්වත් කර නිරිතදිග මෝසම් සඳහා මුහුණ දිය යුතු අයුරු පිළිබඳ දැනුම්වත් කිරීම සිදු කරනු ලැබුවා.

ඒ අනුව එක් එක් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි හා ග්‍රාම නිලධාරි වසම්වල සිටින සියලු රජයේ නිලධාරීන් දැනුම්වත් කිරීම සිදුවුණා. ඒ අනුව ඒ පණිවිඩය ගමට ගෙන ගියා. ගමේ නිලධාරීන් ගමේ වැදගත් අය රාජ්‍ය නොවන සංවිධාන ගමේ සමිති සංවිධාන එකතු වුණා. ඒ අයගේ අදහස අනුව හදිසි ක්‍රියාකාරි පෙර සූදානම් සැලැස්වීම ක්‍රියාත්මක කර ආපදාවලට වැඩි බලපෑම් ඇති ග්‍රාම නිලධාරි වසම්වල පෙරහුරු පැවැත්වූවා. ඒ ආපදාවක් සිදුවූ විගස යා යුතු ස්ථානය පිළිබඳව ඒ අයට දැනුම්වත් කළා. දැන් ගංවතුර නායයෑම් සිදු වුණොත් ඒ ඒ ග්‍රාම නිලධාරි වසම්වල අයට යෑමට සුදුසු විකල්ප ආරක්ෂිත ස්ථාන පෙන්වා දී තිබෙනවා‍. ඊට අමතරව ඒ ආපදා ඇතිවීමට ඉඩ ඇති ගම්වල සියලු දෙනාටම නායයෑම් ගංවතුර පිළිබඳව පූර්ව ලක්ෂණ හා ඒ ලක්ෂණ අනුව දැනුම්වත් කළ යුතු අංශවල දුරකතන අංක සහිත විස්තර පත්‍රිකාවක් අපි ඒ ගම්වල සියලු දෙනාට ලබාදුන්නා” සුනිල් ජයවීර මහතා පවසයි.

මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් මැයි 21 සිට ජූනි 3 දක්වා කාලය ආපදා සති දෙකක් බවට නම් කර තිබේ. ඒ අනුව කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, මහනුවර, බදුල්ල, ගම්පහ, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල සියලු ආපදා කළමනාකරණ ඒකක සීරුවෙන් තබා තිබේ.

මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා පවසන්නේ ඉහත දිස්ත්‍රික්ක පුරා යුද, නාවික හමුදා බළ ඇණි පොලිස් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් 6000ක් ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දීමට හැකි අයුරින් සීරුවෙන් තබා ඇති බවයි.‍

ඊට අමතරව නාවික හමුදාව හා යුද හමුදාව බෝට්ටු හා බේරාගැනීමේ පුහුණුව ලත් සෙබළුන් ඉහත ප්‍රධාන ලෙස ආපදාවලට ලක්වන ප්‍රදේශවලට යවා ඇත. ගුවන් හමුදාව ද ආපදා සහන කණ්ඩායම යානා සූදානම්ව තබා ඇත. ඒ ප්‍රමාණය 2017 ප්‍රමාණය මෙන් දෙගුණයක් බව ද ඒ මහතා සඳහන් කළේ ය. එසේ යවන ලද සෙබළුන් හා ආරක්ෂක හමුදා සතු වාහන මඟින් ආපදාවට ලක්වූ පුද්ගලයන් බේරාගැනීම දැනටම ක්‍රියාත්මක බවත් ආරියරත්න මහතා පැවසීය. ඊට අමතරව අගුල් වැනි කුඩා බෝට්ටු ගණනාවක් ද ඉහත දිස්ත්‍රික්කවල අස්සේ මුල්ලේ යාමට ලබාදී තිබෙන බවත් ආපදාවලට ලක් වූ අතුරු මාර්ගවල පුද්ගලයන් බේරා ගැනීමට කටයුතු කළ හැකි බවද බ්‍රිගේඩියර්වරයා පැවසීය.

නාවික හමුදා සහන සැලසීමේ කණ්ඩායම් 41ක් හා ඩිංගි බෝට්ටු 41ක් මේ සඳහා යොදා ඇත. ඊට අමතරව හදිසියේ ඇති වන නායයෑම් වැනි ආපදාවලට ජනතාව බේරාගැනීමට විශේෂ කාර්යබළකාය සූදානම්ව සිටී.

