
අමුතු වෙළෙඳාම
දුම්රිය මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබිණ.
මම එහි එක් මැදිරියක සිටියෙමි.
එය හික්කඩුවේ නැවැත්විණ. එහිදී විදෙස් යුවළක් මා සිටි මැදිරියට ගොඩවූහ.
දුම්රිය යළි ගමන අරඹා ටික වේලාවකින් තරුණයෙක් ඔවුන් ඉදිරියට ආවේ ය. ඔහු අත බෑගයක් විය. එහි බැඳපු මාළුත් තවත් කෑම වර්ගත් විය.
ඔහු විදෙස් යුවළ හා ඉංගිරිසියෙන් ම දෙඩුවේ ය. ඔහු සිටියේ බීමතින් බව මට පසක් විය.
“මට ඔයාගෙ ගිනි පෙට්ටිය ටිකකට දෙන්ඩ?” තරුණයා සුදු ජාතිකයාගෙන් ඉල්ලුවේ ය.
“මං දුම් බොන්නෙ නෑ. ඒ නිසා ගිනි පෙට්ටියක් පාවිච්චි කරන්නේ නෑ” සුදු ජාතිකයා කීවේය.
ඉන් පසු ඔහු යුවළට බැදපු මාළු විකිණීමේ උත්සාහයක නිරත වුණේ ය.
“අපි මත්පැන් බොන්නෙ නෑ. ඒ නිසා බැදපු මාළු අවශ්‍ය නෑ” විදේශිකයා කීවේ ය.
සිය උපක්‍රම සියල්ල අසාර්ථක වූ බව දැනුණු තරුණයා විදේශිකයා දෙස තවත් මොහොතක් බලා සිට යන්නට ගියේ ය.
මාතර රාහුල පාරේ
කේ.ඩී.කේ. රෝහිණී තිලකරත්න මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුෙරනි.
සීනි පැකැට්ටුව
ගමේ ගෙවල්වල කුස්සියේ තිබු සීනි පැකැට් හිටි හැටියේ අතුරුදහන් වෙමින් තිබිණි.
‘හරි වැඩේ ! මේ තිබ්බ සීනි එක මේ නෑ!’ ගම්මු කීහ.
සීනි නැතුව තේ නොබිය හැකි බැවින් ඔවුහු කඩේ ගොස් තවත් සීනි පැකැට්ටුවක් මිල දී ගෙනැවිත් පුරුදු තැනම තැබුහ.
පුදුමයට මෙන් එය ද අතුරුදන් විය.
ගම්මුන් විමසිලිමත් වුයෙත් සීනි පැකැට් උස්සන්නේ කවුරුන්දැයි අවසානයේ සොයාගත හැකි විය.
සීනි හෙර බැල්ලකි. සුරතල් පැටවුන් කිහිප දෙනකුට කිරි දෙන සුදු බැල්ලකි. මවක වු ඇයට කවුරුත් හිරිහැර නොකළහ. එහෙත් ඇය ‘සීනි හෙර’ යැයි නම් ලද්දීය.
බැල්ලගෙන් කිහිප වරක්ම පාඩු කෑ ගෙහිමියෙක් ඇයට යස පාඩමක් ඉගැන්වීමට හිතුවේය.
හිස් සීනි පැකැට්ටුවක් සොයාගත් ඔහු ඊට වැලි පුරවා අලුත් සීනි පැකට්ටුවක් සේ සකසා එහි ඇත්තේ සීනි බව ඇඟවීමට ඒ වටා ද සීනි ටිකක් තවරා කුස්සියේ සීනි තබන තැනම රඳවා තැබුවේ ය.
බැල්ල එන වෙලාව බලා දොරවල් හැර තැබු හෙතෙමේ ඉස්තෝපුවට වී පත්තරයක් බලන්නට පටන් ගත්තේය.
ටිකකින් බැල්ල ඉස්තෝප්පුවට කිට්ටු කළාය. ගෙහිමියා තමා නොදුටුවේ යැයි ඇයට දැනෙන්නට ඇත. එහෙයින් ඇය හොරෙන්ම ගෙට රිංගා ගත්තා ය. ඒ දුටු ගෙහිමියාගේ මුවට සිනාවක් නැගිණ.
අනතුරුව ඔහු හඩ නොනැගෙන පරිදි කුස්සිය පැත්තට ගොස් සිදු වන්නේ කුමක් දැයි හොරෙන් බලා සිටියේය.
කුස්සියේ සුපුරුදු තැනට ගිය බැල්ලිය අර වැලි පැකැට්ටුව ඩැහැගෙන එළියට ගියා ය. ගෙට යාබදව තිබුණේ තේ ඉඩමකි. ඇය කෙළින්ම එහි ගියාය.
සීනි යැයි සිතා වැලි පැකැට්ටුව හැපු බැල්ලගේ ප්‍රතිචාරය පුදුමාකාර විය.
ඇය බිරුවාය.
දිගින් දිගටම බිරුවාය.
රෑ නවය වන තුරුම බිරුවාය.
ඉන් පසු ගොරවමින් ඉවත ගියාය.
තමා රැවටු ගෙහිමියනට ඇය ප්‍රතිචාර දැක්වුයේ එසේය.
දෙණියායේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.