ඉතාලි ගිය 'තවත් එකෙක්’ නොවූ සේපාල අලිතාලියා | සිළුමිණ

ඉතාලි ගිය 'තවත් එකෙක්’ නොවූ සේපාල අලිතාලියා

යානය පැහැරගත් 'සේපාල' එම සිදුවීමෙන් අවු. 36කට පසුව කියන කතාව 

අපේ රටේ ඉතිහාසයේ පිටු අතර ලියවුණු තවත් කතාවක් ඇත්තේය. අවුරුදු 36කට පෙර අලුත්ම අලුත් වීරකමක්ද වූ මේ කතාව අදටත් පරණ නම් නැත්තේය. කතාව සේම වීරයාද පරණ නැත. ඔහු නමින් සේපාල ඒකනායකය. ඔහු අපේ ඉතිහාස පොතේ සේම නීති පොතේද අලුත් පිටු තමන් වෙනුවෙන්ම වෙන් කරගත්තේය.

සේපාල ඒකනායක අද ජීවිතයේ බොහෝ දුර ගෙවා ආවෙකි, බොහෝ අත්දැකීම් ලැබූවෙකි. ඒ අත්දැකීම් සියල්ල පරදවන තරමේ වූ අත්දැකීම නම් ඔහුට අද වාගේම මතකය. "මාව දවසකට දෙකකට මේ රටේ සුපිරි වීරයෙක් කරපු ඒ කතාවට මේ 30 වැනිදට අවුරුදු 36ක්." ඔහු කියන්නේය. "මම කරපු දේ ඊට කලින් වත් ඊට පස්සෙ වත් කවුරුත් කරල නෑ. හරියටම කිව්වොත් ආයෙ කරන එකකුත් නෑ. මොකද: දැන් ඒක මේ රටේ නීතියට අනුව වැරැද්දක්." ඔහු මතක් කරන්නේ ඔහු ගැන කවුරුත් දැනගත් කතාවය. "මාව ඒ විදියට මිනිස්සු දැනගත්තේ නැත්නම් මම තවමත් නිකම්ම නිකම් සේපාල විතරක් වෙන්නත් තිබුණා." ඔහු යන්තමට සිනා සෙමින් කියන්නේය. "ඔය කතාවෙ වටිනාකම වැඩි වන්නේ මගෙ පොඩි කාලෙ අතීතයත් ඕකට එකතු වුණාම. මොකද: මම හිතුවක්කාරයෙක්. මට ඕන දේවල් කරපු කෙනෙක් කිව්වොත් තමයි හරි."

මේ හිතුවක්කරයාගේ ගමන පටන් ගැනෙන්නේ හිතුවකාරයන්ට සේම හිතුවක්කාරකම්වලටද පරසිද්ධ දකුණේ මාතරිනි. මාතර, හක්මන, කරතොට ඔහුගේ ගමය. කියන්නට තරම් අගහිඟයක් නොවුණු ගෙදරක මද්දුමයා වූ සේපාලට අම්මාගේ ආදර සත්කාර සිත් සේ විඳගන්නට නම් අවසර නොලැබෙන්නේය. "මගේ අම්මා නැති වුණේ අපි පොඩි කාලෙ. අපි කිව්වෙ මමයි, අයියයි, නංගියි. පස්සෙ තාත්තා ආයෙත් විවාහයක් කරගන්නවා. කුඩම්මගෙන් තාත්තට දරුවො පස්දෙනෙක්ද කොහෙද ඉන්නවා. තාත්තා පොඩි පොඩි ව්‍යාපාර තමයි ඒ කාලෙ කළේ. ඒ අතරෙ ගොවිතැන් වැඩත් කළා. මම ගෙදරට වැඩිය හුරු, වැඩිපුර ගෙදර හිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි තාත්තා අපිව ඉස්කෝලෙට නම් යැව්වා. ඉස්කෝලෙකට කියලා මම මුලින්ම ගියේ කරතොට විද්‍යාලයට. තුන්වැනි පන්තියට වෙන කල් ඒ ඉස්කෝලෙට ගිහින්, පස්සෙ ගියා හෙට්ටියාවල මහා විද්‍යාලයට. අපේ පුංචි තාත්තා වැඩ කළේ ඒ ඉස්කෝලෙ. ඒ නිසාමද කොහෙද මම වැඩිපුර හිටියෙ පුංචි තාත්තා එක්ක. මම හැඩුණෙ පුංචි තාත්තා ළඟ කිව්වත් වරදක් නෑ. හත්වැනි පන්තියට වෙන කල් ඒ ඉස්කෝලෙට ගිහින් පස්සෙ ගියා තිස්සමහාරාමේ යෝධකණ්ඩිය මහා විද්‍යාලයට. ඕලෙවල් විභාගෙට මම ලිව්වේ ඒ ඉස්කෝලෙන්."

