
තම දරුපවුල රැකගන්න, නැත් නම් බඩවියත සරි කරගන්න, තමන්ගේ ජීවිතය ඔට්ටු තියන්න කෙනකු හිතන්නේ කරන්නම දෙයක් නැති අවස්ථාවකයි. එලෙස තම යොවුන්වියේ විනෝදාංශය ජීවිකාව ලෙස තෝරාගත් තරුණයන් තුන්දෙනකු ගැන ලංකාවේ විතරක් නොවෙයි අද ලෝකයේ බොහෝ දෙනකුගේ කතාබහට ලක් වී තිබේ.
මේ 'jumping boys-ලා' ජීවත් වන්නේ ගාල්ල ප්‍රදේශයේය. ගාල්ල ලන්දේසි කොටුව ආසන්නයේ ඇති වෙරළ බොහෝ ප්‍රසිද්ධ සංචාරක කලාපයකි. දෙස්-විදෙස් සංචාරකයන් මෙන්ම ගාල්ල හා අවට ප්‍රදේශයේ තරුණ පිරිස් ඉඩක් ලද හැම විටම නාන්න, පීනන්න, විනෝද වන්න එන්නේ මේ ස්ථානයටයි. එතැනින් නා විනෝද වී ගාල්ල කොටුවට ගොස් ඈත මුහුද දෙස බලා සිටීමට ඇත් නම් එය ඉතා රමණීය සිතිවිලි සිතට ගෙන එන ප්‍රීතිමත් හෝරාවක් වනු නිසැකය. ඈත මුහුදේ සිට ඇදෙන දිය රැළි වෙරළ ආසන්න ගල්පරවල වැදී මවන රටා බොහෝ චමත්කාරය. අසංකත්, බුද්ධිකත්, ලක්ෂිතත් පාසල් වියේ පටන්ම මෙතැනට ආවේ ඒ චමත්කාරය අත්විඳින්නය. පාසල් යෑමට සිදු වීම ජීවිතයේ දුක්කම්කටුලු තවත් වැඩි කළේයැයි එදා මේ තිදෙනාට සැම විටම සිතිණි. දහවැනි ශ්‍රේණියට යන්නත් පෙර ඔවුන් පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කීවේ එහෙයිනි. ඒත් දැන් නම් ඔවුන්ට එහෙම සිතෙන්නේ නැත. ජීවිතය ජීවත් කරවන්න රැකියාවක් කරන්න නම් පාසල් අධ්‍යාපනය වැදගත් වන බව ඔවුහු දැන් දනිති. ඒත් දැන් ප්‍රමාදය.
“ඉස්සර අපි කොටුබැම්මෙන් පහළට පැන්නේ විනෝදෙට, අපි පනින කොට සුද්දෝ මුහුදට සල්ලි කොළ දානවා, අපි පැනලා ඒවා ගන්නවා. පස්සේ පස්සේ මෙතන අපි පනින එක ප්‍රසිද්ධ වුණා. ඉන් පසු අපි වෘත්තියක් විදිහට මුදල් අය කරලා පනින්න පටන් ගත්තා. අපි මෙතනින් මුහුදට පනින්න අරන් අවුරුදු පහළොවක් විතර වෙනවා. සුනාමියට ඉස්සෙල්ලා මෙතන මුහුද අඩි දහයක් දොළහක් විතර ගැඹුරයි. සුනාමියෙන් පස්සේ මෙතැන ගොඩ වුණා. දැන් ගැඹුර මීටරයක් විතර වෙනවා. පැහැදිලි ලෙස පතුල පෙනෙනවා. ඒක තමයි අවදානම. ඒ අවදානම ජයගන්න හැටි පෙන්වීමට තමයි අපි අය කරන්නේ. අපිට කිමිදෙන්න තියෙන්නේ වතුරේ අඩි දෙකක් පමණයි. ඉතිරි අඩිය අපි ගොඩට එන්න තියාගන්න ඕන. පිම්ම වැරැදුණොත් ඔළුව වදින්නේ වැල්ලේ එය අනතුරුදායකයි. වටේම ගල්පර... අපි පනිනවා බලන් ඉඳලා විදේශිකයෝ ඔළුවේ අත ගහගන්නවා.”
