ඩොයිලිට අදත් තනිරකින චාල්ස් | සිළුමිණ

ඩොයිලිට අදත් තනිරකින චාල්ස්

මහනුවර නගරයේ පිහිටි ගැරිසන් සොහොනේ නිදන්නේ එසේ මෙසේ වූ‍වෝ නොවෙති. මෙරට ඉතිහාසයේ අමතක කළ නොහැකි නම් ගණනාවක් ඒ අතර වෙති. මේ ගැරිසන් සොහොන් බිමේ කතාවයි.

ඒ හිමිදිරි උදෑසන නුවර වැව රවුමෙන් ගමන ආරම්භ කළේ විශේෂ භුමියක් කරා යෑමට ය. ඒ බිම අපේ රටේ එක්තරා අතීතයක් වළ දමා තිබේ. මහනුවර රාජසිංහ පොත්ගුල් විහාරයට පහළින් වර්තමාන පුරා විදු බිමට ඉහළින් අපේ රටට අයත් නොවන මිනිස්සු සමූහයක් එහි නිදන්නෝය. ඒ ගැරිසන් සුසාන භූමියයි.

ශ්‍රී දළදා මාලිගයට සහ පල්ලේ වාහලට පිටුපසින් උඩවත්ත කැලයට මායිම්ව වන පරිදි පිහිටි ගැරිසන් සුසාන භුමියේ, ජෝන් ඩොයිලි, ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ බිරිය, ජෙරන් ප්‍රේශර් (ඔහු පේරාදෙණිය පාලම තනි ලීයෙන් තැනූ ඉංජිනේරුවරයාය), විලියම් කාල් මැක් රෙඩ්(සැළලිහිණි සංදේශය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ ඔහුය) ආදි එකල ප්‍රකටව සිටි ඉංග්‍රීසි ජාතිකයෝ රැසක් මේ පොළොව මත සාමදානයේ සැතපී සිටිති.

1815 මහනුවර යටත් කරගැනීමෙන් පසු බොහොමයක් ගොඩනැගිලි බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට ඉදිවිය. පුරාණ වලව් පවා ලන්දේසි සහ ඉංග්‍රීසි ඌරුවට යටත් වූයේ පැරණි සම්ප්‍රදාය යටපත් කරමිනි. සුදු ජාතිකයෝ මහනුවර ඉතා වැදගත් කොට සැලකූ අතර නැවතත් සිංහල රජ පරපුරක් ඇතිවීම වළක්වාලීම සඳහා සෑම ප්‍රයත්නයක් ම දැරූහ. ඒ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙනි. මෙබිම රැදී සිටි ඔවුන් මිය ගිය පසු අවසන් කටයුතු කිරීමට එංගලන්තයට මෘත ශරීර යැවීම සිදු නොවුණි. එකල විදෙස් ගමන් සිදු වූයේ මුහුදු මාර්ගයෙනි. මුහුදු ගමන් යෑමටද මාස ගණනාවක් ගතවිණි. එනිසා මිය ගිය වුන්ගේ සිරුරු මේ බිමෙහි මිහිදන් කෙරිණි. එසේ මිහිදන් වුවන්ගේ සුසාන භුමිය අද බලා ගන්නේ චාල්ස් කාමිචෙල් ය .

චාල්ස් කාමිචෙල් හරි අපූරු පුද්ගලයෙකි. ඔහු ඉගෙනුම ලැබුයේ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ ය. 1998 දී බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරා ලංකාවට පැමිණිවිට ගැරිසන් සොහොන් බිම අලුත්වැඩියා කිරීමට කණ්ඩායමක් පත් කරයි. ඒ සඳහා පැමිණි කණ්ඩායමේ චාල්ස් කාමිචෙල් සාමාජිකයෙක් වී සිටියේය. ‍සොහොන් කොත් අලුත්වැඩියා කරන විට මේ පිළිබඳ ඔහුට උනන්දුවක් ඇති විය. ඒ ඔස්සේ එහි සැඟවී තිබූ අපූරු කතා ඔහු ‍සොයා ගියේය. අද ද මේ, ගැරිසන් සොහොන් බිමේ නිදනවුන්ගේ කතා සියල්ලක්ම පාහේ ඔහුට හොඳින් මතක ය.

