
දැන් හිතන්න එපා ෆුට්බොල් සීසන්-එක නිසා බෙකම් මතක් වුණා කියලා. නෑ. එහෙම නෙමෙයි. අපේ එකෙක් ගැන ලියන්න කිව්වම කවුද මුලින්ම ලියන ‘අපේ එකා’ කියලා හිතාගෙන හිතාගෙන යනකොට හිත නැවතුනේ බෙකම් ගාව. ඒ බෙකම්ගේ ලස්සන මූණවත්, ගිනිකූර වගේ තියෙන කඩවසම් ඇඟ නිසාවත් නෙමෙයි. ඇත්තටම බෙකම් ‘අපේ එකෙක්’ නිසා.
බෙකම් කොහොමද අපේ එකෙක් වෙන්නේ. ඒක ටිකක් වෙලා අරං උත්තර දෙන්න ඕනෙ ප්‍රශ්නයක්.
බෙකම් කියන්නේ අර කලින් කිව්වා වගේම පාපන්දු තරුවක්. එක්තරා කාලෙකදි නම් දීප්තිමත් තරුවක්. ඒත් බෙකම් පාපන්දු ලෝකයේ තරුවක් වෙනකොට බෙකම්ට වඩා අතිදීප්තිමත් තරු පාපන්දු ලෝකයේ රජ කළා. බෙකම්ට සිද්ද වෙන්නේ එංගලන්ත කණ්ඩායමට නායකත්වය දීමෙන් සෑහීමකට පත්වෙන්න විතරයි. අඩුම තරමින් ලෝක පාපන්දු කුසලානය එංගලන්ත කණ්ඩායමට දිනා දෙන්නවත් බෙකම්ට හැකියාව ලැබෙන්නේ නැහැ.
පිටියේ වැඩිය දස්කම් නොපෙන්නුවත් බෙකම් විශ්වයේ ආකර්ෂණීයම පාපන්දු ක්‍රීඩකයා විදිහට කිරුළු දරපු කාලයකුත් තිබුණා. ඒත් මේ හැමදේටම වැඩිය බෙකම් ස්ථාවර වුණේ පවුල් සංස්ථාව නිසා. කොටින්ම කිව්වොත් අද බෙකම් කියන්නේ පවුල නිසා පරමාදර්ශී වුණු ලෝකයේ එකම ජනප්‍රිය ක්‍රීඩා තරුව.
බෙකම්ට පවුල් සංස්ථාවේ සභාපතිකම ලැබෙන්නේ වික්ටෝරියා නිසා. වික්ටෝරියා කියන්නේ බෙකම්ගේ නීත්‍යනුකූල බිරිය. ඇය කාලයක් ලෝකයේම ජනප්‍රිය වුණු ‘ස්පයිස් ගර්ල්ස්’ කණ්ඩායමේ සාමාජිකාවක්. බෙකම් සහ වික්ටෝරියා මුල් යුගයේදී සැබෑ ආදරවන්තයෝ. ඒ අාදරය විවාහයෙන් කෙළවර කරගත් වාසනාවන්තයෝ. හැබැයි පුදුමයකට වගේ ඒ විවාහය තුළ දීර්ඝකාලීනව රැඳී සිටින්නත් බෙකම්ට හැකියාව ලැබුණා!
බෙකම් ‘අපේ එකෙක්’ වෙන්නේ අන්න ඒ නිසා.
යුරෝපය කියන්නේ මානව සමාජයේ ක්ෂුද්‍රතම ඒකකය වන පවුල එතරම් හොඳින් ආරක්ෂා වන තැනක් නෙමෙයි. ඔවුන්ට පවුල් ජීවිත කියන්නේ රාත්‍රී ආහාරය ගන්නා අවන්හල් තරමට ගතිකයි. අද එකක්. හෙට එකක්.
පවුල් ජීවිතයට එළඹීමෙන් පසු වික්ටෝරියා සංගීත කණ්ඩායමෙන් සමු ගන්නවා. පසුව ස්පයිස් ගර්ස්ලත් විසිරිලා යනවා. බෙකම්ට නම් කොහොමත් හැමදාම ග්‍රවුන්ඩ්-එකේ ඉන්න ලැබෙන්නේ නැහැ. වයසත් එක්ක ඔහුත් පිටියට සමු දෙනවා. හොඳයි, දැන් කොහොමද පැවැත්ම තහවුරු කරගන්නේ... ජනප්‍රියත්වය එකවගේම තියාගෙන ඉන්නේ.
