
රටක සංවර්ධනයේ ප්‍රධාන මිනුම් දණ්ඩක් වන්නේ මංමාවත් දියුණු වීමයි. අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතියක් තැනීම පිළිබඳ සංකල්පය මතු වූයේ මීට අඩ සියවසකට පමණ පෙරදීය. එහෙත් එය සැබෑවක් වූයේ මීට වසර කිහිපයකට පෙර ය.
පළමු අධිවේගී මාර්ගය ලෙසින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය තැනීමේ කටයුතු 1992-1993 වසරවල ආරම්භ වුවත් එය විවිධ හේතු නිසා වසර ගණනාවක් යටපත් විය. ඒ අතර දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීම ආරම්භ වූ අතර එහි 1 අදියරේ වැඩ කටයුතු පළමුවෙන් අවසන් විය. ඒ කොට්ටාවේ සිට ගාල්ල (පින්නදූව) දක්වා වූ මාර්ගයයි. 2011 වසරේ ඔක්තෝබර් මස 27 දින මෙරට ප්‍රථම අධිවේගී මාර්ගය ලෙසින් එය විවෘත විය. පසුව කොළඹ - කටුනායක මාර්ගයද විවෘත වූ අතර කොළඹ පිටත වටරවුම් මාර්ගයද මේ මාර්ග දෙක සම්බන්ධ කරමින් ඉදි වන්නට විය. එහි පළමු අදියර කොට්ටාවේ සිට කඩුවෙල දක්වා විවෘත කෙරුණු අතර දෙවැනි අදියර කඩුවෙල සිට කඩවත දක්වා විවෘත කෙරිණි.
අවසන් අදියර කඩවත සිට කෙරවළපිටිය දක්වා (කොළඹ - කටුනායක අධිවේගය සම්බන්ධ කිරීමට) ඉදිවෙමින් පවතී. මේ අධිවේගී මාර්ග පද්ධතියේ වැදගත්ම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය වන්නේ කඩවත හෙවත් ‘සිවුමංසලයි’. එයට හේතු වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය කඩවතින් ආරම්භ වීමයි.
මධ්‍යම අධිවේගය ආරම්භ කිරීමට යෝජිත වූයේ කඩවත හා කෙරවලපිටිය යා කෙරෙන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ එඬේරමුල්ල මුතුරාජවෙල ප්‍රදේශයේදීය. එඬේරමුල්ල සිට රාගම හරහා වල්පොළ, බටුවත්ත, ගලහිටියාව, ගණේමුල්ල හරහා ගම්පහ දක්වා ලෙසින් මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු සැලසුම් විය.
එහෙත් ඒ සැලසුම පසුව වෙනස් විය. එසේ කිරීමට හේතු වූයේ මෙරට ඉදි වන දීර්ඝතම පාලම මෙන්ම දීර්ඝතම ගුවන් පාලමද වන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය මාර්ගයේ මුතුරාජවෙල උඩින් දිවෙන ගුවන් පාලම මත දී අධිවේගී අන්තර්-හුවමාරු මධ්‍යස්ථානයක් ඉදි කළ යුතු වීමයි. එය අප දැනට භාවිත කරන අන්තර්-හුවමාරු මධ්‍යස්ථානයක් මෙන් නොවේ. අධිවේගයෙන් ධාවනයේ යෙදෙන ගමන් මධ්‍යම අධිවේගී මාර්ගයටත් අනෙක් පසින් කෙරවලපිටිය දෙසට හෝ කඩවත දෙසට හෝ පිවිසීමට සිදු වීය.
එසේම ඒ ආසන්නයෙන් දුම්රිය මාර්ගයද පිහිටා ඇත. මේ නිසා කඩවත සිට කෙරවලපිටිය දක්වා දිවෙන කොළඹ සිට අධිවේගී මාර්ගය මංතීරු 6කින් ඉදි කිරීමට යෝජිත වුවත් එය ඉතා අධික වියදමක් වැය වන කාර්යයක් වන හෙයින් මධ්‍යම අධිවේගය කඩවත සිව්මංසල පිවිසුමෙන් ආරම්භ කර එය කොස්සින්න හරහා ගම්පහ දක්වා ගමන් කිරීමට සැලසුම් සකස් කරන ලදී.
