ඉන්ෆ්ලුවෙන්සාව කොළඹටත් ඇවිත් ද? | සිළුමිණ

ඉන්ෆ්ලුවෙන්සාව කොළඹටත් ඇවිත් ද?

දකුණේ ඉන්ෆ්ලුවෙන්සා භීතිය දැන් කොළඹින් ද මතුවන්නට පටන් ගෙන ඇත. දකුණේ පමණක් නොව කොළඹින්ද ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වාර්තා වීමක් දැකිය හැකි බවට වසංගත විද්‍යා නවතම සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේය. තම දරුවන්ගේ දුක බලවතුන්ට නොපෙනෙන්නේයැයි පවසමින් දකුණු පළාතේ පෙර පාසල් සති කිහිපයක් වසා තැබීමට පසුගියදා දකුණේ පෙර පාසල් ගුරුවරුන් තීන්දු කළේද දකුණේ වේගයෙන් පැතිර යමින් පැවැති ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වැළැක්වීමට යම් සහයෝගයක් දක්වමිනි. වේගයෙන් පැතිර යමින් තිබූ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් දරුවන් බේරා ගැනීමට කුමක් කළ යුතුදැයි පෙර පාසල් නිලධාරීන් අදාළ පළාත් බලධාරීන්ගෙන් විමසීමේදී ‘කැමැති දෙයක් කරන්නයි, අදාළ පළාත් බලධාරීන් පැවැසූ බවද වාර්තා විය. දෙපිට කැපෙන වදනින් මෙන්ම දිනෙන් දින අසන්නට ලැබෙන කුඩා දරුවන්ගේ මරණ හමුවේ අසරණ වූ මේ ගුරුවරු අවසානයේ සිය පෞද්ගලික ප්‍රතිලාභ සියල්ල පසෙක ලා රෝගය පැතිරීම පාලනය වන තෙක් පෙර පාසල් විවෘත නොකරන බවට තීන්දුවක් ගත්හ.මේ වන විට දකුණු පළාතේ පෙර පාසල් වසා දමා තෙසතියකට ආසන්නය. ඉදිරි සතියේද පෙර පාසල් විවෘත කිරීම තවමත් අවිනිශ්චිතය. මෙලෙස දකුණු පළාතේ වේගයෙන් පැතිර යමින් තිබූ මේ රෝගී තත්ත්වය යම් ආකාරයේ අඩුවීමක් දැකිය හැකියැයි මාධ්‍ය හෙළි කර තිබිණ. එහෙත් එදා දකුණට සීමා වූ ඉන්ෆ්ලුවෙන්සාව ගැන අද රටම අවධානයෙන් සිටීමට කාලය උදාවී ඇත්තේ ය.

ඉන්ෆ්ලුවෙන්සා A නමින් හඳුන්වන ලද මේ උණ වසංගත තත්ත්වය දකුණේ යම්තාක් දුරකට පාලනය වීමට පෙර පාසල් වසා තැබීම විශාල රුකුලක් වූ බවද වාර්තා වෙයි. වසංගත රෝග විද්‍යා අංශය පවසන පරිදි මේ වනවිට දකුණු පළාතේ උණ රෝගීන්ගේ රෝහල්ගතවීම් සැලකිය යුතු ප්‍රමාණයකට අඩුවී තිබුණද තවමත් දකුණේ රෝහල්වල අසාධ්‍ය තත්ත්වයේ පසුවන දරුවන් රෝහල් වාට්ටුවල ප්‍රතිකාර ලබන බවයි. එසේම රෝහල්වලට පැමිණෙන රෝගීන් උණ හා ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයෙන් වෙන්කර හඳුනාගැනීමේ අඩුපාඩු රෝහල්වල පවතින බවද වාර්තා වේ. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා වෙද්දී රෝගය පැතිරීමේ යම් අඩුවක් දක්නට ඇති බවද වසංගත රෝග විද්‍යා අංශ පවසයි. නමුත් ‍කොළඹ ඇතුළු අනෙකුත් පළාත්වල රෝගය පැතිර යෑමේ දැඩි අවදානමක් පවතී යැයි විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

කුඩා දරුවන් අතර පැතිර යමින් තිබූ මේ උණ වසංගතය කිවිසුම් යෑමේදී,කතාකිරීමේදි මෙන්ම සිනාසීමේදි බෝවන්නක් හෙයින් පෙර පාසල් හා පාසල්වලදී දරුවන්ට ඉතා ඉක්මනින් බෝවීමේ ප්‍රවණතාවක් පවතියි.එනිසා මේ රෝගී තත්ත්වය වසංගත තත්ත්වයෙන් ලංකාව පුරාම පැතිරී යෑමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍ය මතයයි.මේ වනවිට කොළඹ පළාතේ රෝහල්වලින්ද ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වාර්තා වීමක් පවතින බවද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.

