දරුවන්ගේ ලෝකය අවදි කළ මාරියා | සිළුමිණ

දරුවන්ගේ ලෝකය අවදි කළ මාරියා

මොන්ටිසෝරි අධ්‍යාපනයේ නිර්මාතෘවරිය ගැන නොදත් කතාව
කෙනකුගේ සාර්ථකත්වය - අසාර්ථකත්වය තීරණය වන්නේ ලිංගිකත්වය අනුව නොවෙයි

ලෝකය සෑදී තියෙන්නේ හිරු එළියෙන් සහ මවුකිරෙන් කියලා ප්‍රකට කතාවක් තියෙනවා, ගෝර්කිගෙ. තොටිල්ල පදවන දෑත රට පාලනයටත් සුදුසුයි කියලා කතාවකුත් තියෙනවා. අම්මා බුදු වේවා කියලා අපි කවුරුත් කිසිම වාද බේදයක් නැතිව කියනවා. කාන්තාවන් ගැන පොදුවේ අපේ සමාජයේ තියෙන්නේ ගෞරවයක්. නමුත් කෙනෙකුගේ සාර්ථකත්වය අසාර්ථකත්වය තීරණය වන්නේ ලිංගිකත්වය අනුව නෙමෙයි. සාර්ථකත්වයට අවශ්‍ය වන්නේ මූලික වශයෙන් ම කැපවීමයි. පිරිමියා ද ගැහැනිය ද කියන සාධකය ඊට අදාළ වෙන්නේ නැහැ. කාන්තා විමුක්තිය ගැන කතා කරනවාට වඩා, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවාට වඩා, සමතැන හෝ නිසි තැන හෝ මුල් තැනට වෙහෙස වෙනවාට වඩා බොහෝ දේ කළ කාන්තාවන් එදත් හිටියා. අදත් ඉන්නවා. තමන් පෞද්ගලික ව සාර්ථකත්වයට පත්වී ආදර්ශයක් වූ සහ රටට සමාජයට ලෝකයට යම් මෙහෙවරක් කිරීමෙන් සාර්ථකත්වයට පත්වූ කාන්තාවන් ගැන අපි කතා කරනවා. ඔවුන් ගැන මීට කලින් ඔබ අහලා කියවලා ඇති. බො‍හෝ දේවල් මතකයේ පවා ඇති. ඔබ දන්නා තරම් මා දන්නේ නැති බව ඇත්තයි. ඒත් මේක කියවලා බලන්න. හැම සතියෙම. වෙනසක් තියෙයි.

ජීවිතය ඉතාම පුංචි තැනකින් පටන්ගත්තා වෙන්න පුළුවන්. මහා මන්දිරයක සැප සම්පත් අතරේ හැදුණා ‍වැඩුණා වෙන්න පුළුවන්. ලෝකයට වැදගත් වෙන්නේ තම ජීවිත කාලය තුළදී කළ කී දේ පමණයි. පුංචි ම තැනක ඉපදිලා ධන කුවේරයෙක් වුණත් එයා මසුරු සිටාණන් කෙනෙක් නම් ඒ චරිතය ගැන කවුද කතා කරන්නේ? සැප සම්පත් ආඪ්‍යව ඉපදිලා තමන්ගේ උනන්දුවත්, කැපවීමත්, අධිෂ්ඨානයත් තුළින් ලෝකය වෙනුවෙන් මානවයා වෙනුවෙන් යම් පුංචි හෝ දෙයක් කළා නම් වැදගත් වෙන්නේ එයයි.

පෙර පාසලකට නොගිය කෙනෙක් නැත්තම් මොන්ටිසෝරියකට නොගිය කෙනෙක් අපි අතර ඉන්න විදිහක් නෑ. ඔබ මොන තරම් ඉහළට අධ්‍යාපන පිය ගැට පෙළෙහි ඉහළට නැඟ ගත්තත් එහි පදනම දැමුවේ මොන්ටිසෝරියයි. දරුවාගේ නිදහස් මනස හා ළමා ක්‍රියාකාරිත්වය මුල් කරගනෙ සතුට සහ විනෝදය ලබාදීම සමඟ ළමා මනස පුබුදුකරවමින් එහි ශක්තිය සහ ශක්‍යතාවය නංවාලීම අරමුණු කරගෙන ඇතිකරන ලද මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමය මොන්ටිසෝරිගේ; මාරියා මොන්ටිසෝරිගේ. දන්නවාද ඔබ ඈ ගැන අද අපි කවුරුත් කතා කරනා මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමයේ නිර්මාතෘවරිය ඇයයි. ඇය විසින් ලොවට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය ලෝකයේ සියලු ජාතීන් අතර සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා. වර්තමානයේ ඉතා දියුණු අධ්‍යාපන රටාව කෙරෙහි නිවැරැදි මොන්ටිසෝරි අධ්‍යාපනය මඟින් ඇති කරන බලපෑම ඉතා සුවිශේෂ බව යුනෙස්කෝව පවා පිළිගෙන තිබෙනවා.

