
ගව ඝාතනය අහස පොළොව නුහුලන අපරාධයකි. එහෙත් නොමිනිසුන් වෙසෙන මේ මහ පොළොවේ එවන් අපරාධ සෑම දිනෙකම සෑම තැනකින්ම පාහේ වාර්තා වේ. එසේ වූ නොමිනිසුන් පිරිසක් පසුගිය දිනෙක බුදු වදනකට මුවා වෙමින් කිරි හරකුන් ජීප් රියක පටවා ගෙන මසට ගෙන යමින් සිටියේ මාතර ගාල්ල මුහුදුබඩ ප්‍රධාන මාර්ගයේය. මේ ජීප් රියේ‘බුදු ගුණ අනන්තයි’යන වදන ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කර තිබිණි. එහෙත් දහමට මුවා වී මසට පැටවීමට ගෙන යමින් සිටි මේ හරකුන්ට අභය දානය ලැබුණේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ පොලිස් නිලධාරියකු නිසාය.
මේ ජීප් රියේ ස්වභාවය අනුව පිටත සිට බලන කිසිවකුට එය හොර හරක් ප්‍රවාහනය කරන රථයක් යැයි නොපෙනේ. එහෙත් මේ ජීප් රිය මහමඟ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ උකුසු ඇසට ලක්විය. අහංගම පොලීසියේ රථ වාහන අංශයේ සාජන් චන්ද්‍රදාස සහ සාජන් දිසානායක මේ කියන දිනයේ පෙරවරුවේ අහංගම ගාලු පාරේ රෝහණ විදුහල ඉදිරිපිට පදික මාරුවේ පාසල් දරුවන් හසුරුවමින් සිටියහ. ඔවුන් දෙදෙනාට හොර හරක් පටවා ගත් ජීප් රියේ අසාමාන්‍ය ගමන් විලාසය ගැන මුලින්ම සැක පහළ විය. සියලු මාර්ග නීති උල්ලංඝනය කරමින් ගාල්ල දෙසට ධාවනය වන ජීප් රථය ගැන සාජන් චන්ද්‍රදාස දුරකථන ඇමැතුමක් දුන්නේ ඊට මඳක් ඈතින් ගාල්ල දෙසට වන්නට පිහිටි අහංගම කතළුව පාසල අසල ගාලු පාරේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් ජයවර්ධනටය.
“මල්ලි සුදු ඉරි කහ ඉරි සියල්ලම කපාගෙන කිසිම මාර්ග නීතියක් නොතකමින් පීපී නම්බර් ජීප් රථයක් ඔය පැත්තට එනවා. අපි අත දැම්මත් නතර කළේ නෑ. කොහොමහරි ඒක නතර කරන්න. මොකක්හරි හොරයක් තියෙනවා රථය ඇතුළේ”
ඇමැතුම අවසන් වීමටත් පෙර හෝඩුවාවට අදාළ PP-9958 දරණ ජීප් රථය කොස්තාපල්වරයා පසුකරමින් ඇදී ගියේ පෙර පරිදිම කිසිදු මාර්ග නීතියක් නොතකමින් විදුලි වේගයෙනි. කොස්තාපල් ජයවර්ධන රථය නතර කිරීමට සංඥා කළත් රියැදුරා ඒ නොතකා රථය ඉදිරියට ධාවනය කළේය.
“එතකොට වෙලාව උදේ 7.35ට විතර ඇති. ළමයි හසුරුවලා ඉවර වුණා විතරයි. අසලම තිබුණා ට්‍රැෆික් බයික් එක. හැබැයි මං තනියමයි හිටියේ. මං ඒ ජීප්එක පස්සෙන් පැන්නුවා. සයිකලේ සයිරන් නළාවත් හඬවමින් තමයි මං ගියේ.” කොස්තාපල් (40774) කේ. ඩී. ජයවර්ධන පැවසීය.
