ගංවතුරට නියඟයට අපේ විද්‍යාඥයන්ගෙන් තිරසර විසඳුම් | සිළුමිණ

ගංවතුරට නියඟයට අපේ විද්‍යාඥයන්ගෙන් තිරසර විසඳුම්

කළු-කැලණි-ගිං-මහවැලි ගංගාවල ඉහළ-මැද අලුත් ජලාශ ඇති කරන්න
- ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදේශක (ජල කළමනාකරණ) ආචාර්ය පී.බී. ධර්මසේන

ගොඩ වී ඇති වැව් සහ ඇළ මාර්ග මනාව පිළිසකර කරන්න
- පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න

උද්‍යාන අලංකරණයේදි ‘ඉන්ටර්ලොක්’ වෙනුවට හරිත තණ තීරු හදන්න
- ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පරිසර හා වන විද්‍යා මහාචාර්ය හේමන්ති රණසිංහ

වසර 3ක් ම මැයි මාසයේදී අපේ තෙත් කලාපයට දරුණු ගංවතුර ඇතිවිය. බරපතළ ජීවිත හානි දේපළ හානි සිදු විය. 2017 – 2018 වසර දෙකේදී පමණක් ආපදා නිසා සිදුවූ ජීවිත හානි ගණන 250කට අධිකය. පීඩාවට පත්වූ ගණන ලක්ෂ 20ට වැඩිය.

2016 – 2017 වසරවල සිදුවූ ආපදාවල සම්පූර්ණ තක්සේරුව රුපියල් කෝටි 16000ක් බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සකස් කළ ජාතික ආපදා හානි පිළිබඳ තක්සේරුව (DDNA) මඟින් හෙළි කර තිබේ.

එසේ වුවත් මෙරට විද්‍යාඥයන් කිහිප දෙනෙකු තම ක්ෂේත්‍රගත පර්යේෂණ අනුව පවසන්නේ අපේ රටේ නියඟය හා ගංවතුර වැළැක්වීමට සරල නමුත් දිගුකාලීන තිරසර විසඳුම් ක්‍රියාත්මක කළ හැකි බවයි.

මේ පිළිබඳව අපට අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදේශක (ජල කළමනාකරණ) ආචාර්ය පී.බී. ධර්මසේන මහතා පවසන්නේ කළු - කැලණි - ගං හා මහවැලි ගංගාවලට සම්බන්ධව එහි ඉස්මත්තේ හා මධ්‍ය ප්‍රදේශයේ විශාල ජලාශ ඉදි කළහොත් ඉහත ගංගාවලින් පහළට ගලා‍ගෙන එන ගංවතුර අඩු වන බවයි.

අපේ රටේ සියලු මහ ගංගාවලට වැස්සෙන් හා උල්පත්වලින් ලැබෙන ජලයෙන් 43% ක් කිසිම ප්‍රයෝජනයක් නොගෙන මහ මුහුදට ගමන් කරනවා. මෙරට ගංගා ද්‍රෝණි 103 න් ම එලෙස කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගලා බසින ජල ප්‍රමාණය වසරකට ඝන මීටර් මිලියන 56000ක් වෙනවා. මාගේ පර්යේෂණ අනුව මෙලෙස වැඩිපුර ජල ප්‍රමාණයක් මුහුදට ගලා බසින්නේ මහවැව් හා එල්ලංගා කුඩා වැව් පද්ධති සම්බන්ධ වී නැති ගංගාවලින්. උතුරු මැද පළාතේ කලා ඔය, මල්වතු ඔය, යාන් ඔය හා වයඹ පළාතේ දැදුරු ඔය මී ඔය මෙන් ම රුහුණේ මැණික් ගඟ, මාදුරුඔය, වළවේ ගඟ ආදී ගංගාවල ඉහත්තෑවේ එල්ලංගා පද්ධති හා මහ වැව් සමඟ සම්බන්ධ වී තිබෙනවා. ඒ අනුව ඒ වැව්වලින් මුහුදට ගලාගෙන යන ජල ප්‍රමාණය ඉතා අඩුයි. කලාඔයට එල්ලංගා පද්ධති සම්බන්ධව තිබෙන නිසා ඒ ඔයෙන් මුහුදට ගලාගෙන යන්නේ 12%ක පමණ ජල ප්‍රමාණයක් පමණයි. කලා ඔය මඟින් කලාවැව, බළලුවැව, රාජංගණය වැව, දඹුලු ඔය පෝෂණය කරනවා.