පාසල් දෙක-තුනකින්ම පත-පොත සේපාලගේ ඇසුරට ආවත් පත-පොත සමඟ වූ සේපාලගේ හිතවත්කම් ඒ තරම දුර දිග නොගියේය. ඔහුට යන්නට වුවමනා වී තිබුණේ ඉක්මන් ගමනක් වන්නටද බැරි නැත. ඕලෙවල් විභාගය ලියූ සේපාලව ගමෙන් තරමක් ඈත් කර මාතරට යැවූයේ ඔහුටත් නොදැනී ඔහුගේ සිත තුළ නළියමින් තිබුණු ඒ සිතිවිල්ලම වන්නට පුළුවන. "ඕලෙවල් කරල මම ගමට වෙලා හිටියෙ නෑ. මම ආව මාතරට. මාතරට ඇවිත් පොඩි පොඩි දේවල් ඉගෙනගන්න පන්තිවලට ගියා. ඉංග්‍රීසි ටිකකුත් ඉගෙනගත්තා. ඔහොම අවුරුදු 20 විතර වෙන කල් එක එක දේවල් ඉගෙනගන්න එක තමයි කළේ. හැබැයි එක එක දේවල් ඉගෙන ගත්තා කියලා මට රස්සාවක් නම් හම්බ වුණේ නැහැ. රස්සාවක් කරන්න මට ලොකු උනන්දුවක් තිබුණෙත් නැහැ කියලා දැන් මට හිතෙනවා. මට ඕන වුණේ මොකක් හරි වෙනස් දෙයක් කරන්න. ඔහොම ඉන්න කොට තමයි මට 1972දී ජර්මනියට යන්න හම්බ වෙන්නේ."

සේපාලට ජර්මනියට යන්නට අවසරය ලැබෙන්නේ මිතුරුකමක් නිසාය. ජර්මනියට යන්නට ලැබුණු අවසරයට ඔහුව 'එක පයින්ම' කැමැති කරවන්නට ඇත්තේද 'වෙනස් දෙයක්' කරන්නට ඔහුගේ සිතේ තිබුණු හිතුවක්කරකමමය. "අතුල ජයවික්‍රම කියලා මගෙ හොඳ මිත්‍රයෙක් තමයි මගේ ජර්මන් ගමනට ගොඩක් උදව් කළේ. අද කාලෙ වගේ නෙමෙයි ඒ කාලෙ රට යන්න එච්චර අමාරු නැහැ. වීසා එහෙම ඕන වුණෙත් නැහැ. ජර්මනියට යන්න ටිකට් එක රුපියල් 3000යි. ඒ සල්ලි වියදම කළෙත් මගෙ යාළුවාමයි. ජර්මනියට ගියා කියලත් මට හරියටම කරන්න දෙයක් තිබුණෙ නැහැ. මම රස්සාවල් කීපයක්ම කළා. අවුරුදු තුනක් විතර එක එක දේවල් කරල සල්ලි ටිකක් හොයාගෙන මම ගියා ඉතාලියට."

