නංගී මට අත ඉස්සුවා පුතේ! භූතාත්මයක් හඬා වැලපෙයි | සිළුමිණ

නංගී මට අත ඉස්සුවා පුතේ! භූතාත්මයක් හඬා වැලපෙයි

සෑම රටක ම ජීවත් වන මිනිසුන් අතර ඒ ඒ ජාතීන්ට ඒ ඒ ආගම දහමට අනුව පනවා ගත් හා සම්මත වූ නීති රීති හා සංස්කෘතීන් ඇත. ඒවා කඩ කිරීම වැරැදි ලෙස ද පාපයක් ලෙස ද පිළිගැනෙයි.

සිංහලයන් අතර ද එසේ පනවා ගත් සම්මත කැර ගත් හා පිළිගත් නීති රීති හා සංස්කෘතික ආචාර ධර්ම පවතී. දෙදෙනෙකු විවාහ වූ විට එයින් එක් අයෙකු අනෙකා අත හැර දික්කසාද නොවී වෙනත් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ සමඟ පවුල් කෑම නීතියට පටහැනිය. ආගම දහමට විරුද්ධ ය. එය ද්වේෂ සහගත අතහැර යෑමක් සේ පිළිගැනේ. එය අසම්මතයකි. පාපයකි. මනසේ සටහන් වන ඒ පාපී සංඥාව මරණයෙන් මතු ද අකුසල විපාකයක් සේ ක්‍රියාත්මක වේ.

සු‍ෙර්නි ජා ඇළ පදිංචි විසි හැවිරිදි ඉතා රූමත් තරුණියකි. ඇය පල්ලියේ දී දැක හඳුනාගත් ජීවන් සමඟ විවාහ වූවාය. සුරේනිගේ මවුපියෝ ඊට මුලදී විරුද්ධ වූවත්, ඇගේ ම ‍තෝරා ගැනීම නිසාත් ජීවන් ගැන සොයා බලා ඔහු යහපත් තරුණයෙකු නිසාත් පසුව කැමැත්ත පළ කළහ. ජීවන් ඉතාලියේ රැකියාව කරන තරුණයෙකි. දෙදෙනා ම ක්‍රිස්තු ලබ්ධික බැවින් ඒ පල්ලියේ දී විවාහය සිදු කැරිණි. විවාහයෙන් මාසයකට පසු ජීවන් නැවත ඉතාලියට ගියේ ය.

මේ අතර සරත් නමැති බෞද්ධ ව්‍යාපාරිකයෙකු සමඟ මිත්‍ර වූ සුරේනි ඔහු සමඟ කොළඹ නිවෙසක පදිංචිව පවුල් කන්නට වූවා ය මේ අසම්මත පවුල් කෑමට ඇගේ මවුපියෝ විරුද්ධ වූහ. එහෙත් මවුපියන්ගේ අවවාද සුරේනි තඹ පිච්චියකට නොතැකුවාය.

මේ තත්ත්වය දැන ගත් ජීවන්ගේ මවුපියෝ ඉතාලියෝ සිටින පුතා දැනුම්වත් කළහ. ජීවන් ලංකාවට පැමිණ කරුණු කාරණා සොයා බලා අධිකරණයේ දික්කසාද නඩුවක් ගොනු කළේ ය.

සුරේනි දික්කසාද නඩු යන බව දැනගත් ඇගේ මවුපියෝ මහත් ලැජ්ජාවට හා වේදනාවකට පත් වූහ. සුරේනිගේ පියා ටයිටස් දිනක් ගෙදර කිසිවෙකුට නොදන්වා සුරේනි පදිංචි කොළඹ නිවෙස සොයා ගෙන ගියේ ය. ඒ අවස්ථාවේ සරත් ද නිවෙසේ සිටියේ ය.

ඔහු සුරේනිට හා සරත්ට ද බැණවැදී තර්ජනය කළේ ය. සරත් හොර ගොනා සේ බිම බලා ගෙන සිටිය දී ඉදිරියට ආ සුරේනි පියාට බැණවැදී ගහන්නට අතක් ඉස්සුවා ය. පසුපසට වූ පියා බිම බලාගෙන ආපසු ගෙදර ආවේ ය.

ගෙදර පැමිණි ටයිටස් කාමරයට වැදී යහන්ගතව කල්පනා කරන්නට විය. ආදරයෙන් හදාවඩා ගත් තම එක ම දියණිය තමන්ට පහර දෙන්නට සූදානම් වූ අයුරු ඔහුට මැවී පෙනෙන්නට විය.

ටයිටස් ගේ නිහඬතාව ‍ගැන සොයා බලන්නට බිරිය කාමරයට පැමිණියාය. ටයිටස් ගේ දෙනෙතේ කඳුළු පිරී තිබෙණු දුටු බිරිය “ඇයි මේ මොකද?” යි විමසුවා ය.

“පපුව ටිකක් රිදෙනවා” යි පපුවේ වම් පසට අත තබා ගෙන ටයිටස් පැවසුවේ ය.

