
මං හුදෙකලා ජීවිතයට ප්‍රිය කරන බව සීයයි ආච්චියි හොඳින් ම දැනගෙන හිටිය. ගමේ කිසි ළමයෙක් හම්බ වෙන්ඩවත්, කිසි කෙනෙක් එක්ක කතා කරන්ඩවත් මං නොයන විත්තිය ඒ දෙන්න දිගින් දිගට ම අවබෝධ කරගෙන හිටිය. ඒ දෙන්න අහපු දේකට වුණත් මං දුන්නු උත්තරේ ‘ඔව් - නෑ’ කියන එක විතරයි. කතා කරන එකටවත් Zමං එච්චර කැමැති වෙලා හිටියෙ නෑ. මං හුදෙකලාව රසවිඳින බව ඒ දෙන්න අවබෝධ කරගෙන තිබුණ. ඉතින් ඒ අයගෙ ශුද්ධ වූ සේවාව වුණේ මට කරදර නොකර මගෙ පාඩුවෙ ඉන්න අරින එක.
ඔය විදියට අවුරුදු හතක් එක දිගට කිසි කෙනෙක් මගෙ අහිංසකකම දූෂ්‍ය කරන්න උත්සාහ කළේ නෑ. ආච්චියි, සීයයි සේවකයයි කියන වයසක තුන් දෙනා ම මගෙ අහිංසකකමට රැකවරණය සලසන්න හැම අතින් ම වගබලා ගත්ත. මං නිසා ඒ අයට වුවමනා විදියට කතා බහ කර ගන්න සාමාන්‍ය විදියට ජීවත් වෙන්න බැරි වුණා දෝ කියන හැඟීම ලොකු වෙනකොට මට දැනෙන්න පටන් ගත්ත. ඒ පොඩි පහේ සිත් තැවුල අපහසුව මගෙ හිතේ ඇති වුණා. නමුත් සාමාන්‍යයෙන් වැඩිහිටියො ළමයින්ට සලකන්නෙ මේ විදියට නෙමෙයි. ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයට. ‘කෑ නොගහ ඉන්ඩ! තාත්ත වැඩක්! සීය විවේක ගන්නව’. ඒ හින්ද ඔය ළමයි සද්ද කරන්ඩ එපා! ඔන්න ඔය වගේ නියෝග තමයි සාමාන්‍යයෙන් වැඩිහිටියො ළමයින්ට දෙන්නෙ. නමුත් මගෙ ළමා අවදියෙ වුණේ ඒකෙ අනිත් පැත්ත. ඒක එහෙම වුණේ ඇයි? කියල දැන් මට කියන්ඩ බෑ. ඒක වුණේ ඉබේමයි. ඒ හින්ද ඒකෙ නම්බුව මට ලැබෙන්නෙ නෑ.
ඉතින් මේ වයසක උන්දලා තුන්දෙනා එක එක්කෙනාට ඉඟි කෙරුව මෙන්න මෙහෙම, ‘දරුවට කරදර කරන්ඩ එපා! එයා බොහො ම බොහොම සන්තෝසෙන් ඉන්නෙ’ ඒ ගොල්ලො මගෙ හුදෙකලා දිවියට ආදරේ කළේ එහෙමයි.
නිහඬතාවට ඊට ආවේණික කම්පන තරංග තියනව. විශේෂයෙන් ළමයෙකුට නිශ්ශබ්ද වෙලා ඉන්ඩ කියල බල කළේ නැතුව ම ළමයා තුළ පවතින නිහඬතාවය තමයි සැබෑ නිහඬතාව. “සද්ද කරන්ඩ එපා! කෑගහන්ඩ එපා! මං ඔයාට ගහනව!” කියල බය කරපුහම ඇති වෙන නිහඬතාව සැබෑ නිහඬතාව නෙමෙයි. ඒකෙන් මේ මං කියන සතුට ඇති කෙරෙන කම්පන තරංග බිහි වෙන්නෙ නෑ. දරුව තමාට ම හිතිල නිහඬව ඉන්න කොට, කිසි ම හේතුවක් නැතුව විනෝද වෙනකොට ඔහුගෙ සතුට අහේතුකයි. ඒකෙන් වටපිටාව යහපත් කෙරෙන තරංග නැගෙනව.
යහපත් ලෝකෙක හැම පවුලක් ම දරුවන්ගෙන් ඉගෙන ගන්නව. ඒත් ඔබ ඉන්නෙ දරුවන්ට උගන්නන තදියමේ. කිසි කෙනෙක් දරුවන්ගෙන් ඉගෙන ගන්නව පේන්නෙ නෑ. දරුවන්ට උගන්වන්න වැඩිහිටියන්ට හුඟක් දේවල් තියනව. ඒත් දරුවන්ට උගන්වන්න වැඩිහිටියන්ට තේරෙන්නෙ නෑ.
ඔබ වැඩිමහලු නිසාත්, බලසම්පන්න නිසාත් ඔබ දරුවන් ඔබ වැනි අය කරන්න වෙහෙසෙනවා මිස සැබෑ ලෙස ම ඔබ කවුරුන්ද කියාවත්, ඔබ ඔය තත්ත්වයට ළඟා වුණේ කොහොමද කියාවත් ඔබේ ඇතුළාන්ත ලෝකයේ ඔබේ තත්ත්වය මොන මට්ටමක පිහිටා තිබෙනවාද කියාවත් ඔබ හිතා බලන්නෙ නෑ. ඔබ දිළින්දෙක්. එහෙම නං ඔබට වුවමනා ඔබේ දරුවාත් දිළින්දකු කරන්නද?