පුරාවිද්‍යා පනතින් ආරක්ෂා වුණු ගැරිසන් සොහොන් බිමට එන කා හටත් චාල්ස් එහි වගතුග බොහෝ ආසාවෙන් වුවමනාවෙන් ඕනෑකමින් පවසන්නේය. ව්‍යක්ත ඉංග්‍රීසි බසින් ඔහුටම ආවේණික නාට්‍යමය ස්වරූපයකින් ඒ අතීත කතා හරි අපූරුවට පවසන්නේය. බොහෝ අය සුසාන බිම්වල ගැවසෙන්නට මළවුන් ගැන මතක සිහිකරන්නට කැමැති නැත. නමුදු චාල්ස්, ගැරිසන් සොහොන් බිමට ආදරය කරන්නෙකි. එහි සැතපෙන්නවුන්ට පෙම් බඳින්නෙකි. විසි එක් වසරක් තිස්සේ ගැරිසන් සොහොන් බිම බලා ගන්නා චාල්ස් අපට නොයෙක් තොරතුරු ඉදිරිපත් කරන්නට විය.

"ගැරිසන් සොහොන් බිම පටන් ගන්නේ 1822 අවුරුද්දේ. එදා ඉඳලා නොයෙක් තරාතිරමේ මිනිස්සු වළදාලා තියෙනවා. රජයේ සේවකයො, සොල්දාදුවගේ පටන් ජනරාල්වරු දක්වා අය මේ අතරේ ඉන්නවා. චාල්ස් කුමාරයාගේ 1998 සංචාරයට කලියෙන් අපි මේක අලුත්වැඩියා කරා. සොහොන් 190 කට වඩා වැඩි ප්‍රමාණයක තොරතුරු තියෙනවා.” ඒ හඬ චාල්ස්ගේ ය.

එදවස බ්‍රිතාන්‍ය හමුදා රෝහල පිහිටා තිබුණේ වැව රවුමේ අවන්හල අසල බව කියැවෙයි. එනිසා මෘත ශරීර වළදැමීමට මෙම ස්ථානය තෝරා ගන්නට ඇති බව මහනුවර ඉතිහාසය පිළිබඳ තොරතුරු දන්නෝ අනුමාන කරති. 1822 සිට වසර හතළිස් අටක තිස්සේ සුදු ජාතිකයන්ගේ සිරුරු වළ දැමූ ගැරිසන් සොහොන් බිම 1870 වන විට කිසිවකුටත් පාවිච්චි කළ නොහැකි වන පරිදි වසා දමා ඇත. ඒ වෙනුවට මහයියාව පෙදෙසින් වඩා ඉඩකඩ ඇති බිමක් වෙන් විය. සොහොනේ පිහිටි සෑම ස්තම්භයකටම ඒ චරිත හා බැඳුණු රසවත් කතා තිබේ. එමෙන්ම මේ කතා 1815 න් පසු එකල සමාජ ක්‍රමයේ මහනුවර ගැන කදිම සාක්ෂි වලින් සමන්විතය. මේ මතක අවදි කරන්නට චාල්ස් අප ‍රැගෙන එක් එක් සොහොන් කොත කරා ගමන් කරන්නට විය.

"මේ තියෙන්නෙ අපි කවුරුත් දන්න ජොන් ඩොයිලිගේ සොහොන" ඔහු සුසාන භුමියේ තිබූ විශාල සොහොන් කොතක් ඉදිරි‍පිට අප නවතමින් කීය. අපි එදෙස විමසිල්ලෙන් බැලීමු. ඩොයිලි පිළිබඳ හරි අපූරු කතා රැසක් ඇත්තේය.

විශාල සොහොන් ගල පාමුල ඔහුගේ උපන්දිනය 1774 ජූනි 11 ලෙස සටහන්ව තිබේ. එංගලන්තයේ සසෙක්ස් හීදි උපත ලද ඩොයිලි මතායස් ඩොයිලි දේවගැතිවරයාගේ දෙවන පුත්‍රයාය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගත් තරුණ ඩොයිලි යටත් විජිත සේවය සඳහා ලංකාවට පැමිණෙන්නේ 1802 වසරේදී ය. මාතර දිසාපති ලෙස කටයුතු කරමින් සිංහල බස වියත් ලෙස හසුරුවන්නට ඔහු උගත්තේ කරතොට හිමියන්ගෙන් බව කියැවේ. 1815 ගිවිසුම සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මේ ඩොයිලි විසින්ය. රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක ධුරය දැරූ ඔහු හමුවුණු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් 1810 වසරේ දී මෙසේ පවසා තිබේ.