ඒ අනුව කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ගය මංතීරු 4කින් පමණක් ඉදි කිරීමට සැලසුම් කෙරිණි. අවසන් සැලැසුම එයයි. ඒ සැලැස්ම මධ්‍යම මත අධිවේගය දැන් ඉදි කෙරෙමින් පවතී.
මධ්‍යම අධිවේගය කඩවතින් ආරම්භ වී කොස්සින්න ගම්පහ, වේයන්ගොඩ, මීරිගම ඔස්සේ පොතුහැර හරහා ගලගෙදර දක්වා ඇදී යයි. මධ්‍යම අධිවේගයේ පොතුහැරද විශේෂ අන්තර් හුවමාරු මධ්‍යස්ථානයකි.
පොතුහැර විශේෂ වන්නේ එය පොතුහැර සිට කුරුණෑගල හරහා උතුරු අධිවේගී මාර්ගය ලෙසින් යාපනය දක්වාම ඉදි කිරීමට යෝජනා වී තිබීමයි. කෙසේ වෙතත් අපට බෙහෙවින් වැදගත් වන මධ්‍යම අධිවේගය පියවර 4කින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර එයින් පළමු හා දෙවන පියවර මේ වන විට වැඩ කටයුතු ආරම්භ කර තිබේ. මේ අධිවේගී මාර්ගය තැනීමට 1 අදියර සඳහා චීන එක්සීම් බැංකුව මඟින් ණය ආධාර ලබා දෙන අතර මේ වන විට චීන රජය විසින් 1 අදියරට ඇමරිකන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා දීමට කටයුතු කර ඇත.
මධ්‍යම අධිවේගි මාර්ගය වඩාත්ම වැදත්ම වන්නේ මහනුවර නගරය මාතර මෙන්ම කොළඹට ආසන්න කිරීමට සමත් වන නිසයි. මාතර සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ, කොළඹ පිටත වටරවුම් මාර්ගය ඔස්සේ කඩවතට පැමිණ මධ්‍යම අධිවේගයෙන් මහනුවරට (ගලගෙදරට) පැය 3ක පමණ කාලයකින් ගමන් කළ හැකි වන ආකාරයට මේ මාර්ගය ඉදිකෙරේ.
පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා මාර්ග කොටස ඉදි කෙරේ. එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 37.09කි. මේ මාර්ග කොටසේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4කි. කඩවත, ගම්පහ, වේයන්ගොඩ හා මීරිගම-දකුණ එම මධ්‍යස්ථාන වන අතර, මේ අදියර සඳහා මුල්ගල් තැබීම 2015 වසරේ අගෝස්තු මස 3 වැනිදා කඩවත - පුවක්වැටිය ප්‍රදේශයේ දී එවකට මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ආරාධනයෙන්, පාර්ලිමේන්තුවේ සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.
1 අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වුවත් අධිවේගය පස් පරීක්ෂාව මෙන්ම ඉඩම් මැන ගැනීම් හිමිකරුවන්ට ලබා දෙන වන්දි මෙන්ම අනෙකුත් අවශ්‍යතා ඉටු කර ගැන්මට හැකි වූ බව එම අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බී.ඩී.එස්. කුමාර මහතා පැවසීය. මේ වන විට එම මාර්ගයේ වැඩ කටයුතුවලින් 8%ක් පමණ වැඩ කටයුතු සිදු කර ඇති බවත් ඉදිරි වැඩ කටයුතු ශීඝ්‍රයෙන් සිදු කරගෙන යනු ලබන බවත් වසර 2020 වන විට 1 අදිරේ වැඩ කටයුතු නිමා කිරීම කළ යුතු බවද ඒ මහතා පවසයි.
මේ සඳහා ආධාර සපයනු ලබන්නේ චීන එක්සීම් බැංකුවෙන් වන අතර ඒ සඳහා ඉදි කිරීම් බාරව සිටින්නේ චීන එම්.සී.සී සමාගමයි.