ඒ වගේම අනුරපුර විශාල වැව් හා එල්ලංගා පද්ධති පෝෂණය කරන මල්වතුඔය මඟින් ද මුහුදට ගලා යන්නේ 12%ක් පමණ කුඩා ජල ප්‍රමාණයකි. ඊට අමතරව එල්ලංගා පද්ධතියට සම්බන්ධ යාන් ඔය මගින් මහ මුහුදට ගලා යන්නේ 19%ක් පමණ ජල ප්‍රමාණයකි.

එසේ වුවත් කළු ගඟින් මුහුදට යන ජලය ගඟට ලැබෙන ජලයෙන් 77%ක් වනවා. ගිං ග‍ඟෙන් එසේ යන ජල ප්‍රමාණය 62% ක්. කැලණි ග‍ඟට ලැබෙන ජලයෙන් 62%ක් කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගලාගෙන යනවා. මහවැලි ග‍ඟෙන් 41%ක් ද දැදුරු ඔයෙන් 34%ක් ද එසේ කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගලාගෙන යන බව මා කළ පර්යේෂණ අනුව හෙළි වුණා” මේ ගංගාවලට මහ ජලාශ හා එල්ලංගා පද්ධති සම්බන්ධ නැහැ ධර්මසේන මහතා කියයි.

ඔහු පවසන සංඛ්‍යාලේඛන අනුව මහ වැලි ග‍ඟෙන් මෙලෙස වසරකට මහ මුහුදට නිරපරාදේ ගලායන ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 11016ක්. කළු ග‍ඟෙන් ඝන මීටර් මිලියන 7862ක් හා කැලණි ග‍ඟෙන් ඝන මීටර් මිලියන 5474ක් වනවා.

මේ අනුව අපට පැහැදිලි වන්නේ විශාල වැව් හා එල්ලංගා පද්ධති සම්බන්ධ ගංගාවලට වඩා ඒවා නොමැති ගංගාවලින් වැඩි ජල ප්‍රමාණයක් ගංවතුර ඇති කරමින් මහමුහුදට යන බවයි. ඒ අනුව අප කළ යුත්තේ එම වැව් හා එල්ලංගා පද්ධතියට සම්බන්ධ නැති ජලාශවල මධ්‍ය ප්‍රදේශයේ හා ඉහළ ප්‍රදේශයේ මේ ගංගාවලින් ජලය ලබාගන්නා මහ ජලාශ ඇති කිරීමයි. ඒ ජලාශවලින් ජලය ලබාගන්නා කුඩා වැව් හා එල්ලංගා පද්ධති ද ඇති කළ යුතුයි. එවිට මේ ගංගාවලින් මහ මුහුදට යන ජල ප්‍රමාණය අඩුවන අතර ගංවතුරට ද එයින් හොඳ විසඳුමක් ලැබෙනවා. මේ මහ ජලාශ ඉදිකිරීම කළ යුත්තේ වියළි කලාපයට වඩා ඉහළ මුහුදු මට්ටමින් ඒ ජලාශවල ජලය නියං සමයේදී ගුරුත්වාකර්ෂණය මඟින් පමණක් (ජල මෝටර් නැතිව) වියළි කලාපයට හා නියඟය ඇති ප්‍රදේශවලට ලබාදෙන්න පුළුවන්. මේක නියඟයටත් හොඳ විසඳුමක්.

මේ සැලසුම කාර්යක්ෂම ලෙස මෙරට තවත් විද්‍යාඥයින්ගේද අදහස් ගෙන ක්‍රියාවට නංවන්නේ නම් ජල ගැලීම් හා නියඟය යන දෙකටම තිරසර විසඳුමක් ලැබෙන බව පෙන්වා දෙන ධර්මසේන මහතා මේ සඳහා මහවැලි, වාරිමාර්ග, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශ අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දෙයි.

