ඩෙංගු හැදුණා ම කුඩම්මා බැලුවේ නෑ | සිළුමිණ

ඩෙංගු හැදුණා ම කුඩම්මා බැලුවේ නෑ

මේ සංසාර ගමනේ යෙදෙන මවුපියන් හා දූ දරුවන් අතර ඇත්තේ ණය ගනුදෙනුවකි. මවුපියෝ දරුවන් වදා හදා වඩා පූර්වයෙහි ගත් ණය ගෙවති. දරුවෝ ද උස් මහත්ව මවුපියන්ගෙන් ගත් ණය ගෙවති. පියවරු වෙහෙස මහන්සිව දහදිය හෙළමින් පෝෂණය ‍කොට රැක බලා ගනිති. මවුවරු සිය ලේ කිරි කරමින් ණය ගෙවති. මිනිසුන් අතර පමණක් නොව සතා සීපාවුන් අතර ද මෙය සිදුවේ. මොනම නවීන විද්‍යාවකටවත් ලේ කිරි කරන්නට නොහැකිය. එය සිදු වන්නේ මවගේ ලෙහි උපදින මහා කරුණාවෙනි.

මේ අතර සමහර මවුපියෝ දූ දරුවන් හැර දමා යති. සමහර දූ දරුවෝ මවුපියන්ට නොසලකති. සමහර මවුපියෝ දූ දරුවන් පමණක් නොව මුනුපුරු මිනිපිරියන් ද රැක බලා ගනිති. ළදරු පාසල් රැගෙන යති. ගෙවල් දොරවල් මුර කරති. පොඩ්ඩ වැරදුණොත් දරුවන්ගෙන් දෝෂාරෝපණ අසති. සමහර මවුපියෝ විදේශගතව බැළමෙහෙ කොට දරුවන් පමණක් නොව මුනුපුරන් ද පෝෂණය කරන්නට මුදල් එවති. සමහර දූ දරුවෝ ඒ මුදලින් සැප විඳිති. සමහර මවුපියෝ ආදරණීය දරුවන් අතහැර මිය පරලොව යති. කුඩම්මලා බාප්පලා ඒ දරුවන්ට රිදවති. මේ සංසාරයේ කර්මානුරූප ණය ගනුදෙනුවයි.

හිමාලි පූගොඩ පදිංචි හතළිස් දෙහැවිරිදි ගෘහිණියකි. ජයන්තගේ බිරිය දහ හතර හැවිරිදි දියණිය විශාකා සිටියදී හදිසියේ මිය පරලොව ගියාය. ජයන්තගේ දෙවැනි කසාදය හිමාලිය. දැන් හිමාලිටත් එක් හැවිරිදි දියණියක් සිටී. බිරිය හා දියණියන් දෙදෙනා පෝෂණය කිරීම සඳහා ජයන්ත විදේශ රැකියාවකට ගියේය. ඔහු බිරියටත් විශාකා දුවටත් මාස් පතා වෙන වෙන ම මුදල් එව්වේය.

පහළොස් හැවිරිදි විශාකා ඩෙංගු රෝගය වැලඳී රෝහල් ගතව මිය ගියාය. ජයන්ත පැමිණ ඇගේ අවසන් කටයුතු සිදු කොට ආපසු ගියේය. ඇගේ මරණයෙන් තුන් මාසයකට පසු හිමාලි අසනීප වූවාය. නෑමක් කෑමක් නැතිව ඔහේ බලාගත් අත බලාගෙන කල් ගෙවුවාය. හිටි හැටියේ පිස්සුවෙන් කෑ ගසන්නට වූවාය. ජයන්ත මේ නිසා රැකියාව අතහැර ආපසු ලංකාවට ආවේය.

හිමාලිගේ කායික මානසික ආබාධයන්ට කායික වෛද්‍ය වරුන්නේ හා මනෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා දුන්නත් සුවයක් නොවීය. වත් පිළිවෙත් කළේය. මේ කිසිවකින් සුවයක් නොලැබ සිටියදී හිතවතෙකුගේ උපදෙසක් මත ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ජයන්ත හිමාලි කැඳවා ගෙන ගියේය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී අසනීප තත්වයන් විස්තර කොට ප්‍රතිකාර පැතීය.