සේපාලගේ,රටක් දන්නා සේපාල ඒකනායක සිහි කරන්නේ එදා ඔහු ඒ ඉතාලියට ගිය ගමනය. සැබෑවටම ඉතාලිය ඔහුගේ ජීවිතය වෙනස් කළේ ඔහුටවත් සිතාගත නොහැකි තරම් ඉක්මනිනි.

"මාව හැමෝම දැනගන්න හේතු වුණු මගේ පළමු බිරිඳ මට මුණගැහෙන්නේ ඉතාලියෙදි." සේපාල වටා ගෙතී ඇති අප දන්නා කතාවේ තරමින් නම් සිතෙන්නේ මේ ආදර කතාව 'අපූරු ආදරයක්' වන්නට ඇති බවයි. ඔහු කියනා ලෙසට සිතනා තරම් අපූරුවක් ඒ ආදර කතාවේ නැත. "මට අන්නා ඇල්ද්‍රොවන්දි ඒ කියන්නෙ මගෙ ඉතාලි බිරිද මුලින්ම හම්බ වුණේ කොහේදිද කවදද කියලා නම් මට හරියට මතකයක් නැහැ. ගොඩක් විට අපි මුණගැහෙන්න ඇත්තේ යාළුවෙකුගෙ ගෙදරකදි. කොහොම මුණගැහුණත් අපි ටික කාලයක් ළඟින් ආශ්‍රය කළා. ඊට පස්සෙ විවාහ වුණා. ඉතාලියේ සංස්කෘතියෙ හැටියට විවාහයකට වැඩිහිටියො බලපෑම් කරන්නෙ නැති තරම්. ඒ නිසා මම ඉතාලි කෙනෙක් නොවුණු එක ගැටලුවක් වුණේ නැහැ. විවාහ වෙලා ටික කාලයක් යද්දි අපිට 'ෆ්‍රී' පුතා හම්බ වුණා. ෆ්‍රී තමයි මගෙයි අන්නාගෙයි අතර ලොකු බැඳීමක් ඇති කළේ. මොකද: විවාහ වෙලා ටික කාලයක් යද්දි අන්නගෙයි මගේ අතරෙ මුලින් තිබුණු ආකර්ෂණය, ආදරය ටික ටික අඩු වෙමිනුයි තිබුණෙ." සේපාලගේ සිතේ ආදරය ඇති කොට ඇත්තේ අන්නා නොව ෆ්‍රී ය. ඔහු බැඳී සිට ඇත්තේ ෆ්‍රීටය. පුතු කෙරෙහි බැඳුණු සේපාලගේ සිතේ හිතුවක්කාර ගතිය මතු වන්නේ ඉතාලි පුරවැසිකම අත්විඳින්නට ඔහුට වැටුණු තහංචියයි.

"අන්නාව විවාහ කරගත්තට පස්සෙ මට ඉතාලි පුරවැසිකම ලැබුණා. පුරවැසිකම ලැබුණු බව කියන්න මට කාඩ්-එකක් හම්බ වුණා. ඒ කාඩ්-එක අවුරුදු පහක් යන කල් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කළ යුතුව තිබුණා. ඒ නිසා මම ඒ වැඩේ අවුරුදු හතරක්ම නොකඩවා කළා. අන්තිම අවුරුද්දේ ගියාම මට ඉතාලි තානාපති කාර්යාලෙ අය කිව්වා මම පරණ කාඩ්-එක දුන්නෙ නැහැ කියලා. ඒ වුණාට මට හොඳටම මතක තිබුණා මම පරණ කාඩ්-එක භාර දුන්නා කියලා. ඒත් ඒ අය කිව්වෙ 'අපි ළඟ කාඩ්-එක නෑ, ලංකාවට ගිහින් එහෙන් ඒක ගන්න' කියලා. මම කොළඹට ඇවිත් මෙහේ තානාපති කාර්යාලයට ගියා. ඒ අය මට කිව්වා කාඩ්-එක භාර දුන්න තැනින්ම ගන්න කියලා. ආයෙත් මම ඉතාලියට ආවා. ඒත් මට කාඩ්-එක හම්බ වුණේ නැහැ. මාස දෙක-තුනක මම උත්සාහ කළා කාඩ්-එක ගන්න. ඒත් හරිගියේ නැහැ. ඉතාලියෙන් දිගටම කිව්වෙ කොළඹ ගිහින් ගන්න කියලා. බැරිම තැන මම ආපහු ලංකාවට ආවා. ඒ ආවෙ අන්නාවයි, ෆ්‍රීවයිත් අරගෙන." ඔහේ ගෙවීගිය සේපාලගේ ජීවිතය නොසිතූ ගැටලුවකට සිර වී ගියේය. ඔහු ඒ වෙනුවෙන් එතරම් වෙහෙස වූයේ ඉතාලියේ ජීවත් වන්නට ඒ අවසරපත ඔහුට ඒ තරමට වැදගත් වූ නිසාය. ඔහුට ඉතාලියේ රැකියාවක් කිරීමට නම් ඒ අවසරපත තිබිය යුතුම විය. ඔහු කොළඹට පැමිණ එය ලබාගන්නට හැකි සෑම උත්සාහයක්ම දැරුවේ ඒ නිසාය.

"මම දවස් ගානක් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට බඩ ගෑව. ඒත් මගේ වැඩේ කෙරුණෙ නැහැ. එතන හිටපු තරුණ නිලධාරියෙක් මාව දිගටම බයිට්-එකට ගත්තා. ඒක තෙරුණාම මගෙ රතු කට්ට පැන්නා. මිනිහා තදින් කතා කරද්දි මමත් තදින් කතා කළා. මමත් නිකන් කට වහගෙන හියෙ නැහැ. මම වැඩේ අත්හැරියෙත් නැහැ. ඒත් දවසක් මම හිතපුම නැති දෙයක් වුණා. දවසක් මම කොළඹ ගිහින් එද්දි අන්නයි ෆ්‍රීයි දෙන්නම මම එයලාව නතර කරල ගියපු වැලිගම හෝටලෙන් අතුරුදන් වෙලා තිබුණා. මට දැනගන්න හම්බ වුණ විදියට විශේෂයෙන් ඒ දෙන්නටම කාර්-එකක් එවල ඒ දෙන්නව අරගෙන ගිහින් තිබුනා. ඒක දැනගත්ත මොහොතෙම මම කටුනායකට ආව. ඒත් ඒ වෙද්දිත් ඒ දෙන්නා ඉතාලි ගිහින් තිබුණා. මට හිතාගන්න බැරි වුණා ඒක කොහොමද වුණේ කියල. ඒ කාලෙ වෙද්දි මගේ අන්නාගෙයි අතරෙ ලොකු සම්බන්ධකමක් තිබුණෙ නැහැ. ඒ වුණාට ෆ්‍රී අන්නාට ගොඩක් ආදරය කළා. මමත් ෆ්‍රීට ගොඩක් ආදරය කළා. ඒ නිසා අන්නාව නොසලකා ඉන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ...

"මේ වෙච්ච දේ නිසා මම ටිකක් හිතෙන් වැටුණා. මම ආයෙත් ඉතාලි තානාපති කාර්යාලයට ගිහින් මගේ අවසර පත්‍රය ආපහු ඉල්ලුව. ඒත් දුන්නෙ නැහැ. 'උඹට පුළුවන් නම් ගනින්' කියලා අර නිලධාරියා මට කිව්වා. මට ඉවසුම් නැතුව ගියා. 'සති දෙකකින් මම ඒක ගන්නවා. උඹ බලාගෙන හිටපන්' කියලා චැලේන්ජ්-එක භාරගෙන මමත් ආවා."

අහියෝගය භාරගත්තද එය කරන්නේ කෙසේදැයි ඒ මොහොතේ සේපාල දැන සිටියේ නැත. ඔහුට වුවමනා වූයේ පුරවැසි අවසරපත ලබාගන්නටම නොවේ. ඔහු අසීමිතව ආදරය කළ ෆ්‍රී ඔහුගෙන් ඈත් කර රැගෙන යෑමේ කනගාටුව අකාමකාගන්නටය... නැවත ෆ්‍රී දැ ගන්නටය... ෆ්‍රී තුරුලට ගෙන තාත්තාගේ ආදරය දෙන්නටය.

"මම තානාපති කාර්යාලේ ගේට්ටුවෙන් එළියට එනකොට තමයි මගෙ හිතට අදහසක් ආවෙ ප්ලේන්-එකක් හයිජැක් කරන්න. මම ප්ලේන් හයිජැක් කරන චිත්‍රපට බලලා තිබුණා. හැබැයි මම ඒවා බැලුවෙ කවදාහරි එහෙම කරනවා කියන සිතිවිල්ලෙන් නෙමෙයි. ඒ වෙලාවෙ මම හිටපු තත්ත්වෙ හැටියට මගෙ ඔළුවට ආවෙ ඒ අදහස විතරයි." ඒ මොහොතේ ඔහුඒ සිත ඔහුට කියන්නට ඇත්තේ එකම විසඳුම එයම බවයි. සිතිවිල්ල ක්‍රියාවට නඟන්නට ඔහු සූදානම් වූයේය. ඔහුගේ ඉලක්කය වී තිබුණේ ඉන්දියාවේ නව දිල්ලි සිට ජපානය බලා ගිය අලිතාලියා ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයයි.

"එදා දවස හරියටම කිව්වොත් 1982 ජුනි 30. මම දිල්ලි එයාපෝට් එකෙන් ජපානෙට යන අලිතාලියා ප්ලේන්-එකකට නැග්ග. ඒක බැකොක් හරහා තමයි ජපානෙට යන්න තිබුණෙ. මේ වැඩේට මම බණ්ඩාර කියලා යාළුවෙක් එක්කරගෙන ගියා. එයා මේ කිසි දෙයක් දැනගෙන හිටියෙ නැහැ. නිකම්ම යාළුකමට ආවෙ. ඉන්දියාවට ආවට පස්සෙ මට හිතුණ මම තනියම යනවා කියල. ඒ නිසා මම බණ්ඩාරට කිව්වා ආපහු යන්න කියලා. ඒත් එයා ඇවිත් තිබුණෙ නැහැ...

"ප්ලේන්-එකක් හයිජැක් කරනවා කියන-එක ලේසි වැඩක් නෙමෙයි. මේ ප්ලේන්-එක තට්ටු දෙකේ ජම්බෝ ජෙට්-එකක්. මගීන් 300ක් විතර හිටියා. සාමාන්‍යයෙන් ප්ලේන්-එකක් හයිජැක් කරන්නෙ ආයුධ පෙන්නලා, වෙඩි තියලා, පයිලට්ලට හිරිහැර කරලනෙ. මම හිතුව ඒ වගේ දේවල් නොකර අලුත් විදියකට මගෙ වැඩේ කරන්න. මම පයිලට්ට ලියුමක් ලිව්වා. ඒකෙ මට මුහුණ දෙන්න වුණු දේවල්, මගේ ඉල්ලීම් ඔක්කොම ලිව්වා. මම ඒ ලියුම ලියද්දිත් යානය තිබුණෙ අඩි 35000ක් විතර උඩ. මම ලියුම යැව්වේ ගුවන් සේවිකාවක් අතේ. මුලින් ගුවන් සේවිකාව ලියුම ගෙනියන්න අකැමැති වුණා. පස්සෙ මම තදින් කිව්වාම කැමැති වුණා. ලියුම අරගෙන ගිහින් මිනිත්තු 10කට විතර පස්සෙ මම පයිලට්ට කෝල්-එකක් අරගෙන ඇහුවා ලියුම කියෙව්වද කියල. 'තාම කියවනවා' කිව්වම මම ෆෝන්-එක තිබ්බා. ඒ පයිලට්ගෙ නම ජියෝර්ගෝ මෙරෝසා. මිනිහා එක පාරටම යටත් වෙන්න කැමැති වුණේ නැහැ. අපි බොහොම තදින් කෑගහගත්තා. ඒත් පැයකට විතර පස්සෙ මගෙ ළඟ පුපුරන ද්‍රව්‍යත් තියෙනවා කියලා දැනගත්තම මිනිහා කීකරු වුණා."

සේපාලගේ ඉල්ලීමට අනුව යානය බැංකොක්වලට ගොඩ බස්වනු ලැබීය. නියමුවා සමඟ පෙර ඇති කරගෙන තිබුණු එකඟත්වයට අනුව සේපාල අසල සිටි මගීන් සියලුදෙනාද ඉවත් කරවූයේය. හදිසි ගොඩබැස්වීමට හේතුව ලෙස ගුවන් නියමුවා විසින් මගීන් වෙත දැනුම්දෙනු ලැබ තිබුණේ යානයේ කාර්මික දෝෂයක් ඇති බවයි. යානය සිය පාලනයට ගත් සේපාලගේ මුල්ම කටයුත්ත වී ඇත්තේ ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයට ඇමතුමක් දී තමාව අපහසුතාවට පත් කළ නිලධාරියාට කතා කිරීමයි.

"මම කෝල්-එකක් අරන් මිනිහට කිව්වා 'ඔන්න මම කියපු දේ කළා'. කියලා මිනිහා එක පාරම ෆෝන් එක තිබ්බ. පයිලට්ට කියල මම අයෙත් ගත්තා. 'මම නම් මගේ වැඩේ කළා. උඹ ඉතාලියට යන්න ලෑස්ති වෙයන් කියලා මම කිව්ව."

"යානය පැය 30ක් විතර බැංකොක්වල නතර කරලා තිබුණා. ඒ අතරෙ දෙවැනි දවසෙ කමාන්ඩෝස්ලා කට්ටියක් එනව මම දැක්කා. මම දුර තියාම කට්ටියව දැකපු නිසා පයිලට්ට කියලා ඒ කට්ටියව ආපහු හැරෙව්වා. ඒ වෙද්දි පයිලට් මාත් එක්ක හිතවත් වෙලා හිටියෙ. 'ඒ කට්ටිය ආවොත් හැමෝම අනතුරේ' කියලා කිව්වම මිනිහාත් බය වුණා."

සියල්ල සේපාලගේ වාසියටම සිදු වෙද්දී, සේපාලගේ ඉල්ලීම දෙනවා හැර අන් විසඳුමක් ඉතාලි බලධාරීන්ට නොවීය.

"මට අන්නාවයි ෆ්‍රීවයි මම ඉල්ලපු ඩොලර් ලක්ෂ තුනයි හම්බ වුණා. මා සල්ලි ඉල්ලුවෙ සැරින් සැරේ ඉතාලියටයි ලංකාවටයි එන්න යන්න මට වියදම් වුණු නිසා. ඉතාලිය වගෙ රටකින් පොඩි ගානක් ඉල්ලන්න බැරි නිසා මම ටිකක් ලොකු ගානක් ඉල්ලුවා. මගේ ඉල්ලීම් ලැබෙන බව දැනගත්තම මම මගීන්ව යැව්ව. අන්නයි ෆ්‍රීයි එද්දි යානයේ හිටියෙ මමයි, පයිලටුයි විතරයි. අන්නා ඇවිත් වචනයක් වත් කතා කළේ නෑ. අන්තිමේ මට ඕන දේ ලැබුණා."