"සිවිල් සේවයේ යෙදී සිටින එකම සිංහල උගතා ඩොයිලි , ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර විශාරද බොහෝ දෙනා මෙන් ගති පැවතුම් වලින් මුළුමනින්ම පාහේ ස්වදේශිකයකු බවට පත්ව තිබේ. ඔහු කිසිවකු තම නිවසට නොකැදවයි. වසරකට වරක් වුව රාත්‍රි භෝජනය සඳහා බැහැර නොයයි. ඔහු අශෝබන නමුදු ගුණවත් අවංක තාපසයෙකු මෙන්ය. ඔහු වුඩ් මහතාගේ රාත්‍රි භෝජන සංග්‍රහට පැමිණි පසු කේම්බ්‍රිජ් හි තරුණ ගැටයකු මෙතරම් වයස සිංහල තාපසයෙක් බවට පත්ව සිටීම ගැන මවිත වීමි."

බ්‍රිතාන්‍ය ජාතිකයා මේ සටහන කරන විට ඩොයිලි ගේ වයස අවුරුදු 31කි. ඩොයිලි පිළිබඳ බොහෝ කතා ඇත්තේය. එකල ඔහු ආශ්‍රය කළ ඇතැමුන් පවසන්නේ ඔහු කාන්තාවන්ට වඩා තරුණයන්ට ප්‍රිය කළ බවකි.

“1824 මැයි 25 වෙනිදා ඩොයිලි මැරුණා. එයාගේ මරණයෙන් පස්සේ මහනුවර ‍රැසිඩන්ට් පදවියත් අහෝසි වෙලා ගියා. වැඩි වයසක් නෑ. අවුරුදු 49 යි ජීවත් වුණේ‍. මේ සොහොනේ වළදාලා ඉන්න බොහෝ දෙනෙක් අඩු වයසින් මැරුණ අය. චාල්ස් මහත්මයා තවත් සොහොන් කොතක් පෙන්වමින් පවසන්නේය. මේ සොහොන එලිසබෙත්ගේ. ඇය මිය ගිහින් තියෙන්නේ වයස අවුරුදු විසි හතේදි. තව වැදගත් මිනිහෙක් ඉන්නවා අර කොනේ, වෝටලූ සටනේ ඉඳලා ආපු කැප්ටන් කෙනෙක්. ඔහු මිය ගිහින් තියෙන්නේ වයස අවුරුදු 26 දී." අප සෙමෙන් ඒ වෙතට ගියෙමු.

ගල් පුවරුව මත සටහන කියවූ චාල්ස් සුපුරුදු හඬ අවදි කළේය. "කැප්ටන් ජේම්ස් මැග්ලාශන්, තරුණ කොල්ලෙක්. ඒත් හිතාගන්ට පුළුවන්නේ, එයා කැප්ටන් කෙනෙක්. 1791 ඉපදිලා තියෙන්නේ. ඔහු සටන් බිම් තුනක හිටියා සීරීම් තුවාලයක් වත් වුණේ නෑ. වෝටර් ලූ සටනේ පවා හිටියා. ඒ අය දිනුවා.” චාල්ස් පවසන්නේ ඔහුගේම අයගේ තොරතුරු කියන්නා සේය.

බලය මාගේ අනියම් බිරිය බව කියූ ප්‍රංශ අධිරාජයා වූ නැපෝලියන් බොනපාට් ප්‍රංශ යුද පෙරමුණට නායකත්වය දුන්නේය. පෝලන්තය, ඔස්ට්‍රියාව, ඊජිප්තුවද ඉතාලියේ කුඩා රාජ්‍ය සමූහයන්ගෙන්ද සමන්විත වූ ප්‍රංශ අධිරාජ්‍යය වෝටර් ලූ සටනේ දී පරාද විය. 1815 ජූනි 18 වැනිදා ආරම්භ වුණු මේ සටනේදී තරුණ ජෙම්ස් සටන් කර ඇත්තේ වෙලින්ටන් ආදිපාදවරයා යටතේය. රන් පදක්කමකින් ද පිදුම් ලද ජේම්ස් ලංකාවට පා තබන්නේ ත්‍රිකුණාමලය වරායෙනි. තවත් කැප්ටන්වරයකු සමඟ ඔට්‍ටුවක් ඇල්ලූ ජේම්ස් ත්‍රිකුණාමලයේ සිට මහනුවර බලා තමන්ට පා ගමනින් පැමිණිය හැකි බව පවසා තිබේ. අභියෝගය භාර ගත් ඔහු මහා වනාන්තර මැදින් අව් වැසි මැද ගමන් කර ඇත.