නිවෙසට තරමක් දුරින් පදිංචිව සිටින පුතාට මේ බව දුරකතනයෙන් දැනුම් දුන් මව ගෙයි තිබුණු බෙහෙත් තෙල් ටිකක් ටයිටස් ගේ පපුවේ උලා සාත්තු කළාය.

දුරකතන පණිවුඩය ලැබුණු පුතා ද ඔහුගේ බිරිය ද වහා පියාගේ නිවසට පැමිණිය හ.

“ඇයි? ඇයි? අම්මේ තාත්තට මොකද වුණේ?” යි පුතා මවගෙන් ඇසී ය.

“තාත්තා ගමනක් ගිහින් ගෙදර ආවා. කාමරයට වෙලා සද්දයක් නැති කොට මම බැලුවා. පපුව රිදෙනවා ය කිවුවා. මම බෙහෙත් තෙල් ටිකක් ගෑවා” යි මව කීවා ය.

“යමු... යමු... ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා බෙහෙත් ටිකක් අරන් එමු” යි පුතා තාත්තාගේ හිස පිරිමදිමින් කීවේය. ටයිටස් හිටි හැටියේ මහ හඬින් හඬන්නට වූයේ ය. “ඇයි තාත්තේ මේ අඬන්නේ?” යි පුතා හිස පිරිමදිමින් ම ඇසුවේ ය.

“ඔයා මොකද කවදාවත් නැතුව පොඩි ළමයෙක් වගේ මේ අඬන්නේ” යි බිරිය ද ඔහුගේ පපුව පිරිමදිමින් ඇසුවා ය. “පුතේ! නංගි ජීවිතය කැත කර ගත්තා විතරක් නෙමෙයි. අපේ මූණෙත් දැළි ගෑවා. දැන් දික්කසාද උසාවිත් යනවා. ලැජ්ජාව දරා ගන්න බැරි තැන මම නංගි මුණ ගැහෙන්න ගියා. මම ඒ ගෙදරට යන කොට අරූත් ගෙදර ඉන්නවා. මම නංගිට බැන්නා. අරූටත් බැන්නා. ඌට බණින කොට නංගි ඉස්සරහට පැනලා මට ගහන්න අතක් ඉස්සුවා මගේ පුත්ත්ත්... තේ” යි ටයිටස් වැතිර සිටි කොට්ටයෙන් හිස ඔසවා පුතාගේ උරයට හිස ඔබා ගෙන මහා හයියෙන් අඬන්නට වූයේ ය.

සිදු වී ඇති දෙය පිළිබඳ පුතාත් අම්මාත් මවිතව මුහුණට මුහුණ බලා ගත්හ. තාත්තාගේ වේදනාව අඩු වන තුරු අඬා වැලපෙන්නට ඉඩ දී ඔවුහු නිහඬව සිටිය හ. පියා සෙමෙන් යළිත් හිස කොට්ටය මත තබා ගෙන වරක් පුතා දෙසත් වරක් බිරිය දෙසත් දෑස් ලොකු කර බැලීය. එක්වර ම හිස පැත්තකට කඩා වැටිණි.

ටයිටස්ගේ මරණය හෘදයාබාධයකින් සිදු වූවක් බව හදිසි මරණ පරීක්ෂණයෙන් හා පශ්චාත් පරීක්ෂණයෙන් නිගමනය විය.

පියා මිය ගිය බව ආරංචි වූ සුරේනි අඬා ගෙන මහ ගෙදරට පැමිණියා ය. පියාගේ මරණයට හේතුව දන්නා සහෝදරයා ඇයට පහර දී පන්නා ගත්තේ ය.

වසරක් ගත විය. සුරේනි අසනීප වූවා ය. හිටි හැටියේ වියරුවෙන් කෑ ගසාගෙන පාර දිගේ දුවන්නට වූවා ය. මනස අවුල් වී විකාර කියවන්නත් විකාර කරන්නත් වූවා ය. දවසක් යකඩ පොල්ලක් ගෙන සරත්ට පහර දුන්නේ ය. සරත් ගේ ඇටකටු බිඳී තුවාල වී රෝහල්ගත කරන්නට සිදුවිය.

ඒ ‍හේතුවෙන් සුරේනි රිමාන්ඩ් භාරයට පත්ව පසුව උසාවිය මඟින් පිස්සන් කොටු යවනු ලැබුණි. එයින් තරමක් සුවපත්ව පැමිණි ඇයට ඥාති සහෝදරයකු විසින් මනෝ වෛද්‍ය ප්‍රතිකාර කරනු ලැබූවත් සුවයක් නොලැබීය.

අන්තිමට ඒ ඥාතියා සහ බිරිය ඇතුල්කෝට්ටේ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවා ගෙන ආහ. එදින ඔවුන් සමඟ සරත් ද පැමිණියේ ය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා රෝග පරීක්ෂාවේ යෙදෙන විට ඇයට භූතාත්මයක් ආවිෂ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.

