
“පරණ පොකුණකට
මැඬියෙක් පනියි
ජබොක්!”
(පරිවර්තක)
ඔහුට වුණත් ඒ පොකුණ වර්ණනා
කළ නොහැකියි. ඔහු මෙහෙම කවියක් ලියාවි.
“පරණ පොකුණ
මැඬියෙක් ඊට පනියි
ජබොක්!”
මේක කාව්‍ය වර්ණනාවක් ද? පොකුණ ගැන යාන්තමින් සඳහන් කළා පමණයි. මැඬියා ගැනත් එහෙමයි. පොකුණ ගැනවත්, මැඬියා ගැනවත් කාව්‍ය වර්ණනාවක් නෑ. ‘ජබොක්’ විතරයි.
ඉතිං මේ ගමේ තිබුණ පොකුණ හුඟක් ම පරණ එකක්. ඒ වටේ තිබුණෙත් හුඟක් ම පරණ ගස්. සමහරවිට අවුරුදු සිය ගණනක් පරණ ගස්. පොකුණ වටේට ලස්සන කඳු. ඇත්තට ම පොකුණට ගෙම්බො පනිනව. උදෙයි හවහයි දෙකේ ම ‘ජබොක් - ජබොක්’ ගාන සද්දෙ පිට පිට ම ඇහෙනව. ගෙම්බො පනිද්දි නැගෙන හඬ පවතින නිහඬතාවට රුකුලක්. ඒ හඬින් පවතින නිහඬතාව වැඩි වෙනව. වඩාත් අර්ථවත් කෙරෙනව.
ඒක තමයි බෂෝගෙ තියන ලස්සන. ඔහුට පුළුවනි යමක් ගැන විස්තර වර්ණනා නොකර කවියක් ගොතන්න. ඔහුට පුළුවනි යමක් ගැන වචනයක්වත් නොලිය ඒ ගැන කියන්න. ‘ජබොක්’ ඒ තමයි වචනෙ. පැරැණි පොකුණට ගෙම්බා පනිද්දි නැගෙන හඬට සාධාරණය ඉෂ්ට කරන්ඩ ඊට වඩා වෙන වචනයක් නෑ. බෂෝ ඒ සාධාරණත්වය ඉටු කළා.
මං බෂෝ කෙනෙක් නෙමෙයි. ඒ ගමට බෂෝ කෙනෙක් අවශ්‍යයි. සමහරවිට ඔහුට රේඛා මඟින්, චිත්‍රවලින් ඒ ගම අඳින්න පුළුවන් වෙයි. ගම ගැන හයිකු ලියන්න පුළුවන් වෙයි. මම නං ඒ ගම ගැන මෙලෝ දෙයක් කරල නෑ කියල දැන ගත්තහ ම ඔබ පුදුම වෙන්න පුළුවනි. ඒ තියා මං ඒ ගමෙන් ආවට පස්සෙ ආපහු එහෙ ගිහිල්ලත් නෑ. එක සැරයක් හිටිය ම හොඳට ම ඇති. මං කිසි ම තැනකට දෙපාරක් යන්නෙ නෑ. එක පාරක් ගියා ම හොඳට ම ඇති. ගියා ගියාමයි. මගෙ විදිය ඒකයි. ඉතිං මං ඒ ගමට ආපහු ගියේ නෑ. ගමේ අය මට පණිවිඩ එවල කියනව එක සැරයක් ගමට ඇවිත් යන්න කියල. මං පණිවිඩයක් යැව්ව, “මං වතාවක් ඔහෙ හිටියනෙ, දෙපාරක් ඉන්න එක මගෙ ක්‍රමේ නෙමේ” කියල. නමුත් ඒ පැරණි පොකුණ තාමත් මා ළඟමයි. ජබොක්!
මං තනිවම හැදුණු දරුවෙක්. මාව හදා වඩා ගත්තේ මගේ මවු පාර්ශ්වයේ ආච්චියි සීයයි. මං හිටියෙ අම්ම තාත්ත ළඟ නෙමේ. ආච්චියි සීයයි දෙන්න හුදෙකලාව ජීවත්වුණු හින්ද තමන්ගෙ අවසාන කාලෙ ජීවිතේ සතුටක් සැහැල්ලුවක් ලබන්න ඒ දෙන්නට දරු පැටියෙක් ඕනැ වෙලා තිබුණ. ඉතින් අපේ අම්මයි තාත්තයි මාව දෙන්න කැමති වුණා. මං තමයි ඒ දෙන්නගෙ වැඩිමල් දරුව. කුලුඳුල්ලේ ම ලැබුණු එකා. ඉතින් මාව යැව්ව.
