ජීවි­තේ විඳි දුක් නිර්මාණකරුවකුට නිධානයක් | සිළුමිණ

ජීවි­තේ විඳි දුක් නිර්මාණකරුවකුට නිධානයක්

විශ්වයේ බලය තම ජවය කොටගත් ඇය, ඉන් ලෝකය දිනමින් සිටින්නී ය. ශක්තීන් ගණනාවක් දායාද කොට උපන් ඕ තොමෝ කාන්තාවකගේ හැකියාව මේ යැයි තම ක්‍රියාවන්ගෙන් දක්වන්නී ය. විටෙක ලේඛිකාවක වන ඇය, තවත් විටෙක අධ්‍යක්ෂිකාවකගේ භූමිකාවට පණ පොවන්නී ය. ගායිකාවක හා ක්‍රීඩිකාවක් ද ඈ තුළ සිටිය ද එය දන්නේ ස්වල්ප පිරිසක් පමණි. මේ සියල්ලට ම වඩා වටිනාකමින් යුත් දෙය වන්නේ ඇය සතු ගැහැනුකමයි. ගැහැනියක සතු විය යුතු මවුවත්කමයි. ඇය, තුෂාරි අබේසේකර නම් වන්නී ය. කලා ලෝකය තුළ නිහඬ ව, ක්‍රියාකාරී ගමනක යෙදෙන තුෂාරි අපේ කාන්තාවනට මහඟු ආදර්ශ සපයන්නියකි. එහෙයින් ම ඇගේ වදන් ඔබේ දිවියට ද ශක්තියක් කරගත හැකිය. මේ... ඇගේ ඒ කතාවයි.

 කෙනෙකුගේ ජීවිතයට පදනම වැටෙන්නෙ ළමා කාලයෙන්. ඔබටත් සුන්දර ළමා කාලයක් තියෙන්න ඇති...

ඔව්, ළමා විය කියන්නේ ජීවිතයක සුන්දර ම අවදිය. මටත් සුන්දර ළමා වියක් තිබුණා. ඒත් ඒ ළමා වියේ දුක, කඳුළ නොතිබුණා යැයි කියන්න බැහැ. ජීවිතයේ පසුකාලිනව නිර්මාණ සඳහාත් පාදක වුණු සොඳුරු මෙන්ම අසුන්දර විඳීම් ද ම‍ෙග් ළමා කාලය සමබර කළා. ඒ නිසා පසුකාලීනවත් දුක, සතුට එක වගේ විඳගන්න ළමා කාලයෙන් පන්නරයක් ලැබුණා. පරිසරය විඳින්න පුරුදු වුණෙත් බාල කාලයේදී ම යි.

ඔබ තුළ නිර්මාණකාරියක් ඉන්නවා කියලා දැනුණෙ මොන කාලෙදි ද?

කුඩා කාලයේ ඉඳන් ම වෙනස් ඇහැකින් ලෝකය දකින්න මට පුළුවන් වුණා. පාසල් යන කාලේ කවි ලියන්න ගොඩක් ආසයි. මම හිතට එන අදහස් කවි විදියට පාසල් පොත්වල පසු කවරවල ලිව්වා. මම ඉගෙන ගත‍්තේ කන්‍යාරාමයක. මේවා දැකපු ටීචර්ලා මට කිව්වා මේ කවි පත්තරවලට දාන්න කියලා. මොකද අපිට ඉස්සර අපේ නිර්මාණ එළිදක්වන්න තිබුණේ පත්තර විතරයිනේ... කොයි තරම් කවි තැපෑලට දැම්මත් ඒවා පළ වුණේ නෑ. ඒත් මම උත්සාහය අතහැරියේත් නෑ. මම නොහිතපු වෙලාවකදි කවියක් දෙකක් පළ වුණා. එත‍කොට දැනුණ සතුට තාමත් මතකයි.

ඉන්පස්සේ, 1999 - 2000 අවුරුදුවල විතර තරුණී පත්තරේ කෙටිකතා තරගයක් තිබුණා. මේ තරගයට මම ‘සාමාවතීලා’ කියන නමින් කසාදයක් නැතිව ගෙදරට වෙලා ඉන්න අහිංසක චරිතයක හැඟීම් ගැන කියවෙන කෙටි කතාවක් ඉදිරිපත් කළා. ඒකෙන් මට පළමු ස්ථානය ලැබුණා. ඉන්පස්සෙ මගේ හැඟීම් පොතක ලිවීමට ආසාවක් දැනුණ නිසා ‘සුදු කපුරුපෙති’ නවකතාව ලිව්වා.

