ඇහුවාම පුදුම හිතෙන බිත්තරේ පෝෂණ විස්තරේ | සිළුමිණ

ඇහුවාම පුදුම හිතෙන බිත්තරේ පෝෂණ විස්තරේ

අග නගරයේ කන්තෝරුවක දහවල් කෑම වේලාව ය. කවුරුත් කඩිමුඩුයේ ම තම තමන්ගේ බත් පත ද රැගෙන කන්තෝරුවේ ආපන ශාලාව වෙත ආවෝ ය. අමාලිත් සමඟ ආ සෙව්වන්දි ආපන ශාලාවේ සෙනඟ අතරින් ගොස් ඉඩ ඇති මේසයක් සොයා බත් පත් දිගහැර ගත්තෝය; අද හදන්න මස් මාළු මොනවත් තිබුණෙ නැහැ සෙව්වන්දි; ඒ නිසා මම බිත්තරයක් තම්බගෙන ආවා. එහෙම මොනවත් නැතුව බත් කන්නත් බැහැ වගේනෙ; බත්පත දිග හරිමින් ම අමාලි කීවාය. ඒකට මොනවා වෙනව ද අනේ මස් මාළු වලට වඩා බිත්තර ඇගට ගුණයි කියලයි මම නම් අහලා තියෙන්නේ. සෙව්වන්දිගේ උත්තරය බිත්තර ගැන අලුත් කතාවකට මුල පිරුවේ ය.

ඒ වුණාට මේ බිත්තර ගම් බිත්තර තරම් ගුණ නැහැ කියලනෙ හැමෝම කියන්නෙ...

අමාලිගේ කතාව ඇත්තය. අපේ රටේ වැඩිදෙනෙක් බිත්තර වල ගුණ අගුණ ගැන සිතන්නේ එහෙම ය. බිත්තර ගැන කතා රත්තරන් බිත්තර දමනා කිකිළියගේ කතාවෙන් පටන් ගන්න අපි බිත්තර වල වටිනාකම හරි හැටි නොදැන බිත්තර ගැන කියැවෙන ඇත්ත නැත්ත කතා අතර අතරමං වී සිටින්නේ යැයි කීව ද වරදක් නැත. බිත්තර ගැන ඇත්ත නැත්ත කතා සේම බිත්තර කෑමට එකතු කර ගනිද්දී අපේ හරි වැරදි පුරුදු ගැන ද තේරුම් බේරුම් කර ගන්නට අපි සිතුවෙමු. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණය පිළිබඳ විශේෂ වෛද්‍ය රේණුකා ජයතිස්ස බිත්තර ගැන කතා තේරුම් කළා ය.

බිත්තර වල අගය තිබෙන්නේ බිත්තරයක් තුළ ඇති පෝෂණ අගයේ ය. බිත්තරයක් කහ මදය සහ සුදු මදය කියන කොටස් දෙකේ ම තියෙන්නේ ප්‍රෝටීන් ය. බිත්තරයක තියෙන සම්පූර්ණ ප්‍රෝටීන ප්‍රමාණය ගත්තොත් ඒ ප්‍රමාණය ග්‍රෑම් අටක් විතර වෙනවා. කෙරටීන් සහ බයොටීන් කියන ප්‍රෝටීන දෙක විශේෂයෙන්ම බිත්තර වල තියෙනවා. විටමින් ඒ. වැඩිපුර තියෙන්නේ බිත්තරයේ කහමදය කොටසේ. බිත්තර වල තියෙන අනෙක් වැදගත් වටිනාකම වෙන්නේ කැලරි ප්‍රමාණය අඩු ආහාරයක් වීම. බිත්තරයක තියෙන්නේ කැලරි 80ක වගේ ප්‍රමාණයක්. අප ආහාරට එකතු කරගන්න බිත්තරයක ඇත්තේ එවන් පෝෂණ වටිනා කමක්. බිත්තර වල පෝෂණය හා බැඳුණු අනෙක් ජනප්‍රිය ම කතාව ඇත්තේ කොලෙස්ටරෝල් ගැන ය. බිත්තර කෑව ම කොලෙස්ටරෝල් හැදෙනවා. ඇතැමුන් බිත්තර සහ කොලෙස්ටරෝල් ගැන එසේ කියති.