" දින ගානක් කැලෑවේ ඇවිදිමින් ඇවිල්ලා එයාගේ ප්‍රතිශක්තිය හොඳටම හීන වෙල තිබුණා. ඇඳුම් දිරාපත් වෙලා වැස්සට අහුවෙලා. ඒ කාලෙ මැලේරියා වසංගතය හැමතැනම තිබුණා. මිනිස්සු දහස් ගාණක් මැරුණේ මැලේරියාවෙන්. එයා මහනුවරට ආවේ තනියම නෙවෙයි. මැලේරියාවත් එක්ක. දවස් දෙකක් ඉස්පිරිතාලෙ පණ අදිමින් හිටියා. අවසානයේ ඔහු මැලේරියාවට පරාද වුණා. අවුරුදු 26 දී කැප්ටන් ජේම්ස් මැරුණා. බ්‍රිතාන්‍ය ඔ‍ටුන්න හිමි චාල්ස් කුමරා මහනුවරට 2013 කළ සංචාරයේදි නිරීක්ෂණයට ලක් කළ සොහොන් කොත් වලින් එකක්”

කැප්ටන් ජේම්ස් අසලම නිදන්නේ දිවයිනේ බොහෝ පළාත්වල සිවිල් සේවයේ නිරත වෙමින් සුප්‍රසිද්ධ සැළලිහිණි සංදේශය වාග්මාලාව ද සමඟ ඉංග්‍රීසියට පරිවර්තනය කළ විලියම් චාල්ස් මැක් රෙඩි ය. ඔහු ප්‍රසිද්ධ චාල්ස් ඩිකන්ස් ගේ පුත්‍රයෙක් ලෙස සැලකෙයි.

කුඩා සොහොන් ගලක් පෙන්වූ චාල්ස් කුඩා දරුවන් පස්දෙනකු එහි වළ දමා ඇතැයි පැවසුවේය. ඒ 1875 වසරේදීය.

"ඒ අයට දරුවො 13 දෙනෙක් ඉඳලා තියනවා. පාචනයෙන් තමයි මෙයින් දරුවො පස්දෙනාම නැති වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ වොට්සන් මැක්වුඩ් ගේ සොහොන් කොත. ඔහු මිය ගිහින් තියෙන්නේ පාරක් සලකුණු කරපු ලීයක් උඩට අශ්වයගේ පිටෙන් වැටිලා."

චාල්ස් පවසයි.

"එතකොට අර කළු පාට වැටෙන් වට වුණ ලොකු සොහොන, ඒ ග්‍රෙගරි ආණ්ඩුකාරතුමාගේ බිරියගේ. ඇය මැරුණේ පාචනය වැලඳීමෙන්. ඇයගේ සුරතල් බල්ලා ඇයත් එක්කම මැරුණා. වළදාල තියෙන්නේ රජගෙදර. එතැනත් ස්මාරකයක් හදලා තිබිලා තියනවා. " එකින් එක සොහොන් කොත් අතර යමින් අපට වැදගත් යැයි හැගෙන සොහොන් ගල් අතර නතර වෙමින් චාල්ස් පවසන්නේය.

මැක්වුඩ්ගේ සොහොනට ඔබ්බෙන් ඔතෙලින්ගේ සොහොන පිහිටා තිබේ. ඔතෙලින් රඩ් , විලියම් රඩ්ගේ බිරිඳ ය. කෝපි වගාව සරුවට කෙරුණු අවදියේ ඔහුට අක්කර දස දහසකට වඩා කෝපි වතු හිමිව තිබුණි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ පවා කෝපි වතු හිමිව තිබුණු බැවින් දහස් ගණනක් සේවකයෝ ඔහු යටතේ සේවය කළෝය. 1847 වසර උදාව කෝපි කර්මාන්තයට මෙන්ම ඔතෙලින්ලාගේ ජීවිතයටද අභාග්‍යසම්පන්න වසරක් විය. කෝපි වගාවට පැතිරුණු දිලීර රෝගය ඔඩු දුවමින් කෝපි වගාව විනාශය කරා ඇදී ගිය බැවින් විලියම් රඩ් බලා සිටිද්දී දුප්පත් වීම ඇරඹුණි.