ඔබ සම්මානනීය ලේඛිකාවක් බවට පත්වුණේ ප්‍රථම නවකතාවෙන්මයි. ඒ ගැන මතකය අවදි කළොත්...

ඇත්තටම මගේ නිර්මාණ දිවියේ පළමු වගේ ම ජයග්‍රාහී සන්ධිස්ථානය වුණේ ‘සුදු කපුරු පෙති’ නවකතාව. එය 2003 වසරේ යොවුන් සාහිත්‍ය සම්මාන උලෙළේ ‍හොඳ ම නවකතාව ලෙසින් තේරුණා. ඒ වගේම තවත් විශේෂ දෙයක් වුණේ එම සම්මාන උලෙළේ ම හොඳ ම කෙටි කතාවට හිමි සම්මානයත් ‘මැරුණ අපේ තාත්තත්’ නමින් මම ලියපු කෙටි කතාවට හිමි වීමයි. ඇත්තට ම ඒක මට නිර්මාණ දිවියට ආශිර්වාදයක් වුණා. ‘සුදු කපුරු පෙති’ නවකතාව මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වගේ. තවමත් එය ලෝකෙ වටේම යනවා.

එදා මෙදාතුර තුෂාරි ලේඛිකාවක් විදියට දිගු ගමනක් ඇවිත් තියෙනවා...

වසර 15 ක පමණ අතීතයක් මතින් පැමිණි ගමනක්. මේ කාලය පුරාවට ම මම ලේඛිකාවක් විදියට කටයුතු කළත් පෞද්ගලික විද්යුත් නාළිකාවකට සම්බන්ධ වෙලා වැඩ කළ නිසා කාලයක් තරමක් දුරට මම ලේඛනයෙන් දුරස් වුණා. ඒත් මම කවදාවත් ලේඛනය අතහරින්නේ නෑ. මගේ පොත් කීපයක් ම මේ වන විට ටෙලිනාට්‍ය බවටත් පත්වෙලා. ඊට අමතරව මම ටෙලිනාට්‍ය පිටපත් රචිකාවක් ලෙසත් කටයුතු කරනවා. පත්තිනි, සල්සපුනා ටෙලිනාට්‍යයේ මුල් කොටස් රචනා කළා.

පසුගිය වසරේ ‘මාතා’ පොත එළි දැක්වූවා. ඒ වෙනුවෙන් බොහෝ සංවාදත් ඇති වුණා?

‘මාතා’ පොත පාඨකයන් ආදරයෙන් වැළඳ ගත්තා. ලැබෙන ප්‍රතිචාරවලින් මට එය තේරෙනවා. බොහෝ දෙනෙක් අහනවා එහි සිටින මාතාහරී මමද කියලා. ඒත් අපි නිර්මාණයක් රස විඳිය යුත‍්තේ තනිවමයි. ඒක මගේ ජීවිතේට ආදේශ කරන්න ගියොත් නියම රසය විඳින්න බැරි වෙන්න පුළුවන්. හැම නිර්මාණකරුවෙක් ම තමාට ලැබෙන විඳීම්, ඇත්දැකීම් අනුව තමයි නිර්මාණයක් කරන්නේ. එය පුද්ගලයන් හා නිර්මාණ අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. මාතාහරීගේ ළමා කාලයත් මගේ ළමා කාලයේත් සමානකම් තිබෙනවා.

අධ්‍යක්ෂවරියක් ලෙසින් වූ ඔබේ භූමිකාව ගැනත් කතා කරමු...

කුඩා අවදියේදී මම තාත්තත් එක්ක චිත්‍රපට බලන්න ගියාම වැඩි ආසාවක් දැක්වූවේ සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටර් තියෙන තැන් බලන්න. මොකද මට ඕන වුණේ කොහොමද මේවා හදන්නේ කියලා දැක බලාගන්න. දැනගන්න. පුංචි කාලෙදි මම බැලූ හොඳම චිත්‍රපටය තමයි ‘හඳයා’. මේ චිත්‍රපට බැලීමේ ආසාව මා තුළ ඒ නිර්මාණ කාර්යයන්වලටත් උනන්දුවක් ඇතිකර තිබුණා. ඒ අනුව තමයි මම පසුකාලීනව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක් විදියටත් ක්‍රියා කරන්නේ.

