මාලිංගගේ අවසන් සටන | සිළුමිණ

මාලිංගගේ අවසන් සටන

එදා මගේ කොණ්ඩෙ දැකපු සමහරු මේක මහත්වරුන්ගෙ ක්‍රීඩාව කියලා කිව්වා
2023 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න අවශ්‍යයි
විනය ගැන හොයනවා නම් ඒක පිට්ටනියෙදි හොයන්න

ලසිත් මාලිංගට ඕනෑ වූයේ පන්දු රකින්නට තමන් හරියටම යා යුත්තේ කොතැනට දැයි කියා දැනගන්නටය.පෙර පන්දුවාරයේදී ඔහු සිටි ඩීප් කවර් හි පන්දු රැකීම වැඩක් ඇති දෙයක් නොවන බව ඔහුටම තේරුම් යමින් තිබුණේය .ඔහුගේ සිත නම් කීවේ බැරි වීමකින් හෝ අතපසු වීමකින් තමන්ව එතැනට යෙදවෙන්නට ඇති බවකි. පිතිකරුගේ පිත්තේ වැදී තමන් දෙසට ආ පන්දුවක් ඔහු කිසිම අතපසුවීමක් නැතිව රැකගත්ත ද පිතිකරු ඒ දෙස බලමින්ම දෙවැනි ලකුණකට දිව යන්නට සැරසෙද්දී මාලිංග' තමන් පන්දු රකින්නේ හරියටම හරි යන තැන නොවේ' යැයි සිත කී කතාව තහවුරු කරගත්තේ ය.

මාලිංගට වැරැද්ද නිවැරදි කරගන්නට වුවමනා වූයේ ය. නායකයාගේ අවධානය තමන් වෙතට ගැනීම හැර එයට වෙන මඟක් නැති බව ඔහු දැන සිටියේය.

'මම මෙතැන ඉදලා හරියන්නෙ නැහැ' ඔහු ඉඟියෙන් නායකයාට කීවේය. මේ ඉගියෙන් මාලිංගට ෂෝට් ෆ්යින් ලෙග් වෙත මාරුවක් ලැබුණ ද එයද වැඩක් ඇති විසඳුමක් නොවන බව මාලිංගගේ 'ක්‍රිකට් අත්දැකීම් 'මාලිංගට පුන පුනාම කියන්නට වූයේය.පිතිකරුවා යළිත් පන්දුවට පහරක් එල්ල කළේය. එවර ද පන්දුව ඇදී ආවේ මාලිංග දෙසටමය. මෙවර නම් පන්දුව එක එල්ලේම තමන් වෙත නො ආ නිසා අඩිය ඉක්මන් කර සිටි තැනින් වම් පැත්තට බරව පන්දුව පසුපස දිව යන්නට ඔහුට සිදු වූයේ පන්දුව වේගයෙන් හතරේ සීමාව දෙසට ඇදී යන්නට වූ නිසා ය. වේගයෙන් ඇඳුණු පන්දුව තමන් වෙත නතු කරගන්නට මෙන් මාලිංග අහසේ කිමිදෙන්නට මෙන් වේගවත් පිම්මක් පැන්නේය. පිම්ම, ඉලක්කය වෙතට ම ඔහුව ගෙන ගියත් ඔහු පිටිය හා ගැටෙන තත්පරය වනවිට විනිසුරුවරයා ලකුණු හතරක් සලකුණු කරන්නට අත ඔසවමින් සිටියේය.

මේ සියල්ල ඇසින් පමණක් බලා සිටි ඇතැමුන්ට මාලිංග වෙතින් දුටු මේ පන්දු රැකීම් 'කතා හදන්නට' හොඳ ඉඩක් සාදා දුන්නේය.