ඊට‍ අමතරව මියගිය පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක්ද ගෙවනු ලැබේ. රජයේ ඉල්ලීම මත සහනාධාර සඳහා විදේශ ආධාරද රජයට ලැබී ඇත.

මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පවසන්නේ එතරම් ර‍ටට ආපදා සිදුවූයේ නැති වුවත් දැනටම රටේ දිස්ත්‍රික්ක 25 සඳහා මිලියන 25ක් ලබාදී තිබෙන බවයි. ඊට අමතරව ගාල්ල, මාතර, බදුල්ල, නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගම්පහ, කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ස්වාභාවික රක්ෂණ ආවරණ වැඩසටහන මගින් රුපියල් ලක්ෂ 550ක් ලබාදී ඇති බව ද චමින්ද පතිරාජ මහතා පැවසීය.

ඊට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් පරිදි රටේ විවිධ දිස්ත්‍රික්කවල සිදු වන ආපදාවලට සහන දීමට අවශ්‍ය මුදල් උපකරණ නොඅඩුව ලබාදීමට සූදානමින් සිටින බවත් චමින්ද පතිරාජ මහතා පැවසීය.

ආපදා සහන පිළිබඳ ‘සිළුමිණ‘ කළ විමසීමකදී කරුණු දැක්වූ වාරිමාර්ග හා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසුවේ හදිසි ආපදා තත්ත්වවලට මුහුණදීමට රජය සියලු අංශ සූදානම් කර ඇති බවයි.

ආපදා සහන සඳහා මුදල් අවශ්‍ය තරම් දිසාපතිවරුනට ලබාදී ඇති බවත් ආපදා සිදු වුව හොත් අවශ්‍ය සහන සැලැසීමට යුද නාවික නමින් හමුදාවත් පොලිස් හා සිවිල් ආරක්ෂක බළකා දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල දැනටම ස්ථානගත කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය. දැනටම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ජෙනරේටර්, වතුර ෆිල්ටර්, වියළි ආහාර ඇතුළු භාණ්ඩ ලබාදී ඇති බව ද ඇමැතිවරයා කීය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයන්ට ආපදා කටයුතුවලට එක් වන ලෙස දන්වා ඇති පරිපාලන නිලධාරීන් හා සම්බන්ධ වී ආපදා සහන සැලසීමට එම නියෝජිතයන් දැන් කටයුතු කරන බවට වාර්තා වෙයි.

මීට අමතරව නිවාස හානි හා දේපොළ හානි සඳහා ජාතික රක්ෂණ භාරකාර අරමුදල මඟින් තාක්ෂණික ඇගැයීම් වාර්තාව අනුව රුපියල් ලක්ෂ 25ක් දක්වා වන්දි ගෙවීමට සූදානම්ව සිටී. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන මගින් මේ කටයුතු සම්බන්ධීකරණය කර ක්‍රියාවට නංවනු ලැබේ.

ගංවතුර නිසා විනාශයට පත් වූ මාර්ග පිළිසකරයට එක් පළාතකට රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදී ඇතැයි එහි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ප්‍රකාශ කරයි.

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, පීඩාවට පත් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථාතත්ත්වයට පත් කරගැනීම වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසු දරුවන්ගේ පාසල් නිල ඇඳුම්, පෙළපොත් සහ පාඩම් සටහන් ආදිය විනාශ වී හෝ හානියට පත්වී ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ හදිසි දුරකතන අංකය වන 1988 ට දැනුම් දිය හැකියි.

මීට අමතරව එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස. (උසස් පෙළ) හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සිසු දරුවන්ගේ විනාශ වූ හෝ හානියට පත් පෙළ පොත් සහ පාඩම් සටහන් කඩිනමින් සපයාදීමටද විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

එලෙස පීඩාවට පත් වූ සිසු දරුවන්ට, ගුරුවරුන්ට හෝ මාපියන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ 1988 හදිසි දුරකථන අංකය අමතා ඉහත සහන සඳහා තොරතුරු ලබාදිය හැකි යි.

නිහාල් පී. අබේසිංහ

Comments