ජල ගැල්මට හා නියඟයට තවත් තිරසර විසඳුමක් ඉදිරිපත් කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන්නේ මේ ගංවතුරට හා නියඟයට විසඳුමක් වන්නේ මේ මහ ගංගාවලට සම්බන්ධ අලුත් ජලාශ ඉදිකිරීම හා අතීතයේදී ඒවාට සම්බන්ධව තිබූ වැව් හා යෝධ ඇළවල් සම්පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කිරීම බවයි.

“වියළි කලාපයේ වැව් බැඳි රාජ්‍යයේ තිබූ වැව් 35000 න් දැන් හොඳට තිබෙන්නේ 90% ක් පමණයි. ඒ සමඟම අපේ රටේ තිබූ යෝධ ඇළවල් හා කුඩා වැව් උඩ දැන් ගෙවල් පවා හදලා. දැන් ඒ අනවසර ඉදිකිරීම් ඉවත් කර ඒ වැව් හා යෝධ ඇළවල් හාරා පිළිසකර කළහොත් වහින කාලවලදී ඒවාට විශාල ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකිවනවා. එවිට ඒ ජලය පහළට යන්නේ නැහැ. එමඟින් ගංවතුර අඩුවෙනවා පමණක් නොව වියළි කාලයේදී මේ ජලය ප්‍රයෝජනයට ගැනීමට ද හැකිවෙනවා. මෙහිදී ප්‍රතිසංස්කරණය කරන ලද වැව් හා එල්ලංගා පද්ධති මෙන් ම පුළුල් ඇළවල් මහ ගංගාවලට සම්බන්ධව අලුතින් ඉදිකෙරෙන ජලාශ සමඟ සම්බන්ධ කළ යුතුයි. එවිට නියඟයට හා ජල ගැලීම්වලට හොඳ විසඳුමක් ලැබේවි.

අනුරපුරයේ යෝධ ඇළක් තිබෙනවා. එය කිලෝමීටර් 70 ක් පමණ දිගයි. මේක යෝධ ඇළක් නොවෙයි යෝධ වැවක්. ඒ වැව හරියට පිළිසකර කළහොත් මොන ගංවතුරක් ආවත් ඒකට දරාගන්න පුළුවන්. එය හදල තිබෙන්නේ ඒකට වතුර පිරුණාම කුඩා වැව්වලට එල්ලංගා පද්ධතියට ඒ වතුර යන විදිහට.‍ ඒ වතුර නියඟ ගාලයේදී පාවිච්චි කරන්නත් පුළුවන්.

බස්නාහිර පළාතේ පිටාර ජලය ගැටලුවට විසඳුමක් ලෙස මුතුරාජවෙල, අත්තිඩිය වැනි වගුරු බිම්වල ඇති අඩු ජෛව විවිධත්වයක් ඇති ප්‍රදේශවල ජලාශ ඉදිකිරීම ඉතා සුදුසුයි. මීට පෙර එලෙස බස්නාහිර පළාතේ ඉදිකළ එවැනි ජලාශ නිසා බොහෝ ප්‍රදේශවල ගංවතුර අඩුවී තිබෙනවා යැයි ද මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

මහාචාර්ය අතුල සේනාරත්නත් ආචාර්ය ධර්මසේනත් අවධාරණය කරන ප්‍රධාන කරුණ වන්නේ අපේ ඉපැරැණි වැව් හා පුළුල් ඇළවල් ඉක්මනට ප්‍රතිසංස්කරණය කර මහ ගංගා ආශ්‍රිතව අලුතින් ඉදිකෙරෙන ජලාශ සමඟ සම්බන්ධ කරන බවයි. කැලණි ගඟ දෙපස අලුත් ජලාශ ඉදිකර ඊට සම්බන්ධව වැව් හා එල්ලංගා පද්ධති ඉදි කළ හොත් කිසිවිටෙකත් කැලණි මිටියාවතට ගංවතුර ඇතිවන්නේ නැහැ. ඒ අලුත් ජලාශවලට වැඩි ජලය ගමන් කර ඉන් පසුව ඒවා අර කුඩා වැව් හා එල්ලංගා පද්ධතිවලටත් ගමන් කර ඒවා පෝෂණය කරනවා. එවිට පහළට ගං වතුර ලෙස වතුර එන්නේ නෑ” විද්වත්හු අවධාරණය කරති.