මේ කතා ඇසෙන්නට වූයේ පී.සරා ඕවල් පිටියේ එක් කොනක කාලාන්තරයක් තිස්සේ පිටිය දෙසටම හැරී සිටි උසින් අඩු මිරැන්ඩෝ ප්‍රේක්ෂකාගාරය දෙසිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ලේකම්වරයකු ලෙස කටයතු කළ ට්‍රිපෝන් මිරැන්ඩෝ සිහිවීමට ඒ ප්‍රෙක්ෂකාගාරය නම් කර ඒ හැටි කාලයක් ගතව නැති මුත් එය කාලයක් තිස්සේ ලෝකයා ක්‍රිකට් උද්දාමයෙන් සිත් සතුටු කරගන්නට සෙවණ සැලසූ තැනකි. වැඩක් ගන්නට බැරි තරමටම වැහැරී ගිය සීලින් පංකා පේළියක් යට තබා ඇති මහෝගනී බංකු වැසී තිබුණේ ගැළපෙනවා කියා සිතන්නට බැරි තරමේ වේවැල් වියවුම් වලිනි.ආසන පේළියට පසුපසින් සුදුමැලි කහ පාටකින් පෙනුණු සවි ශක්තියෙන් අඩු කණු කිහිපය දරා සිටියේ ටකරන් වහලකි. කලක් වැජඹුණු දැන් වැහැරෙමින් යන මිරැන්ඩෝ ප්‍රේක්ෂකාගාරයේ සිට පිටිය දෙස බැලූ විට එක් වරම ඇස ගැටෙන ලකුණු පුවරුව නම් තවමත් දිලිසෙන්නේය. ලකුණු පුවරුවේ එක් පසකින් නැඟී ඉහළට ඇදී යන අයිවී වැලක් මේ දිලිසෙන ලකුණු පුවරුවට එක් කර ඇත්තේ අමුතුම පෙනුමකි.

අවුරුදු 70කට පෙර ශ්‍රීමත් ඩොනල්ඩ් බැඩ්මන්ගේ අනභිබවනීය පිතිකරණ මතකයන්ද සමඟින් අන්තර්ජාතික ක්‍රිකට් මතකයන් රැසක මතක එකතුවක් ඇති මේ සරා ඕවල් පිටියට ආ ජායාරූප ශිල්පීන් එදා සිටම තම හුරුපුරුදු නවාතැන කරගත්තේද මේ මිරැන්ඩෝ ප්‍රේක්ෂකාගාරය ඉදිරිපිට බිම් තීරුවය. ඔවුන්ගේ ජායාරූපවලට ලකුණු පුවරුව අලංකාර පසුතලයක් ද ලබා දුන්නේය. එනමුදු මේ කියනා මොහොත ජාත්‍යන්තර තරගයකට සරා ඕවල් පිටිය වෙන් වූ මොහොතක් නොවූයේය. මෙය වෘත්තීය ක්‍රිකට් වෙනුවෙන් සුදුසුකම් ලබන්නට කරන ක්‍රීඩා කිරීමක් විතරය. ඇත්ත ඇති සැටියෙන් දුටහොත් මේ වසර ක්‍රිකට් නිලවරණයකට වෙන් වූ වසරක් නොවූයේ නම් මේ තරගාවලිය මෙසේ නොපැවැත්වෙන්නට පවා ඉඩ තිබිණි. ක්‍රිකට් නිලවරණ වලදී වටිනාකමින් ඉහළ යන ක්‍රිකට් ක්‍රීඩා සමාජ වල ජන්දය වෙනුවෙන් මේ තරගාවලිය වෙන් වූවැයි කීමේ වරදක් නැත.

තරගයේ ප්‍රේක්ෂාගාරය සිය දෙනෙකුට වැඩි වූයේ නැත. මේ අතරින් වැඩි දෙනා මාලිංග ක්‍රීඩා කළ එන්.සී.සී. ක්‍රිකට් සමාජයේ ප්‍රතිවාදියා වූ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ආධාරකරුවෝය. ප්‍රේකෂකාගාරයේ සිටි සියලු දෙනා අනුකම්පා විරහිතව මාලිංග දෙස බැලුවේ නැත."මාලිංගට ඉන්ජරි එකක් තිබුණා නේද?" එක් අයකු කියනු ඇසිණි. "ඒ කොහොම වුණත් ඔය හැම බෝලෙම නවත්ත ගන්න එයාට පුළුවන් වෙයි කියල හිතන්න නම් අමාරුයි" ඔහුගේ මිතුරෙක් අනෙක්පස සිට තර්ක කරන්නට පටන් ගත්තේය. මාලිංග ගැන කතාවක් ඇති වන හැම මොහොතකම වාගේ මේ මොහොතේත් මාලිංග ගැන වූ කතාවට දෙපැත්තක් තිබිණි.

"මොන ඉන්ජරිද? බලනවකො ඒ මිනිහගෙ ඇගේ හැටි. ඒ මිනිහව ක්‍රිකටර් කෙනෙක් වගේ පේනවද?" තුන්වැනි හඩක් කතාවට එකතු වන්නේ වෙනස් අදහසක් සේම කතාවට කාලගෝට්ටියක ස්වරයක් ද එකතු කරමිනි.

