
මුළු රට පුරාම පසුගියදා ඇද හැළුණු මහා ධාරාණිපාත වර්ෂාව ගංවතුරක් වී බැස ගොස් දින කීපයකි. එහෙත් ඒ හරහා සිදුවූ බොහෝ අමිහිරි මතකයන් තවමත් අප අබියස හොල්මන් කරන්නේය. ගං වතුර නිසා ජීවිත අහිමි වූවන්ගේ නෑ සියන්ගේ කඳුළු තවමත් වියැකී ගොස් නැත්තේය. ආසන්න වශයෙන් රටේ විවිධ පළාත්වල විසි හතර දෙනෙකුට මේ ගංවතුර ව්‍යසනයෙන් දිවි අහිමි වූ අතර ඔවුන්ගේ පවුල් තවමත් හඬා වැලපෙන්නේ නිමක් නැති සෝ ගින්දර දරාගත නොහැකිවය.
ගිරිඋල්ල, මල්ගමුව ගම්මානයේ පදිංචි සෝමා කලුආරච්චි මාතාව ද තවමත් දරු සොවින් හඬා වැලපෙන්නී ය. ඇයට සිය පුතු අහිමි වන්නේ තවත් ජීවිත හතරකට ජීවිතය ලබා දෙන්නට යන ගමනේදීය. පසුගියදා ඇදහැළුණු මහ වැස්සෙන් අතරමංවූ මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ කාන්තාවක හා දරු තිදෙනෙකු බේරා ගැනීමට යෑමේදි මාදම්පේ පොලීසියේ සේවය කළ පොලිස් සැරයන් ඩිලාන් සම්පත් අවාසනාවන්ත ලෙස සැඩ පහරට හසුවී මියගියේ මේ මාතාවට සිටි එකම දරුවා අහිමි කරවමිනි. ඩිලාන් දිය රකුසාට බිලි වූයේ බොහෝ දෙනෙකුගේ නෙතු මානයේදීය. එහෙත් ආරක්ෂක කබායක් තිබුණි නම් ජීවිත ආරක්ෂාවේ යෙදී සිටි ඔහු මෙසේ රුදුරු ජල පහරේ ගසා නොයන්නට ඉඩ තිබුණේය යන්න කාගේත් අදහසයි.
“මගේ පුතා අන්තිමට ගෙදර ඇවිත් රාජකාරියට ගියේ 23 වැනිදා. එදා ගෙදර ඇවිත් කැරම් ගහන්න ඕන වෙලා කැරම් බෝඩ් එකට දාන්න මගෙන් පවුඩර් ඉල්ලුවා. මම කිව්වා මගේ පවුඩර් ඒකට හොඳ නැහැනේ. වෙන එකක් ගන්න කියලා. ඒත් පුතා ඒක අරගෙන කිව්වා අම්මට මම හොඳ එකක් 25 වැනිදාට ගෙනත් දෙන්නම් කියලා. පුතාගේ පුරුද්දක් තිබුණා ගෙදරින් යනකොට තුන් වතාවක් මට කියලා යෑමක්. එදත් පුතා මට තුන් වතාවක්ම යනවා අම්මේ කියලා අන්තිමට බයික් එකට නැගලත් මම ගිහින් එන්නම් අම්මේ කිව්වා. මම කවදාවත් නැතිව පුතා නොපෙනි යනකම්ම බලාගෙන හිටියා. මට ඉන්නේ මේ පුතයි දුවයි විතරයි. එයාගේ නංගිගේ මඟුල් ගෙදර මගේ පුතා ලස්සනට කුමාරයෙක් වගේ හිටියා. මගේ දරුවා පුදුම ලස්සන කෙනෙක්. ඒත් මට දකින්න ලැබුණේ මගේ ලස්සන දරුවා නෙමේ. දරුවගේ මිනිය ගොඩාක් විකෘති වෙලා. මම කිව්වා මගේ දරුවගේ මිනිපෙට්ටිය සීල් කරන්න එපා, මට බලන්න ඕන කියලා. 25 වැනිදා මට පොලීසියෙන් කෝල් එකක් ආවා. ඇවිත් දරුවගේ තාත්තව ඇහුවා. ගෙදර ඉන්නේ කවුද කියලත් ඇහුවා. පස්සේ තාත්තගේ නොම්මරය ඉල්ලුවා. මම ඒකත් දීලා ඇයි මෙහෙම කතා කරන්නේ කියලා ඇහුවා. කවුරුත් කිසිම දෙයක් කිව්වේ නැහැ. පස්සේ මම දරුවගේ තාත්තට කතා කරලා ඇහුවා, ඇයි පොලීසියෙන් කෝල් කළේ කියලා. “පුතා පීනන්න ගිහින් එයි කියලා.” තාත්තා කිව්වා. ඒ වෙනකොට එයා දන්නවා වුණ දේ. පස්සේ මම දරුවගේ ෆෝන් එකට ගත්තා. පුතා අනෙක් අය බේරා ගන්න යනකොටෙ එයාගේ ෆෝන් එක යාළුවෙකුට දීලා ගිහින් තියෙන්නේ. අන්තිමේදී මට දැන ගන්න ලැබුණා, මගේ දරුවා ගංවතුරේ ගහගෙන ගිහින් කියලා. පුතා මීටර් 100ක් විතර වතුරේ ගිහින්.
