‍කොරළ සම සඟවන හැටි | සිළුමිණ

‍කොරළ සම සඟවන හැටි

කාටද දිස්නේ ගහන ලස්සන සමක් වුවමනා නැත්තේ. නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඕනෑ ම තරුණියකගේ හීනයක්. හැබැයි හීන දුටු පමණින් තමන්ට දිදුලන සමක් අයිති කර ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් හීනයක් ම තමයි. ඔබට දිදුලන සමක් අවශ්‍ය නම්, එසේ ම උපතින් ම ඔබට සුන්දර සමක් හිමි වුවද එය එලෙස ම දිගු කලක් රැක ගැනීමට අවශ්‍ය නම් ඔබට ඒ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් කරන්න වෙනවා.

තමන්ගේ සුන්දරත්වය වෙනුවෙන් කාන්තාවන් නොකරන දෙයක් නැති තරම්. විශේෂයෙන් ම බොහෝ දෙනා තමන්ගේ මුහුණෙ පැහැය ගැන සිතනවා. ලස්සන පැහැපත් මුහුණක් කියන්නේ සෑම කාන්තාවක් ම බලාපොරොත්තු වන දෙයක්. ඒ නිසා සියලුම සත්කාරයන් මුහුණට ලබා දෙන්න ඔවුන් අමතක කරන්නේ නෑ. මුහුණ ගැන එතරම් සැලකිලිමත් වුවත් ඔවුන්ට තමන්ගේ අත්වල සහ කකුල්වල සුන්දරත්වය ගැන, පැහැපත්බව ගැන සිතන්න අමතක වෙනවා. එහෙමත් නැතිනම් අමතක කරලා.

බො‍හෝ දෙනෙකුගේ මුහුණේ තියෙන පැහැපත් බව අත්වල සහ කකුල්වල දක්නට නැත්තේ ඒ නිසයි.

මුහුණේ සහ අත් කකුල්වල පැහැය දෙයාකාරයි. බොහෝ කාන්තාවන්ගේ අත්, කකුල්වල සමෙහි කොරළ ස්වභාවයක් දක්නට ලැබෙන අතර සම අවපැහැ වීම්, ලප කැළැල් ඇතිවීම් නිසා ඇත්තේ අවලස්සනක්. ඉතිං ඔ‍බේ මුහුණ කෙතරම් සුන්දර වූවත් අත් සහ කකුල් අවලස්සන නම් ඔබ රූමත් තරුණියක් කියා කිව හැකි ද?

සමෙහි කොරල ස්වභාවය, වියළි බව නැතිකර පැහැපත්, සුසිනිඳු සමක් හිමි කරගන්නට ඔබව දැනුවත් කරන්න Degreens ආයතනයේ අධිපතිනිය රූපලාවන්‍ය ශිල්පිනී අරෝෂි කෞෂල්‍යා අප සමඟ එක් වුණා. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ වසර 20 ක පමණ පළපුරුද්ද සමඟ ඇය කොරළ නිසා පීඩා විඳින තරුණියන් සුව කළ අවස්ථා බොහොමයි. වත්මන් තරුණ මෙන් ම මැදිවියේ කාන්තාවන් අතරත් බහුලව දක්නට ලැබෙන සමෙහි කොරළ ඇති වීම ගැන අපි ඈ සමඟ කතා කළෙමු.

බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ සුන්දරත්වය මනින එකම ඉන්ද්‍රියය මුහුණ බවයි. එය වැරැදි ආකල්පයක්. මුහුණ පැහැපත් වී කකුල් සහ අත් අවපැහැ වී කොරළ ස්වභාවයක් මතු වීමට ප්‍රධාන කරුණ වන්නේ ඔබ මුහුණට පමණක් සත්කාර කර අත් සහ පාද අමතක කර දමන නිසයි. දිගු කාලයක් පාද සහ අත් පිළිබඳ සැලකිලිමත් නොවීම නිසා සම වියැළෙනවා. කොරළ ඇති වෙනවා. අවපැහැ වෙනවා. නමුත් නිසි නඩත්තු මඟින් මුහුණේ සොඳුරු බව අත් කකුල්වලටත් ලබා දෙන්න පුළුවන්.

