
මීටියාගොඩ, උඩුමුල්ල, ගඟපාර මෙන්ම හික්කඩුවේ ඇතැම් ප්‍රදේශ දකුණේ බූරුවා ගැසීම් ගැන නම් දරාපු ප්‍රදේශය. දිගින් දිගටම පොලිස් අත්අඩංගුවට පත්වන බූරු පොළ ප්‍රමාණයෙන් ඒ බව පසක්වන්නේය. බූරු ගැසීමේ වැඩිපුර යෙදෙන්නේ පිරිමින් වුවද මේ බූරු පොළ අතරින් බහුතරයක් කාන්තාවන් ද සහභාගි වන බූරු පොළවල් බව පොලිසිය පවසයි. ඒ අවට පොලිස් ස්ථානවලට නිදහසක් නැත්තේ නිතරම මෙවැනි බූරු පොළ වැටලීම්වලට නිරත වීමට සිදු වීම නිසාය. සතියකට අඩුම තරමින් බූරු පොළවල් කිහිපයක් වටලන්නට පොලිස් නිලධාරීන්ට සිදුව ඇත්තේ වටලා සතියක් යෑමටත් මත්තෙන් යළිත් වෙනත් තැනක බූරු ගැසීම සිදුවන නිසාය.
දිගින් දිගටම බූරු ගැසීම කරවන දෝසි නැන්දාගේ බූරු පොළ වැටලීම මේ අතර පසුගියදා රට පුරා පැතිර ගිය අලුත්ම කතාවයි. දෝසි නැන්දාගේ බූරු පොළ වනාහි කාන්තාවන් සඳහාම පමණක් වෙන්වූ සුවිශේෂී බූරුපොළකි. මේ පළාත්වල වෙසෙන බොහොමයක් පිරිමින් ගේ රැකියාව මුහුදු රස්සාවය. ඔවුන් එසේ දුක් මහන්සියෙන් උපයන මුදල් සිය බිරියන් මෙසේ බූරු පොළවලට පූජා කිරීම පිරිමින්ට ඉහිලුම් නොදෙන්නකි. තමන් මුහුදු ගිය අතරවාරයේ බිරියන් එසේ දෝසි නැන්දාගේ බූරුපොළට යෑම එම බූරු පොළට එන කාන්තාවන්ගේ සැමියන්ට තවත් ඉවසා සිටීමට නොහැකි තරම් විය. අවසානයේ මෙතෙක් පොලිසියට හරි හෝඩුවාවක් නොලැබුණු දෝසි නැන්දාගේ බූරු පොළ වැටලීමට පොලිසියට ඔත්තුව ආවේ එසේ ඉවසා සිටීමට නොහැකි වූ සැමියන්ගෙනි.
හික්කඩුව පොලීසිය පසුකර සීනිගම දෙසට යනවිට තොටගමුව පාලම වෙයි. එම පාලම අසලින් දකුණට හැරී කිලෝ මීටරයක් පමණ යනවිට ඇත්තේ උඩුමුල්ල ගඟපාරය. මෙහි බොහොමයක් නිවෙස් මුඩුක්කු මට්ටමේ පවතින අතර ඉන් ඇතැම් නිවෙස් සුනාමි ව්‍යසනයෙන් අනතුරුව විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිකරවන ලද නිවාසය.දෝසි නැන්දාගේ බූරුපොළ ඇත්තේද මේ නිවෙස් අතර මායිම්වය.
දෝසි නැන්දා යනු මේ කාන්තාවගේ නියම නම නොවේ. පෙරදී දෝසි විකිණීමේ යෙදුණ ද ඇය දැන් දෝසි වෙළෙඳාමේ නොයෙදෙන බව පැවසේ. දැන් ඇය ජයටම කරන්නේ බූරු ගැස්සීමය.
නමින් දයාවතිය. අවුරුදු 72 ක වයස්ගත කාන්තාවක වන ඇගේ දූවරුන් දෙදෙනා විවාපත්ව සිටින අතර පුතා විදේශ රටක සේවය කරන්නේය. සැමියා මියගොස් දරුවන් බැහැර සිටින නිසා ඇය කල් ගෙවන්නේ තනිවමය. දෝසි නැන්දා බැලීමට මුනුපුරෙකු හෝ මේ නිවෙසට පැමිණෙන්නේ ඉඳ හිටය. එනිසා ඇයගේ මේ බූරු සෙල්ලමට පවුලේ අයගෙන් කිසිදු බාධාවක් නැත්තේය.