මහා බ්‍රිතාන්‍යය කියන්නේ මහ ඇල්මැරිච්ච රටක්. එක්කෝ එකතැන පල් වෙනවා; නැත් නම් අැමරිකාව පස්සේ යනවා. ඒ ඔක්කොම අස්සේ ලෝකෙට ලොක්කා හරි නම් ඇමරිකාව නෙමෙයි, මමයි කියලා පෙන්නන්ත් ට්‍රයි-එකක් දෙනවා. මේ අස්සේ ඉස්ලාම් අන්තවාදීන්ගේ තර්ජනවලටත් මොනවා මොනවා හරි කර-කර ඉන්නවා.
තවත් වසර සීයයකට මෙපිටින් යුරෝපයේ සමස්ත සුදු ජාතිකයන්ගේ ජනගහනය ඉක්මවා මුස්ලිම් ජාතිකයන්ගේ ජනගහනය වර්ධනය වීම වැළැක්විය නොහැකි කරුණක් වී ඇති බවට රහස් ඔත්තු සේවා මඟින් තහවුරු කරන්නේ මේ අතර. ඒ අනුව යුරෝපයේ සුදු ජාතිකයන් අද මේ මොහොතේ සිට දරුවන් සෑදීම ආරම්භ කළත් ඔවුන්ට මුස්ලිම් ජාතිකයන්ට තරගයක් දෙන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මුස්ලිම්වරු දැනටමත් ඔවුන්ගේ පරම්පරාව සංඛ්‍යාවෙන් වර්ධනය කර අවසන්.
කොහොම වුණත් මේ සේරම අස්සේ ‘පවුල’ කියන සංකල්පයට වඩාත් වැඩි වටිනාකමක් ලබා දෙන්න බ්‍රිතාන්‍යයට අවශ්‍ය වනවා. එතනදී ඔවුන්ට අවශ්‍ය වන්නේ ‘සෙලිබ්‍රිටි’ අය අතරින් ගොඩනැගුණු පරමාදර්ශී පවුල්. හොඳ ශක්තිමත් පවුල් ජීවිත ගෙවන ‘සෙලිබ්‍රිටි’ චරිත පෙන්වලා ‘මේ වගේ වෙන්න’ කියලා තමන්ගේ ජනතාව පොලඹවන්න ඔවුන්ට අවශ්‍ය වෙනවා. අන්න එතනදී බෙකම්ට ආපහු වටිනාකමක් ලැබෙනවා.
බෙකම් සහ වික්ටෝරියා විවාහ වෙන්නේ 1997දි. 2001 වසරේදී රෙබෙකා ලූස් කියන තරුණිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා ඩේවිඩ් බෙකම් තමන්ගේ පෙම්වතා බව. 2004දී සාරා මර්බෙක් ඒ කතාවම කියනවා. වික්ටෝරියා ඒ වන විට පවුලට එකතු වී සිටි වැඩිමහල් දරුවන් රැගෙන ස්පාඤ්ඤයට යනවා. ඒත් ඔවුන්ගේ පවුල් ජීවිතය විසිරී යන්නේ නැහැ. ඒ ආදරය නිසාද? බැඳීම නිසාද? නැහැ. මේ එකක්වත් නිසා නෙමෙයි. ඔවුන්ට ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් විසින් මුදල් ලබා දුන් නිසා. බෙකම්ට අනුග්‍රහය දක්වන ජනප්‍රිය ක්‍රීඩා භාණ්ඩ අලෙවි සමාගමක් මේ මුදල් ලබා දුන් සමාගම් අතර ඉදිරියෙන්ම ඉන්නවා. ඔවුන්ගේ එකම කොන්දේසිය වුණේ ‘පවුල් කන්න’ කියන එකයි. ඉතිං වැඩේ කොච්චර ලේසිද? බෙකම් පවුල ආයෙම එකතු වෙනවා. ඔවුන් තව-තවත් ජනප්‍රිය වෙනවා. ඔවුන් බ්‍රිතාන්‍යයේ පරමාදර්ශී පවුල වෙනවා. බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය භාවිත කරන ගමන්ම කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස්වල ස්ථාවර වත්කම් ඇති කරගන්නවා. පවුලේ සංඛ්‍යාව තව-තවත් ඉහළ යනවා. ඉතින් මේ සල්ලි අරන් පවුල් කන බෙකම් දිහා බලාගෙන හොඳ පවුල් ජීවිත ගෙවන්න බ්‍රිතන්‍ය වැසියෝ කී දෙනෙක් ‘මෝටිවේට්’ වුණාද දන්නේ නැහැ. මේ අතරෙ විලියම්-කේට් දෙන්නා නම් පවුලට වඩා වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් එකතු කරගනිමින් ඉන්නවා පේනවා. බොහෝ විට ඔවුන්ටත් බෙකම්ලාට වගේ ‘අයිඩියල්’ පවුල් ජීවිත ගත කරලා පෙන්වන්න උපදෙස් ලැබිලා තියෙන්න පුළුවන්. බෙකම් මේ විදිහට බටහිර බිඳවැටෙන සමාජ ස්තරයේ පවුල් සංස්ථාවේ පරමාදර්ශය වෙන කොට, ඊට සාපේක්ෂව බෙකම් ‘අපේ එකෙකුත්’ වෙනවා.