"තව අවුරුදු දෙකක් හොද ලස්සනට සෙල්ලම් කරගෙන ඉන්න තිබුණා.මිනිහා තමන්ටම වැරදි පටවගන්නවනෙ පණ්ඩිතකමට කියවලා. හැමෝම දන්නව මිනිහා පණ්ඩිතයා කියලා." නොයෙක් දේ කියැවෙන්නේය.

පන්දුවාර කිහිපයක් අවසන්වූ තැන මාලිංග පන්දුව සියතට ගත්තේ මිරැන්ඩෝ ප්‍රෙක්ෂකාගාරය මීයට පිම්බාක් මෙන් නිහඩ කරවමිනි. ඇතැමුන් බලා සිටියේ කොහේ හෝ අතරමං වී සිටි ක්‍රිකට් නැවත පැමිණියා සේය. තවත් කෙනෙකු එතෙක් වේලා බෑගයේ දමාගෙන සිටි කැමරාව අතට ගෙන පින්තූර ගන්නට පටන් ගත්තේ වසර ගණනකට පසුව දුටු දර්ශනීයම දසුනක් දුටුවා සේය.

මාලිංග පුරුදු ලෙසටම පන්දුව සිපගත්තේය. තමන්ගේ මඟ දිවයන්නට පා එසවූයේය. ඔහුගේ දෙපා සෙමෙන් සෙමෙන් පොළොවෙන් ඉහළට එසවෙන්නට පටන් ගත්තේ හරියටම ගැටවර කාලයේ දකුණු වෙරළේ පා එසවුණු ජවයෙන්මය. සරා ඕවල් පිටියේ මේ බිම් තීරුවද දකුණු වෙරළෙන් ගෙනා තෙත වැලි වලින් සැදුණක් මෙන් ඔහුට දැනුණා වන්නටද බැරි නැත. පන්දු යවන්නාගේ අන්තයෙන් ඇරඹි ඔහුගේ දිව ඒම මුල් කාලයේ පටන්ම ඔහුට හුරු පුරුදු යෝකර් පන්දුවෙන් ඇරඹී, පුපුරා යනසුලු ඔහුගේම පන්දු බවට පත් වූයේය. පන්දුවල වේගය කෙමෙන් වැඩි කරමින් පිතිකරුවා තමන්ගේ අණසකට යටත් කරගැනීමේ සුපුරුදු හැකියාව මාලිංග හොද හැටි පෙන්වූයේය. බවුන්සර් පන්දුවෙන් සියල්ල අවසන් වන් තැනට පිතිකරුවා මාලිංගට හසුවූවා යැයි කීමේ වරදක් නැත. මාලිංග යැවී මේ පන්දු වාරයේ ප්‍රතිවාදීන්ට ලැබී තිබුණේ එක් ලකුණක් පමණක් වුවත් ඉනිම ආරම්භයේදීම බිඳවැටී තිබුණු කඳුළු දෙකටම මාලිංගගේ පන්දු දායක වී තිබිණි.

ලසිත් මාලිංගගේ හුරුපුරුදු පන්දු යැවීමේ රටාව මෙයමය. ඇඟිලි වලින් ගිලිහෙන පන්දුව තණ තීරුවට පතිත වන ආනතියේ ඇති වෙනස මාලිංගගේ පන්දු වෙනස් පන්දු සේම පිතිකරුවාට බිහිසුණු පන්දු බවට පත් කරවන්නේය. මාලිංගගේ ක්‍රිකට් දිවියේ උත්කෘෂ්ටතම අවදියේ සෑම පිතිකරුවෙක්ම වාගේ මාලිංගගේ මේ නොසිතන ලෙසට තමන් වෙත පැමිණෙන පන්දුවට බියවී සිටියහ. මාලිංගගේ අතින් ගිලිහී තමන් වෙතට එන පන්දුව යෝකර් පන්දුවක් බව පිතිකරුවන් දැන සිටියද ඒ පන්දුව පිත්තේ ඉහළ කෙළවරක වැදී, පිත්ත සහ පාද අතරින් ඇදී කඩුල්ල වෙත යෑම වළක්වා ගන්නට ඔවුන් කිසිවකු දැන සිටියේ නැත. වසර කිහිපයකට පසුද ඔහුගේ ඒ හැකියාවේ වෙනසක් වී ඇති බවක් පෙනෙන්නට නොවූයේය. කිලෝ කිහිපයකින් වැඩි වී තිබුණු ශරීර බර නිසා දිවයන වේගයේ අඩුවක් වූවා නම් මිසක සුළග පීරා ඇදී කඩුල්ල වෙත යන්නට ඔහුගේ පන්දු වලට ඇති හැකියාව නම් අඩු නොවූ බව ලකුණු 14ට කඩුලු 3ක් ලබා ගනිමින් ඔහු දිනූ තරගයේ වීරයා සම්මනය කාටකාටත් හොද හැටි වටහා දුන්නේය . නිදහස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩාම ප්‍රකට කළ දුර්වල ක්‍රීඩා රටාවට මාලිංග වන් පිතිකරුවන් බියගන්වන සුලු හොඳ පන්දු යවන්නන්ගේ අඩුවද දායක වූ බව ඔහුගේ මේ පන්දු යැවීම යළි යළිත් මතක් කර දුන්නේය.

දකුණු වෙරළේ තෙත වැල්ල දිගේ දිවගොස් දෙපයට පන්නරය ගත් ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඈත් කරවීමට හේතු වූ කරුණු කාරණා අතර ඉදිරියෙන්ම ඇත්තේ දේශපාලනයයි. බොහෝ කලක පටන් මෙරට ක්‍රිකට් දේශපාලනීකරණය වෙමින් ඇත්තේ ක්‍රිකට් වලට පවා නොදැනීමය. ක්‍රිකට් දේශපාලකයාට ආහරණයක් වී ඇත. කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොතේ ඔහුට එක්සත් රාජධානියේ මහකොමසාරිස් තනතුර පිරි නමන්නට සේම මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, සනත් ජයසූරියද සිය දේශපාලන වුවමනාවන්ට යොදාගන්නට සැරසුණේද ක්‍රිකට් දේශපාලනීකරණය වී ඇති තරම පෙන්වමිනි.

මාලිංග මේ නැඹුරුවෙන් වෙනස් වූයේ ඔහු තමන් අසාර්ථක වෙමින් සිටි සිය අදුරු කාලයේදී පවා දේශපාලනය ගනණකට වත් නොගෙන සිටි නිසාය. අඩු තරමින් තමන් ජාතික කණ්ඩායමට තෝරා ගැනීම අවිනිශ්චිත බව පෙනෙද්දී පවා ඔහු දේශපාලනය පසුපස ගියේ නැත. ක්‍රිකට් ගැන බිඳකුදු නොදත් ක්‍රීඩා ඇමතිවරයකු ගැන පවා ඔහු මනාවට කටයුතු කරන්නට සමතෙක් වූයේය.මේ සියල්ලෙන් පෙනෙන්නට වූයේ ලසිත් මාලිංග දේශපාලනයට නම්මවාගත නොහැකි බවකි. ඒ නිසා ඒ කාලයේ සිට ඔහු තවමත් ජාතික කණ්ඩායමේ ඉඩක් නොලැබූවන්ගේ ලැයිස්තුවට වී සිටින්නේය. ඔහුට කණ්ඩායමේ ඉඩක් නොලැබීම ගැන ඔහු පුදුම වන්නේ නැතුවා ඇත. එහෙත් මේ ඔහුගේ අවසන් සටන වන්නට බැරි නැත. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දශකයක් පමණ කල් දිව ගොස් ඇති නිසා මෙතෙක් කල් ඔහුට වූ කෙනෙහිලිකම් වලින් ඈත් වන්නට මාලිංග කල්පනා කරනවා විය හැකිය.

ඔහු ආ ගමනට ද සේම එදා ද නොයෙක් දේ කියැවුණු බව මාලිංග සිහි කරන්නේය. මීට අවුරුදු 10කට පෙර ඔහුගේ අක් බමරු කෙස් දිගට වැවී ආ කාලයේ, එනම් ලෝකයේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මාලිංග වෙත ආකර්ෂණය වුණු කාලයේ කතාවක් ඔහු දැනුදු සිහි කරන්නේය.