එසේ ගාලු පාර ඔස්සේ ගාල්ල දෙසට ඇදුණු ජීප් රථය මීටර් පන්සීයක් පමණ ගිය තැන එක්වරම දකුණට හරවා අතුරු මාර්ගයක් ඔස්සේ ධාවනය වන්නට විය. දකුණට වමට හරවමින් කුඩා අතුරු මාර්ග ඔස්සේ කිලෝමීටර් හත-අටක දුරක් ගිය ජීප් රථය පසුපස ජයවර්ධනද යතුරුපැදියෙන් හඹා ගියේය. ජීප් රථය නැවතත් එක්වරම ගාලු පාරට පිවිස කිලෝමීටරයක පමණ දුරක් ගොස් පෙරසේම දකුණට හරවා අතුරු මාර්ගයකට අවතීර්ණ විය. ඒ අතරේ ජීප් රථය යෝධ බවුසරයක ගැටීමට යෑමෙන් බේරුණේ අනූනමයෙනි. එම අතුරු මාර්ගවල ද හැරෙමින් තවත් කිලෝමීටර් පහ හයක දුරක් ගියත් ඔවුනට කොස්තාපල් ජයවර්ධනගේ යතුරුපැදිය මඟ හරවා යැමටනම් හැකියාවක් නොලැබිණි.
ජයවර්ධන ජීප් රථය පසුපස ගමන් කළේ මීටර් විස්සක තිහක පමණ පරතරයකිනි. කිසිදු මොහොතක ජයවර්ධනට ඉදිරියට යාමට ජීප් රථයෙන් ඉඩක් නොලැබිණි. මෙසේ පොලිස් යතුරුපැදිය මඟ හැරීමට තැත් කරමින් ජීප් රථය ගමන් කරන්නෙ කුමක් නිසාද යන්න ජයවර්ධනට පමණක් නොව එම දර්ශනය දුටු සැමටම ප්‍රශ්නයකි. පස්-හය දෙනකු සිටින රථය පසුපසින් ජයවර්ධන කිසිදු අවිආයුධයක් නොමැතිව යතුරු පැදියෙන් පන්නයි. ඒ අතරේ ජීප් රථය ත්‍රීවිලරයකද වැදෙමින් ලයිට් කණු කීපයකම ගැටෙමින් ධාවනය වන අයුරු ජයවර්ධන දුටුවේය. අවසානයේ ජයවර්ධනගෙන් බේරීමක් නොමැති වග තේරුම් ගත් ජීප් රථයේ සිටි පිරිස වාහනය නතරකොට අසල කැලෑබද පෙදෙසකට පලා ගියහ.
“අන්තිමේ ජීප් එකේ ගමන අවසන් වුණේ ඉඩමකින්. මං එතකොට සයිරන් එකත් ගහගෙන කිලෝමීටර් දහයක් දොළහක් පමණ පන්නා ගිහින් තිබුණා. පිරිස වාහනෙන් පැනලා කැලේට රිංගා හැංගුණා. ඒත් මට එකපාරටම වාහනය ළඟට කිට්ටු වෙන්න සැකයක් ආවා. මොනවා තියේද කියා දන්නෙ නැති නිසා. ”
මඳ වේලාවකට පසු රථය අසලට ගිය කොස්තාපල් ජයවර්ධනගේ නෙත ගැටුණේ දුක්මුසු දසුනකි.
“එතකොට තමයි මං දැක්කෙ... කිරි ගවයින් රංචුවක් ජීප් එකේ පිටුපස හුස්ම ගන්නවත් බැරි විදිහට පටවලා. ලොකු එවුන් සමඟ පැටවුනුත් හිටියා. උන්ගේ කකුලුත් ගැටගහලා. ඒ වගේම සත්තු ඔක්කොම ටික එකට අල්ලලා ගැටගහලා. පුංචි ජිප් එක ඇතුළේ හෙල්ලෙන්නවත් බෑ... මේ කිරි ගවයන් හයදෙනා ජීප් එක ඇතුළට දැම්මේ කොහොමද කියන එකයි මට ඇතිවුණු ප්‍රශ්නය.”
