රාජසිංහ රජ්ජුරුවන්ට හකුරු හැදූ කිතුල්ගස් මණ්ඩිය යටින් හකුරා වැටුණු ගල දිගේ කෝච්චි පාර කැපුව හැටි | සිළුමිණ

රාජසිංහ රජ්ජුරුවන්ට හකුරු හැදූ කිතුල්ගස් මණ්ඩිය යටින් හකුරා වැටුණු ගල දිගේ කෝච්චි පාර කැපුව හැටි

කෝච්චියේ ගියාට දකින්න බැරි දුම්රිය මඟේ අපූරු ස්ථාන 04

ඉස්සර උදේ දහයමාරට නුවරින් පොල්ගහවෙලට කෝච්චියක් තිබ්බා… ලිංගම්වත්තේ ඵලදාවයි, ගුඩ්විඩ්වත්තේ ඵලදාවයි ඔය කෝච්චියේ වැගන් වලට පටවලා තමයි කොළඹ යවන්නේ… මොටන වත්තේ ප්ලැට්ෆෝම් එකම තමයි වතු දෙකේම අය බඩු යවන්න පාවිච්චි කළේ. ඒකෙන් සෙනඟ නැග්ගේ නෑ… වත්තෙන් බුක් කරපු දවසට විතරයි එතැන කොච්චිය නවත්වන්නේ….”

මෙරට දුම්රිය මාර්ග පද්ධතියේ කෙටි දුරක් තුළ ඉහළ උසකට ළඟා වන දුෂ්කර මාර්ග කොටසක් ලෙස රඹුක්කන - කඩුගන්නාව දුම්රිය මාර්ග කොටස හැඳින්විය හැකිය. ඒ ආශ්‍රිත සුවිශේෂ ස්ථාන සහ ඉංජිනේරුමය නිමැවුම් සොයා කඩුගන්නාවේ සිට පාගමනින් දුම්රිය මාර්ගය දිගේ යන සංචාරයක් ඇසුරෙන් සැකසෙන ලිපි පෙළක පෙර කොටස් පසුගිය සිළුමිණ කලාපවල පළ විය. මේ සතියේ පළවන්නේ එහි සිවුවැන්නයි.

වැටුණු වැස්සට තෙමී ගිය තෙල් තැවරුණූ සිල්පර මත අඩිය තබමින් යන ගමන බෙහෙවින් අවදානම්ය. ගමනේ වේගය හරි අඩකින් අඩු කළ අපි පරිස්සමෙන් අඩිය තබා ගමනේ යෙදුණෙමු. රේල් පාරක සිල්පර මතින් ගමන් කිරීමේදී ලිස්සා වැටෙන්නේ නම් හෝ පැටලී වැටෙන්නේ නම් එය දිගුකාලීන ආබාධිත තත්ත්වයට පත්වන්නට පවා හේතු වන්නට පුළුවන. ඒ නිසා රේල්පාරේ ඇවිද යන්නට නිල අවසරය පමණක් මදිය. අවධානයද අවශ්‍යයය.

මොහොතකට පෙර අංක අට දරන බිංගෙය අසල දී අපට හමුවූ ජේමිස් මාමා දැන් යළිත් අප අසලය.

“තේකක් බොන්න කඩේට ගියේ…. දැන් මේ ගෙදර යන ගමන්….”

“මාමේ ලිංගම් වත්ත කියන්නේ කොහෙද?”

“මේ හරිය තමයි….”

“ඇයි මෙහෙට එහෙම කියන්නේ….”

“මේ වත්තෙ අක්කර එකසිය පනහක් සුද්දගෙන් ගත්තේ යාපනේ නඩුකාරයෙක්. එතුමාගේ නම නාගලිංගම්. අපිට මතක කාලේ මේක අයිති වෙලා තිබ්බේ සෙල්වලිංගම් කියන එයාගේ පුතාට. වත්ත බලාගත්තේ ඒකනායක කියලා සිංහල මැනේජර් කෙනෙක්. මමත් කොලු ගැටයා කාලේ දවසට රුපියල් 1.42 පඩියට ඔය වත්තේ වැඩ කළා... “

බලන, ලිංගම්වත්තේ පදිංචි 76 හැවිරිදි එම්.පී. ජේමිස් මහතාගේ පැහැදිලි කිරිම්වලට අතීත වාර්තා ගැළපීමේදී හෙළි වන කරුණු අනුව නාගලිංගම් මහතා ඉංග්‍රීසින්ගෙන් ඉඩම මිලදී ගැනීමට පෙර මෙම ඉඩම හඳුන්වා ඇත්තේ මොන්ටානා වත්ත ලෙසය. ගැමි ව්‍යවහාරයේ ‘මොටන’ යනුවෙන් එම ප්‍රදේශය හැඳින්වෙන්නේ මේ නිසාය. එය බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අයත්ව තිබී ඇති අතර පසුව එය නාගලිංගම් මහතාට සහ H.L De Mel සමාගමට කොටස් කර විකුණා තිබේ. නාගලිංගම් මහතා මිල දි ගත් කොටස “ලිංගම්වත්ත” ලෙසත්, මෙල් සමාගම මිලදි ගත් කොටස ‘ගුඩ්විඩ්වත්ත” ලෙසත් හඳුන්වා ඇත. 1973 ඉඩම් ප්‍රතිසංස්කරණ යෝජනාවෙන් අදාළ වතු හිමිකරුවන්ට අක්කර පනහ බැඟින් ඉතිරි කර රජයට පවරාගත්තද, අක්කර පනහක බිමක සිදු කරන වාණිජ වගාවකින් අපේක්ෂිත ඵලදායිතාව ලබාගත නොහැකි නිසා අදාළ හිමිකරුවන් දෙදෙනාම එම පැවැරුම් ප්‍රතික්ෂේප කර වන්දි ලබා ඉවත්ව ගොස් ඇත. ලිංගම්වත්තේ එම අක්කර පනහක කොටස දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහෝගනී වගාබිමක් ලෙස පවත්වාගෙන යයි.

“ඉස්සර උදේ දහයමාරට නුවරින් පොල්ගහවෙලට කෝච්චියක් තිබ්බා… ලිංගම්වත්තේ ඵලදාවයි, ගුඩ්විඩ්වත්තේ ඵලදාවයි ඔය කෝච්චියේ වැගන් වලට පටවලා තමයි කොළඹ යවන්නේ… මොටන වත්තේ ප්ලැට්ෆෝම් එකම තමයි වතු දෙකේම අය බඩු යවන්න පාවිච්චි කළේ. ඒකෙන් සෙනඟ නැග්ගේ නෑ… වත්තෙන් බුක් කරපු දවසට විතරයි එතැන කොච්චිය නවත්වන්නේ….”

මෙම මාර්ග කොටසේ ප්‍රධානම දුම්රිය නැවතුමක් වූ බලනට සැතැපුම් භාගයක පමණ දුරක් තිබියදී දුම්රිය නැවතුම්පොළක් ඉදිව තිබුණේ යැයි යන්න විශ්වාස කළ නොහැකි කතාවකි. එහෙත් ඇසින් දුටු සාක්ෂි තිබියදී තවදුරටත් එය අවිශ්වාස කළ නොහැකිය. ඒ නිසාම අපි යළිත් ලාංකික දුම්රිය සේවයේ ඉතිහාසය කැටි කොටගත් David Hyatt ගේ Railways of Sri Lanka පොතට යොමු වුණෙමු. එහි 171 වන පිටුවේ කොළඹ සිට කිලෝමිටර් 98.14ක දුරින් බලනටත්, ඉහළ කෝට්ටේටත් අතර පිහිටි Lingey නැතහොත් GoodView යනුවෙන් හැඳින්වූ නැවතුමක් ගැන සටහනක් තිබේ. ඒ අනුව ජේමිස් මාමාගේ කතාව සත්‍යයකි.

ඒ මොහොතේ එතැනින් “යතුරුකරු” රාජකාරියේ යන්නට ආ බලන පදිංචි ප්‍රේමලාල් මහතාද ලිංගම් වතු වේදිකාව ගැන තොරතුර තහවුරු කළේය. දැනට වතු වේදිකාව පිහිටා තැන හඳුනාගත්තද, වතු වේදිකාවේ සලකුණක් ලෙස ඉතිරිව ඇත්තේ සිරස්ව සිටවූ රේල් පීලි කබැල්ලක් පමණි. අතහැර දමා හතළිස් වසරකට අධික කාලයක් ගතව ඇති බැවින් වතු වේදිකාව දිරා යෑම පිළිගත හැකි කාරණයකි. කෙසේ වුවද ඒ දිරායෑම විසින් නොකියා කියන්නේ බිඳ වැටුණු සශ්‍රීක කෘෂි ආර්ථිකයක සැඟවුුණු කතාවය.

“ඉස්සර මෙතැන ඉස්ටෝරුවක් තිබුණා… දැන් තියෙන්නේ ගල්වැටිය විතරයි. උඩහත් ඉස්ටෝරුවක් තියෙනවා…එතැන ඉඳල දාලා තිබුණූ ගල් පඩි පෙළ දිගේ තමයි ප්ලැට්ෆෝම් එකට බඩු අරන් අාවේ... බඩු පටවන දවසට උදේම විසි තිස්දෙනෙක් කරෙන් බඩු අරන් ඇවිත් මෙතැන ගොඩගහනවා…. දොළහට විතර එන කොච්චියට පැයක් විතර බඩු පටවනවා…. සමාගම් දෙකේ ඒවා වෙන වෙනම ලියල තමයි කෝච්චියට බාර ගත්තේ….බඩු පැටෙව්ව දවසට මහන්සියි.. එදාට පඩියත් අරන් කලින්ම ගෙදර යනවා…. ”

ජේමිස් මාමාගේ මතක පොත සුන්දරය. අපි ගරාවැටුණු ගල් පඩිපෙළ දිගේ කන්ද නැඟ “ලිංගම්වත්තේ ස්ටෝරුව” බලන්නට ගියෙමු. ටකරන් සෙවිලි කළ දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි ගරාවැටිම් හඳුනාගත හැකිය. දැනට එය මොටන ජනපදයේ ප්‍රජාශාලාව ලෙස භාවිත වේ. මොටන ධර්මවිජයාරාමයේ දහම් පාසල පැවැත්වෙන්නේද එම ගොඩනැගිල්ලේය.

පැයකට පමණ පසු අපි ලිංගම් වත්ත වතු වේදිකාව පසු කර රේල් පාර දිගේ පල්ලම් බැස්සෙමු. පොසොන් මහේ දුවන වැස්ස යළිදු උත්සාහ කරන්නේ අප තෙමා දමන්නටය. යළිදු රේල් පාර අද්දර කඩා අඩි පාරකට පිවිසි අප නි‍ෙවසක ඉස්තෝප්පුවකට ගොඩ වුණෙමු. එම නි‍ෙවසේ සිටි මැදිවියේ කාන්තාව අප දෙස බැලුවේ පහන් හැඟුමකින් නොවේ. ඒ නිසාම ජේමිස් මමාට අපව හඳුන්වා දී, අැගේ සැක දුරු කරන්නට සිදුවිය.

“කෝච්චියෙ යන එන මගීන්ගෙන් අපිට කරදරයක් නෑ… ඒත් ස්ටේෂමේ ඉඳල මේ අතරමඟ අපි යන එන වෙලාවක හමුවුණොත් සමහර විට විහිළුවට වගේ මොනාහරි කියනවා… තරුණ ගෑනු ළමයින්ට තමයි හරි කරදරේ… ලොකුම කරදරේ තමයි කෝච්චි පාරට කුණු දාන එක. ටොයිලට් පේපර්, සර්වියට්, බීම පැකට්, කිරි පැකට්, යෝගට් කෝප්ප තමයි වැඩි පුරම දාන්නේ… සමහර වේලාවට යට ඇදුම් එහෙමත් තියෙනවා… නිතරම වැස්ස නිසා මේ කුණු අහුලල ගිනි තියන්නත් බෑ… මදුරුවොත් බෝ වෙනවා….” නි‍ෙවසේ සිටි මැදිවියේ ගෘහණිය දුම්රිය සම්බන්ධ ඇගේ අත්දැකීම වදන් බවට පත් කළේ එලෙසය.