පිරිසුදුකම

පිරිසුදුකම කියන්නේ රූමත් බව රැක ගන්න හොඳ මාර්ගයක්. මුහුණ පමණක් නොව අත් කකුල් වගේ ම සෑම බාහිර අවයවයක් ම පිරිසුදුව තබා ගැනීමෙන් සමෙහි නිරෝගී බව රැක දෙනවා. සම අවලස්සන කරන කොරළ, ඉරි තැලීම්, වියළි බව, දද සහ කුෂ්ට ඇති වීමට ප්‍රධාන හේතුවක් ලෙස බලපාන්නේ අපිරිසුදුකමයි.

දෙපාවලත් suncream

කෙනෙකුගේ වියපත් බව ඉක්මනින් ම පෙන්නුම් කරන්නේ අත්වලින්. අත් අවලස්සන වෙන්නේ ඇයි? ඒ ඔබේ අත් දෙක නිතර ම හිරු එළියට නිරාවරණය නිසයි. සමේ තද බව, ඇදෙන සුළු බව සහ කොලජත් විනාශ කරන්නට හිරු එළිය සමත්. රිය පදවනවා නම් මේ ප්‍රශ්නය උග්‍ර වෙනවා. ඊට අමතරව දවසේ බොහෝ වතාවක් ඔබ අත් දෙක සෝදනවා ද? එවිට සම වියළි බවට පත් වෙලා ඉක්මනින් රැලි ගැසෙනවා. එළියට යන හැම විටම අත් දෙකේ වගේ ම කකුල් දෙකටත් sun cream එකක් හොඳින් ආලේප කරන්න. අත් සෝදන හැම වතාවක ම සමේ තෙතමනය රකින Moisturizer එකක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.

ජලය දිව්‍ය ඖෂධයක්

ජලය කියන්නේ සමට දිව්‍ය ඖෂධයක්. සාමාන්‍යයෙන් සමෙහි තෙතමනය රඳා පවතින්නේ සිරුර තුළ පවත්නා ජලය මතයි. එමෙන් ම සමෙහි ඇදෙන සුලු ස්වභාවය රඳා පවතින්නේ සමේ ජල මට්ටම මතයි. ජලය අඩුවීම සමඟ සමෙහි රැලි වැටීම්, කොරළ ස්වභාවයන් ඇති වීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේ ම නිතර නිතර අයිස් වතුර පානය කරන්නත් එපා. එය සම වියැළීමට ප්‍රධාන හේතුවක් වෙනවා. හැකි සෑම විට ම සාමාන්‍ය ජලය පානය කරන්න. කැෆේන් සහිත පාන වර්ගත් නිතර නිතර පානය කිරීම සුදුසු නැහැ.

ඔබේ සමට ඇතිවන හානි වළක්වා ගන්න විටමින් C සහ E වලට පුළුවන්. විටමින් C, E බහුලව ඇති බ්ලු බෙරි, දොඩම්, දෙහි, ලෙමන් නාරං වැනි පලතුරු වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගන්න. ඒ වගේ ම කෙඳි සහිත ආහාර, ඔමේගා 3 බහුල ආහාරත් ඔබේ ආහාරවලට එකතු කර ගන්න අමතක කරන්න එපා.

ඔබ නිතර නිතර උණුසුම් ජලය ස්නානය කරන අයෙකු නම් ඒ වගේම නිතර ම උණුසුම් ජලය පානය කරන අයකු නම් ඔබටත් සම වියැළී‍මේ අවදානම තිබෙනවා. කොරල ස්වභාවය ඇති වීමට ජානමය හේතු බලපාන අවස්ථා ද නැතුවා ම නෙමෙයි.