මෝටර් සයිකලයේ සයිරන් හඬ කන වැකුණු ගමේ තරුණ පිරිස ක්ෂණයෙන් එතැනට රොක්විණි. ජයවර්ධනගේ දැනුම් දීමෙන් අහංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරසේකර ප්‍රමුඛ කණ්ඩායමක්ද ජීප් රථය තිබූ තැනට වහා පැමිණියේය. ගමේ තරුණ පිරිස සමඟ එක්ව අවට සෝදිසි කිරීමේදී විනාඩි කීපයක් ඇතුළත නීති විරෝධි ගව ඝාතන ජාවාරමට සම්බන්ධ වූ හයදෙනාගෙන් කෙනෙකු හසුවිණි. අවසානයේ පැය හතර පහක පමණ මෙහෙයුමකින් පසු දහවල් එක පමණ වන විට සැකකරුවන් පස්දෙනකු අල්ලා ගැනීමට හැකි වූයේ සිද්ධිය වූ කතළුව ගම්වාසීන්ගෙන්ද පොලීසියට ලැබුණු ඉමහත් සහාය නිසාය.
අත්අඩංගුවට පත් මොහොමඩ් ෆර්සාන්, රාමයියා සුබ්‍රමනියම්, මොහොමඩ් සෙනාන්, මොහොමඩ් ෆාරික් සහ අමිල අසංක යන සැකකරුවන් සමඟ ගවයන් රැගත් ජීප් රථයද අහංගම පොලීසියට රැගෙන ආවේය. පසුව සැකකරුවෝ පොලීසියේ ඉදිරියේ පාපොච්චාරණය කළහ. හම්බන්තොට ප්‍රදේශයේ පිරිසක් වූ සැකකරුවන් වැල්ලවාය හා මොනරාගල ආදි පෙදෙස්වලින් සොරකම් කරන ලද කිරි ගවයන් කලෙක සිටම මස් කඩවලට පටවන බව හෙළි විය. එදින සොරකම් කළ කිරි එළදෙනුන් රංචුව මුලින්ම විකිණීමට තැත් කර තිබුණේ තංගල්ල ගව ඝාතනාගාරයකටයි. ඒ කිලෝව රුපියල් දෙසීයකටය. එහෙත් ගාල්ල ගව ඝාතනාගාරයකින් කිලෝවකට රුපියල් දෙසිය තිහක් පිරිනමන බව දැනගත් හෙයින් රුපියල් තිහේ ලාභයට ගාල්ලට ගව රංචුව රැගෙන යෑමට කටයුතු කළ බව සැකකරුවන් පොලීසියට පවසා තිබිණි.
පොලිස් කොස්තාපල් ජයවර්ධන නොපසුබට උත්සාහයකින් යුතුව අතේ අවියක් හෝ නොමැතිව මෙසේ නොමිනිසුන් පසුපස හඹා නොගියේ නම් මේ වනවිටත් කිරි හරක් ටික මස් කඩේ කොක්කේය. කොස්තාපල්වරයා ගේ මේ ක්‍රියාව ගැන අහංගම ගමේ සැවොම ඔහුටත් සමස්ත පොලිසියටත් සිය කෘතඥතාව පළ කරති. මෙවන් නිලධාරීන් ගැන රටට හෙළි කිරීම අපගේද යුතුකමකි.
සැකකරුවෝ ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිති. රටපුරා දිනපතා ගවයන් 4500ක් පමණ ඝාතනය වන බව සංඛ්‍යා ලේඛන මගින් හෙළිවන අතර ඒ සඳහා රටපුරා බලපත් ලද ස්ථාන 300ක් පමණ වෙයි. එසේම හොර රහසේ ගවයන් ඝාතනය කරන ස්ථානද බහුල බව වාර්තා වේ. ගව ඝාතනය මෙරටින් තුරන් කිරීම ගැන පසුගිය කාලයේ බලධාරීන් අතර කතාබහක් තිබුණත් එය ලත් තැනම ලොප් විණි.
අමිල මලවිසූරිය