සිය පණ නොතකා පර පණ රකිනා‍ මනුස්සකම උතුරන හදවත් | සිළුමිණ

සිය පණ නොතකා පර පණ රකිනා‍ මනුස්සකම උතුරන හදවත්

වීරත්වයට වයස් භේදයක් නැත. සද්භාවයෙන් කෙනකුගේ දිවි බේරාගන්නට ඉදිරිපත් වන්නා සැබැවින්ම වීරයෙකි. සියල්ල මුදලින් මනින සමාජයක තම දිවි පරදුවට තබමින් අන් ජීවිත බේරාගැනීමට ඉදිරිපත් වන්නා සැබැවින්ම මනුස්සකම පිරුණ හදවත් ඇත්තෙකි.‍

එක් කෙනකු නොව; එවැනි පුද්ගලයන් රැසකට සම්මාන පිදීමේ උත්සවයක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා‍ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඒ වීර පොදුජන පදනමේ 24 වන විරුජන සම්මාන පිදීමේ උත්සවයයි.

විසි හතර වසරක් තිස්සේ මේ රටේ මිනිසුන්ගේ වීරත්වය වෙනුවෙන් සම්මාන ප්‍රදානය කළ වීර පොදුජන පදනම මෙවරද සුවිශේෂ කිහිප දෙනකුට සම්මාන ප්‍රදානය කිරීමට කටයුතු කළේය.

වීරත්වයට වයස් භේදයක් ජාති, කුල, ආගම් ආදි කිසිදු භේදයක් වලංගු වන්නේ නැත. දෙදහස් දාහත වසරේදී බණ්ඩාරවෙල සිට පැමිණි කොස්ලන්ද ලංගම බසය හපුතලේ ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රපාතයක් කරාප වේගයෙන් ඇදී යමින් තිබිණි. මේ අවස්ථාවේ මඟී ජීවිත ගැන පමණක් සිතූ රියැදුරු බසු රථය තමා සිටි පැත්තේ පාර අයිනේ වූ ගල් ඇන්ද දෙසට කැපූයේ තම‍ාගේ දිවිය ගැන අබමල් රේණුවක් තරමින් වත් නොතකමිනි. එහිදී මඟී ජීවිත විසි දෙකක් බේරුණේ රියැදුරු ඇතුළු තවත් දෙදෙනෙකුගේ ජීවිත මරු තුරුලට යද්දීය.

එලෙස තම ජීවිතය ගැන නොසිතා අන් අයගේ ජීවිත බේරාගැනීමට ඉදිරිපත් වූ කීර්ති බණ්ඩාර පද්මසිරි නම් වූ උතුම් මිනිසා වෙනුවෙන් මෙවර මුදල් හා ස්වර්ණ සම්මානය හිමි විය‍.

ජීවිතයේ විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදුන් කීර්ති බණ්ඩාරගේ බිරිය ප්‍රියංගිකා මහත්මිය තම සැමියා වෙනුවෙන් පුදන ලද සම්මාන ලබාගැනීමට වේදිකාවට පැමිණියේ සිය පුතු හා දියණිය සමඟිනි. මෙහිදී කථානායක කරු ජයස‍ූරිය මහතා විසින් රුපියල් පනස් දහසක මුදලක් ඇයට පරිත්‍යාග කරන ලදි. මුළු සභා ගැබම මොහොතකට නිහඬ විය. කඳුළක් නොනැඟුණු නෙතක් නැති තරම්ය.

“මගෙ මහත්තයා එයාගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතිව තමයි එදා අනිත් අයගේ ජීවිත බේරාගත්තේ. මට මගෙ මහත්තයා ගැන ආඩම්බරයි. ඒ වගේ ම අපිට ජීවත් වෙන්න හැම විටම ධෛර්යය දෙනවාට වීර පොදුජන පදනමට බොහෝම ස්තුතියි” ප්‍රියංගිකා පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.

“සිය පණ නොතකා - පර පණ රකිනා
ජීවිත පූජාවෙන්
ඔබයි වීරයා - ඔබයි සූරයා
ජීවනේ සැදු මිහිතලයේ...
නන්නාඳුනනා කෙනකු වුවත් ලොව
පොරබදනා සඳ මරු සමඟින්
ඔහු පණ රකිනට - සටන් වදියි ඔබ
මානව කරුණාවෙන...”

