
යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා නව විශේෂ පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරනු ලබන බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පහුගිය දවසක දැනුම් දුන්නා. එම පෙට්‍රල් අඩු මිලකට ලබා දිය හැකි බවත් මේ නිසා යතුරු පැදි හා ත්‍රිරෝද රථවලට සැලකිය යුතු වාසියක් අත්වන බවත් පැවසුණා.
අපි මේ ගැන සොයා බලන්න තීරණය කෙළේ ඒ නිසයි. මේ සම්බන්ධයෙන් සොයා බැලූ අපට දැන් ගන්නට ලැබුණේ මෙරටට ආනයනය කරනු ලබන බොරතෙල් සපුගස්කන්දේ පිරිපහසුවේදී අඩු ඔක්ටේන් අංකයක් යටතේ මෙසේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා ලබා දීමට කටයුතු කරනු ලබන බවයි. ලෝකයේ දැනට භාවිත පෙට්‍රල් ඉන්ධන වර්ගය සාමාන්‍යයෙන් ඔක්ටේන් 92 වන අතර ඔක්ටේන් 95 ඉහළ ප්‍රමිතිගත පෙට්‍රල් විශේෂයක් ලෙසින් සලකනු ලබනවා.
ශ්‍රී ලංකාවේ මේ පෙට්‍රල් වර්ග දෙකම භාවිත කරනු ලබන අතර මේ වාහන වර්ග දෙකම සඳහා 99%ක්ම ඔක්ටේන් 92 භාවිත කරනු ලබනවා.
එයටත් අඩු ඔක්ටේන් අංකයකින් පෙට්‍රල් සැපයීමෙන් වාහන කාර්යක්ෂමතා ඉහළ නංවා ගත හැකිද? පරිසරයට සුරැකුමට දායක විය හැකිද යන්න මෙන්ම වාහන එන්ජින් සම්බන්ධව සිදු වන බල පෑම ගැනද සොයා බැලිය යුතු වනවා.
එම නිසා මේ සම්බන්ධව අප ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශයෙන් සොයා බැලුවා. එහිදී අපට දැන ගැන්මට ලැබුණේ බොරතෙල් මඟින් අඩු ඔක්ටේන් අංකයක් යටතේ මේ පෙට්‍රල් නිෂ්පාදනය කර ලබා දෙන අතර ඉතිරි වන දැනට අපතේ යන තාර ද අමතර නිෂ්පාදයක් ලෙසින් වෙළෙඳ පොළට යොමු කරනු ලබන බවයි. ලෝකයේ දැනට ඔක්ටේන් 87ට වඩා ඉහළ ප්‍රමිතියෙන් යුක්ත පෙට්‍රල් පරිසර සංරක්ෂණ මෙන්ම වාහන සඳහා සුදුසු පෙට්‍රල් ලෙස නිර්දේශ කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දීමට යෝජිත මේ පෙට්‍රල් වර්ගය ආසන්න වශයෙන් ඔක්ටේන් 90 පමණ වන්නට පුළුවන් වන බවයි දැන ගන්නට ඇත්තේ. ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පළමු පර්යේෂණය ඉතාම සාර්ථක වී තිබෙනවා. ත්‍රිරෝද රථ සහ යතුරු පැදිවලට යෙදීමේදී ඒවා නිසි පරිදි ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම මෙන්ම ධාවනයේදී උපරිම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කර තිබෙනවා. එසේම දහනයේදී ඉවතට යන අප ද්‍රව්‍ය කාබන් ඩයෝක්සයිඩ් ප්‍රතිශත ආදිය සම්බන්ධයෙන්ද සිදු කළ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ දැනට එම වාහනවලින් පිටවන අපද්‍රව්‍යවලට වඩා වෙනත් අපද්‍රව්‍යයක් පිට නොවන බවයි. එසේ නම් මේ පෙට්‍රල් වර්ගය කඩිනමින් වෙළෙද පොළට හඳුන්වා නොදෙන්නේ ඇයි? ඒ ප්‍රශ්නයටද අපට පිළිතුරක් ලැබුණ. මෙරටට ත්‍රි රෝද රථ සහ යතුරු පැදි ආනයනය කරනු ලබන සමාගම් සමඟත් ඉදිරියේදී මේ ඉන්ධන වර්ගය යෙදීම සම්බන්වධ සාකච්ඡා කිරීමට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා. අදාළ සමාගම් විසින් එම පෙට්‍රල් සම්බන්ධව සොයා බලා ඒවා තම වාහන සඳහා යෝග්‍ය සහ ගැළපෙන බවට නිර්දේශ කිරීමෙන් පසුව ඉදිරි පර්යේෂණ කටයුතු වැඩි කර මේ පෙට්‍රල් වර්ගය හඳුන්වා දීමටයි අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ. මේ අඩු ඔක්ටේන් පෙට්‍රල් අඩු මිලකට ලබා දීමට හැකි වීමෙන් ලැබෙන වාසිය පාරිභෝගිකයාට ලබා දීමයි අමාත්‍යාංශයේ අරමුණ වී ඇත්තේ. දැනට භාවිත සුපිරි මෝටර් රථ වෙනුවෙන් මේ ඉන්ධන යෝග්‍ය නොවනු ඇත්තේ ඒවා බොහෝ විටම ඔක්ටේන් 95 පෙට්‍රල් ඉන්ධන සඳහාම නිෂ්පාදනය කර නිර්දේශ කර තිබීම නිසයි. යෝජිත නව පෙට්‍රල් ඉන්ධන විශේෂය දෙපහර මෙන්ම සිවුපහර දහන එන්ජින් සඳහා කිසිදු අකාරයක ගැටලුවකින් තොරව භාවිත කළ හැකි බවත් සංස්ථාව පවසනවා. ඉතිරි වන අප ද්‍රව්‍ය හරහා තාර නිෂ්පාදනය කර ගැනීමෙන් අපේ ආර්ථිකයේ දායකත්වයට ලබා දෙන්නේද ලොකු පිටිවහලක් බවත් පෙන්වා දිය යුතු වෙනවා.
මේ වසර ආරම්භයේ මාර්ගයේ ධාවනය වන ත්‍රිරෝද රථ සංඛ්‍යාව 1141209ක් හා යතුරුපැදි සංඛ්‍යාව 4075719ක් බවත් මෝටර් රථ දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. මේ සඳහා එතෙරට ඇදී යන අතිවිශාල ඉන්ධන වියදමෙන් අපට සැලකිය යුතු විදේශ විනිමයක් ඉතිරි කර ගැන්මට හැකිවීම අපේ රටේ ආර්ථිකයට සපයනු ලබන ඉහළ දායකත්වයක් වනවා.
තාරක වික්‍රමසේකර