වැක්ස් කිරීම

තරුණියන් කැමැතියි රෝම රහිතව තම අත් කකුල් තබාගන්න. ඒ නිසා ඔවුන් වැක්ස් කිරීම මඟින් නිතර ම සමෙහි රෝම ඉවත් කරනවා. මේ මඟින් සමට විශාල හානියක් සිදුවනවා. ශරීරයට අහිතකර ආලේපන ද සම වියැලෙන්නට තවත් හේතුවක්. මේ නිසා ඕනෑ ම නිෂ්පාදනයක් මිල දී ගැනීමට පෙර නිවැරැදි ප්‍රමිතියෙන් යුතු ස්වභාවික ශාක සාර සහිත නිෂ්පාදන මිල දී ගැනීමට පුරුදු වීමත් රුව ගැන හිතන ඔබට වාසියක් වේවි.

කොරළ සහිත වූ හෝ හානි වූ සමකට යම් සත්කාරයක් කිරීමේදී පළමුව කළ යුත්තේ මැරුණු සම ඉවත් කිරීමයි. මැරුණු සම එසේ තිබියදී ම ඔබ කෙතරම් සත්කාරයන් අත් පාවලට කළත් ඒවා සමට උරා ගැනීමක් සිදු වන්නේ නැහැ. මෙය නිවසේදී තනිව ම ඔබට කළ හැකි දෙයක් නොවන නිසා ඒ සඳහා සුදුසුකම් ඇති රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සහය ලබා ගැනීම ඉතා ම යෝග්‍යයයි.

මෙම ප්‍රතිකර්මය කිරීමේදී පළමුව සිදු කරන්නේ ඔබේ සමෙහි ස්වභාවය වර්ගීකරණයකට ලක් කිරීමයි. එහි දී සමේ ස්වභාවය මෙන් ම සමෙහි හානි වූ ස්වභාවය කෙතරම් ගැඹුරකට සිදු වි ඇත් ද යන්නත් හොඳින් පරීක්ෂා කරනවා. ඒ අනුව සමට කෙතරම් වාර ගණනක් සත්කාර කළ යුතු ද යන්නත් ඒ සමට සුදුසු කුමන ආලේපනයක් ද යන්නත් නිගමනය කළ හැකියි. පළමුවෙන් ම සමට හානි නොවන ආකාරයට මැරුණු සම ඉවත් කරනවා. ඊට පසු scrub සහ ඊට අවශ්‍ය වූ pack එකක් ආධාරයෙන් මෙම ප්‍රතිකර්මය ආරම්භ කරනවා.

කෙටි සම්බාහනයක් සහ තවත් ප්‍රතිකර්ම විධි කිහිපයක් ද මේ සඳහා යොදා ගැනීමත් විශේෂයි. සිදු කරන සැණින් සත්කාරය මඟින් විශාල වෙනසක් දැක ගන්නට පුළුවන්. එහිදී කොරල සහිත අත් හෝ කකුල්වල පැර‍‍ෆින් ආලේප කර පොලිතිනයක් වැනි ආවරණයකින් කකුල් හොඳින් ඔතනු ලැබේ.

පැය දෙකහාමාරක් තුනක් පුරාවට කෙරෙන මෙම ප්‍රතිකර්මයෙන් සමට පෝෂණයක් ලබා දී ඔබේ සමට සුසිනිඳු නැවුම් බවක් එක් කරනවා සේ ම මින් ඔබේ සමෙහි පිහිටි වියළි ස්වභාවය, රැළි වැටුණු ස්වභාවය හා මැරුණු සම ඉවත් වී යාමත් විශේෂයි. මෙම ප්‍රතිකර්මයෙන් ඔබේ සමට ලබා‍දෙන පෝෂණය මින් ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස්වලින් ද අපි ඔබව පෝෂණය කරනවා. මෙය නිට්ටාවට ම සුව කිරීමක් නොවන නිසා අවශ්‍ය සත්කාරයන් නොකඩවා පවත්වා ගැනීම ඉතාම වැදගත්.

සිරුරේ සුන්දරත්වය ගැන හිතන ඔබ මුහුණට පමණක් නොව අත් පා ගැනත් සැලකිලිමත් වී සැබෑ ම සුන්දර ලලනාවක් වීමට අද සිට ම උත්සාහ ගන්න.

Comments