විරුජන පදනමේ තේමා ගීතයටම සරිලන අයුරින් අනුන් ගැන සිතන, තම ජීවිතයටත් වඩා අන් ජීවිත වටින්නේය යන සම්මතයේ පිහිටි පුද්ගලයන් පිදුමට ලක් කෙරෙන ඒ සැඳෑවේ ඇගයීමට ලක් වූ තවත් වීරයෙකි රූබසිංහ පතිරගේ සවුන්දිරිස්‍. ඔහු 78 වැනි වියේ පසු වෙයි.‍

“ඔහුට එතරම්ම දෙයක් කරන්නට පුළුවන් වූයේද?” යි කෙනකු ඔහු දුටු විට ප්‍රශ්න කරනු ඇත. මාතර පාලටුවේ පදිංචි සවුන්දිරිස් කළ වීර ක්‍රියාව වන්නේ පසුගිය වසරේ ජූනි 1 දා එම ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයේදී ඔරුව පෙරළීමෙන් විපතට පත් අයකු බේරාගැනීමය. ඒ වෙනුවෙන් සවුන්දිරිස් විරුජන රජත සම්මානයෙන් පිදුම් ලැබුවේය.

“ගෙදර හැමෝම කෑගැහුවා මට යන්න එපා කියලා. ඒත් මං කොහොමද එහෙම ඉන්නේ? මම ඔරුවේ නැඟලා ගියේ වතුරේ ගහගෙන යන දයාරත්නව බලන්න. ඔරුව පදින්න අමාරුයි වතුර පහර සැර නිසා. කොහොම හරි මම දයාරත්නව බේරගත්ත‍ා.” වයෝවෘද්ධ සවුන්දිරිස් පවසන්නේ සතුටු සිනාවක් නඟමිනි.

වීරත්වයට වයස් භේදයක් නැතැයි අප කියන්නේ එහෙයිනි. දිල්මින් වීරසිංහ හා සවින්ත ලක්ෂාන් සිල්වා යන දෙමිතුරෝ මෙහිදී රජත සම්මානයෙන් පිදුම් ලැබුවේය.

“එදා අපි කොග්ගල මුහුදේ නාමින් හිටියේ. එක පාරටම කෙනෙක් කෑගහනවා ඇහුණා, ඔවුන්ව බේරගන්න කියලා. ඒ අය මුහුදේ නාමින් ඉඳලා තියෙන්නේ. මමත් මගෙ යාළුවත් ඒ අයව බේරගත්තා. අපි හතර දෙනෙක්ව බේරගත්තා. ගෑනු ළමයි තුන්දෙනයි පිරිමි කෙනෙකුයි. ඉස්සෙල්ලම බේරගත්තේ එතැන හිටිය පොඩිම කෙනා. ජීවිතේ පළවෙනි වතාවට තමයි අපි මෙහෙම ක්‍රියාවක් කළේ. සචිත්ත පවසන්නේ තමන් කළ ක්‍රියාව ගැන අදටද සතුටු වෙමිනි.

“ඒ වෙලාවේ තව අය මුහුදේ හිටියා. ඒත් ඒ අය බලාගෙන හිටියා මිසක් කවුරුවත් ගහගෙන යන අය බේරාගන්න ඉදිරිපත් වුණේ නැහැ. අපි මේ අයව බේරාගත්තට පස්සේ ‘යන්නම්’ කියලා ඒ අය යන්න ගියා.”

දිල්මින් පවසන්නේ එදා තමන් කළ වීරක්‍රියාව ගැන ආඩම්බරයක් සිතේ තබාගෙන ය.

ජීවිතයක වටිනාකම මිනිසුන් හඳුනාගත යුතු ය. මේ හඳුනාගැනීම අපට දැනෙන්නට ඕනෑ කුඩා වියේ සිටමය. එනම් දරුවකුට බාල වියේ සිටම අනෙකාගේ ජීවිතවල ඇති වටිනාකම අවබෝධ කළ යුතුය. පවුල, පාසලෙන් ලබන ඒ හුරුව ඔවුන්ගේ අනාගත දිවියට බොහෝ වටී‍. වීරත්වයට පත් එවන් වූ පාසල් දරුවෝ නව දෙනෙක්ද මෙහිදී පිදුම් ලැබූහ. ඒ ධවල හංස සම්මානයෙනි.

බැලූ බැල්මට මේ දරුවෝ පෙනුමින් කුඩාය. ඔවුහු පාසලේ නවය, දහය, එකොළහ ශ්‍රේණිවල ඉගෙනුම ලබති.

ඉංගිරිය ගාමිණී විද්‍යාලය, නම්බපාන විද්‍යාලය හා විද්‍යාරතන විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ දරුවෝ කළ වීර ක්‍රියාව වන්නේ දෙදහස් දාහත වසරේ මැයි මස 25 වැනිදා රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාවෙන් ඉංගිරිය අවට ගම්මාන ජලයෙන් යට විණි. විපතට පත් ජනතාව බේරාගැනීමට, ඔවුන්ගේ නිවෙස්වල බඩු බේරාදීමට මේ ශිෂ‍්‍යයෝ ඔරුවක නැඟී උදෑසන සිට රාත්‍රි වන තුරු ජීවිත ආරක්ෂක කටයුතුවල යෙදුණහ. ඔවුන් මේ සඳහා මෙහෙයවූයේ හා අවශ්‍ය සහාය ලබා දුන්නේ ඉංගිරිය පොලීසියය.