"ඔතෙලින් හිටියෙ කුමාරිකාවක් වගේ. එයාට දරාගන්න බැරි වුණා මේ පාඩුව. හැමදාම තිබ්බ සාද හමාර වුණා. විලියම්ට සිද්ධ වුණා ණය බේරන්ට ගෙදර තිබ්බ පු‍ටු ටික පවා විකුණන්ට. මේක දරාගන්ට ඔතෙලින් ට බැරි වුණා. එයා මැරුණේ ඒ කම්පනයෙන්" චාල්ස් කියන්නේ මෙහි තිබෙන වාර්තා ඇසුරෙනි. ඔහුට ඒවා මනාව පාඩම් ය. කතාව ඉවර නෑ. විස්මය එකතු කරමින් ඔහු කියයි.

" විලියම්, මිනිහා තේ වගාවට අත ගැහුවා. එයා ඊළඟ අවුරුදු කීපයේදි හිටියටත් වඩා ධනවත් වුණා. ආයෙමත් විවාහයක් කරගත්තා. ඔතෙලින්ට තව පොඩ්ඩක් ඉවසන්න තිබ්බා. කතා තව ගොඩක් තියනවා, තව අහන්න ඕනෙද" චාල්ස් අපෙන් අසන්නේය.

මේ කතා ගොතන ලද ඒවා නොවේ. කෝපි වගා කළ විලියම් රඩ් ගැන පවසන විට මට ක්‍රිස්ටින් විල්සන් විසින් ලියන ලද අනුල ද සිල්වා ලේඛිකාව විසින් සිංහලයට පරිවර්තනය කරන ලද තිත්ත කෝපි නවකතාව සිහිවෙයි. එහි ඇත්තේ ද ලංකාවේ කෝපි වගාව ආරම්භය හා ගෙතුණු කතාවයි. සැබැවින්ම අතීතයේදි අපේ රට ආක්‍රමණය කළ අපට හොඳ දේ මෙන්ම නරක දේද උරුම කළ ජාතියක සාමාජිකයන් ගෙන් ඇතැමෙක් සමාදානයේ සැතැපෙන මේ බිම ගැන දන්නෝ අඩුය. ඔබ මහනුවර සංචාරය කිරීමට පැමිණෙන්නේ නම් මේ බිමට ද එන්නට අමතක නොකරන්න. ‍නුවර සීතල පොළොව යට සාමදානයේ සැතැපෙන ඔවුන්ගේ කතාව දැන් අපට කියන්නට ඉන්නේ චාල්ස් පමණි. ඔහු වෙහෙස මහන්සියක් නොමැතිව තම මතකය හාරා අවුස්සමින් ඒ අතීතය බොහෝ කැමැත්තෙන් කාට වුවත් පවසන්නේය.

උදේ පටන් ගත් චුරු චුරු වැස්ස එලෙසම ය. අපි ගැරිසන් සොහොන් බිම වටා ඇවිද යළි ගමන පටන් ගත් තැනටම පැමිණියෙමු. වසර ගණනක් තිස්සේ මෙබිම සැතපෙන විදේශිකයෝ අප දන්නා මෙන්ම නොදන්නා අතීතයක බොහෝ රහස් සඟවාගෙන නිසොල්මන්ව හිදිති. ඔවුන්ට ඔවුන්ගේ ලෝකයේ තනිවෙන්ට ඉඩදි අපි ආපසු හැරුණෙමු. නමුදු ඔවුන් වසර ගණනාවක් තිස්සේ ආදරය කරන ඒ මිනිසා එනම් ඔවුන් තනිනොකරනු ඇත. චාල්ස් මේ මළවුන්ගේ බොහෝ නොදන්නා රහස් සු‍රැකිව තබාගෙන අපට කියයි.

දමිත් වෙස්ටන්

Comments