ඉස්සර පොතේ ලියලා අත්සන් කරන්නේ නැතිව විශ්වාසෙට පවුල් කාපු අතීත සංස්කෘතියක් තියෙන අපේ රටත් දැන් යාන්තමින් යුරෝපයට තරගයක් දෙන්න පුළුවන් තරමට ඉදිරියට ඇවිත් තියෙනවා. විශේෂයෙන් මුදල් සහ බලය තියෙනවා නම් පවුල් දෙක-තුනකුත් තියෙනවා. එක පවුලක් නීත්‍යනුකූල සහ ‘සෙරමෝනියල්’ පවුල විදිහට පවතිනවා. සෙසු පවුල් සෙසු විදිහට. මේ සියල්ල සමාජයත් දන්නවා; පවුලත් දන්නවා; ඔක්කොම දන්නවා; නොදන්වා වගේ ඉන්නවා. මේ සිස්ටම්-එකට කාගෙන් වත් විරෝධයක් එන්නේ නැහැ: අඩුම තරමින් නීත්‍යනුකූල බිරියගෙන්වත්! මොකද: ඇය දන්නවා පවුලෙන් එළියට බැසීම තුළ අස්ථාවර වන්නේ තමන්ම බව. ඒ නිසා ඇමැති සැප, ධනපති සැප ලබමින් මේ නීත්‍යනුකූල බිරියන් සියල්ල නොදුටුවා සේ පවතිනවා.මතුපිට තලයේ ඔවුන් ඉතා පරමාදර්ශි, සංස්කෘතික සහ ආචාරධර්ම රකින මිනිසුන්. ඒත් ඔවුන්ගේ ජීවිතවල යටිපෙළ කුණු වෙලා වැක්කෙරෙනවා!
එතනින් එහාට සෙසු සමාජ ප්‍රපංච ගැන කිව යුතු නැති තරම්. හැබැයි යම් කිසි විදිහකින් මේ ‘අනියම්’ වශයෙන් පවතින සම්බන්ධයක් ‘නියම්’ කර ගත්තොත් එතනදී දරුණු විවේචනවලට ලක් වන්න සිදු වෙනවා. මතක නම් අපේ ජනප්‍රිය ගායකයකුගේ දෙවැනි විවාහයේදී මේ තත්ත්වයට මුහුණ දෙන්න ඔහුට සිදු වුණා. දරුණු විවේචන එල්ල වුණත් ඔහු කළේ තමා වසර ගණනාවක් ඇසුරු කරපු තරුණියට තම ජීවිතයේ නීත්‍යනුකූල පදනමක් දීම පමණයි. බහුතරයේ අනුමැතිය ලැබෙන්නේ යටින් කුණු වෙච්ච උඩින් ‘ටිපිකල්’ ෆැමිලි ලයිෆ්-එකකට. කොහොම හරි යුරෝපයේ ජනප්‍රිය තරුව ‘අපේ එකෙක්’ වෙන්නේ මෙන්න මෙතනදී. කන්ට්‍රැක්ට්-එකෙන් එන ගානට සාපෙක්ෂව පවුලක් ඇතුළේ රැඳී සිටීමත් හරි ශෝක් වැඩක්. බෙකම්... ඒක හරියටම කරලා පෙන්නන ඔයාත් ‘අපේ එකෙක්’.