මාරියා ටෙක්ලා ආර්ටමිසියා මොන්ටිසෝරි උපන්නේ 1870 අගෝස්තු 3 වැනිදා ඉතාලියේදී. අවුරුදු 12 දී ඇගේ මාපියන් රෝමයේ පදිංචියට ගියේ මාරියාට යහපත් අනාගතයක් උදාකර දීම අරමුණු කරගෙනයි. උසස් අධ්‍යාපනය සඳහා 1893 දී රෝමයේ සැපිනොසා විශ්වවිද්‍යාලයට ඇතුළු වන ඇය 1896 දී ඉන් පිටවෙන්නේ ඉතාලියේ බිහිවූ ප්‍රථම වෛද්‍යවරිය ලෙස හා වෛද්‍ය විද්‍යාවට මෙන් ම ශල්‍ය විද්‍යාවට ආචාර්ය උපාධි ලබාගත් ප්‍රථම ඉතාලි ජාතික කාන්තාව ලෙසටයි. ඒ වසරේදී ම ස්ත්‍රී සමානාත්මතාවය පිළිබඳ බර්ලිනයේ පවත්වන ලද අන්තර්ජාතික සමුළුව නියෝජනය කළ ඇය එහිදී ළමා මෙහෙකාරකම් පිළිබඳ ප්‍රශ්නය ස්ත්‍රීවාදී අදහස් අතරේ ඉදිරිපත් කිරීම ළමයින් කෙරෙහි ඇය තුළ තිබුණු ගැඹුරු සෙනෙහස මතුවීමක් ලෙස හැඳින්වෙනවා. 1904 වසරේදී තමා උපාධිය ලැබූ රෝම විශ්වවිද්‍යාලයේ ම ඉගැන්වීම් කටයුතුවල යෙදුණු ඇය 1907 දී casa dei bambini නමින් children house හෙවත් අද අප දකිනා මොන්ටිසෝරිය ආරම්භ කරනවා. ළමා අධ්‍යාපනය පිළිබඳ දේශන පවත්වමින් තම පුතු මාරියෝ සමඟ ලොව පුරා සංචාරය කරන ඇය දෙවන ලෝක යුද්ධය කාලයේ රැඳී සිටින්නේ අපේ අසල්වැසි ඉන්දියාවේ. ලෝක යුද්ධයෙන් පසුව 1949 දී ඉන්දියාවෙන් පිටවී යන ඇය ඒ වසරේදී ම යුනෙස්කෝ සමුළුවේදී “අධ්‍යාපන හා සාමය” යනුවෙන් දේශනයක් පවත්වනවා. ලෝක සාමය ජාතීන් අතර සහයෝගීතාව හා අධ්‍යාපනය වෙනුවෙන් ඇය විසින් ඉටුකරන ලද මෙහෙවර උදෙසා නොබෙල් සාම ත්‍යාග දෙකක් සඳහා ඇය නිර්දේශ කෙරෙනවා.

තම මෙහෙවර අවසන් කළ මාරියා 81 වැනි වියේදී නෙදර්ලන්තයේ නෝර්ඩ්විජ් හිදී 1952 ක්වූ මැයි මස 06 වැනිදා මෙලොව හැර යනවා. ඇයගේ මොන්ටිසෝරි අධ්‍යාපනයේ තේමා පාඨය වූයේ “Help me to help myself”යන්නයි. එය ඔබ ගළපා ගන්න. 2007 වසරේදී ඇගේ මොන්ටිසෝරි අධ්‍යාපනයේ ශත සංවත්සරය ලෝකයා විසින් සමරනු ලැබුවා. ලාංකිකයෝ කෙළෙහිගුණ දන්න මිනිස්සු ඉන්න රටක් කියලා කොහේ දෝ තැනක තිබිලා කවදාහරි දවසක කියෙව්වා කියලා මට මතකයි. ඔබ හෙට ගිහින් බලන්න. ලංකාවේ මොන්ටිසෝරි කීයක මොන්ටිසෝරි මැතිනියගේ ඡායාරූපයක් එල්ලා තියෙනවද කියලා. අහන්න බලන්න... ඈ ගැන දන්නවාද කියලා.

දමින්ද සමරක්කොඩි

Comments