ඒ පිම්ම එතරම්ම විචිත්‍රය; ආකර්ෂණීයය; රමණීයය; එමෙන්ම මරණීයය; බිහිසුණුය; අවදානම්සහගතය. ඒ පනින හැම වාරයක් පාසාම ඔවුන්ගේ ජීවිත පවතින්නේ අනතුරේය. ඔවුහු තම ජීවිත අනතුරට යොමු කර, ලංකාවේ සිට ඩොලර් උපයති. එක පිම්මකට ඩොලර් 20කි. අවම වශයෙන් ලංකා රුපියල් 3,000කට පිම්මක් පනින්නට ඔවුහු සූදානම්ය. එහෙත් ඔවුන් ඒ රුපියල් 3,000 ගන්නේ තම ප්‍රේක්ෂකයාට උපරිම වින්දනය සපයා දීමෙනි. මේ තිදෙනා සාමූහිකව පිම්මට යොමු වන අවස්ථාද තිබේ. එක් පිම්මකට ඩොලර්වලින් 20ක් අය කළත් ඔවුන්ගෙන් අයකුට දවසකට පනින්න හැක්කේ පිමි දෙකක් හෝ තුනක් පමණි. එක් පිම්මක් යනු පැනීම් වාර තුනකි. අදාළ මුදල ගෙවන ඕනෑම ප්‍රේක්ෂකයකු වෙනුවෙන් ඔවුහු පනිති. එහෙත් වැසි දිනවලදී නම් මේ පිම්ම පනින්න ඔවුන් උත්සාහ කරන්නේ නැත. වැසි දාට මඩ වතුර හා මුසු වී මුහුදේ වතුර අවපැහැ ගැන්වී මුහුදු පතුල නොපෙනී යයි. එය ඔවුන්ගේ ජීවිතය තවතවත් අනතුරට කැඳවන තත්ත්වයකි. එසේම මේ අයට මුදලක් එකතු කරගන්න ලැබෙන්නේ විදේශිකයන් ලංකාවට එන කාලයට පමණි. එසේ ආවද ඩොලර් 20ක් වියදම් කරන්න ලෝභ නැති, ත්‍රාසයට කැමැති විදේශිකයන් පැමිණිය යුතුය.
ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න සැලසුම් සකස් කරන රටක් ලෙස මේ තරුණයන්ගෙන්ද ඒ සඳහා ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් නොවේද? එහෙත් සංචාරක මණ්ඩලය හෝ ඒ වෙනුවෙන් කැප වූ මොන යම් හෝ රජයේ ආයතනයක් හෝ ඒ වෙනුවෙන් කිසිවක් කිරීමට මෙතෙක් කිසිදු උත්සාහයක් ගෙන නැත.
“අපිට මේක කරන්න පුළුවන් ඇඟේ හයිය තියෙන කල් විතරයි. මේ රට අපේ හැකියාව ප්‍රයෝජනයක් ගන්නව නම් හොඳයි. අඩුම තරමෙ ජීවිත ආරක්ෂකයො විදිහට ලයිසන්-එකක්වත් දෙනව නම් එය උදවුවක්. අපිට හොඳට පීනන්න පුළුවන්. මෙතන වන අනතුරු වළක්වන්න අපිට අඩුම තරමෙන් ජැකට් දෙක-තුනක් වත් දෙනව නම් හොඳයි. මොකද: මෙතන අනතුරක් වුණොත් මුහුදට පනින්න ඉන්නේ අපි. කොතරම් සෙනඟ හිටියත් කවුරුත් මුහුදට පනින්නේ නැහැ. අඩු තරමේ අනතුරට ලක් වූ පුද්ගලයාට ගිහින් අන්දන්නවත් මෙතන ජැකට්-එකක් නැහැ.”
විදේශිකයන් හා හරි-හරියට කතා කරන මේ තරුණයන්ට හොඳින් ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකිය. මේ පොතපතින් ගත් දැනුමක් නොව; භාවිතයෙන්ම ලත් උගැන්මකැයි සිතමි.
