මල් අස්ෙන් ජුවන් සහ බැද්දේ­ගම සිලිඳු | සිළුමිණ

මල් අස්ෙන් ජුවන් සහ බැද්දේ­ගම සිලිඳු

1913 දී පළමු වතාවට මුද්‍රණය කෙරුණු ‘ද විලේජ් ඉන් ද ජන්ගල්’ කෘතියට පදනම වැටෙන්නේ, හම්බන්තොට දිසාපතිවරයා ලෙස කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් මහතා අත්දුටු එම ප්‍රදේශයේ ජනජීවිත‍යයි. සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන ලියැවුණු ඒ කතාවේ ඇතැම් ස්ථාන තවමත් එ‍සේ පවතී. චරිත නැතත් චරිතවලට පදනම් වූ පරම්පරා තවමත් සිටිති.

මෙතෙක් වේලා සුවපහසු මාර්ගවල පැමිණි අපි දූවිල්ලෙන් වැසුණු මාවතකට පිවිසුණෙමු. රතු පාට දූවිලි පිරුණු මේ මාවතේ ගමන පහසු නැත.

“අලි එනවා, නිතරම පාර හරහා යනවා. අපි කල්පනාවෙන් යන්න ඕනේ...’’

“නෑහ්!’’ රියැදුරු අසුනේ වූ රුවන්ට කියැවුණේ තිගැස්සුණු ස්වරූපයෙනි. පාර හරහා දමා තිබුණු පස් වැටි නිසා වේගයෙන් යෑමටද නොහැකි බැවින් රුවන් පසු වූයේ නොසන්සුන් සිතින් බව හැඟිණි. එය නුදුටු සුගතරත්න මහතා තවත් ත්‍රාසය එක් කරන වදන් කියන්නට විය.

“අලි විතරක් නෙවේ; කොටි, වලස්සු එහෙමත් ඉන්නවා!’’ ඒ වදන් අපද මහත් අවුලකට පත් කළේය.

“බය වෙන්න එපා. මේ පාරේ ආරණ්‍යයට යන වාහන එහෙම යනවා එනවා...’’

එවර සුගතරත්න මහතා කීවේ රුවන් අස්වසන්නට මෙනි. ඒ සමඟම එය සනාථ කරමින් අත්-ට්රැක්ටරයක් පාරේ ප්‍රතිවිරුද්ධ දිසාවට ඇදෙන්නට විය. යම් සැනසීමක් ලැබුණද, නුපුරුදු පෙදෙසක චාරිකාවක නියැළෙන අපගේ තිගැස්ම නතර වූවායැයි සිතිය නොහැකිය.

ඝන වනාන්තරය පසු කරමින් ඉදිරියට පැමිණි අප නතර වූයේ තුන්මංහන්දියකය. වාහනයෙන් බැසගත් සුගතරත්න මහතා ඉදිරියට යන්නට විය. අපිත් ඔහු අනුගමනය කරන්නට වීමු. කුඩා වැවක් ඉස්මත්තේ නතර වූ සුගතරත්න මහතා-

“මේක තමයි සිලිඳුගේ නඩුව අහපු තැන තිබ්බාය කියන සියඹලා ගහ.’’