"මගේ වැවිලා තිබුණු කොණ්ඩෙ දිහා බලලා අර්ජුන මට කිව්වා මේක මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා "ඔහු මතක් කරන්නේය " ඔව් මේක මහත්වරුන්ගේ ක්‍රීඩාව තමයි, අවුරුදු 15ක් අන්තර්ජාතික තරග සෙල්ලම් කරපු මට අදවෙනකල් තියෙනවද නරක හැසිරීම ගැන චෝදනාවක්. මගේ විනය ගැන කෙනෙක් හොයනවා නම් පිට්ටනියෙදි මම තියාගෙන ඉන්න විනය දිහා බලන්ව ඇරෙන්න වෙන මොනවා බලන්නද" ඔහු එදා පිළිතුරු නොදුන් පැනයට අද පැනයකින්ම පිළිතුරු දෙන්නේය.

මාලිංග සැබෑවටම ලෝකයේම ක්‍රිකට් ප්‍රේකෂක ආකර්ෂණය දිනාගත්තෙකි. අයි.පී. එල් තරගාවලි වලදී ඔහුට ලැබුණු ප්‍රතිචාර ඇතැම් විට තවමත් කිසිදු ක්‍රීඩකයකු ලබන්නේ නැත.

"මම අයි.පී.එල්. ගිහින් සෙල්ලම් කරද්දි ගොඩක් අය කිව්වා මම සෙල්ලම් කරන්නේ සල්ලි වලට විතරයි කියලා. මට සල්ලි ලැබුණා තමයි. ඒත් ඒ තරග නිසා අපේ ක්‍රිකට් වලට ලෝකෙ තිබුණු තැන උඩට ගිය බව කවුරුවත් දැක්කෙ නැහැ. අපේ ටී ෂර්ට්, කැප් ලෝකෙ පුරා විකිණුණු බව කාටවත් පෙනුනේ නැහැ" අද මාලිංග අතීත කතා සියල්ලටම උත්තර කියන්නේය

2014 වසරේ විස්සයි විස්ස ශූරයන් වන්නට කණ්ඩායම මෙහෙයවූ මාලිංග ඊට ටික කලකට පසු නොයෙක් හේතු කියමින් කණ්ඩායමෙන් ඈත් කර තබන්නට බොහෝ දෙනකු මුල් වූ බව පෙනෙන්නට තිබිණි. "මාව පසුගිය ඉන්දීය තරගාවලියට නොගෙන ඉන්න හේතුව විදියට කිව්වෙ විවේක ගන්වනවා කියලා. එ වුණාට මට පෙන්නන ඕන මට විවේකයක් නැතුව එකදිගට දවස් තුනක් වුණත් සෙල්ලම් කරන්න පුළුවන් කියලා. මට විවේකය ඕන නැහැ. " ලසිත් මාලිංග ශ්‍රීලංකා ක්‍රිකට් වෙත ලැබුණු ආශිර්වාදයක් බව කලෙකට විශ්වාස කළ ඇතැමුන් දැන් මාලිංගට සලකන්නේ වටිනාකමක් නොමැති තරමිනි. ඔහු අසාමාන්‍ය පන්දු යවන්නෙකැයි වරෙක මහේල ජයවර්ධන කියා තිබුණේ මාලිංගගේ වටිනාකමට වචනයෙන් අරුතක් දෙමිනි.

"මාලිංගගේ හැකියාව අසාමාන්‍යයි. ඔහුට ඔහුගෙන්ම තවත් ගොඩක් දේ ඉගෙනගන්න පුළුවන්. ඔහුගේ අතින් බෝලය නිදහස් වුණාම ඒක අනිවාර්යයෙන්ම ඔහුට උවමනා කරන දුරටම යනවා. ඒකයි ඔහුගේ සහ අනෙක් පන්දු යවන්නන්ගේ වෙනස. ලසිත් කියන්නෙ වැඩ කරන්න අමාරු කෙනෙක් නෙමෙයි. ඔහු හරි බුද්ධිමත්" මහේල ජයවර්ධන මාලිංග ගැන කියා තිබුණේ එවැන්නකි.

අද මාලිංගට බොහෝ කෙනෙහිලිකම් වලට මුහුණ දීමට සිදුවී ඇත්තේ ඔහුගේ කෙළින් කතාව නිසාය. ඔහුගේ ගම ගැන අසා දැන ඇති කෙනෙකුට නම් ඔහුගේ මේ කෙළින් කතාව අරුමයක් නොවනු ඇත. ඔහු ගාල්ලේ රත්ගමය. ඔහු ගේ ළමා කාලය ගෙවී යන්නේ ගහ කොළ, මහමුහුද ඇසුරේය. ලසිත් පුතා පොත පතේ වැඩට උනන්දු කරවන්නට සිහින දුටු අදටත් රත්ගම ගමේ ජීවත් වන් මාලිංගගේ තාත්තා අද ඔහු ගැන සතුටු නොවන්නේ යැයි කිව හැක්කේ කාටද අපි හිතුවටත් වඩා දෙයක් එයා කළා"

මාලින්ගගේ තාත්තා අද කියන්නේ එහෙමය.