කිසි ම වැඩිහිටියක් ඒ ගැන හිතන්නෙ නෑ. නැත්නම් ඔවුන් කුඩා දරුවන්ගෙන් ඉගෙන ගනීවි. දරුවො පෙර භවයේ සිට බොහෝ දේ රැගෙන එනවා. ඔවුන් ඒ තරමට ම නැවුම් ළඟාවීම්. ඔවුන් තමන්ගේ ළමා විෙය්දීත් මව් කුසේ සිටියදී තිබූ සංහිඳියාව, පැවැත්මේ සංහිඳියාව දරාගෙන සිටිනවා.
ඒ අනුව මට කිසිවකුගෙන් කරදර නොවී, පුරා හත් අවුරුද්දක් දරුවකු විදියට ජීවත්වීමට ලැබීම සැබෑ අහම්බයක්.
මට බැණ බැණ මා ව්‍යාපාරවලට, දේශපාලනයට, ජාත්‍යන්තර සබඳතාවලට සූදානම් කරවන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. මගෙ ආච්චි සීයා, විශේෂයෙන් ම ආච්චි මට පුළුවන් තරම් ස්වාභාවික ආකාරයෙන් ජීවත්වීමට ඉඩ අරින්න හුඟක් කැමැත්තෙනුයි හිටියෙ. මුළු මහත් මාතෘත්වය පිළිබඳව මා තුළ ඇති වී ඇති ගරුත්වයට එක හේතුවක් තමයි ඇය. මේ වගේ සුළු දේවල් ඔබේ මුළු මහත් ජීවන රටාවට ම බලපානවා.
ආච්චි හරි සරල ගැහැනියක්. එයා නූගත්. නමුත් පුදුමාකාර විදියට සංවේදී කෙනෙක්. ඇය සීයටයි, සේවකයටයි ඒ ගතිය පළ කළේ මෙහෙමයි.
“අපි හැමෝම එක විදියක ජීවිතයක් ගත කරල තියනව. ඒත් අපිට කිසි දෙයක් ලැබිල නෑ. අපි කවදත් හිටිය වගේ ම අදත් කිසි දෙයක් නැති උං. දැන් ඉතිං මරණ මංචකෙත් ළඟටම ඇවිත්.’ ඇය කාරණ කියල දුන්න.
‘මේ දරුව එයාට ඕනැ විදියට හැදෙන්ඩ අරින එකයි ඇත්තෙ. අපි හදන්ඩ යන්ඩ ඕනෑ නෑ. මොනවද හැබෑට අපිට කරන්ඩ පුළුවං? අපිට පුළුවං එකම දේ ඌවත් අපි වගෙ එකෙක් කරන එකනේ. අපි මොක්කු ද? ඔන්න ඔහෙ ඌට උගෙ පාඩුවෙ හැදෙන්ඩ ඇරහල්ල!’
මට ඇහුණ ඒ ගොල්ලො රෑ ඒ විදියට කතා වෙනව. මට නින්ද ගිහිං කියල හිතන්ඩ ඇති. ඒත් මට නින්ද ගිහිං තිබුණෙ නෑ.
එතකොට ඔන්න සීය කියනව මෙහෙම.
“ඔහේ මට කියනව දරුවට ඔහේ හැදෙන්ඩ අරින්ඩ කියල. මාත් ඒකට ඉඩ දීගෙන ඉන්නව. ඒ වුණාට එයා වෙන කාගෙවත් දරුවෙක්. අද හරි හෙට හරි එයා තමුන්ගෙ අම්ම තාත්ත ළඟට යන්ඩ ඕනැ. එදාට, උං අපිට මොන නොකියයි ද? උං කියයි ‘උඹල ඌට කිසි දෙයක් උගන්නල නෑ. චාරිත්‍ර දන්නෑ. ඌව නිකං කැලේට හැදෙන්ඩ ඇරල කියල. හැමදාම වගේ සීය ආච්චිට කිව්වෙත් ඔය බණේ ම තමයි. එතකොට ආච්චි කියනව මෙහෙම.
‘ඔහේ ඒ ගැන කරදර වෙන්ඩ එපා! මේ මුළු ලෝකෙ ම ඉන්න හැම එකා ම හැදිච්ච උං. සිරිත් විරිත් දන්න උං. ඒත් ඒවයින් මොනවද ලැබුණෙ? ඔහෙත් හොඳට හැදිච්ච කෙනෙක්නේ. ඒකෙං ඔහෙට මොන සෙතක්ද වුණේ? වැඩි ම වුණොත් ඕන්නං කොලුවගෙ දෙමවුපියො අපිත් එක්ක තරහ වෙයි. ඉතිං මොකද? උන්ට ඔහෙ කේන්ති ගියාවෙ. ඇයි උං අපිට මොනව කරන්ඩ ද? ඔය කාලෙ වෙනකොට ඔය කාටත් වෙනස් කරන්ඩ බැරි මට්ටමට ෙම් දරුව හොඳ හයි හත්තියට ලොකුමහත් වෙලා හිටියි!’
ලබන සතියට...