සිලිඳු සිටියේ ලෙනාඩ් වුල්ෆ්ගේ ‘බැද්දේගම’ නවකතාවේ බව නොදන්නා කෙනෙක් නැත. 1904 වර්ෂයේ සිට 1911 දක්වා හම්බන්තොට දිසාපතිවරයා ලෙස කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් මේ කෘතිය ලිවීමේදී ප්‍රදේශයේ පැවැති තත්ත්වය මැනවින් පසුබිම් කරගෙන තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ පැවැති දේශගුණය, දුෂ්කර ගැමි ජීවිතය පිළිබඳ ඔහුට මනා අවබෝධයක් විය. ඉංග්‍රීසි ජාතිකයකු විසින් මෙරට ජනජීවිතය පිළිබඳ කරන ලද ‍හොඳම විග්‍රහය ලෙස විචාරකයන් මෙය හැඳින්වීම පවා එය තහවුරු කිරීමකි. ගමක ජීවත් වන පවුල් දහයක් පිළිබඳ කතා කෙරුණද, එම ජනතාවගේ අභිචාර ක්‍රම, සිරිත් විරිත්, ආකල්ප පමණක් නොව ඔවු‍න්ගේ ඕපාදූප, මෝඩකම් පවා මේ කෘතියේ මැනවින් චිත්‍රණය වෙයි. රදල ක්‍රමය හමුවේ සිත්පිත් නැති ආරච්චි වැනි මිනිසුන්ගේද, ණය හිමියන්ගේද කූට උපක්‍රමවලට හසු වන ගැමියන්ගේ කුරිරු ඉරණම විස්තර කෙරේ. එමෙන්ම අවුලෙන් ගොඩ ඒමට දරන්නා වූ හැම උත්සාහයක්ම ව්‍යර්ථ වී ගැමියන් කබලෙන් ළිපට වැටෙන ආකාරය මැනවින් නිරූපණය කෙරේ.

බැද්දේගම නවකතාවට වස්තුබීජය වූ ගම්මානය ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි උඩ මත්තල ආසන්නයේ ගම්මානයකි. එයට යා යුත්තේ මීගහජඳුරේ සිට හම්බන්තොට දෙසට ගමන් කිරීමෙනි.

අප සතු වූ තොරතුරු අනුව මේ පිළිබඳ හොඳින්ම තොරතුරු දන්නේ මල්අස්න ගල්වැවේ ගම්බාර තැනයි. ‍හෙතෙම සිලිඳුගේ මුනුපුරකු බවද කියවේ.

අපි උඩමත්තල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙස කරා ගියෙමු. ඉදිරියේ වූ කපරාරු කළ අලුත් ගෙය පිටිපස්සට වන්නට මැටියෙන් තැනූ කුඩා නිවෙසකි. එය ඉදිරිපස වූ පුටු දෙකක වාඩිවී සිටි ‍අවුරුදු 80ක් පමණ වන යුවළක් කතාබහකි. දෙන්න-දෙමහල්ල‍න්ගේ මේ කතාව නතර වූයේ අප මිදුලේ නතර වූ විටය.

“ගම්බාර මහත්තයාගේ ගෙදරද?’’

“ඔව්. ඇයි මහත්තයා?’’ වයෝවෘද්ධ ගැහැනිය ඇසුවාය. ආගිය තොරතුරු කතා කරන විට අපට ලැබුණේ එතරම් සුබවාදී තොරතුරක් නොවේ.

අද බොහෝ සේ වයොවෘද්ධ ගම්බාර මහතා පසු වන්නේ අසනීප තත්ත්වයේය.

හෙතෙම තම කටයුතු කරගන්නේද ඉතා අපහසුවෙනි. තම බිරිය සමඟ නිවෙසට වී කල් ගෙවන ඔහුට බොහෝ දේ අමතකය. අප සමඟ මල්අස්න ගල්වැවට ගිය ගම්බාර මහතාගේ පුතකු වන සුගතරත්න මහතා එතැනට පැමිණියේ එවිටය.

“තාත්තට කතා කරන්න ටිකක් අමාරුයි. කල්පනාවත් ටිකක් මදි. මතක් කරලා දුන්නොත් යම් තොරතුරු ටිකක් ගත්ත හැකියි.’’ එතැන් පටන් ඇරැඹුණු කතාබහට යම් අතීත සිදුවීම් මතක් කළේ සුගතරත්න මහතාගේ ද උපකාරය ඇතිවය.

“මත්තලට ටිකක් ඈතින් කැලේට වෙන්න ගමක් තියෙනවා. ඒක තමයි මල්අස්න ගල්වැව කියන්නේ. ඒ ගමේ මිනී මැරුම් දෙකක් වුණා. ඒක ගැන තමයි ඔය පොතේ ලියවෙන්නේ. හැබැයි ඔය පොතේ සිලිඳු කියලා කෙනෙක් හිටියට ඇත්තටම සිලිඳු කෙනෙක් නැහැ. ඉන්නේ රත්නායක දොන් ජුවන් කියලා කෙනෙක්. එයාව තමයි සිලිඳු චරිතය ලෙස හඳුන්වලා තියෙන්නේ. මේ දොන් ජුවන් මගේ අම්මාගේ නෑදෑයෙක් වෙනවා.“

සිලිඳු හෙවත් දොන් ජුවන්ගේ පුංචි අම්මා නමින් සිරිවර්ධන බබුන් හාමිය. බබුන් හාමිගේ දුව සමරවික්‍රම ගීගනගේ කලිඟු හාමි ය. ඇය අපට අද දවසේ හමු වූ ගම්බාරයා තැනගේ මවයි. පරම්පරා දෙක-තුනක් ඉදිරියට ඇදෙන මේ සියලු විස්තර ගම්බාර තැන දැනගත්තේ ඔහුගේ මවගෙනි. ඇය ඔහු කුඩා අවධියේ විටින් විට මේ විස්තර කියා තිබිණි. එහෙත් අද වන විට ඔහුට මේ කතාව පිළිවෙළකට මතක නැත. ඒ කතාවේ අඩුපාඩු මඟ හැර කතාව අපට කියන්නට ගම්බාරේ උත්සාහ කරයි. ඒ සඳහා ඔහුගේ පුත් සුගතරත්න ඔහුට උදවු වෙයි.

“ඇත්තම කතාවේ හැටියට සිලිඳු මැරුවේ තමන්ගේ මාමවයි. ඒ කියන්නේ මරලා තියෙන ආරච්චි සිලිඳුගේ අම්මාගේ මල්ලි...’’

“සිලිඳු හරක් බැඳපු ගහ තවමත් තියෙනවා. ඒ එක්කම සිළිඳුගේ නඩුව අහපු සියඹලා ගහ තවමත් ඉතිරි වෙලා තියෙනවා.’’

“මහත්තයලට මතකද අපි අර ගිය වැව. ඔය තාත්තා කියන තැන එතැනයි. ඒකයි මල් අස්න ගල්වැව කියන්නේ. එතැන ආරච්චිගේ ගේ තිබුණා කියලා තාත්තා අපිට කියලා තියෙනවා’’ සුගතරත්න අපිත් සමඟ මල්අස්න ගල්වැවට ගිය ගමන සිහි කළේය.

වැව අසලම සියඹලා ගසකි. එයට ආසන්නයෙන් සූරිය ගහක් තිබුණු අතර, සිලිඳු තමාගේ ගවයන් බැඳීමට එය භාවිත කළ බව විශ්වාස කෙරේ. මේ සියඹලා ගස මෙන්ම සූරිය ගසත් අදද එතැන දක්නට ඇත.

සැබෑ සිලිඳු හෙවත් රත්නායක දොන් ජුවන්ට පුත්තු තුන්දෙනකු සහ ගැහැනු ළමයකු සිට ඇත. නවකතාවේ හැටියට නම් සිලිඳුට සිටින්නේ ගැහැනු දරුවන් දෙදෙනකු පමණි. එමෙන්ම නවකතාවේ හැටියට ගැහැනු දරුවන් දෙදෙනා උපත ලබා ටික කලකින් සිලිඳුගේ බිරිය මියගොස් ඇත. එහෙත් ගම්බාර තැන කියන පරිදි එය එසේ නොවේ. සිලිඳු මිනීමැරුමට වරදකරු වී සිරගත වීමෙන් පසු ඇගේ බිරිය දරුවන් බලාහදාගෙන ජීවත් වී ඇත.