* * * *
මගෙ ළමා වියේ මුල් අවුරුදුවලදි අපේ තාත්තගෙ මහ පවුල එක්ක තිබිච්ච සම්බන්ධය ගැන මට එච්චර නිච්චියක් නෑ. මට මතක වයසක මනුස්සයො තුන් දෙනෙක් ගැන විතරයි. ඒ තමයි සීයයි ආච්චියි ඒ ගොල්ලන්ගෙ වයස සේවකයයි. ඇත‍්තෙන් ම ඒ සේවකය ලස්සන මනුස්සයෙක්. අපි අතරෙ තිබිච්ච වයස් පරතරය හරි විශාලයි. ඒ හින්ද මම සම්පූර්ණයෙන් ම වාගෙ තනිවමයි හිටියෙ. එකට කදේ වැටිල හිටියෙ නෑ. එහෙම ඉන්ඩ විදියක් නෑ. ඒ තුන්දෙනා තම තමන්ට පුළුවන් විදියට මාත් එක්ක හාද වෙන්ඩ උත්සාහ කළා. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. මං නිදැල්ලෙ මගෙ ලෝකෙට ම වැටුණ. මට හිතෙන දේවල් ඒ ගොල්ලන්ට කියා ගන්ඩත් මට බැරි වුණා.
ඒ තියා ඒ තුන්දෙනා ඇරෙන්ඩ මට වෙන කවුරුවත් ම හිටියෙත් නෑ. ඒ පුංචි ගමේ හිටිය පෝසත් ම පවුල තමයි අපි. ඒක කොයි තරම් පුංචි ගමක් ද කියනව නං මුළු ගමේ ම මිනිස්සු 200කට වැඩිය හිටියෙ නෑ. ඒ පවුල් හුඟක් ම දුප්පත් නිසා ඒවයෙ දරු පැටව් එක්ක පෑහෙන්ඩ ආච්චියි සීයයි මට ඉඩ දුන්නෙ නෑ. ඔවුන් අපිරිසුදුයි. හරියට හිඟන්නො වගෙයි. ඒ හින්ද යාළුකම් තියා ගන්ඩ විදියක් තිබුණෙ නෑ. ඒක මට බරපතළ විදියට බලපෑව. මගෙ මුළු ජීවිත කාලෙ ම මට යාළුවෙක් කියල කෙනෙක් හිටියෙ නෑ. එහෙම කෙනෙකුව මං දැනගෙන හිටියෙත් නෑ. මට හිටියෙ දැන අඳුනන්නො විතරයි.
ඉතින් ඒ මුල් අවුරුදු කීපයෙ මං කොච්චර නිදැල්ලෙ හිටියද කියනව නං මං ඒ ජීවිතය රස විඳින්ඩ තියා ගත්ත. හැබෑවට ම ඒ ජීවිතේ මට සතුටක් වුණා. ඒ හින්ද ඒ හුදෙකලාව සාපයක්, වින්නැහියක් වුණේ නෑ. වුණේ ආශිර්වාදයක්මයි. මං ඒ හුදෙකලාවෙන් මිහිරක් ලබන්න පුරුදු වුණා. මං කිසි කෙනෙක් මත යැපුණෙ නෑ.
සෙල්ලම් කරන්න විදියක් තිබුණෙ නැති හින්ද මගෙ ළමා වියේ ඉඳන් ම මං සෙල්ලමට ආස කළේ නෑ. ඒ තියා සෙල්ලම් කරන්න කිසි කෙනෙක් හිටියෙත් නෑ. ඒ මුල් අවුරුදු කීපයෙ මං හිටි හැටි මට තාම මතකයි. මං ඔහේ ඉඳං හිටිය.
අපේ ගේ තිබුණු තැනට එහා වැවක් ඉස්සරහ හරි ලස්සන තැනක් තිබුණ. වැව හැතැප්ම ගාණක් ඈතට ඇදෙනව. ඒ දර්ශනය හරිම සුන්දරයි. ශාන්තයි. සැරින් සැරේ සුදට සුදේ කොක්කු පේළියක් ඉගිල්ලිලා යනව. කොකුන් කෙකිනියන්ට නගන සරාගික රාවයන් නිසා විතරයි පරිසරයෙ සංහිඳියාව බිඳිල යන්නෙ. ඒ ඇරුණු කොට එතන තමයි භාවනා කරන්න සුදුසු ම තැන. ඒ කරාකිරිල්ලෙන් නිහඬතාව බිඳිල ගියාට පස්සෙ ආයෙත් ඇති වෙන නිහඬතාව ගැඹුරුයි. එතකොටයි ඒ නිහඬතාව වඩාත් ගැඹුරින් දැනෙන්නෙ.
වැව නෙළුම් මලින් පිරිල. මං පැය ගණන් ඉඳගෙන ඒ දිහා බලාගෙන මිහිර විඳිනව. හරියට වෙන ලෝකයක් නෑ වෙග්. නෙළුම් මල්. කිරි කොක්කු. නිහඬතාව.
ලබන සතියට...