බිත්තරයක් තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 150ක් විතර වෙනවා. නමුත් අපේ ශරීරයට එක් දිනකදී කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 300ක් විතර වුවමනා වෙනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ, බිත්තර එකකට වඩා දවසකට ආහාරය ගත යුතුයි කියලා. මොකද අපි ගන්නා අනෙකුත් ආහාර වලිනුත් අවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය ශරීරයට එකතු වෙනවා. සාමාන්‍ය පුද්ගලයකුට අදාළ වෙන ඒ කාරණාවට අමතරව මෙහෙම දෙයකුත් කියන්න පුළුවන්. වැඩිපුර ශරීරය වෙහෙසවා වැඩ කරන පුද්ගලයකු දවසට බිත්තර දෙකක් ආහාරයට ගැනීම අනුමත කළ හැකියි. වැඩිපුර කය වෙහෙසවන පුදගලයෙක් වුවත් දිනපතා බිත්තර දෙක බැගින් ආහාරයට ගැනීමක් මෙහිදී අදහස් වෙන්නෙ නැහැ. අනෙක් ප්‍රෝටීන සහිත ආහාරත් ලබාගත යුතුයි.

බිත්තර නොයෙක් ආකාරවලට රසපිරිව සැකසේ. සකසා ආහාරයට ගන්නට සේම ඇතැම්විට සැකසුමකින් තොරවත් ආහාරයක් ලෙස ගන්නත් පුරුදු වූවෝ සිටිති. බිත්තරයක් අතට ගන්නා කොයි කාටත් බිත්තර ගැන දැනගන්නට ඇති දේ අතරට, අපි බිත්තර හෝදලා පාවිච්චි කරන්න ඕනද...නැත්නම් ලෙඩ හැදෙනවාද...යන්නත් එකතු වෙයි.

බිත්තර කෝපි, බිත්තර ආප්ප වගේ කෑම සකස් කිරීමේදීත් බිත්තර වල පිරිසිදු බව ගැන සැලකිලිමත් වීම වටිනවා. මොකද ඒ වගේ වෙලාවකදී බිත්තරය සම්පූර්ණයෙන් ම පිසීමකට ලක් නොවෙන නිසා. අනෙක් දෙය තමයි බිත්තර පිසීමකට ලක් නොකර අමු බිත්තර ලෙස ම ආහාරයට ගැනීම. අමු බිත්තර ලෙස ආහාරය ගනිද්දි බිත්තර වල තියෙන ඇතැම් පෝෂක ශරීරයට උරා ගැනීමට නොහැකි මට්ටමේ තියෙන බව මතක තබා ගැනීමත් වටිනවා. නමුත් කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට බිත්තර ලබා දෙනවා නම් සෝදාගත් බිත්තර හොදින් පිසීමකට ලක්කර ලබා දීම වැදගත්. ඒකට හේතුව මේ වයස් කාණ්ඩ දෙකේම පිරිස ඉතා පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ හැකියාවක් තිබීම.

බිත්තර වලට සෙම තත්ත්වයක් පෙන්නුම් කරන්න ඉඩ තියෙනවා. නමුත් ඒක දිගින් දිගට පවතින්නෙ නැහැ.

වැරදි අදහස් නිසා ඇතැම් අය බිත්තර ආහාරය ගැනීමෙන් වැළකී සිටියත් බිත්තර කියන්නෙ ඉතාම හොද ප්‍රෝටීන පිරි ආහාරයක් වගේම හොද කොලෙස්ටරෝල් තිබෙන ආහාරයක්. අපේ රටේ බොහෝදෙනා කොලෙස්ටරෝල් වලට බය වෙලා හිටියට කොලෙස්ටරෝල් කියන්නෙ අපේ ශරීරයට නිසි ප්‍රමාණවලින් අවශ්‍ය දෙයක්. කොලෙස්ටරෝල් මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යයි.

අපි කරපු සමීක්ෂණවලින් අපිට පැහැදිලි වුණු දෙයක් තමයි අපේ රටේ බිත්තර ආහාරයට ගැනීම තියෙන්නේ ඉතාම අඩු මට්ටමක බව. ශරීරයට ඉතා වැදගත් වෙන ප්‍රෝටීන එකතුවක් වන් බිත්තර තමන්ගේ ආහාරයට එකතු කර ගැනීම නීරෝගී ජීවිතයකට උදව් වන බව මතක් කළ යුතුයි.

බිත්තර ගැන මෙතෙක් ඇසුණු වැරදි මත ඔබ ව බිත්තර වලින් ඈත් කර තැබුවා නම් බිත්තරයක් තමන්ගේ බත් පතට එකතු කර ගන්නට යළි සිතා බලන්නට මේ කාලය නොවේද? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැති බව ද මතකයේ තබාගෙන ම නීරෝගී දිවියකට මඟ පාදා ගැනීම වටින්නේ ය.

නෙලූෂා සිල්වා

Comments