එමෙන්ම ලෙනාඩ් වුල්ෆ් මහතා නිරූපණය කරන හැටියට පුංචි මැණිකාගේ සැමියා වන බබුන් සිරගත කිරීමට බබේහාමි ආරච්චි බොරු නඩුවක් පටලයි. ඒ සමඟම ගමට පැමිණි ප්‍රනාන්දු නම් මුදලාලි පුංචි මැණිකා සමඟ අනියම් සබඳතාවක් ගොඩනගාගැනීමට වෙර දරා ඇත. ඒ සඳහා මග පෑදීමට බබේහාමි ආරච්චි බොරු නඩුව පවරා තිබේ. බබේහාමි ආරච්චිගේ බිරියගේ සහෝදරයා වූ බබුන් මෙසේ හිරගත කෙරිණි. එයට පළිගැනීමක් වශයෙන් සිලිඳු විසින් බබේහාමි සහ ප්‍රනාන්දු මුදලාලි මරා දමන ලදහ. කෙසේ වෙතත් ගම්බාරේ කියන ආකාරයට සිලිඳු මරා දමා ඇත්තේ ඔහුගේම මාමා කෙනෙකි.

“හදිසියේම දවසක ජුවන් ආරච්චිගේ නිවෙසට ඇවිල්ලා තියෙනවා; ඇවිල්ලා කියලා තියෙනවා, තමන්ගේ හේනට හරක් රංචුවක් ගොඩවැදිලා වගාව විනාශ කළ බව. ඊට පස්සේ ඒකට සුදුසු වන්දියක් හරක් අයිතිකරුගෙන් ලබා දෙන්නයි කියලත් ඉල්ලලා තියෙනවා. එතකොට ආරච්චි කියලා තියෙන්නේ අපි හැමෝම එක ගමේනේ, කතා කරලා බේරගන්න කියලයි.’’ එහෙත් ජුවන් මේ තීන්දුවට කැමැති වී නැත. ඉන් පසු සිදු වූ දෙය නැවැතත් ගල්වැවේ ගම්බාර තැන මතක් කරයි.

“පස්සේ ජුවන් එක්ක හේනට යන්න ආරච්චි කැමැති වෙලා තියෙනවා. කෙළින්ම හේනට ගිය ජුවන්, තමන්ට මුත්‍රා කිරීමට අවශ්‍ය බව කියලා කැලේ හංගලා තිබුණු තුවක්කුව අරන් එනවා. ඇවිල්ලා ආරච්චිට වෙඩි තියනවා. වෙඩි තියලා ඊට පස්සේ ජුවන් යනවා, ආරච්චිගේ ගෙදරට. ඒ යනකොට ආරච්චිගේ පුතා ගෙදර ඉඳලා තියෙනවා. එතෙන්දි තමන් මුවෙකුට වෙඩි තැබූ බවත්, එහෙත් ඌ නොමැරුණු නිසා ආරච්චි තමන්ට උණ්ඩයක් රැගෙන එන ලෙස කියූ බවත් පුතාට කියලා තියෙනවා. ආරච්චිගේ පුතා උණ්ඩය දුන්නට පස්සේ ඒකත් තුවක්කුවේ දාගෙන ජුවන් ටිකක් දුර ගිහින් ආපහු හැරිලා පුතාට වෙඩි තියලා මරලා දානවා’’ ත්‍රාසජනක චිත්‍රපටයක් අපට සිහි කරන මේ සිදුවීමේ කතාව මෙතැනින් අවසන් වන්නේ නැත. පසුව මස්සිනාගේ කීම මත හම්බන්තොටට යන ජුවන් දිසාපති කාර්යාලයට ගොස් සිදුවීම වාර්තා කරයි. පසුව පොලිස් නිලධාරීහු සහ දිසාපතිවරයා වූ ලෙනාඩ් වුල්ෆ් මහතා, ජුවන් රැගෙන මල්අස්න ගල්වැවට පැමිණෙති.