විනාඩි කිහිපයකින් නැවැතුණු වැස්සට පසු යළිත් මන්දගාමී ගමනකින් ඉදිරියට යන්නට අපට සිදුවිය.

“මේ හරියෙදි කෑගල්ල - මහනුවර දිස්ත්‍රික්ක දෙක වෙන් වෙන්නේ කෝචිචි පාරෙන්…. පාරෙන් දකුණ නුවරට. වම කෑගල්ලට.”

තවත් කිලෝමීටර් බාගයක් පමණ ඉදිරියට ගිය විට අපට පෙනෙන්නේ දුම්රිය මඟ සුවිශාල ප්‍රපාතයකින් අවසන්වන බවට සලකුණකි. එහෙත් ආසන්නයට යන විට පැහැදිලි වූයේ එය දෘෂ්ටි මායාවක් බවයි.

‘ඔතැනට ගමේ අය කියන්නේ හකුරා වැටිච්ච ගල කියලා… සුද්දා නම් කියල තියෙන්නේ Good View Point කියල. ඔතැන පාර හදල තියෙන්නේ පිහිටි ගලක ඉංග්‍රීසි L අකුරෙ හැඩයට පුටුවක් වගේ ගලේ තීරුවක් ඉවත් කරලා…. එතැන ඉඳලා පහළ බැලුවහම දුනුගම, මාලියැද්ද සහ මිපිටිවල වගේ ගම් තමයි පේන්නේ... ඒ ගම් අයිති කෑගල්ල දිස්ත්‍රික්කෙට. ඈතින් හොඳට බැලුවොත් මොරගහ ඇළ ගලාගෙන යනවත් පේනවා…’ එසේ පැවසු ජේමිස් මාමා අපෙන් සමුගත්තේ කන්ද පාමුල පිහිටි නි‍ෙවසට පල්ලම් බසිමිනි.

අතීතයේ දුම්රිය මඟ ඉදි කරන සමයේදී මෙම ස්ථානයෙන් මාර්ගය ඉදිකිරීම අතිශය අවදානම් සහගත කාර්යයක් විය. මෙම මාර්ග කොටස ඉදි කිරීමේදී, අධීක්ෂණය සඳහා කඹවල එල්ලී ගමන් කිරීමට ඉංජිනේරුවන්ට සිදුවී තිබේ. බෑවුමේ සෘජු බව නිසාත්, ගල් පොළොවේ ශක්තිමත් ගස් නොවැවෙන නිසාත් මෙහි සිට පහළ බැලීම වඩාත් අවද­ානම් සහගත ක්‍රියාවකි. එවැනි අවස්ථාවක දුම්රියක් පැමිණියහොත් ආරක්ෂීතව සිටින්නටද ස්ථානයක් නැත.

කට්ටය හරහා හමන සුළඟේ තද බව නිසාම අපද එම ස්ථානයේ ඡායාරූප ගැනීම් සිදු කළේ අසීරුවෙනි. මාර්ග ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට කඹයක එල්ලී ගිය බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවෙකු මෙම ස්ථානයේදී කඹය කඩා වැටි මියගිය පුවතක් තිලක් සේනාසිංහ මහතා සිය ලිපියක දක්වා තිබේ. මෙවැනි උද්වේගකර අත්දැකීම් ලැබූ බ්‍රිතාන්‍යයෝ මේ පර්වත කැපුම පිහිටි ස්ථානය ලොමුඩැහැගන්වන පර්වතය යන අරුතින් Sensation Rock යනුවෙන් නම් කර තිබේ. කොළමින් කිලෝමීටර් 98ක් දුරින් දුම්රිය මාර්ගයේ පිහිටි මෙම ස්ථානයට දුම්රිය සේවකයින් අද වන විට කියන්නේ පාලම රවුම කියාය.