උදේ පාන්දරින් ඇරැඹෙන දෝසි නැන්දාගේ බූරු පිටිය අවසන් වන්නේ සවස් යාමයේය. මේ පළාතේ මුහුදු රස්සාවෙන් ජීවිතය ගැට ගසා ගන්නා පිරිමින් මුහුදු ගමනින් පසු නිවෙස් කරා එන්නේ දවස් ගණනකට පසුවය. මේ නිසා දරුවන් පාසල්වලට යවන මේ පළාතේ ඇතැම් කාන්තාවන් ( සියල්ලන් නොවේ) සියලු රාජකාරි පසෙක ලා දවල් දවස ගත කරන්නේ දෝසි නෝනාගේ මේ බූරු පොළෙහිය. ඔවුහු දැඩි ලෙස බූරු ගැසිමට ඇබ්බැහිවී සිටිති.
වාර්තාවන අන්දමට දෝසි නැන්දාගේ බූරුපිටිය අද එක් තැනකත් හෙට තවත් තැනකත් පැවැත්වෙන්නේය. මෙසේ කරන්නේ ඔත්තු පිට පැමිණෙන පොලිසියේ ඇස් වැසීමටය. ගඟ පාරේ එක් එක් නිවෙස්වල කරන මේ බූරු ගැසීම පිළිබඳ විවිධ ඔත්තු ලැබුණද ඒවා පොලිස් නිලධාරීන්ට හසුකර ගැනීමට වඩාත් අපහසු විය. ඒ බූරුපිටිය පැවැත්වෙන වෙලාවට පොලිස් නිලධාරීන් පැමිණෙත්දැයි ඔත්තු බැලීමට මඟ දෙපස දෝසි නැන්දාගේ ආරක්ෂක රැකවලුන් කිහිප දෙනෙකු තබා තිබීමය. ජයටම මේ බූරු පිටිය පැවැත්වේ නම් පොලිස් නිලධාරීන් පැමිණෙන ඔත්තුව දීමට මඟ දෙපස සිටින එක් අයකුට රුපියල් 1500 ක් හෝ රු 2000 ක් ලැබෙන්නේය. පොඩි බූරු පිටියක් පැවැත්වේ නම් ඒ මුදල රුපියල් 500 ට අඩු වේ. මුදල කෙසේ වෙතත් දෝසි නැන්දාගේ මේ රැකවලුන් සිය රාජකාරිය සියයට සියයක් සාර්ථකව ඉටුකර දුන්නේ මෙතෙක් කෙලක් දෝසි නැන්දාවත් ඇයගේ සහ පිරිවරත් පොලිස් ඇසට හසුකර ගැනීමට නොහැකිවන ආකාරයෙනි.
දෝසි නෝනාගේ නිවෙස කාමර දෙකකින්, සාලයකින් හා කුස්සි කෑල්ලකින් සමන්විතය. ඊට අල්ලපු ගෙයක ඇත්තේ නියාගමයා නමින් හදුන්වන අයගේ නිවෙසය. නියාගමයාගේ නිවෙසට ඔබ්බෙන් ඇත්තේ නියාගමයාගේ අක්කලෑ ගෙදරකි. දෝසි නෝනාගේ නිවෙසට එකතු වන මෙම කාන්තාවන් පුරුදුව ඇත්තේ කැට උඩ දා 6 යි 5යි නමින් හැඳින්වෙන ක්‍රීඩාව කිරීමටය. අද දෝසි නැන්දලාගේ නිවෙසේ සෙල්ලම් කළ මේ කාන්තාවන් පසුදාට එක් වන්නේ අල්ලපු ගෙදරය. ඊට පසුවදාට අනෙක් ගෙදරටය. මේ සියලු මාරු වීම් පොලිස් ඇස් වැසීමටය. ගෙදර රාජකාරි සියල්ල පසෙක ලා මේ බූරු ගැසිල්ලට එක්වන මේ කාන්තාවන් බොහෝමයක් දෝසි නැන්දාට වඩා වයසින් ළාබාලය. සමහරු වයස අවුරුදු 40 ත් 50 ත් අතර ඇත්තෝය. මොවුන් බූරුවා ගැසීමට යොදවන්නේ සිය සැමියන් දින ගණනක් මුහුදු ගොස් දුකසේ උපයන මුදල්ය. දිනන අය තවත් මුදල් සොයන්නට බූරුවා ගසන අතර පැරුදුණු අය පැරදුණු මුදල් සොයන්නට බූරුවා ගසති.