“සාක්ෂි විමසීම කළේ ඔය මල්අස්න ගල්වැවේ තියන සියඹලා ගහ යටයි. පස්සේ ඒ නඩුව උසාවියේදී අහලා ජුවන් අවුරුදු 18ක සිර දඬුවමකට යටත් කරනවා.’’

මේ නඩුව ඇසූ සියඹලා ගස ගැන විවිධ මත තිබේ. මෙහි සැබෑ සියඹලා ගස පිහිටා ඇතිතේ මල්අස්න ගල්වැව බවට සමහරුන් පිළිගත්තද තවත් සමහරුන් පිළිගන්නේ එය නොවන බවයි. ඒ අනුව මීගහජඳුර හන්දිය අසල පිහිටා තිබෙන සියඹලා ගස යට මේ නඩු ඇසීම සිදු වූ බවට සමහර පිරිසක් කියති. එපමණක් නොව; ඒ ස්ථානයේ පිහිටි සියඹලා ගසෙහි ගසා ඇති පුවරුවේද සඳහන් වන්නේ මේ ස්ථානයේ මේ බැද්දේගම නවකතාවට පාදක වූ සත්‍ය කතාවේ සාක්ෂි ඇසීම සිදු වූ බවයි. මේ සම්බන්ධයෙන් අපටද මුහුණ පෑමට සිදු වූයේ ගැටලුවකටය. එය නිරාකරණය කළේ මල්අස්න ආරණ්‍ය සේනාධිපති හිමියෝය.

“ඔය මහත්තයලා ගිය මල්අස්න වැව ගාව තියෙන තැන තමයි සිලිඳුගේ නඩුව අහලා තියෙන්නේ. අර මීගහජඳුරේ තියන තැන නඩු ඇහුවා කියලා බෝඩ් ගහලා තිබුණට එතැන එහෙම සිදුවීමක් වෙලා නැහැ. හැබැයි එතැන තමයි බැද්දේගම චිත්‍රපටය රූගත කරපු තැන. ඒ දෙක පටලවාගෙන හුඟ දෙනෙක් අද කතා කරනවා.’’

සියඹලා ගස්වල පටලැවිල්ල අප බේරාගත්තේ එසේය. ඒ සමඟම අපි නැවතත් සිලිඳුගේ සැබෑ කතාවේ ජුවන්ට සිදු වු දෙය ගැන විමසිලිමත් වන්නට වීමු. සුගතරත්න මහතාගේ උපකාරයෙන් යළිත් අතීතයට ගිය ගම්බාර තැන මෙසේ කියන්නට විය:

“ජුවන් අවුරුදු 18ක් හිරේ ඉඳලා තියෙනවා. පස්සේ දඬුවම් කාලය නිමා වෙන්න කිට්ටු වෙලා මෙයා ගෙදරට ලියුමක් එවලා. ඒ ලියුම ලැබිලා තියෙන්නේ එයාව මිනීමැරුමට පොලඹවපු මස්සිනා අතටයි. ජුවන් ගමට ආවොත් තමන්ට කරදරයක් වෙයි කියලා හිතලා මෙයා ජුවන් ලියුමක් යවලා තියෙනවා බිරිඳයි, ළමයිනුයි ගමේ නැහැ, ගමත් විනාශ වුණා කියලා. මේ ආරංචිය ලැබුණාට පස්සේ හිරෙන් නිදහස් වෙච්ච ජුවන් කොහේ ගියාද කියන්න කවුරුත් දන්නේ නැහැ. මල්අස්න ගල්වැව ගමත් කාලයක් යද්දී මැලේරියාවට ගොදුරු වෙලා විනාශ වෙලා යනවා. අපේ ගෙවල්වල හිටපු අය ගම අත්හැරලා යනවා. එහෙම ගිහින් ආයෙත් සෑහෙන කාලෙකට පස්සේ තමයි ගමට ඇවිල්ලා පදිංචි වුණේ.’’ 

Comments