දකුණු පළාත් සභාව පසුගිය සතියේ පෙර පාසල් වසා තැබිමට තීන්දුවක් ගත්තේ සිය දරුවන් වෙනුවෙන් කළයුතු සුදුසුම දේ සලකා ය. ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැඩි වශයෙන් පැතිර යමින් පවතින මාතර දිස්ත්‍රීක්කයේ පෙර පාසල් 762 මේ වන විටත් නිල වශයෙන් වසා ඇත්තේය. පෙර පාසල් අයත් වනිතා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා නිල වශයෙන් දැනුම් දීමක් කර නොතිබුණද දරුවන් වෙනුවෙන් කළ යුතු හොඳම දේ එය බව තීරණය කරමින් මාතර දිස්ත්‍රීක් පෙර පාසල් සංගමය නොබියව මේ තීන්දුව ගෙන තිබිණි. “අපේ පෙර පාසල්වල දරුවන්ට උණ ගැනුණේ අද ඊයේ නෙමේ. මාර්තු අප්‍රේල් මාසවල සිටම මේ උණ තත්ත්වය දිගින් දිගටම තිබුණා. ළමයින්ගේ පැමිණීම අඩුවුණා. අපි හිතුවේ සාමාන්‍ය වයිරස් උණක් කියලා. මුලින්ම හිත්තැටිය නගරයේ පෙර පාසලක දරුවෙක් මැරුණා. මීට පස්සේ විවිධ කලාපවලින් දරුවන් නැතිවෙන්න පටන් ගත්තා. පෙර පාසල් දරුවෝ විතරක් නෙමේ පාසල් යන දරුවන් හා වැඩිහිටියන් පවා මියගියා. රෝහල්වල දරුවන් තියාගන්න ඉඩ නැති තත්ත්වයටක් ඇතිවුණා. මේ නිසා අපිට සිදුවුණා දරුවන් පෙර පාසල් එවන්න එපා කියන්න. අන්තිමේදි කාගෙන්වත් නියෝගයක් නැති තැන අපි තීරණය කළා සති තුනක් පෙර පාසල් වහන්න. දැන් දරුවෝ ගෙදර ඉන්න නිසා මේ උණ තත්ත්වය යම් පමණකට අඩුවෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. පෙර පාසල් වහන්න දකුණු පළාත් අධ්‍යාපන නිලධාරීන්ගෙන් හා මුල් ළමා විය සංවර්ධන නිලධාරීන්ගෙන් ඇහුවහම ඒ අය කිව්වේ අපිට මුකුත් කියන්න බැහැ. ඔය ගොල්ලො කැමැති තීරණයක් ගන්න කියලා. අපි ජීවත් වන්නේ මේ පෙර පාසල් වැටුපෙන්. සති තුනක් තිස්සේ අපිට රැකියාව නැහැ. ඒත් මේ දරුවන්ට මොනව හරි වුණොත් අපිට වැඩක් තියෙනවද? මේ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා නීත්‍යානුකූලව මේ පෙර පාසල් වැසීමේ කටයුත්ත කරන්න කියලා.'' යනුවෙන් අප හා පැවැසූයේ මාතර දිස්ත්‍රික් පෙර පාසල් සංවර්ධන පදනමේ ලේකම් ප්‍රින්සි තමාරා මනෝරි ඉලංගංගේය.

වෛද්‍යවරුන් පවසන පරිදි ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් බවට පත්වීමේ දැඩි අවදානමක් ඇත්තේ වයස අවුරුදු 2 ට අඩු දරුවන්ටය. එසේම ගර්භිණී කාන්තාවන්ට මෙන්ම වයස අවුරුදු 65ට අඩු දරුවන්ටත් මේ රෝගය බෝ වීමේ ප්‍රවණතාවක් පවතියි. රෝගය පැතිරීම පාලනය කිරීමේ එක් උපක්‍රමයක් වශයෙන් මුඛ ආවරණද භාවිත කිරීම අනුමත කළද බොහෝ දෙමවුපියන්ට මේ පිළිබඳ ඇත්තේ අඩු අවබෝධයකි.

“මේ පළාත්වල දෙමවුපියන්ට රෝගය ගැන දැනුම්වත් වීමක් නැහැ. ඇතැම් ළමයින්ගේ පෝෂණ මට්ටත් අඩුයි. රැකබලා ගැනීම් හරියාකාරව සිදුවුණේ නැහැ. සමහර දෙමවුපියන් දරුවන් පාසල් එවන්න බයයි. ඒත් සමහර දෙමවුපියන් දරුවන් ගෙදර තියා ගැනීම කරදරයක් වන නිසා හා පාඩම් පාඩු වේයැයි කියා පෙර පාසල් එවනවා. අපිට කියන්න බැහැ දරුවෝ එවන්න එපා කියලා. පෙර පාසල්වල මුදල් එකතු කරන්න විදියක් නැහැ. අපේ පවුල් ජීවත් වෙන්නේ මේ පඩියෙන්. පාසල් ගුරුවරුන්ට පාසල් වැහුවට වැටුප ලැබෙනවා. ඒත් අපට වැටුප නැතිවුණත් කමක් නැහැ. දරුවෝ දැන්ම එවන්න එපා කියලයි අපි කියන්නේ.“ මාතර මාලිම්බඩ පෙර පාසල් ගුරුවරියක වන ධනේෂිකා මනෝරි පවසන්නීය.