මධ්‍යම අධිවේගයේ පළමු කොටස වන කඩවත-මීරිගම මාර්ග කොටසේ, කඩවත ආරම්භක සිවුමංසල පිවිසුමේ දී කඩවත අන්තර්-පිවිසුමට අමතරව තවත් අධිවේගී විශේෂ මාර්ග පිවිසුමක් ඉදි කෙරෙනු ඇත. එය දැනට කඩවත පවතින අන්තර්-පිවිසුමට මීටර් 500ක් ඔබ්බෙන් ආරම්භ වන අතර එම පිවිසුම අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන සඳහා පමණක්ම භාවිත කළ යුතු වන්නකි. එම පිවිසුම් මාර්ගයෙන් සිදු කෙරෙන්නේ කඩවත සිට කෙරවලපිටියට ගමන් ගන්නා වාහන සහ මධ්‍යම අධිවේගයේ ගමන් ගන්නා වාහන මාර්ග දෙකට වෙන් වශයෙන් යොමු කිරීමයි.
පළමු අදියරට වඩා වැඩි වේගයකින් මේ වන විට 2 අදියරේ වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතී. මෙහි දෙවන අදියර යටතේ මීරිගම සිට පොතුහැර හරහා කුරුණෑගල දක්වා මාර්ගය ඉදි වනු ඇත. එහි දුර කිලෝමීටර් 39.29 කි. මේ සඳහා රුපියල් බිලියන 137.098ක මුදලක් වැය වේ. මේ මාර්ගයේ විශේෂත්වය වන්නේ දේශීය සමාගමක් විසින් මෙහි සියලු ඉදි කිරීම් සිදු කිරීමයි. එමෙන්ම මේ සඳහා ණය ආධාර ලබා දී ඇත්තේ දේශීය බැංකු විසින් වීමද විශේෂත්වයකි. මීටර් 3.6 බැගින් වන මංතීරු 4කින් සමන්විත මේ මාර්ගයේ පළල මීටර් 23 කි. අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන 5ක් මේ සඳහා ඇතුළත් වේ. මීරිගම උතුර, නාකලගමුව, මල්පිටිය, පොතුහැර සහ කුරුණෑගල එම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන වන අතර, ලබන වසරේ මේ අදියරේ වැඩ කටයුතු අවසන් කිරීමට දේශීය කොන්ත්‍රාත් සමාගම බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ. මරියදාසන් මහතා පවසා සිටියේය. අධිවේගී මාර්ගයට සම්බන්ධ වීමට මහනුවර - කොළඹ මාර්ගයේ සිට (අඹේපුස්ස) කිලෝමීටර් 9.3ක පිවිසුම් මාර්ගයක්ද ඉදි කෙරේ.
මාර්ගයේ 3 අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ගය මහනුවර දක්වා යන වාහන සඳහා පහසුව සලසනු ඇත. දිගින් කිලෝමීටර් 32.5ක් වන මේ මාර්ගයේ රඹුක්කන, ගලගෙදර අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කෙරේ. මේ මාර්ගයේ ඉදි කිරීම් සඳහා රුපියල් බිලියන 159ක් වැය කිරීමට යෝජිත වුවත් අගමැතිවරයාගේ මැදිහත් වීම මත ජපන් සමාගම ඒ සඳහා රුපියල් බිලියන 25ක් අඩු කර ඉදි කිරීමට එකඟ වී තිබීම නම් රටේ වාසනාවකි. ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් ජපානයේ ටයිසෙයි ආයතනය මුලින්ම ඉදිරිපත් කළ මිල ගණන රුපියල් බිලියන159 (159,659,226,919.24) කි. එහෙත් ජපාන රජයේ සහ මහාමාර්ග අමාත්‍යංශයේ මැදිහත් වීම මත ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, එය රුපියල් බිලියන 134 ක් දක්වා (134,905,155,000.00) දක්වා අඩු කර ගැනීමට හැකි ව තිබේ.