දෝසි නැන්දාගේ බූරු පොළ සමහරුන්ට මහත් වදයක් වී ඇත්තේ බොහෝ කලක සිට බව සැලවේ. එහෙත් මුහුදු යන බොහෝ සැමියෝ තම බිරියන් කරන මේ සෙල්ලම දැන නොසිටියහ.දෝසි නැන්දාගේ බූරු සෙල්ලම ගැන පොලිස් නිලධාරීගේ උකුසු ඇස නිරන්තරයෙන්ම යොමුවී තිබුණේ අතොරක් නැතිව ලැබෙන නිර්නාමික දුරකතන පණිවුඩ නිසාය. ඉන් බොහොමයක් ලැබී ඇත්තේ මේ කාන්තාවන්ගේ පුරුෂයන්ගෙන් වීම විශේෂත්වයකි. අනෙත් ඒවා බූරු පොළ වදයක් වූ අසල්වැසියන්ගෙනි. බූරු පොළ වටලන්නට ගිය බොහෝ අවස්ථාවල දෝසි නැන්දාත් ඇගේ සහායිකාවනුත් පොලිස් දැලෙන් බේරී පලා ගියේ දෝසි නැන්දාගේ ආරක්ෂක රැකවලුන්ට පින් සිදු වන්නටය.
මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න මෙන්ඩිස්, පොලිස් සැරයන් නිලන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රියන්ත, ජයසූරිය, දිනේෂ් ඇතුළු මීටියාගොඩ පොලීසියේ පිරිසක් දෝසි නැන්දාගේ බූරුපොළ වැටලීමේ කාර්යය ආරම්භ කළේ ඉතා රහසිගතවය. දෝසි නැන්දාගේ බූරුපොළ ක්‍රියාත්මක වන විටම මෙම වැටලීම කළ යුතු වූයේ වරදකරුවන් අතේ මාට්ටු කර ගැනීමටය. පොලිසිය මෙවර බූරු පොළ වටලා ඇත්තේ ඉතා සූක්ෂමව වට පාරවලින් ගොසිනි. ඉන් බූරු පොළේ සිටි කාන්තාවන්ට බේරීගත නොහැකි විය. වැටලීම සිදු වෙද්දී දෝසි නැන්දාගේ ගෙදර කාන්තාවෝ පස් දෙනෙක් බූරුවා ගසමින් සිව අත්අඩංගුවට පත් වූහ. ඒ දෝසි නැන්දාගේ බූරු පොළට අත්වූ ඉරණමයි. මීටියාගොඩ පොලිස් නිලධාරීන් සඳහන් කරන්නේ දෝසි නැන්දා ඇල්ලූ පසුද මේ ප්‍රදේශයේ තවත් බූරු පොළවල් කිහිපයක්ම වැටලූ බවයි. ඒවායෙහිද කාන්තාවෝ මෙන්ම පිරිමිද බූරු සෙල්ලමේ යෙදී සිටියහ. එසේ වුවද මේ වැටලීම්වලදී හසුවන අයට දඬුවම් දෙන්නට නීතියේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නැතිබව බොහෝ දෙනාගේ අදහසයි. මේ අය සිය වරද පිළි ගතහොත් ලබා දෙන්නේ රුපියල් 500 ක දඩයකි. මේ නිසා දෝසි නැන්දා වැනි බොහෝ දෙනෙකුට රුපියල් 500 ඇඟට දැනෙන්නේවත් නැති තරම්ය. ඔවුන් වරද පිළිගෙන රුපියල් 500 ගෙවා උසාවියෙන් පිටව යන්නේ නැවතත් බූරු පොළටය.
අපේ දඩුවම් ලබා දීම් මෙන්ම විවිධ වැරදි සඳහා දඩ මුදල්,වත්මනේ මුදලේ වටිනාකමට සාපේක්ෂව කිසිදා වැඩිවූයේ නැත. තවමත් ඇත්තේ යල්පැන ගිය දඩ මුදල්ය. මෙම දඩමුදල් වත්මනට නොගැළපේනම් තමන් කළ වරදේ බරපතළකම තේරෙන්නට මේ අය ප්‍රජා සේවයේ හෝ යෙදවිය යුත්තේය. වරදකරුවන්ට දඩුවම් පමුණුවන නීතියේ මේ අඩුපාඩු සම්පූර්ණ කළ යුතුයැයි පසුගිය කාලයේ බොහෝ කතිකාවත් පැවතියද ඒවා වෙනස් වූයේ නැත. මේ නිසා සමාජයට අහිතකර මෙවැනි දේ සහමුලින්ම තුරන් කිරීම අපහසු වී ඇත්තේය.