කැලණි සරසවි සිසුවාගේ මරුවා විදුලි රැහැනමද? | සිළුමිණ

කැලණි සරසවි සිසුවාගේ මරුවා විදුලි රැහැනමද?

ජීවිතයට වසන්තය එන්නේය. ජීවිතය ලස්සනද කරවන්නේය. බලාපොරොත්තු ඉටු කරගන්නට ජීවිතයට පාර කියා දෙන්නේද ඒ වසන්තයමය. ගහකොළේ නිල්ල, පාරේ දුහුවිල්ල හොඳට හුරු ගමේකම දන්නා පැතුම්ගේ ජීවිතයට ආ වසන්තයද මේ සියලු කියුම්-කෙරුම්වලින් අඩු නැතිව පිරී තිබුණේය. ගමේකම, ගමේ සුවඳ සේම ගමේ විඳි දුක්ගැහැටද පැතුම්ගේ ජීවිතයට ආ වසන්තය හැඩවැඩ කර දුන්නේය. ජයසිංහ පවුලේ මද්දුමයා වූ පැතුම්ට හපන්කම තිබුණේ නැටුමටය. නිතර මුවට නැඟෙන සිනව පැතුම්ගේ නැටුම් හපන්කම් සේම කාටත් මතක තිබුණේය. පැතුම් කාගේත් ආදරය දිනුවේද මේ සිනාවෙනි.

සිය දස්කම ජීවිතයට ආභරණයක්ම කරගත් පැතුම් මධුෂාන් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයෙන් උසස්පෙළ සමත්ව කැලණිය විශ්වවිද්‍යාලයට එන්නේ දුර ගමන්ක් යන්නට සිතාය. පැතුම් කැලණිය විශ්වවිද්‍යාලයට තේරී ආ දා පැතුම්ගේ අම්මා තාත්තා සේම කැබිතිගොල්ලෑව ඉහළ උස්ගොල්ලෑව ගමේ කොයි කවුරුත් එක ලෙසට සතුටු කඳුළු හෙළුෑහ. 'ගමට ආඩම්බර විය හැකි පුතකු' ඒ කාගේත් බලාපොරොත්තුව වන්නට ඇත.

කැලණියට ආවද පැතුම්ගේ ගමේකම වෙනස් වූයේ නැත. කැලණියේදී ඔහු පැතුම් නොව 'ගොල්ලා' වූයේ ය. මහා වත්පොහොසත්කම් නැතත් මනුස්සකම ඔහු ළඟ නිතරම තිබෙන බව කවුරුත් කීහ. ගොල්ලා කා සමගත් හිතවත්ය. සතියක් පාසා ගමට යන්නටද බැරි නිසා අධ්‍යයන කටයුතු අතරම සමිති සමාගම් වෙනුවෙන්ද කාලය යෙදෙව්වේ කිසිවකට 'බැහැ' නොකියමිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි පැතුම් ගෙවුණු 18 වැනිදා සිය මිතුරන් සමඟ සිටියේ එවන්ම කටයුත්තක යෙදීය. විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට සූදානම් කර තිබුණු සොකරි නාට්‍යයේ බර පැන සොයන්නට ඔවුහු වෙහෙසෙමින් සිටියෝය. තම කණ්ඩායම විසින් සොයා දිය යුතුව තුබුණු මුදල සොයාගැනීමට ඔවුන්ට අදහසක්ද තිබුණේය. 'අපි අඹරැල්ලා අච්චාරු විකුණමු. මේ දවස්වල අඹරැල්ලා තියෙනවා..' මුදල සොයාගනන්ට ආ අදහස එයයි. විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය අසල ඇති අඹරැල්ලා ගසේ ගෙඩි පිරී ඇති බව විශ්වවිද්‍යාලයේ කාටවත් රහසක් වූයේ නැත.

අදහස ක්‍රියාත්මක කරන්න ගසට නඟින්නට සිදු වූයේ පැතුම්ටය. ගසට නැඟගත්තද වුවමනා තරම් අඹරැල්ලා කඩාගන්න තරම් ඉහළට යාගත නොහැකි වූ නිසා කෝටුවක උදව්ව පැතුම්ට වුවමනා විය. ලී කෝටුවක් වෙනුවට ඔවුන්ට හමු වූයේ දිග ඇලුමීනියම් පටියකි. 'වෙලාවෙ හැටියට මේකත් හොඳයි' කියා කාටත් සිතෙන්න ඇත. ඇලුමීනියම් පටිය පසුපස සැඟවී ඇති අනතුර දකින්න තරම් ඒ කිසිවකුටත් දුර නොපෙනෙන්නට ඇත. සැබෑවටම ඇසිල්ලකින් සිදු වූයේ කිසිවකුත් නොසිතූ දෙයක්මය. පැතුම් අත තිබූ ඇලුමීනියම් පටිය එකවරම අඹරැල්ල ගසට ඉහළින් ඇද තිබූ අධි බලැති විදුලි රැහැනේ ගැටුණේය. සිදු වූයේ කුමක්දැයි සිතාගන්නත් බැරි තරම් වේගයෙන් සියල්ල සිදු වූයේය. සිදු වූ සියල්ල පැතුම්ගේ මිතුරන් සිය ෆේස් බුක් ගිණුම්වල සටහන් තබා ඇත.