සියල්ල දිනා සේපාල ලංකාවට එන්නේ අලුත්ම වීරකමක් කළ වීරයකු සේය. ඔහුව පිළිගැනෙන්නේද මහත් හරසරිනි. දවස් දෙක-තුනකට සිලෝන් කොන්ටිනන්ටල් හෝටලයේ ඔහුට නවාතැන්ද ලැබෙන්නේය. සේපාල 'වතුර හැළියට දැමූ කකුළුවාගෙ තැනට' වැටෙන්නේ දවස් දෙක-තුනක් ඇතුළත 'ගුවන්යානයක් පැහැරගැනීමට' අදාළ නීතිය අතීතයට බලපානා ලෙස සම්මට කරගන්නට පාර්ලිමේන්තුව කටයුතු කළ නිසාය. අන්තර්ජාතික සම්මුතිවලට අනුව සම්මත කරගත් අලුත් නීතිය නිසා අලුත් වීරකම නීතිය ඉදිරියේ වරදක් බවට පත් වූයේය. ඒ අනුව කොළඹ සිට මාතර යමින් සිටි සේපාල ඒකනායක ගාල්ල පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේය. මුල් නඩු විභාගයෙන් ජීවිතාන්තය තෙක් සිරදඬුවමකට යටත් වී සිටි ඔහුගේ දඬුවම ඇපෑලෙන් පසු වසර පහ දක්වා අඩු වන්නේය.

"අලුත් නීති හදලා මාව හිරේ දැම්මෙ ආණ්ඩුවේ පැවැත්මට. මාව හිරේ දාපු නිසා ඉතාලියෙන් ලංකාවට පිටි නැවක් ලැබුණා. තව උදවුත් ලැබුණා. මම හිරේ ඉන්න කාලෙම අන්නට දික්කසාදය දුන්නා. හිරෙන් නිදහස් වුණාට පස්සේ 1990දී මට අයෙත් ෆ්‍රීව මුණගැහෙනවා. ඒ වෙද්දි මගෙ ඉතාලි මිත්‍රයෙක් ෆ්‍රීට මගෙ කතාව කියලයි තිබුණෙ. ඒ නිසා අපි අතරෙ ආයෙත් කිට්ටු සම්බන්ධයක් ඇති වුණා."

තමන් වෙනුවෙන්ම සෑදුණු අලුත් නීතියකට දඬුවම් විඳි එකම තැනැත්තා වූ සේපාල සිරදඬුවමින් පසු ඇරඹුවේ අලුත්ම ජීවිතයකි. "මම නිදහස් වෙලා ඇවිත් ගොඩක් රස්සා කළා. නුවරඑළියෙ ටුවරිසම්, සෆාරි ජීප් වගේ දේවල්. ඊට පස්සෙ බීජ අර්තාපල් ගෙන්නුවා. දැන් ජර්මනියෙන්, ඉතාලියෙන් මැෂිනරි කොටස් ගෙන්නනවා. මම පස්සෙ ආයෙත් විවාහ වුණා. මම විවාහ වුණු දැන් මගෙ බිරිඳ යසංගනී මම කාලයක් තිස්සෙ දැනගෙන හිටපු කෙනෙක්. අපිටත් දරුවො දෙන්නෙක් ඉන්නවා. මම තවමත් ෆ්‍රීවත් මුණගැහෙනවා. මගෙ දැන් දරුවොත් ෆ්‍රී එක්ක එකතුයි. මට ඒක සතුටක්." අද ඔහු කියන්නේය.

සේපාල ඒකනායක්ගේ සිතේ ෆ්‍රී වෙනුවෙන් උපන් සෙනෙහස එතෙක් මෙතෙක් ලාංකිකයකු කර නැති හිතුවක්කාරකමක් කරන්නට තරම් ප්‍රබල වූයේය. ලංකාවෙන් ඉතාලියට ගිය තවත් කෙනකු නොව එකම එක සේපාල ඒකනායක බවට ඔහු පත් කරවූයේද ඒ සෙනෙහසම වන්නට ඇත.

නෙලූෂා සිල්වා

Comments