ආකර්ෂණීය කාන්තාවක් වෙන්නේ කොහොමද? | සිළුමිණ

ආකර්ෂණීය කාන්තාවක් වෙන්නේ කොහොමද?

බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් තමයි තමා අවට ඇති සමාජය ඉදිරියේ ආකර්ෂණීය චරිතයක් වෙන එක. ඒත් හුඟක් දෙනෙක්ට මේ සිහිනය ඉෂ්ට කර ගන්න ලැබෙන්නේ නැහැ. තවත් සමහරු වැරදි ක්‍රම භාවිතා කරලා මේ සිහිනය ඉෂ්ට කර ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ කරුණු ඒ සඳහා ඔබට උදවූ වේවි.

මුහුණේ සුන්දරත්වය විතරක් ප්‍රමාණවත් නැහැ.

කාන්තාවන් බොහෝ විට උනන්දු වන්නේ මුහුණේ සුන්දරත්වය වැඩි කර ගැනීමටයි. නමුත්, තමන්ගේ ශරීරයේ සුන්දරත්වය ගැන ගොඩාක් අය සැලකීමත් වෙන්නේ නැහැ. සුන්දර මුහුණකට වඩා, නිවැරදි හැඩයක් ඇති ශරීරයකට ලැබෙන ආකර්ෂණය වැඩියි. මේ නිසා සෞඛ්‍යවත් ආහාර ලබා ගනිමින් නිරෝගී වන්න. බර පාලනය කර, නිවැරදි හැඩයක් සහිත සිරුරක් හිමි කර ගන්න.

පිරිසුදු වන්න

ඔබ අඳින ඇඳුම් සහ ඔබේ ශරීරය පිරිසුදුව තබා ගන්න. රූපයෙන් සුන්දර වුවත් ඔබේ පෙනුම අපිරිසුදු නම්, ඔබ ළඟින් දුගඳක් හමනවා නම් කවුරුවත් ඔබට ආකර්ෂණය වන එකක් නැහැ. ඒ වගේම ඔබේ වටපිටාවත් පිරිසුදුව තබා ගන්න. ඔබේ නිවෙස, කාර්යාලයේ මේසය පිස්සන් කොටුවක් වගේ නම් මිනිසුන් එයින් ඔබව මනින්න ඉඩ තියෙනවා.

බාහිර ලස්සන පමණක් ප්‍රමාණවත් නැහැ

රූපයේ සුන්දරත්වය කාන්තාවකට ආභරණයක් පමණයි. සමාජයේ ආකර්ෂණය ලබා ගන්න නම් කාන්තාවකගේ හැසිරීම, කතාබහ සුන්දර වෙන්න ඕනේ. මේ සඳහා ආචාරශීලි හැසිරීම, කතාවේදී සුන්දර වචන භාවිත කිරීම, අන් අයට කාරුණිකව සැලකීම ගොඩාක් වැදගත්. මෘදු ගතිගුණ තිබෙන කාන්තාවන්ට සමාජයේ ආකර්ෂණය දිනා ගන්න ලේසියි.

බොළඳ තරුණියක වෙන්න එපා

සමාජයේ මුලු ගැන්වී සිටින, බොළඳ තරුණියකට ආකර්ෂණය හිමි වන්නේ නැහැ. සමාජය ඔබේ හැසිරීමෙන් බොළඳ තරුණියක නොව, දැනුවත් තරුණියක දැකිය යුතුයි. අවශ්‍ය තැනේදී අදහස් දක්වන්න බිය වෙන්නත් එපා. නමුත් වචනයක් මුවින් පිට කිරීමේදී හොඳින් සිතා බලා පිට කරන්න.

අවශ්‍ය ප්‍රමාණයට සමාජශීලී වන්න

මුලු ගැන්වී සිටින තරුණියකට වඩා, සමාජශීලී තරුණියක් සමාජයේ අවධානය සහ ආකර්ෂණය දිනා ගන්නවා. ඒත් ඕනෑම දෙයකට සීමාවක් තියෙනවා වගේම, සමාජශීලී වීමටත් සීමාවක් තියෙනවා. වැඩි සමාජශීලීබව නිසා සමාජයේ වැඩි අවධානයක් ලැබෙනවා වගේම, සමාජයේ ග්‍රහණයට ලක් වීමේ ඉඩකඩත් වැඩි වෙනවා. ඒ බව අවබෝධ කරගෙන අවශ්‍ය ප්‍රමාණයට සමාජශීලී වන්න.