අප විසින් රැගෙන ගිය කුඩා මිනුම් පටියක ආධාරයෙන් අපි මෙම දුම්රිය මාර්ග කැපුමෙහි උපරිම පළල මැන ගත්තෙමු. ඒ අනුව කැපුමෙහි උපරිම පළලැති ස්ථානය අඩි 27කි. අඩුම පළලැති ස්ථානය අඩි 18කි. මෙම කොටසේදී මාර්ගය ගල් පර්වතය දෙසට ආනතව සකසා ඇත්තේ ආරක්ෂාකාරි පියවරක් ලෙසය. එසේම හදිසි පිලි පැනීමකදී දුම්රිය ප්‍රපාතයට පෙරළීමෙන් වැළැක්වීම පිණිස අතිරේක රේල් පීලි දෙකක්ද යොදා තිබේ.

මෙම පර්වත කොටසෙන් රේල් පාර ඉදි කරන්නට ප්‍රථම එහි මුදුනත කොටසේ කිතුල් ගස් ආදිය සරුවට වැවී තිබී ඇත. 1635-1687 මහනුවර රජ කළ දෙවැනි රාජසිංහ රජතුමා, රාජධානියට පැවැති කිසියම් දේශපාලනික තර්ජනයක් නිසා බලන කොටුව ආශ්‍රිත ප්‍රදේශයක සැඟවී වාසය කර ඇත. (රොබට් නොක්ස් සිරගතව සිට ඇත්තේ එම රජ සමයේදීය) එම ස්ථානය අද බලන කොටුව ආසන්නයේ පිහිටි රාජසිංහ ගල්ලෙන් විහාර බිම යැයි විශ්වාසයක් පවතී. එසමයෙහි රජුගේ භාවිතය සඳහා හකුරු නිෂ්පාදනය රාජකාරියෙන් පැවරුණු අයෙකු මෙම ගල මුදුනේ වූ කිතුල් ගසෙක මල් කැපිමට පැමිණී අවස්ථාවෙක ලිස්සා ප්‍රපාතයට වැටි මියගොස් තිබේ.

ඒ නිසා සුද්දා Sensation Rock යැයි නම් තබන්නට පෙර සිටම සිංහලයා මෙම පව්වට හකුරා වැටිච්ච ගල යැයි නමක් තබා තිබී ඇත. තැනින් තැන ඇසුණු මෙම ඉතිහාස කථාවේ පූර්ණ පැහැදිලි කිරිම් සහිත විස්තරය අපට පැවසූයේ බලන, මොරගොල්ල වසමේ ග්‍රාම නිලධාරී චින්තක සාරංග ධර්මප්‍රිය මහතාය.

ඉතිහාසය පිළිබඳ උනන්දු ස්වාධීන ගවේෂකයෙකු වන ඔහු සතුව ඇති අතීත මතක සමඟ කුදිර පාලමේ සිට දෙකිඳ බැම්ම සොයා ගිය හැටි ලබන සිළුමිණේ….

මේ මාර්ග කොටස ගැන ඔබ දන්නා විස්තර වේ නම් [email protected] ඊලිපිනයට දන්වන්න.

ස්තූතිය - අවසර ගැනීම් සම්බන්ධීකරණය කළ ජෙෂ්ඨ දුම්රිය රියැදුරු සමන් ගුණවර්ධන මහතාට, දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී (සම්බන්ධිකරණ ලේකම්) විරාජ් නානායක්කාර මහතාට, තොරතුරු තහවුරු කර ගැනිමට සහාය වූ කොටුව ස්ථීර මාර්ග පරීක්ෂක ඇන්ටන් වික්‍රමසිංහ මහතාට, නාවලපිටිය ප්‍රවාහන අධිකාරී කාර්යාලයට සහ ගමන ගවේෂණ කණ්ඩායමට

ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ
ඡායාරූප - චතුර හේමාල්-රුමේෂ් ජයවර්ධන

Comments