මුල්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයේ දී ම මෙය මගේ ඇ‍ඟේ ම තියෙන හැකියාවක් බව මට තේරුණා. මගේ ටෙලි නාට්‍යවලටත් සම්මාන ලැබුණා. ඒ අතරින් ‘හෝපළු අරණ’ ටෙලිනාට්‍ය මට විශේෂයි. මොකද එය රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී සම්මාන 14 කට නිර්දේශ වුණා. ඒ කියන්නේ ටෙලිනාට්‍යයක සම්මාන ලබා දෙන සෑම අංශයකට ම නිර්දේශ වුණා. එය සම්මාන ලැබුණ තරමට ම මට සතුටක් වුණා. මෙහිදී හොඳම තිර රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ගීත රචනය හා හොඳම ගායිකාව යන සියලු ම සම්මාන මට ලැබුණා. මට ගී ගායනයට හැකියාව තිබුණත් මේ ටෙලි නාට්‍යයේ තේමා ගීතය මම ගැයුවේ අහම්බයෙන්. මොකද මේ හැමදේට ම වඩා මම ලේඛිකාවට, ලේඛනයට ආදරෙයි.

මේ දිනවල ඔබ නිරතවෙලා ඉන්නේ කුමනාකාර නිර්මාණ කාර්යයකද?

මේ දිනවල මම ‘අසමජ්ජාතියා’ කියන ටෙලිනාට්‍යයේ කටයුතු කරමින් ඉන්නවා. ඊට අමතරව පුවත්පතක් එළිදක්වන්නත් කටයුතු කරනවා. ඒකට හේතු වුණේ තාක්ෂණය නිසා හුදෙකලා වුණු, වල්මත්වුණු තරුණ පරපුරට නිසි මාර්ගය පෙන්වීමයි. මේ පුවත්පත නම් කරලා තියෙන්නේ ‘තාත්තා’ නමින්. එය 17 වැනි දින එළිදක්වනවා. පවුල කේන්ද්‍ර කරගත් මේ පුවත්පත බොහෝ දෙනකුට තම අදහස් දැක්වීමට වේදිකාවක් කිරීම තමයි මගේ අරමුණ. අපි තාක්ෂණයේ හිර වී කාර්යබහුල වී ඉන්න තරුණ පිරිසට ඇඟිල්ල දිගු නොකොට ඔවුන් එයින් මුදා ගැනීමට කටයුතු කිරීමයි කළ යුත්තේ. සමාජය කියන්නේ ඔබත්, මමත්, අපිත් යන අයගෙන් සැදුම් ලද්දක්. ඒ නිසා මේ සමාජය යහ මඟට ගැනීමේ හැකියාව තියෙන්නෙත් අපිටමයි.

ඒ වගේ ම මම බැලලයිකා නමින් නිර්මාණ පුහුණු ආයතනයක් පවත්වාගෙන යනවා. මෙහි පිටපත් රචනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය ආදී විෂයයන්ට අමතරව පෞරුෂ සංවර්ධන කටයුතුත් සිදු කරනවා. මේ සඳහා නිර්මාණ කටයුතුවලට ලැදි වගේ ම රස්තියාදුකාර තරුණ පිරිසටත් මම ආරාධනා කරනවා. මේ සඳහා බඳවා ගැනීම් මැයි මාසයට අවසන් කිරීමට තීරණය කළත් කාලගුණික තත්ත්වය නිසා ඒ දිනය දීර්ඝ කළා. ‘බැලලයිකා’ නමින් ෆේස්බුක් එක මඟින් මේ සඳහා ඉල්ලුම් කිරීමටත් පුළුවන්.

අපිට අලුත් පොතක් නොලැබී යයි ද?

කොහෙත් ම නැහැ. මම ලේඛිකාවට මුල්තැන දෙනවා. මේ දිනවල පොතක් ලියන්නත් පටන් අරන් තියෙනවා. ඒක මේ අවුරුද්ද ඇතුළත එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක දේශපාලනයත් සමඟ මුහුවුණු කතාවක්.

ඇය පැමිණි ගමනට වඩා යාමට දිගු ගමනක් ඇත. නිහඬව සමාජ මෙහෙවරක යෙදෙමින් සමාජ ප්‍රගමනය උදෙසා නිර්මාණ හැකියාව හසුරුවන තුෂාරි අබේසේකර අපට ආදර්ශවත් කාන්තාවකි. මේ හැමටම වඩා අප සිතට ගත යුත්තේ මේ පැමිණි ගමන ඇය පැමිණ ඇත්තේ අනේක විධ බාධා කටු කොහොල් මඟින් වීමයි. බාධා ජයගෙන ජීවිතය ජය ගැනීමට හැකි බව ඇය අපට පසක් කොට ඇත.

අයන්ති උඩුගම්පල
ඡායාරූපය ශාන් රූපස්සර

Comments