පළමු ප්‍රතිකාර ගවේෂණයේදී හිමාලි පැ‍ද්දෙන්ටත් අඬන්නටත් වූවාය. එදින ඉන් එහා දෙයක් නොවූයෙන් ‍ගමේ පන්සලේදී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඔවුහු බෝධි පූජා පවත්වා නැවත පැමිණියහ. එදින ද හිමාලි භූතාත්මයක් ආවිෂ්ට වී අඬන්නට වූවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා අඬන්නේ?” යි ඇසීය.

“මම විශාකා” යි භූතාත්මය උත්තර දුන්නාය.

“කවුද විශාකා කියන්නේ?”

“මේ තාත්තාගෙ ලොකු දුව” යැයි ජයන්ත දෙස අත දිගු කරමින් කීවාය.

“විශාකාට මොකද වුණේ?”

“කරදර ගොඩක් වුණා. වි‍ඳෝලා මැරුණා.”

“මොනවද වෙච්ච කරදර?”

“මගේ අම්මා මැරුණා. මට කවුරුත් නැතුව ගියා. මේ කුඩම්මා අපේ ගෙදරට ආවා. තාත්තා රට ගියා. පාඩම් කරන්න හදනකොට කුඩම්මා වැඩක් පවරනවා. රෙදි හෝදපං. ගෙවල් මිදුල් අතුගාපං. වළං හෝදපං. උයපං. ඔය වගේ වැඩ පවරනවා. ඉතින් මම විභාගෙනුත් ෆේල් වුණා. ඊට පස්සෙ ගෙදර වැඩකාරි වුණා.”

“ඇයි කුඩම්මා වැඩ කළේ නැද්ද?”

“නැහැ. නංගි නෑව්වෙත් කැව්වෙත් මම. කුඩම්මා නිතරම ටී.වී. බලනවා. නිතරම කාටද ටෙලිපෝන් කර කර ඉන්නවා. සමහර දාට උදේ පිටවෙලා ගියා ම ගෙදර එන්නෙ හවසට.”

“වෙන මොනවද වින්ද කරදර?”

“තාත්තා රට ඉඳලා කුඩම්මටයි මටයි වෙන වෙන ම සල්ලි එව්වා. මගේ ඒවත් කුඩම්මා ගත්තා. මම ආච්චිලගෙ (අම්මගෙ අම්මා) ගෙදර යන එකත් නතර කළා. තාත්තාට බොරු කේලාම් කියලා යවලා තාත්තා මට ආච්චිලගෙ ගෙදර යන එකත් තහනම් කළා. නංගි නම් මා එක්ක යාළුයි. මම නංගිට නම් ආදරෙයි.”

“වෙන මොනව ද?”

“හැමදාම මට ගැහුවා. බැන්නා. කන්න දුන්නෙ නෑ. මම උයන කෑමවත් මට කන්න දුන්නේ නෑ. කුඩම්මා තමයි බත් බෙදන්නේ. මට ඩිංගයි බෙදන්නේ. එයාටයි නංගිටයි මස් මාළු බිත්තර හදාගෙන කනවා. මට දෙන්නෙ නෑ. අන්තිමට මට ඩෙංගු හැදුණ. මට බෙහෙත් අරන් දුන්නේ නෑ. අමාරු වුණාම ඉස්පිරිතාලෙ ගිහින් දැම්මා. ඉස්පිරිතාලෙදි අම්මා මතක් වෙලා ඇඬුවා. අම්මා හිටියා නම් මට මෙහෙම වෙන‍්නේ නෑ කියලා. මට අම්මගේ ආදරය කරුණාව මතක් වුණා. අනේ අම්මේ... කියලා ඇඬුවා. මගේ කතාව අහලා නර්ස්ලත් ඇඬුවා. ඊට පස්සෙ මං මැරුණා.”

“මැරුණට පස්සෙ මොකද වුණේ?”

“මැරුණු ගමන් මම ගෙදර ආවා.”

“ඇයි කුඩම්මාට කරදර කරන්නේ?”

“මම දන්නෙ නෑ. කුඩම්මා දැක්ක ගමන් කුඩම්මගෙ ඇඟට ඇදිලා ගියා. මෙම මෙයාට කැමති නැහැ. ඒත් මෙයාගෙ ඇඟ ඇතුළට ඇදිලා ගියා.” යි භූතාත්මය අඬන්නට වූවා ය.