බේර ගන්න ගිය තුන්දෙනා පේන මානයේ තමයි ගහගෙන ගිහින් තියෙන්නේ. මට මගේ දරුවා නැතිවුණා. ඒත් මේ වගේ දේවලට යන්න කලින් ආරක්ෂක කබායක් හෝ තියෙන්න ඕනෑ. එහෙම වුණානම් මගේ දරුවා අදටත් ජීවතුන් අතර.” සෝමා කලුආරච්චි මාතාව පවසන්නීය.
මෙසේ වතුරට කොටුවූ පවුලට ඉවත් වීමට අවස්ථාව තිබී ඇතත් ඔවුන් වතුර කට ආසන්නයටම එනතෙක් ඉවත් වී නැති බව අස්ල්වාසීහු පවසති. නිවෙස් හිමි කාන්තාව 119 අංකය අමතා තමන් කොටුව සිටින බව දැනුම් දී ඇත. ඔවුන් බේරා ගැනීම සඳහා මියගිය ඩිලාන් හා තවත් පොලිස් නිලධාරියකු එතැනට පිය නඟන අන්දම ආසන්නයේ පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබේ. තමන් හැඳ සිටි වැසි කබායද ගලවා දී වතුරේ ඉදිරියට යන ඔහු එක්වරම නොපෙනී යනු එහි සටහන්ව තිබිණි. දෙනෝ දාහක් දෙනා ඉදිරියේ වූ මේ සිදුවීම ඇසින් දුටු ගල්මුරුව ගල්වළ ප්‍රදේශයේ පදිංචි පී. ශාන්ති කුමාරි මහත්මිය මාධ්‍යයට මෙසේ පවසා තිබුණි.
“විනාඩි කිහිපයක් ඇතුළත වතුර එක පාරටම වැඩි වුණා. ගෙදර වැඩිහිටි පිරිමියෙක් හිටියෙත් නැහැ. ගැහැනු ළමයි දෙන්නයි පිරිමි ළමයයි එක්ක මම අසරණ වුණා. මම ෆෝන් එක අරගෙන වත්තේ අයිතිකාර නෝනට කිව්වා වතුර වැඩි වෙනවා අපට යන්න විදියක් නැහැ කියලා. නෝනා තමයි වටේටම කෝල් කරලා මේ ගැන දැනුම් දීලා තියෙන්නේ. මේ පොලිසියේ මහත්වරු දෙන්නා එනවා අපි දැක්කා. එක්කෙනෙක් ඉද්දී අනික් කෙනා හොඳට පීනලා ආවා. එක පාරටම නැතුව ගිහින් නැවත මතු වෙලා නැවත නැතුව ගියා. අපිට කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. මම ළමයි තුන්දෙනත් එක්ක අන්ත අසරණ වෙලා හිටියේ. මේ පොලිසියේ මහත්තයා අප බේරාගන්න ආ නිසා තමයි මේ දේ වුණේ” දෙනෝ දාහක් දෙනා ඉදිරියේ වූ මේ සිදුවීම ඇසින් දුටු ගල්මුරුව ගල්වළ ප්‍රදේශයේ පදිංචි පී. ශාන්ති කුමාරි මහත්මිය පවසන්නීය.
අතුරුදන් වූ ඩිලාන් සොයා ගැනීමට මේ ගමේ අය දක්වා ඇත්තේ විශාල සහයෝගයකි.
“අපේ අයියගේ මිනිය හොයා ගන්න ගමේ අය ගොඩාක් මහන්සි වුණා. කිලෝ මීටර් 8 ක් දුර හෙව්වත් අන්තිමේදි එයා ඉඳලා තියෙන්නේ ළඟ පාතමයි. අයියා හඳුනා ගත්තේ ඇඳගෙන ගිය ඇඳුමෙන් හා අතේ පච්චයෙන්. අයියට ආරක්ෂක උපකරණ නොතිබුණු බව සීසීටීවි කැමරාවෙන් හොඳටම පැහැදිලියි. එයා පිහිනන්න ඉගෙන ගත්තේ පොලීසියට ගියායින් පසුවයි. අන්තිමට මම තනිවුණා.” ඩිලාන්ගේ එකම සොහොයුරිය ඩී. පී. ඩී. මධුරංගි පැවසුවාය.
පොලිසියේ සේවය කළත් කුඩා දරුවකු මෙන් අහිංසක හදවතකට හිමිකම් කියූ ඩිලාන් ඕනෑම අයකුගේ විපතකදී දෙවරක් නොසිතන්නෙකි. එසේ වූයේ නම් මෙවැනි රුදුරු ජල කඳක් හමුවේ කිසිදු ආරක්ෂක උපකරණයක් පවා නොමැතිව අසරණ වූ පවුල බේරා ගැනීමට ඔහු ඉදිරිපත් වන්නේ නැත. රුදුරු ජල පහරට බියෙන් ඔහු සමඟ ගිය අනෙක් අය ආපසු හැරී පැමිණ ඇත්තේ ය.
නමුත් රුදුරු ජල පහර හමුවේ දරුවන්ගේ මුවින් පිටවූ විලාපය අසා සිටීමට ඩිලාන්ට සිත දුන්නේ නැත. අවසානයේ අන් ජීවිතවලට පිළිසරණක් වන්නට ගිය ඩිලාන්ට සිය ජීවිතය අහිමි විය.