රූපලාවණ්‍ය ආලේපන භාවිත කිරීමේදී පරිස්සම් වන්න.

රූපලාවණ්‍ය ආලේපනවලින් කාන්තාවකගේ රුව වඩවා ගන්න පුළුවන්. ඒත් අක්‍රමවත් ලෙස තමාට නොගැළපෙන ආලේපන භාවිත කිරීමෙන් බලාපොරොත්තු වන සුන්දරත්වය නොලැබී යනවා මෙන්ම, තිබෙන සුන්දරත්වයත් නැති වී යා හැකියි. එම නිසා රසදිය හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන, ඔබේ සමට ගැළපෙන ආලේපන භාවිත කරන්න. සුවඳ විලවුන්, මේක්අප් භාවිත කිරීමේදීත් සැලකීමත් වන්න.

අවස්ථාවට උචිත ලෙස අඳින්න

ඇඳුමෙන් පැළඳුමෙන් කාන්තාවකට පුළුවන් සමාජයේ ආකර්ෂණය දිනා ගන්න වගේම, සමාජයේ විහිළුවට ලක් වන්නත්. මඟුල් ගෙදරකට අඳින ඇඳුම් කාර්යලයටවත්, කාර්යාලයට අඳින ඇඳුම් මඟුල් ගෙදරකටත් නොඅඳින්න වග බලා ගන්න. කොණ්ඩා මෝස්‌තර දැමිමේදීත් තැනට ගැළපෙන සේ එය කරන්න. එවිට ඔබට සමාජයේ ආකර්ෂණය නිතැතින්ම ලැබේවි.

නිතරම මැසිවිලි නඟන්න එපා

දුර්වල චරිතයකට මිනිසුන් අනුකම්පා කරනවා මිස කැමති වන්නේ නැහැ. ඒ නිසා ශක්තිමත් චරිතයක් වීමට උත්සාහ දරන්න. නිදහසට කරුණු කියනවාට වඩා, වගකීම් ගන්න හුරු වෙන්න. තමාට යමක් සිදු කිරීමට නොහැකි අවස්ථාවලදී අනිත් අයට චෝදනා කරන්න යන්න එපා. සමාජයේ ආකර්ෂණය නිතරම හඬා වැටෙමින් මැසිවිලි නඟන කාන්තාවකට වඩා, ශක්තිමත්ව අභියෝගවලට මුහුණ දෙන කාන්තාවකට ලැබෙනවා.

සැහැල්ලු සහ සරල චරිතයක් වන්න

ප්‍රශ්න දහසක් ඔළුව උඩ පටවාගෙන ජීවිතේ දුක්බර විදිහට ගත කරන්න එපා. මොන තරම් ගැටලු තිබුණත් සැහැල්ලු ලෙස ජීවත් වන්න. ඔබේ සිතේ ප්‍රශ්න වැඩි වුණාම එය මුහුණෙන් පෙනෙන්න ගන්නවා. එවිට, ඔබ කෙතරම් සුන්දර කාන්තාවක් වුණත් ඔබට සමාජයේ ආකර්ෂණය නොලැබී යන්න ඉඩ තියෙනවා.

ආකර්ෂණීය චරිත අධ්‍යයනය කරන්න

සමාජයේ ආකර්ෂණය දිනා ගෙන සිටින කාන්තාවන්ගේ හැසිරීම, කතා බහේ ස්වරූපය, වැඩකරන ආකාරය, අභියෝගවලට මුහුණ දෙන ආකාරය ගැන හොඳින් අධ්‍යයනය කරන්න. එය ඔබටත් ආකර්ෂණීය කාන්තාව වීමට මඟ කියාවි.

Daily mail වෙබ් අඩවිය ඇසුරෙනි
යශෝදා ඉන්දීවරී

Comments