තවත් සතියක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේ ය.

ගෙදර ගිය හැටියේ ම ජයන්ත හිමාලිට පහර දී ගෙදරින් පන්නා ගත්තේය. ඇය ඇගේ මවුපියන් ළඟට ගියාය. මේ වන විට සිවු හැවිරිදි බාල දියණිය තාත්තා ළඟ නතර විය.

සිවු හැවිරිදි දියණිය ද සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණි ජයන්ත අඬ අඬා විස්තර පවසා මිය ගිය දියණිය වෙනුවෙන් කළ යුතු දේ කුමක් දැයි විමසීය.

‍ගවේෂකවරයා ජයන්තට අවවාද කළේය. කලින් බිරිය ඔබටත් දුවටත් ණය ගෙවා නිදහස්ව ගොස් ඇති බවත් ඔබේත් දුවගේත් පූර්ව පාප කර්ම විපාක වශයෙන් ඇය එසේ මරණයට පත්ව ඇති බවත් ඊළඟට හිමාලි නැමැති ණයකාරිය පැමිණ ඇති බවත් කීය. පෙර කර්මයේ විපාක ගෙවීමෙන් අවසන් කළ යුතු බවත්, ඒ විපාකය තවත් අලුත් කර්මයක් බවට පත් කර නොගත යුතු බවත් මේ කුඩා දියණියට අම්මා කෙනෙක් නැති කරන්නට ඔබට අයිතියක් නැති බවත් හිමාලිව සනීප කරන්නට තව සතියකින් ඇය කැඳවාගෙන එන ලෙසත් උපදෙස් දුන්නේය.

ජයන්ත නැවතත් හිමාලි කැඳවා ගෙන ආවේය. ගවේෂකවරයා කැඩෙන්නට ගිය පවුල සමාදාන වන අයුරින් උපදෙස් දුන්නේ ය. භූතාත්මයේ බලපෑමේ අනතුරු දායකත්වය හිමාලිට පැහැදිලි කළේය.

විශාකාට සිදු වී ඇති අසාධාරණයට සාධාරණයක් ඉටුවිය යුතු බව තදින් ම අවධාරණය කළේ ය.

ඊළඟට භූතාත්මය හිමාලිට ආවිෂ්ට කර කතා කළේය.

“ඔබ කුඩම්මා එක්ක තරහෙන් ද ඉන්නේ?”

“ඔව්”

“වෛරයෙන් වෛර කිරීම හොඳ නෑ නේද?”

“ඔව්”

“ඔයාගේ අම්මා නැති වුණේ ඔයාගෙ පෙර පාප කර්මයක විපාක නිසා බව පිළිගන්නවාද?”

“ඔව්!”

“ඔයා මේ නංගිට ආදරේ නේද?”

“ඔව්”

“ඉතින් නංගිට අම්මා කෙනෙක් නැති වුණොත් නංගීටත් දුකක් නේද?”

“ඔව්”

“ඔයාගෙ අම්මා දිව්‍ය ලෝකයක ඇති. ඔයත් එහෙට යන්න සතුටු ද?”

“අනේ ඔව්. ඔව් මම කැමතියි”

“එහෙම නම් මේ අය ලවා ඔයාට පින් දෙනවා. ඒ පින් අරගෙන දිව්‍ය ලෝකයට යන්න. හැබැයි එක පාරට ම බැහැ. බෝධීන් වහන්සේ නමක් ළඟට වෙලා පින් දහම්වලට හිත යොමු කරන්න.”

“හොඳයි”

“ගැහැනු ළමයින්ගේ අනාථ නිවාසයකට දානයක් දී ශිෂ්‍යත්ව කීපයක් දෙන ලෙස ජයන්තට නියම කළේය. විශාකාට තාත්තා රට සිට එවන ලද මුදල් තමන් අරගත් ප්‍රමාණයට කනකර රත්රන් බඩු විකුණා හෝ පරිගණක දෙකක් පිරිනමන ලෙස හිමාලිට ද නියම කළේය. පන්සලට දානයක් පිරිනමා නැවත එන ලෙස පැවසීය.

ඒ කටයුතු නිමා කොට පැමිණි දිනයේ පලතුරු වට්ටියකට භූතාත්මය සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.

Comments