“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?” යි ඇසීය.

“මම ටයිටස්. මේකිගෙ තාත්තා” යි භූතාත්මය කීවේ ය.

“ඇයි මේ දුවට කරදර කරන්නේ?”

“මේකි නිසයි මට මැරෙන්න සිද්ධ වුණේ. මම මේකි මරනවා. මේකි ලවා මූවත් මරනවා” යි සරත්ට ඇඟිල්ල දිගු‍ කොට කීවේ ය.

ගවේෂකවරයා සරත් ඇමතුවේ ය. “තමුන් අහක යන කුණු ගොඩක් කර ගහ ගෙන ඉක්මනින් මැරෙන්න වේවි. නින්දේදි බෙල්ල මිරිකන්න පුළුවන්. වහාම මේ භූතයාගෙන් මිදී ඉවත් වෙන්නැ” යි කීවේ ය. බියෙන් තැති ගත් සරත් වහා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටවී ගියේ ය.

දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට නියම කළේ ය.

සුරේනිගේ පියා ප්‍රේතාත්මයක උපත ලබා සිටිනා බැවින් ඔහු ඉන් මුදා ගන්නට කටයුතු කරන්නැයි මවට ද දැනුම් දී ඊළඟ දිනයට මව කැඳවාගෙන එන්නැයි සුරේනි සමඟ පැමිණි ඥාතියාට උපදෙස් දුන්නේ ය.

සුරේනි ආපසු ගෙදර යන විට සරත් නිවෙස වසා ගේට්ටුවට ද ඉබි යතුරු දමා පෞද්ගලික ආරක්ෂක අංශයකට බාර දී කොළඹින් බැහැර ගොස් තිබුණි. සුරේනිට උදව් කරන ඥාතියා බෞද්ධයෙකු බැවින් ඔහුගේ පවුලේ අය සමඟ එක්ව සුරේනි බෝධි පූජා පවත්වන්නට විය. මේ අතර සිහිනෙන් ද බියට පත් සරත් රටින් ද පිටව ගොස් ඇති බව ආරංචි විය.

නියමිත දිනයේ ඥාතියාත් ඔහුගේ බිරිය සමඟ සුරේනි යළි පැමිණියා ය. මිය ගිය පියා ගේ ආත්මය ගැන දුකට පත් සුරේනිගේ මව ද පුතා සමඟ පැමිණ සිටියා ය.

එදින සුරේනිගේ මව සහ සහෝදරයා ඇමතූ ගවේෂකවරයා මිය ගිය පියා පත්ව ඇති දුගත‍ියෙන් මුදා ගන්නැ යි ඔවුන්ට උපදෙස් දුන්නේ ය. ඒ සමඟ සුරේනිට භූතාත්මය ආවිෂ්ට වී කතා කරන්නට විය.

“ඔව්! පුතේ! එදා මම නංගිගේ ගෙදර ගියේ නංගි ගෙදර එක්ක ගෙන එන්නයි. මේක අපට මහා වස ලැජ්ජාවක් නිසා. ඒත් මේ මෝඩ කෙල්ල හැසුරුණු ආකාරය නිසා ඒක වැරදුණා. මම නංගි එක්ක තරහ නැහැ. එයත් මගේ ම දුව නිසා. මේ මෝඩ කෙල්ල ගෙදර එක්ක ගෙන යන්න. නැත්නම් මටත් මේ දුකේ ම විඳවන්න වේවි. මා මේ දුකෙන් නිදහස් කරවන්න නම් දුව බාර ගන්න නෝනා” යි භූතාත්මය පුතාගෙනුත් බිරිය ගෙනුත් ඉල්ලා සිටියේ ය.

තමන්ගේ හිතුවක්කාර මෝඩ ලාමක ක්‍රියා නිසා අමාරුවේ වැටී ඇති බවත්, ඒ නිසා පියා ද මිය ගිය බවත් දැන්වත් ශිලාචාර නූණොත් තමන්ටත් අකා‍ලයේ මිය යන්න සිදු වන බැවින් මවටත් සහෝදරයාටත් කීකරුව පියාගේ ආත්මය දෙවියන් වහන්සේ වෙත යවන්නැයි ගවේෂකවරයා සුරේනිට අවවාද කළේ ය. නැතහොත් යළිත් පිස්සු හැදී මහ මඟ මැරෙන බවට සැකයක් නැතැයි ද කීය.

සුරේනි බාර ගන්නට මවත් සහෝදරයාත් කැමති වූහ. ‍ “මට සතුටුයි. මට සතුටුයි. මම දැන් ගලවිල පල්ලියට යනවා” යි පියාගේ භූතාත්මය එසැණින් ඉවත්ව ගියේ ය. ඊළඟ ඉරිදා මවත්, ස‍හෝදරයාත්, සුරේනිත් අනාථ නිවාසයකට දානයක් පිරිනමා පියා වෙනුවෙන් ගලවිල පල්ලියේ දි දේව මෙහෙයක් පැවැත්වූ හ.

Comments