විසි නොකරන් කරපිංචා | සිළුමිණ

විසි නොකරන් කරපිංචා

කරපිංචා ආහාර සකස් කිරීමේදී නැතිවම බැරි ස්වාභාවික රස කාරකයකි. එසේම මෙහි ඉතා ඉහළ ඖෂධීය මෙන්ම පෝෂණීය වටිනාකමක් ද ඇත.

කරපිංචාවල අඩංගු Flavonoids හා කෙදි නිසා කරපිංචා රුධිරයේ LDL කොලෙස්‍ටරෝල් පාලනය කරන බව පරික්ෂණ මඟින් සොයා ගෙන ඇත. මෙය කෙදි සහිත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය බාල කරනු ඇත. තව ද අවශෝෂණය අඩු කරනු ලබයි. එම නිසා මෙය හෘද රෝගීන් සඳහා දිව ඔසුවකි.

තවද කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ. කරපිංචා මේ නිසා (විටමින්Aසහ C) හොඳ ඔක්සිකාරකයකි. එනම්; ශරීරයට ඇතුළු වන වස විස ද දියවැඩියා රෝගීන්ගේ රුධිර ග්ලුකෝස් පාලනය කිරීමේ හැකියාව ද මෙයට ඇත. සර්ප විස ශරීරගත වු විට කරපිංචා කොළ, නැ‍ටි, පොතු කොටා මිරිකා හීනටි හාල් යොදා සාදාගන්නා කැඳ රෝගියාට ලබා දීම ඉතා ගුණදායකය. ඒ වගේම සර්පයන් දෂ්ට කළ ස්ථානයේ කරපිංචා කොළ, පොතු, මුල්, අමු කහ , ලුණු සමඟ කොටා බැඳීම මඟින් ඉක්මන් සුවයක් ලබාගත හැකියි.

කරපිංචාවල විටමින් A සහ C යහමින් අඩංගු වේ. නමුත් මේවා එලෙසින්ම වැදගත් වන්නේ අමුවට ආහාරයට ගැනීමෙනි. පිසීමේදී බොහෝ විට විටමින් කොටස් විනාශ වී යනු ඇත.

ආමාශයික ආරක්ෂාව ලබාදීම කරපිංචා මඟින් ඉටුවන ප්‍රධානම කර්යයකි. කරපිංචා කොළ මිටක පමණ යුෂ ගෙන එයට දෙහි යුෂ එකතු කර මෙම මිශ්‍රණයට බටර් ස්වල්පයක් යොදා හිස් බඩ ආහාරයට ගැනීම මඟින් ආමාශගත ගැටලු මග හරවා ගත හැකියි. කරපිංචා කොළවල ඇති ෆීනෝල් වැනි රසායනික සංඝටක මඟින් පුරස්ථි පිළිකා සහ බඩවැ‍ලේ පිළිකා වැනි පිළිකා පාලනයට උපකාරී වේ. එමෙන්ම එහි අඩංගු කාබසෝල් ඇල්කේලයිඩ්වල පිළිකා සටන් කාරක ගුණ පවතින නිසා පිළිකා රෝගීන්ට දිව ඔසුවකි.

කරපිංචා පත්‍ර හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා උපකාරී වේ. තෙල් සමඟ පත්‍ර යුෂ මිශ්‍ර කර ඔබේ හිසට යොදා ගැනීමෙන් හිස කෙස්වල කලු වර්ණය රඳවා ගැනීමට ද වර්ධනයටද හිස්සොරිවලින් ආරක්ෂාවට ද ආධාර වේ. කරපිංචා පත්‍ර කොටා යෝගට් සමඟ මිශ්‍ර කර හිසේ ගෑමෙන්ද මහඟු ප්‍රතිඵල ළඟා කරගත හැකිය.

කරපිංචාවල අඩංගු විටමින් Aමඟින් ඇස් පෙනීම වර්ධනය කරයි. ඒ වගේම වර්ණදේහ හානි වැළැක්වීම, ඇටමිදුළු ආරක්ෂා කිරීම සහ වෛරස් කාරකයන්ගෙන් සිරුර ආරක්ෂා කිරීමට කරපිංචා දායක වෙයි. කරපිංචා කොළ සමේ ආරක්ෂාව සඳහා උපකාරී වේ. කොළවල යුෂ පිළිස්සුම හා කෘමි දෂ්ට, ස‍මේ රෝගයන් සඳහා යොදා ගනී. කරපිංචාවලින් සාදා ගන්නා සම්බෝලය ශරීර‍යට ඉතා ගුණ දෙන අතර අනවශ්‍ය කොලෙස්‍ටරෝල්, මේදය ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති ආහාරයකි. හෘදයට හිතකරය. ඒ වගේම ස්නායු දුර්වල වීමේ, අර්ශස් සහ කල්ගිය හිසරදයට කරපිංචා ඉතාම ගුණදායකයි.

අප කළ යුත්තේ ආහාරයට එක් කරන මෙතරම් ගුණ ඇති කරපිංචා විසි කිරීම නොව ඒවා හොඳින් සපා කෑමය. එවිට එහි ඇති ගුණය, පෝෂණය හා ඖෂධීය වටිනාකම නොවඅඩුව අපට ලබාගත හැකියි. සෑම ගෙදරකම කරපිංචා ශාකයක් වැවීම ඉතාමත් ඵලදායකය. කරපිංචා භාවිතය ‍නිරෝගී දිවියක් සඳහා නිරතුරුව ඔබට උපකාර වේ.

විදුමිණි

උපදෙස් - එන්. දිල්හාරා ඩයස්
ආයුර්වේද වෛද්‍යාචාරිනී
ස්වර්ණ හංස වෙද මැදුර-ගම්පහ.

Comments