රෝගය බෝ වීමේ ප්‍රවණතාව අඩු කිරීමේ අරමුණින් මියගිය අයගේ මෘත දේහ පවා නිවෙස්වලට එවා ඇත්තේ සීල් තබා යැයි වාර්තා වෙයි. එහෙත් කඹුරුපිටිය වැනි ස්ථාන කිහිපයක මේ සීල් තැබූ පෙට්ටිය කඩා දින ගණනක් මෘත දේහ නිවෙස්වල විවෘතව තබා ගත්තේ යැයි චෝදනා ද වෙයි.

ඉන්දිරා පුංචිහේවා දෙවුන්දර ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකි‍.

“දෙවුන්දර පැත්තේ දරුවන් බොහෝ දෙනකුට රෝගය වැලඳිලා. දෙමවුපියන් දරුවන් දෙවුන්දර නගරයටවත් ගේන්න බයයි. අපිට මුඛ ආවරණයක්වත් දීලා නැහැ. කොච්චර රෝගී දරුවන් ඉන්නවද නැද්ද කියලා සංගණනයක්වත් නැහැ. පසුගියදා මාතර ප්‍රසිද්ධ බාලිකා පාසලක 6 වසරේ දැරියක් මැරුණා. ඒත් වගකිව යුත්තන් නිහඬයි. අපි හරිම බයෙන් ඉන්නේ. අපට පාඩු වුණත් කමක් නැහැ අපි දෙමවුපියන්ට කියන්නේ දරුවන් පාසල් එවන්න එපා කියලා විතරයි.“

අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ලංකාවේ සියලුම පළාත් ආවරණය කරමින් රෝගය වැළැක්වීමේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් දියත් කර ඇත්තේය. ඉන්ෆ්ලුවෙන්සා ගය වැලඳුණ රෝගීන් කහින විට හා කිවිසුම් යවන විට පිටවන සෙම් බිඳිති මගින් බෝවන බැවින් කිවිසුම් යන විටදී හෝ කහින විටදී ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිත කරන ආකාරය, භාවිත කරන ලද ටිෂූ කඩදාසි විෂබීජ පැතිර නොයන සේ ආරක්ෂිතව බැහැර කරන අයුරු , කිවිසීමෙන් හා කැස්සෙන් පසු විෂබීජ අත්වල තැවැරී පැවතිය හැකි බැවින් හොඳින් සබන් යොදා දෑත් සේදීම, නිතර අත ගැටෙන පෘෂ්ඨයන් (පරිගණක යතුරු පුවරු ආදී) සාමාන්‍ය විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම,මෙම උණ රෝග ලක්ෂණ පහළ වුවහොත් පාසල් යෑමෙන් හා ජනාකීර්ණ ප්‍රදේශවලට යෑමෙන් වැළකීම සහ රෝග ලක්ෂණ පහළ වූ වහා වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීම මෙන්ම වැළැක්වීම සඳහා ගත යුතු පියවර ද මේ උපදෙස් මාලාවට ඇතුළත් කර ඇත්තේ ය.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන පරිදි උණ හා ඉන්ෆ්ලුවෙන්සා උණ වෙන්කර ගැනීමේ ගැටලුව අදාළ පළාත්වල තවමත් ඇත්තේ ය.

“මේ රෝගයේ අවදානම තවමත් දෙමවුපියන්ට නැහැ. සාමාන්‍ය උණක් වුණත් මේක ඉන්ෆ්ලුවෙන්සාව කියලා බය වෙනවා. පෙර පාසල්වල විතරක් නෙමේ පාසල්වල දරුවන්ගේ පවා පැමිණීම ගොඩාක් අඩුයි. සමහර ශ්‍රේණිවල පන්ති පැවැත්වෙන්නේ පන්ති කිහිපයක ළමයි එකතු කරලා. දෙමවුපියන් නගරවලට දරුවන් එවන්න බයයි. තවමත් දරුවන් පෙර පාසල් එවන්නේ නැති තත්ත්වයකයි දෙමවුපියන් ඉන්නේ. “රෝගය පැතිරීමේ වැඩි අවදානමක් සහිත මාතර හා කඹුරුපිටිය ප්‍රදේශවල පෙර පාසල් ගුරුවරියෝ පවසති.

මේ වනතෙක් දකුණු පළාතේ පෙර පාසල් විවෘත කිරීමේ තීන්දුවක් ගෙන නැති බව වාර්තා වෙයි. ඒ තවමත් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීමේ අඩුවක් මේ පළාත්වල දක්නට නැති නිසා බවද ඔවුහු පවසති.

සේයාරුව - මාතර හොට් නිවුස් වෙබ් අඩවියෙනි.
සුභාෂිණි ජයරත්න

Comments