“ඉස්සර මට ඉංග්‍රීසි බෑ. මම කරන්නේ විභාගෙට ප්‍රශ්න පත්තරේ තියෙන ප්‍රශ්න ටික ආයෙත් කොළය පිරෙනකල් ලියලා ටීචර්ට දෙන එක! මේ ළඟදි මගේ ඉංග්‍රීසි ටීචර් මෙතනට ඇවිත්, මම සුදු මහත්තරු එක්ක කතා කරනවා අහගෙන ඉඳලා... මා ළඟට ඇවිත් කිව්වා, පුතා ඔයා දැන් මටත් වඩා හොඳට ඉංග්‍රීසි කතා කරනවනේ කියලා. මට එදා හරිම සතුටක් දැනුණා,” මගේ සිත කියවූවාක් මෙන් අසංග පැවසීය.
කෙසේ වෙතත් මේ තරුණයන්ගේ බාහිර පෙනුම නම් මගේ සිත පැහැදවූයේ නැත. මේ නොපහන් බව පිටතට පැන්නේ මේ පැනයේ ස්වරූපයෙනි:
“ඇයි කොණ්ඩෙ ඔහොම හදාගත්තේ?”
“කොණ්ඩේ වවාගෙන, ඇඟපුරාම ටැටූ ගහගෙන හිටියට අපි රස්තියාදුකාරයෝ නොවෙයි. අපි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. මෙහෙම ඉන්නේ අවධානය ගන්න. මේ කොණ්ඩේ මේ පාට වෙලා තියෙන්නේ ටින්ට් කරලා නොවෙයි. මුහුදු වතුරට පිච්චිලා!”
මගේ හිතේ තිබුණු නොරිස්සුම පහව ගියේය. හැකියාව අලෙවි කරන්න වුවද හොඳ වෙළෙඳ උපක්‍රම භාවිත කරන්නට සිදු වෙයි. යථාර්ථය එයයි.
“වෙන රස්සාවක් කරන්න අදහසක් නැද්ද?” මම පොදු ප්‍රශ්නයක් ඇසුවෙමි.
“අදහසක් තියෙනවා... මොනවා හරි රස්සාවක් පටන් ගන්න නම් සල්ලි ඕනෑ. අපි හොයාගන්න සල්ලි එදිනෙදා වියදමට ප්‍රමාණවත්. ඉතින් කොහොමද මොනවත් කරන්නේ. ඉස්සර නම් අපි පේමන්ට්-එකේ සෙල්ලම් බඩු විකුණුවා. දැන් එකත් බෑ. ගෙදරින් වුණත් අපි දිගටම මේ රස්සාව කරනවට කැමැති නැහැ. අම්මා, බිරිඳ වුණත් එපා කියන්න බැරි හන්දා ඉන්නේ, නැත් නම් කැමැති නෑ. අපි අපේ දරුවො ලොකු-මහත් කරගන්න, උගන්වන්න ඕනෑ. අපිටත් හුඟක් බලාපොරොත්තු තියෙනවා. අපිට අපි විශ්වාසයි. කාටවත් වරදක් නැති නිසා දෙවියො අපි දිහා බලයි.”
ඒ වචන ඇතුළේ හැංගී තිබුණේ දුකද කඳුළද පසුතැවීමදැයි මට සිතාගන්න බැරි විය. ඇතැම් විට ඒ සියල්ල විය හැකිය. අප ආරක්ෂා කරන සැම දෙවියන් ඔවුන් තිදෙනාද අරක්ෂා කරන්න ඕනෑ කියලා මමද ඔවුන් වෙනුවෙන් දෙවියන් යැද්දෙමි.
එත් මා සිතන්නේ අහසේ වැඩ-වසන දෙවියන්ට වඩා මේ මහපොළොවේ පය ගසා සිටිනා දෙවියකුගේ උදවුව මේ යාළුවන් තිදෙනාට ලැබුණොත් එයින් ඔවුන්ගේ ජීවිත යහපත් වනු ඇති බවයි.
මොවුන්ගේ වෘත්තිය අනතුරුදායක වීම හේතුවෙන් හා රක්ෂණ වාරිකයක් නිසි ලෙස ගෙවාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ට කිසිදු රක්ෂණ ආයතනයක් ජීවිත රක්ෂණයක් ලබා දෙන්නට ඉදිරිපත් වන්නේ නැත. එහෙත් ඔවුන්ගේ දරුපවුල් ගැන සිතා කවර හෝ රක්ෂණ ආයතනයක් ඊට ඉදිරිපත් වේ නම් එය මහඟු සේවාවක් වනු නිසැකය.
සේයාරුව - විමල් කරුණාතිලක