"විදුලි සැර වැදුණු පැතුම් රෝහල ගෙන යෑමට විශ්වවිද්‍යාලීය ගිලන් රථයට ඇමතා ඇත. එය පැමිණියේ නැත. අවසන ත්‍රිරෝද රථයකින් කිරිබත්ගොඩ රෝහලට ගෙනැවිත් තිබේ. ඒ වන විටද ඔහු අපට සමු දී අවසන්ය. මම රෝහලට යන විට 12ට පමණ වන්නට ඇත. මම සවස 3 පමණ වන තෙක් සිටියෙමි. එහිදී පැතුම් ගැන නොයෙක් කතා අසන්නට ලැබුණේය." එක් මිතුරකු එසේ දිගු සටහනක් තබා තිබිණි. ඔහු ලියා තිබුණු ආකාරයට ඇතැමුන් පැතුම්ගේ මරණය නිකම්ම සිදු වූවක් බව කියා ඇත. ඒ ගැන මිතුරා මෙසේ සටහන් කර තිබිණි.

"කැලණියේ අධ්‍යයන අංශ මුදල් සෙවීම සදහා විවිධ සංගම් අටවා තිබේ. ඒවා බාහිර ක්‍රියාකාරකම් ලෙස පවසයි. එහිදී ශිෂ්‍ය කණ්ඩායමක් රුපියල් 35,000ත් 50,000ත් දක්වා මුදලක් සොයා දිය යුතුය. ඊට කොම්පැනි ගානේ ගොස් ඇඩ් එකතු කිරීම මෙන්ම, බස්වල මුදල් එකතු කිරීම, කෝච්චියේ සින්දු කීමද කරති. පැතුම් හා කණ්ඩායම සිතුවේ ඇඹරැල්ලා කඩා අච්චාරු දමා විකිණීමටය. ඒසඳහා විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය අසල ඇඹරැල්ලා ගෙඩි සහිත ගසක් තිබිණි. ඊට පැතුම් ගොඩ වන්නේ පුරුදු ගස් නගින්නෙකු ලෙස නොව දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා සිටිය නොහැකි අසරණයකු ලෙසය."

මිතුරන් තබා තිබුණු මෙවැනි සංවේදී සටහන් විශ්වවිද්‍යාල ජීවිතයේ තවත් පැතිකඩක් පෙන්වන්නද සමත් වී තිබේ. විශ්වවිද්‍යාල තුළ පවත්වාගෙනයනු ලබන සමිති-සමාගම්වල පැවැත්ම වෙනුවෙන් මුදල් සොයාගැනීමේ බර කරට ගැනීමට සිදු වී ඇත්තේ සිසුසිසුවියන්ටය. විශ්වවිද්‍යාලවලට තේරී එන්නේ මුදල් හදල් යහමින් ඇති දෙමවුපියන්ගේ දරුවන් අතළොස්සකි. මුදල් ඇත් නම් තමන්ගේ දායකත්වය මුදලින් ලබා දී පාඩුවේ සිටින්න්ට හැකිය. අවාසනාවට ඇත්ත එතරම් මිහිරි නැත. තමන්ට ලැබෙනා මහපොළ මුදලින් කීයක් හෝ ඉතිරි කරගෙන ගොස් ගෙදර වියදමටත් දෙන විශ්වවිද්‍යාල සිසු පරපුරකට මුදල් සොයා සමිති-සමාගම් නඩත්තු කිරීම මහ බරක් බව පැතුම්ගේ අකල් සමුගැන්ම හොඳහැටි කියා දෙන්නේය.

ජීවිතයේ අසීරුම කාලයක් දරුවක් උස්-මහත් කරන අම්මලා තාත්තලාටද මෙවැනි අකල් සමුගැනීම් ගෙන එන්නේ අසීමිත වේදනාවකි. පැතුම්ගේ අකල් මරණය කන වැකුණු මොහොතේ පටන් පැතුම්ගේ අම්මා කාන්ති රූපලතා පියවි සිහි නැතිව වැතිරී සිටින්නේ ඒ වේදනාවේ තරම කියන්නට මෙනි. නොසැලකිල්ල පැතුම්ගේ මරණයට හේතු වූවායැයි බැලුබැල්මට පෙනුණත් මේ නොසැලකිල්ල පසුපස සැඟවුණු කතාවක්ද නැත්තේ නැත. විශ්වවිද්‍යාලයක් සැබෑවටම දැනුම ලබාදෙන විශ්වවිද්‍යාලයක් විය යුතුය. සිසුසිසුවියන්ගෙන් හරිහම්බ කරගන්නා තැනක් නොවිය යුතුය. නිවැරදි විය යුතු එවැනි තැන් නිවැරදි වී තිබුණේ නම් පැතුම් අදත් කැලණිය ලලිත කලා අංශයේ ඇසෙන බෙර පදයකට නටනු කාටත් දැකගත හැකිව තිබුණේය.

අවාසනාවන්ත තත්පරයක ජීවිතයේ වසන්තයෙන් සමු ගත් පැතුම්, ඔබට නිවන් සුව!

Comments