රත්ගම මහජන ක්‍රීඩා පිටියෙනුත් රත්ගම වෙරළෙනුත් ඇරඹි මාලිංගගේ ක්‍රිකට් ගමන මේ තරම් දුර යනු ඇතැයි සැබෑවටම ඔවුන් නොසිතන්නට ඇත. පාසලේදී පන්දු යවන්නකු ලෙස දිගු ගමනක් යන්නට මුල පුරන මාලිංගගේ මුල්ම ලෙදර් බෝල් විකට්ටුව නම් ඔහුගේම මිතුරකු වම් 'කුමාර අයියාය' අදටත් ඔහු සතියක් පාසා ගමට යන්නේ ඒ මතකයන් තුළ ජීවත්වන්නටය. "මම මුලින්ම හාඩ් බෝලෙකින් සෙල්ලම් කරේ ගමේ මැච් එකක. එදා මම හැමෝගෙන්ම බැණුම් ඇහුවා මට ලකුණු ගහන්න බෑ කියල. අනෙක මම දාපු බෝලවලට හැමෝම ගැහුවෙ හයේ ඒවා. ඒ ලකුණු ගණන් අදටත් මගෙ දිනපොතක ලියලා තියෙනවා."

ඔහු අද දවසේ කෙනෙහිලිකම් මොහොතකට අමතක කර අතීතයට ගොස් අතීතයේ සතුට විදින්නේය.ඔහු වෙහෙසෙන්නේත් සටන් වඩින්නේත් ක්‍රිකට් නිසා ඔහු විඳි සැහැල්ලුව සතුට යළි ජීවිතයට එකතු කර ගන්නටය. මාලිංග සතු ක්‍රිකට් වාර්තා බොහෝය. පාසල් කාලයේ පටන් ඔහු වාර්තා තමන්ගේ නමින් ලියාගන්නට සමත් වූවෙකි. ඒ වාර්තා පසුපස සැඟවී ඇත්තේ ඔහුගේ අපමණ කැපකිරීමය. වසර කට දෙකකට පෙර ශ්‍රි ලංකා ක්‍රිකට් නාමය ලෝකයට ගෙන යන්න්ට ලෝකයේ බබළවන්නට සිය කැපකිරීම් කළ ඔහුට අද ජාතික කණ්ඩායමට ඇරයුමක් නැත. එහෙත් ඔහුගේ බලාපොරොත්තු තවමත් ඔහු තුළ ඇත.

"ඇත්තටම මට ඕන 2019 ලෝක කුසලානයට සෙල්ලම් කරන්නම විතරක් නෙමෙයි.මට ඕන 2023 ලෝක කුසලානයටත් සෙල්ලම් කරන්න. සමහර විට මේක විහිළුවක් වගේ පේනවා ඇති, ඒත් මේක විහිළුවක් නෙමෙයි." ඔහුගේ බලාපොරොත්තුව ඇත්තේ එතැනය. ඔහු දකින්නේ අනාගතයේ ඔහුට කළ හැකි දේය. ඔහුගෙන් රටට ලද හැකි දේය.ඔහුගේ බලාපොරොත්තුව රටට නොපෙනෙන්නේ කිසිවකු ඔහුව හරි හැටි හදුනානොගත් නිසා ද? තිස් හතර වියැති විශිෂ්ටතම විස්සයි විස්ස පන්දු යවන්නා තවමත බලාසිටින්න්ට අපූරු යැයි සිතෙන තරමේ විශිෂ්ට පන්දු සිය අතේ ඇඟිලි අතරින් බිහි කරන්නෙකි. සැබෑ ලසිත් මාලිංගත් ඔහුගේ කැපවීමත් හැඳිනිය යුත්තේ ඒ නිසාය.

(ක්‍රික් ඉන්ෆෝ සදහා ඇන්ඩෲ ෆිඩෙල් ෆර්නෑන්ඩො සැකසූ ලිපියක් ඇසුරෙනි

නෙලූෂා සිල්වා

Comments