“අපි අපි ගැන හිතුවේ නැහැ. උදේ පහට ගෙදරින් ගියාම ආයේ ගෙදර ආවේ රෑ වෙලා. ජූනි මාසේ තුන් වැනිදා වන තුරු සති දෙකකට ආසන්න කාලයක් අපි ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් අපේ සේවය ලබා දුන්නා. අද දින එලෙස ඇගයීම අප සියලු දෙනාටම සතුටක්. අපේ පාසල්වලට ආඩම්බරයක්” යසිරු පවසයි. මධුෂ ලක්ෂාන්, යසිරු රන්දුල, දසුන් තාරකා, සංජන දිල්ෂාන්, සුසර විමුක්ති, සකිල දිල්ෂාන්, බුද්ධිම සතිර, උදයකුමාර, චමෝද් රත්නායක යන පාසල් ශිෂ්‍යයෝ සම්මාන ලැබූහ.

එදාට වඩා අද නව තාක්ෂණය දියුණුය. මේ නවීන තාක්ෂණයෙන් ගත හැකි ප්‍රයෝජනය බොහෝය‍. විද්යුත් මාධ්‍ය ඔස්සේ මෙන් ම ෆේස් බුක් හා වෙබ් අඩවි ඔස්සේද පිළිකාව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමටත් ‘Awake and Click off cancer’ සඟරාවත්, පිළිකා සංගමයට ආධාර පිණිස ඡායාරූප ප්‍රදර්ශනයත්, අලෙවියත් මඟින් කරන ලද සහාය වෙනුවෙන් සාන්ත පෙරේරා හා නයනතාරා පෙරේරා අක්කා-නගෝ ස්වර්ණ හංස සම්මානයෙන් පිදුම් ලැබූහ. ඔවුන් විසින් පිළිකා සංගමයට එකතු කර දෙන ලද මුදල රුපියල් ලක්ෂ 5කි.

සම්මාන ලැබූවන් අතර තවත් පාසල් ශිෂ්‍යයෙක් විය. ජීවිතයක් බේරාගැනීම පමණක්ම නොව, පරිසරය රැකගැනීමද වීරත්වයක් බව පසක් කළ ඔහුට හිමි වූයේ රිදී හංස සම්මානයයි. තලාතුඔය බොල්ලෑව කනිටු විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන උදාර සඳරුවන් තමා කළ වීරක්‍රියාව පිළිබඳ ඔහු පවසන්නේ මෙවැනි කතාවකි:

“මධ්‍යම පරිසර අධිකාරිය තමයි අපට පැළ වර්ග හදන්න කියලා දුන්නේ. මේ පරිසරයට ගහකොළ අවශ්‍යයි‍. මම කුඹුක්, කොහොඹ වගේ ගස් හිටෙවුවා. ඉන් පස්සේ පැළ පන්සීයක් හිටෙවුවා. මම මේ පරිසරයට ආදරෙයි. ඒ නිසයි අපේ ගෙවත්තේ ඒ තරම් පැළ තවානක් හැදුවෙත්.”

මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක වන පරිසර 'තුරු ඉතුරුම්' වැඩසටහන යටතේ සඳරුවන් පැළ රෝපණයට යොමුව තිබිණි.

මෙහිදී උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කථානායක කරු ජයසූරිය මහතාට විරුජන පදනම හා ජනශක්ති රක්ෂණ සමාගම එක්ව සමරු තිළිණයක්ද පිළිගන්වන ලදි.

රටක කොයි අස්සක මුල්ලක සිටියද සැබෑ වීරයා කොයි මොහොතේ හෝ මතු වෙයි. කලකට පෙර ඇරඹි වීර පොදුජන පදනම විශේෂයෙන්ම එහි නිර්මාතෘ කසුන් පී. චන්ද්‍රරත්න මහතා මේ වීරයන්ට සමාජය තුළ මතු වන්නට සමාජයෙන් නිසි ගෞරව ලැබීමට අවස්ථාව සලසා දුන්නේය.

වීරුජන පදනම මගින් 24 වැනි වරටත් පවත්වන ලද විරුජන සම්මාන උලෙළ සඳහා සාදර දායකත්වය දක්වන ලද්දේ ජනශක්ති රක්ෂණ සමාගමය. මේ උත්සව අවස්ථාවට දෙස්-විදෙස් සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වී සිටියහ.

ඡායාරූප - සමන් මෙන්ඩිස්

Comments