මේ එල්ලංගා වැව් පද්ධති වැඩපිළිවෙළ ලෝකයේ කෘෂිකාර්මික ‍ලෝක උරුමයක් ලෙස දැන් මුළු ලෝකයම පිළිගෙන ඇත. ඊට අදාළ ඇගයීම් සම්මානයක් පසුගියදා රෝමයේ පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබාගන්නා ලදී.

අපේ රටේ නාගරික ප්‍රදේශවල ගංවතුර ඇතිවීමට ඇති එක් හේතුවක් වන්නේ පොළොවට ලැබෙන ජලය උරාගැනීමට තිබ‍ූ ස්වාභාවික පරිසරය නාගරික කරණයත් සමඟ නැතිවී යාමත් කොන්ක්‍රීට් වනාන්තර බවට නගර පත්වීමත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පවසන්නීය.

අද රටේ බොහෝ නගරවල උද්‍යාන අලංකරණයේදී වැඩිපුර සිමෙන්ති ගල් ඉන්‍ටර්ලොක් ගල් පාවිච්චිය නිසා පොළොවට උරාගන්නා ජල ප්‍රමාණය අඩුවී ඒ ජලය මහ පාර දිගේ ගොස් පිටාර වතුර හා ගංවතුර ඇති කරන බව මහාචාර්යවරිය පවසන්නීය.

“ඊට හොඳ විසඳුම පදික වේදිකාවල උද්‍යාන අලංකරණ කටයුතුවලදී සිමෙන්ති ගල්වලට ඉන්ටර්ලොක්වලට වඩා හරිත වනතීරු හා තණ පි‍ඩැලි පාවිච්චි යයි. සිමෙන්ති පාවිච්චිය අඩු කරලා හරිත වනතීරු පරිසර හිතකාමී උද්‍යාන අලංකරණ කටයුතු පදික වේදිකා සඳහා යොදාගත යුතුයි. ලස්සන පලා වර්ග උද්‍යාන අලංකරණ සඳහා යොදාගත්තොත් ඒවා ආහාරයට පවා ගන්න පුළුවන්. විශේෂයෙන් මුහුදු මට්ටමින් ඉහළ ප්‍රදේශවල ගංගා ආසන්නයේ පරිශ්‍රවල ගෙවතුවල පදික වේදිකාවේ ඉන්ටර්ලොක් හා සිමෙන්ති ගල් වැඩිපුර පාවිච්චි කළොත් වැස්සෙන් වැටෙන ජලය වැඩිපුර ගලා එන්නේ අර ගංගාවලට‍. මේ නිසා ගඟ පහළ ප්‍රදේශයේ ගංවතුර ඇතිවෙනවා. මේ පිළිබඳව සලකා බලා ප්‍රාදේශීය සභා, නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතනවල උද්‍යාන අලංකරණයේදී නීල හරිත රටක් බිහි කර සංවර්ධනය කරා ගමන් කිරීමට උදවු කළ යුතුයි. ඉවක් බවක් නැතිව ඉන්ටර්ලොක් හා සිමෙන්ති ගල් පාවිච්චිය අවම කළ යුතුයි යැයි ද මහාචාර්ය හේමන්ති රණසිංහ පවසන්නීය‍.