පොතුහැරින් ආරම්භ වන තුන්වන අදියර අඩි 300 ක පමණ උසක සිට අඩි 1200 ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයකි. මෙය අධිවේගී මාර්ග ඉදි කිරිමේදී අපට අලුත් අත්දැකීමකි. මෙහි වම් මාර්ගය සඳහා බිංගෙවල් තුනක් ඉදි කළ යුතු වන අතර කොන්ක්‍රිට් කණු මතින් ඉහළින් ඉදිවෙන මාර්ග කොටස්ද මෙහි අන්තර්ගත වේ. මේ මාර්ගයේ ඉහළින් ඉදිවන මාර්ගයන්හි සම්පූර්ණ දිග කිලෝ මීටර 5.05 කි. එසේම ඉහළ උසකින් ඉදිවන දීර්ඝ පාලම් 14 ක් ද මේ මාර්ගයට අයත් වේ.
සිවුවන අදියර යටතේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3ක අධිවේගී මාර්ගයක් ඉදි කෙරෙනු ඇත. ඒ සඳහා ආයෝජනය රුපියල් බිලියන 150කි. රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල ඒ-9 මාර්ගයේ පිවිසුම හා දඹුල්ල - ඒ 6 මාර්ගයේ පිවිසුම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කරේ.
මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර චීනයත්, දෙවන අදියර ලංකාවේ දේශීය සමාගම් සහ තුන් වන අදියර ජපානයත්, හතර වන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියාවත් එක් සහාය වීමට මේ වන විට සැලසුම් කර ඇත. ඒ අනුව මේ අධිවේගී මාර්ගය අන්තර්ජාතික සබඳතා ඇති කරනු ලබන මාර්ගයක් බවට පත්ව ඇත.
වසර 30කින් තනා නිම කරන්නට තිබූ මහවැලිය කඩිනම් ව්‍යාපාරයක් ලෙස ඉදි කෙරුණා සේ මේ අධිවේගී මාර්ගයත් යෝජිත අනෙක් අධිවේගී මාර්ග පද්ධතියද තවත් වසර 10ක් ඇතුළත රටේ මාර්ග පද්ධතියට නව පණක් ලබා දීම උදෙසා ඉදි කිරීමට කටයුතු කර ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දීර්ඝ කිරීම එක් පියවරකි. ඉදිරියේ දී එය ත්‍රිකුණාමලයටත් යාපනය දක්වාත් දීර්ඝ කෙරෙනු ඇත. එසේම වාණිජ නගරයක් මෙන්ම උතුර නැඟෙනහිර හා උතුරු මැද කේන්ද්‍රස්ථානය වන දඹුල්ල නගරය අපට ඉතා වැදගත් වන නිසා කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා දුම්රිය මඟක්ද තැනීමට මේ වන විට සියලු පියවර ගෙන ඇත.
මේ නොනිදන නගරයේ දඹුල්ල ක්‍රීඩාංගණයත් දඹුල්ල වෙළෙඳ පොළත් දඹුල්ල සියලුම පළාත් වලට ගමන කළ හැකි මංසන්ධි නගරයක් වීම නිසාත් දඹුල්ල හා කොළඹ සම්බන්ධ කෙරෙන මේ මධ්‍යම අධිවේගයෙන් පැය එකහමාරකින් දඹුල්ලටද ළගාවීමට හැකියාව ලැබෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරියේ දී යාපනයට දීර්ඝ කිරීමෙන් පසුව පැය 3ක් වැනි කාලයකින් යාපනයට ළගාවීමට හැකියාව ලැබෙනු ඇත.
මේ මාර්ග පද්ධතිය ඉඳි කිරීමේ දී අප දකින ඉතා දුර්වල කරුණු කිහිපයක්ද මෙහිලා පවසා සිටීමට තිබේ. එයින් විශේෂත්වයක් ගන්නේ අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධව නිසි අයුරින් ජනතාව දැනුවත් නොකිරීමයි. හම්බන්තොට අක්කර 15000ක් චීනයට විකිණීමට යන කතාව ජනතාව අතරට ගියේ ජනතාව නිසි අයුරින් දැනුවත් කර නොතිබූ නිසාය. එය මහත් ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට මුහුණ පාන්නට සිදු වූවක් විය. එවන් තත්ත්වයන් වළක්වාලීමට පියවර ගත යුතුවේ. .
පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක ජලාශයක් දඹුල්ලට නුදුරින් මොරගහකන්දේදී ඉදි කෙරිණි. ඒ ගැනද ජනතාව නිසි පරිදි දැනුවත් වූයේ නැත. ඒ දුර්වලතාව මේ මාර්ග පද්ධතිය හා සම්බන්ධවද අපට දැක ගත හැකිය. ඒ තත්ත්වය සහමුලින්ම ඉවත් කරලිය යුතුය.
තවත් දුර්වලතාවක් වන්නේ මීරිගම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන දෙකක් සැලසුම් කර තිබීමය. අන්තර්හුවමාරුවක් නඩත්තු කිරීම මෙන්ම එය ඉදි කිරීමට යන වියදම සුළුපටු නොවේ. ඒ සියල්ලටම වැය වන්නේ ජාතික ධනය බව අප සිත්හි තබාගත යුතුය. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල, කොතලාවලපුර මෙන්ම අතුරුගිරියේද අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන 3ක් ආසන්නයේ ඉදි කිරීම මඟින් මේ බව විද්‍යමාන වේ. අන්තර්-හුවමාරුවක එක් පසෙක පිවිසුම් ගේට්ටු දෙකක් වශයෙන් පිවිසුම් ගේට්ටු 4ක් විවෘතව තිබුණොත් පැය 24ක සේවාව සඳහා අවම වශයෙන් සේවකයන් 12 දෙනකු මුදල් අය කර ගැනීමට පමණක් යෙදවිය යුතු වේ. අනෙකුත් පවිත්‍රතා කටයුතු ඇතුළු කටයුතු සඳහා සිටින සේවකයන් මෙන්ම ජල විදුලි බිල් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් යන මේ සියල්ල සලකා බැලිය යුතුය. මේ සඳහා කළ යුතු එකම ක්‍රියාවලිය වන්නේ මීරිගම අත්‍යවශ්‍යම අන්තර්-හුවමාරුව ඉදි කර, අනෙක් අන්තර්-හුවමාරුවේ සිට පිවිසුම් මාර්ගයක් ඉදි කිරීමයි.
අධිවේගී මාර්ගයකින් අප බලාපොරොත්ත් වන්නේ දුර පිහිටි නගරය ආසන්නයට ගෙන්වා ගැනීමකි. එදා කැලණි පාලම මත සිට කටුනායක හෝ මීගමුවේ සිටින තැනැත්තාට තව පැය එකහමාරක් හෝ දෙකකින් පැමිණෙන බව පැවසූ තැනැත්තන් අද පවසන්නේ තව විනාඩි 15කින් හෝ 20කින් හෝ පැමිණෙන බවයි. සංවර්ධනයේ සැබෑ තත්ත්වය එයයි. ඒ තත්ත්වය වැඩි දියුණු කර ගත හොත් මහනුවරටද පැය එකහමාරකින් ගමන් කළ හැකි වනු ඇත. මහනුවර හා කොළඹ යා වන්නේ එවිටය. මහනුවරට පැය එකහමාරකින් ගමන් කරන්නට හැකි වූ විට අපට තවත් බොහෝ දේ කළ හැකි කළ යුතු වනු ඇත. දැනට ගම්පහ හෝ පාණදුර සිට දිනපතා කොළඹට පැමිණෙන තත්ත්වයට මහනුවර හා කොළඹ සම්බන්ධ වනු ඇත. මධ්‍යම අධිවේගයේ වැදගත්ම සම්බන්ධය ඇති වන්නේ එතැනදීය. කොළඹ ගමනකට දින ගණන් පෙරුම් පුරා බලා සිටි නුවර පාසල් දරුවන්ට මෙන්ම ඇතැම් වයෝවෘද්ධ අයටද කොළඹ තමන්ගේ නිවෙසක දොරකඩටම පැමිණි ස්වභාවයක් උසුලනු ඇත.
සේයාරූ - රංජිත් අසංක සහ
මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයෙනි.