පුත්තලමේ කඩොලාන අක්කර 10ක් එළි කරලා | සිළුමිණ

පුත්තලමේ කඩොලාන අක්කර 10ක් එළි කරලා

 බස්නාහිරින් සුන්දර ස්වාභාවික කලපු තීරයකින්ද, නැගෙනහිරින් තබ්බෝව අභය භූමියෙන්ද, උතුරු දෙසින් රමණීය මී ඔය ගංගා නිම්නයෙන්ද වට වූ පුත්තලම එදා මෙදාතුර ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියයි. මෙහි කලපු ආශ්‍රිතව දිවිගෙවන බොහෝ දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැන හා ධීවර කර්මාන්තයයි. මන්ද අඩු ප්‍රාග්ධනයක් හා සීමිත සම්පත් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවර ප්‍රජාවට සුන්දර කලපුවෙන් ඵලදායි සරු අස්වැන්නක් නෙළා ගැනීමට හැකිවීමය. මේ පළාතේ ධීවර කර්මාන්තය වැඩි දෙනකු අතර ප්‍රචලිතව ඇත්තේද එනිසාය.

1980 වර්ෂයේ සිට1990 වර්ෂය දක්වා කාල වකවානුවේ මේ ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ස්වාභාවික කලපුවෙන් ඵලදායි අස්වැන්නක් නෙළාගෙන ඇති බවත්, ඔවුන්ගේ ආර්ථිකය ධනාත්මක මට්ටමක පවත්වාගෙන ආ බවටත් එවක සමීක්ෂණ වාර්තා හා ගවේෂණාත්මක තොරතුරු වාර්තාවල සඳහන් වේ. එයට වඩාත්ම හේතුවි ඇත්තේ ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයක් වන කඩොලාන බව ද ඒ විශ්ලේෂණ තවදුරටත් සටහන් කරයි.

දිනෙන් දින වර්ධනය වන මත්ස්‍ය සම්පතේ ආරක්ෂාවට මෙම කඩොලානෙන් ලැබුණේ දැඩි ආරක්ෂාවකි. එනිසාම කඩොලාන, ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ මහඟු සම්පතක් ලෙස ද සැලකේ.

කුඩා මත්ස්‍යය වර්ග විශාල සංඛ්‍යාවක් විශාල ප්‍රමාණයේ මත්ස්‍යයන්ගේ ගොදුරු බවට පත් නොවි තම වර්ගයාගේ ආරක්ෂාව සලසා ගනිමින් සිය ප්‍රජනන ක්‍රියාවලිය ආරම්භ කරමින් බීජ ව්‍යාප්ත කිරීමේ කාල පරාසය පුරා කඩොලාන ශාකයේ මූල පද්ධති සිය වාසස්ථාන කර ගනිති. කඩොලාන ශාකයේ දිරාපත්වන මුල් පොතු හා පත්‍ර එම කාල සීමාවේ උන්ගේ ප්‍රධාන ආහාර බවට පත්වේ.

එපමණක් නොව කලපු ධීවර කර්මාන්තයේ වැඩිපුර ආදායම් ලබන්නේ ඉස්සන් හා කකුළුවන්ගෙනි. ඉස්සන්ගේ අභිජනන ක්‍රියාවලිය සිදුවන්නේද කඩොලාන ආශ්‍රිතවය. මවු ඉස්සා තම වර්ගයා බෝ කිරීම සඳහා වරකට බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් කඩොලාන ආශ්‍රිතව ලන බව ධීවරයෝ පවසති.

ඔක්සිජන් නිෂ්පාදන ක්‍රියාවලියේ දී ද කඩොලාන ශාකයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. මන්ද අනෙක් ශාක හා සැසඳීමේ දී ඔක්සිජන් නිෂ්පාදන ක්‍රියාවලියට සීයට සීයක්ම දායකවීම හේතුවෙන් ඔක්සිජන් කාරකයක් ලෙසද කඩොලාන ක්‍රියා කරයි.

වැසි සමයේදී පුත්තලමේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීම, ගං වතුර ගැලීම හා අධික සුළඟෙන් පීඩාවට පත්ව අවදානම් තත්ත්වයක් ඇති වෙද්දී ස්වභාවික ආපදා මැඩලීමට කඩොලාන මඟින් එල්ල කෙරෙන ඍජු බලපෑම අපමණය. ජාතික රතු දත්ත පොතට අනුව දැනට පුත්තලම ප්‍රදේශයේ කඩොලාන වර්ග 10 ක් පමණ හඳුනාගෙන ඇති අතර වෑරිය, මන්ඩ, මහකඩොල්, යක් කිරල හා මල් කඩොල් ඉන් ප්‍රධාන තැනක් ගනී.

වර්තමානයේ මෙම කඩොලාන විසිරි ප්‍රදේශ ඉස්සන් ගොවිපොළ හා ලුණු ලේවා හිමියන්ගේ ග්‍රහණයට ලක්ව ඇත්තේය. කාසන්තිව්කාඩු ප්‍රදේශයේ රජය සතු ඉඩම් අක්කර දහයකට ආසන්න ප්‍රමාණයක ස්වභාවික වෙරළ ආරක්ෂිත කඩොලාන සම්පත ලුණු ලේවා හා ඉස්සන් ගොවිපළවල් ඉදිකිරීම සඳහා ඉවක් බවක් නොතකා දිගින් දිගටම විනාශ කරමින් පවතී.

මේ දැවැන්ත කඩොලාන සංහාරයේ තතු සොයා එහි ගිය අපට දැක ගත හැකි වූයේ කඩොලානට විනකටින්නන්ගේ සිත්පිත් නැති පොරෝ පහරින් දැවැන්ත ශාක බිම හෙළා ඇති අයුරුය. දෑතින් බැදිය නොහැකි ප්‍රමාණයේ මනාව වැඩුණු කඩොලාන ශාක කපා දමා‍ ඇති අන්දම දැකීම ද වේදනාවකි.

කලපුව සමීපයේ පිහිටා ඇති සුන්දර කඩොලාන පරිසරයට විනකටින්නන්ගේ රුදුරු ග්‍රහණයට හසුවීමේ විපාකය නිසා කඩොලාන ආශ්‍රිතව දිවිගෙවන ජනතාව මෑත කාලයක සිට උග්‍ර පාරිසරික ගැටලු රැසකට මුහුණදී සිටිති. ඉස්සන් වගාව හා ලුණු ලේවා සඳහා මෙලෙස කඩොලාන රක්ෂිතය කපා දැමීම නිසා කඩොලාන සීඝ්‍රයෙන් වඳවීමේ තර්ජනයට ද ලක්ව ඇත්තේය.

රජය සතු ඉඩම් මෙලෙස නීති විරෝධීව අත්පත් කර ගැනීමෙන් අනතරුව ජාවාරම්කරුවන් ව්‍යාජ ලිපි ලේඛන සකසමින් එම ඉඩම් ඉස්සන් කර්මාන්ත ශාලා හා ලුණු ලේවා හිමියන්ට හොර රහසේම අලෙවි කරන බව පැවසේ. මහා පරිමාණ ඉඩම් මංකොල්ලයක් මෙන්ම තවත් අක්‍රමිකතා රැසක් ද මේ ආශ්‍රිතව සිදුවන බව පවසන පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එස්. රවි කුමාර් මහතා ඒ පිළිබඳ රජයේ වගකිව යුතු බලධාරීන්ට චෝදනා කරයි.

මෙම ප්‍රදේශයේ නම් දැරූ සංවිධානාත්මක ඉඩම් ජාවාරම්කරුවන් රජය සතු කඩොලාන සංරක්ෂිත හා අධි සංවේදී කලාපයේ ඉඩම් ද පිඹුරුපත් සකසමින් ව්‍යාජ බලපත් යොදා පිටස්තර ව්‍යාපාරිකයින්ට අලෙවි කිරීමේ කූට ජාවාරමක නිරතව සිටින බව ප්‍රදේශවාසීහු පවසති. මේ නිසා දැනටමත් වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති පුත්තලම කඩොලාන පරිසරය වැඩි කාලයක් යෑමට ප්‍රථම සම්පූර්ණයෙන්ම විනාශයට ලක්වනු ඇති බවට ද ඔව්හූ මැසිවිලි නගති.

මෙම ඉඩම් මංකොල්ලයට ඇතැම් දේශපාලන මෙන්ම පරිපාලන අංශවලද නොමද සහාය ලැබෙන බවද තතු දත්තෝ පවසති. එසේම ඇතැම් වන සංරක්ෂණ අංශද සිය වගකීම් හා යුතුකම් පැහැර හරිමින් හොර ඉඩම් ජාවාරම්කරුවන්ගේ පොරෝ පහරට ලක්වන කඩොලාන දකිමින් මුනිවත රැකීම පුදුමයට කරුණක්ව තිබේ. ‘‘දැන් කඩොලාන විශාල ප්‍රමාණයක් එළි කරලා. මේ විදිහට ගියොත් කාසන්තිව්කාඩු ප්‍රදේශයෙන් කඩොලාන නැත්තටම නැතිවෙලා විශාල පාරිසරික ගැටලු මතුවී මේ පළාතම කාන්තාර බවට පත්විම වළක්වන්න බැරිවෙයි.” යනුවෙන් පවසන ප්‍රදේශවාසීහු මේ ගැන අදාළ බලධාරීන්ගේ අවධානය වහා යොමු කරන ලෙස ඉල්ලති.

මේ කඩොලාන සංහාරය ගැන අපි පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනි හේරත් මහත්මියගෙන්ද විමසුවෙමු. ‘‘ඔය කියන ප්‍රදේශය මගේ බල ප්‍රදේශයට අයත් කොටසක්. නමුත් පොඩි ගැටලුවක් තියෙනවා. කඩොලාන සංරක්ෂිත කලාපය එසේත් නැතිනම් කලපුව ආශ්‍රිත කඩොලාන ගහන ප්‍රදේශයේ ඉඩම් රජය සතු වුණත් වන සංරක්ෂණය බාරයේ තමයි පාලනය වෙන්නෙ. නමුත් අපි රජයේ බලධාරින් විදියට මෙවැනි විනාශයක් කිසිසේත්ම සිදුවෙන්න ඉඩ තැබීම නරකයි. ඒ නිසා මම වහාම ක්‍රියාත්මක වන පරිදි වසම බාර ග්‍රාම සේවා නිලධාරිවරයාට ලිඛිතවත් වාචිකවත් මේ සිදුවී ඇති සංහාරය පිළිබඳ වහාම මට වාර්තා කරන ලෙසට දැනුවත් කළා. ඒ විතරක් නෙමෙයි. අදාළ හානිය සිදු කළ පුද්ගලයා මගෙ කාර්යාලයට කැඳවාගෙන එන්න කියලාත් මම උපදෙස් දීලා තියෙනවා. අපි මේ පිළිබඳ වන සංරක්ෂණ නිලධාරින් දැනුවත් කිරීමටත් අවශ්‍ය කටයුතු යොදනවා.” එසේ පැවසූ ප්‍රාදේශීය ලේකම්වරිය මේ ගැන තොරතුරු සොයා යෑම ගැන සිළුමිණට ස්තුති කළාය. නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අපි පුත්තලම අඩවි වන නිලධාරි කාර්යාලයේ අදාළ වසම බාර වන ක්ෂේත්‍ර සහකාරී ජේ. එම්. එස්. ජයසුන්දර මහතාගෙන් විමසීමහක් කළෙමු.

‘‘අපි ඔය සිද්ධිය කලින් වාර්තා කරලා තියෙන්නෙ. නමුත් අපි නැවත වතාවක් ඔය කියන ස්ථානය බැලීමට ඔරුවක් ආධාරයෙන් ගිහින් නිරික්ෂණය කළා. පවතින ජල මට්ටමත් එක්ක අපිට නිශ්චිතවම කියන්න බැහැ මේ කොටසෙ අක්කර කීයක් තියෙනවද කියලා. තව දෙයක් තමා විශාල හානියක් සිදු කරලා තියෙනවා. මේ පිළිබඳ අපි විමර්ශනයක් කරගෙන යනවා. මීට කලින් මෙවැනි හානියක් සිදුකරපු පිරිසකට අපි අධිකරණය හමුවේ නඩු පවරලා ඔවුන්ට විරුද්ධව නෛතික ක්‍රියා මාර්ග ගත්තා. මේකෙ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ අපිට. ඒ නිසා වන සංහාර සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අප පසුබට වෙන්නේ නැහැ.” 

 

Comments