මේ පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසුවේ කලින් උද්‍යාන අලංකරණයට කටයුතුවලදී අපේ පදික වේදිකාව ආශ්‍රිතව තිබූ තෘණ හරිත තීරු වෙනුවට දැන් සිමෙන්ති ගල්, ඉන්ටර්ලොක් පාවිච්චිය නිසා අහසින් ලැබෙන වැස්ස‍ පොළොවට උරා ගැනීම අඩුවී තිබෙන බවයි. ඒ ජලය කෙළින්ම මහා මාර්ගවලට ගමන් කරනවා. නමුත් අපේ මහාමාර්ගවල කානු සාදා ඇත්තේ වසර 30 – 40 කට පෙර මහා මාර්ගයට ආ ජල ප්‍රමාණය රඳවා ගැනීම සඳහා පමණයි. එකල මෙතරම් ඉන්ටර්ලොක් ගල් පාවිච්චිය අධිකව නොතිබුණ නිසා මහාමාර්ගයට ආ ජල ප්‍රමාණය අඩුයි‍. දැන් එන ජල ප්‍රමාණය වැඩියි. ඒ නිසා කානු උතුරා පිටාර ජලය හා ගංවතුර ඇතිවෙනවා. ඒවා පිළිබඳව ප්‍රාදේශීය පළාත් පාලන ආයතන යම් අධ්‍යයනයක් කර සිමෙන්ති ගල් හා ඉන්ටර්ලොක් ආදිය පාවිච්චිය අවම කිරීමට කටයුතු කළ යුතු බව ද හේමන්ත විතානගේ මහතා අවධාරණය කරයි.

ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් ඉහළ ජලාධාර සංරක්ෂණයට අතීතයේ මහ මෙහෙයක් ඇති කළේය. එහි හිටපු අධ්‍යක්ෂ ඩී.පී. මුණවීර මහතා පවසන්නේ පහළ ගංවතුර අඩු කිරීමට නම් ඉහළ ජලාශවල හා වැව්වල රොන් මඩ ඉක්මනින් ඉවත් කිරීම අත්‍යවශ්‍ය බවයි. එමෙන්ම ඒ ජලාශවල රොන් මඩ එකතුවීම වැළැක්වීමට ද කෘෂි විද්‍යානුකූලව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

“අද රන්ටැඹේ ජලාශය 50% ක් පමණ රොන් මඩින් පිරිලා. වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ ජලාශවලත් රොන් මඩ බහුලයි. ඊට අමතරව වියළි කලාපයේ වැව් බොහොමයකත් රොන්මඩ පිරිලා. මේවා ඉවත් කළොත් ලොකු වැස්සක් වැස්සත් ඒ වතුර ගබඩා කරගන්න පුළුවන්. එවිට පහළට ගංවතුර එන්නෙ නැහැ. ඒ වගේම රොන්මඩ ජලාශවලට ඒම වළක්වා ගැනීමටත් විද්‍යානුකූලව කටයුතු කළ යුතුයි.”

“අපි ජලාධාර ව්‍යාපෘතිය යටතේ රන්ටැඹේ ජලාශයට රොන්මඩ වැඩිපුර එන ගොවි ගම්මානවල ගොවි බිම්වල ගල් වැටි, නෙත්ති කානු, කුට්ටි කානු, ජීවවැටි, තෘණ වැටි සකස් කර පාංශු ඛාදනය අඩු කළා. ඒ කාලේ රන්ටැඹේට එන රොන් මඩ අඩු වුණා. දැන් ඒ ව්‍යාපෘතිය නැහැ‍. රොන් මඩ රන්ටැඹේට එනවා වැඩියි. මේ පිළිබඳව මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධානය යොමු කොට කාර්යක්ෂම පියවර ගත යුතුයි” මුණවීර මහතා කියයි.

මේ සංරක්ෂණ වැඩපිළිවෙළ ජාතික ජල පෝෂක ප්‍රතිපත්තියක් ලෙස 2004 අවසානයේදී රජයට ඉදිරිපත් කළත් තවම ක්‍රියාත්මක වී නැහැ. ඒ ගැන බලධාරීන් අවධානය යොමු කළ යුතුයි. ඔහු කියා සිටී.

මේ සියලු කරුණු පිළිබඳව අපේ රටේ වගකිවයුත්තන්ගේ අවධානය යොමු කළහොත් නියඟයට හා ගංවතුරට තිරසර විසඳුමක් ලැබෙනු ඇතැයි අපගේද විශ්වාසයයි.

ඡායාරූප - විමල් කරුණාතිලක

Comments