
සල් උයනේ මල් පවා දුකින් මැලවී ගොසිනි. රහතුන් උපේක්ෂාවෙනි. පරිවාර සංඝයා වහන්සේලා පසෙක හඬා වැලපෙති. දෙව්බඹුන් අහසේ නිසොල්මන්ය. රාජ රාජමහාමාත්‍යාදීනුත්, උපාසක උපාසිකාවෝත් කඳුළු වගුරති. සැතපෙන ඉරියව්වෙන් බුදුන් නිසොල්මන්ය. වියපත් ඒ මුහුණෙහි ගිලන් ස්වභාවයක් තිබේ.
මේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනයි. ඒත් ඒ සල් උයන පිහිටා තිබෙන්නේ දඹදිව කුසිනාරාවේ නොවේ. ඓතිහාසික කෝට්ටේ පුරවර සීමාවේ පිහිටි ජපන් මිත්‍රත්ව පාරේ ශ්‍රී සුනේත්‍රාරාම විහාර භූමියේ ය. මේ බුද්ධ පරිනිර්වාණ මංචකය අපූර්ව ලෙස නෙත් ඉදිරිපිට ගොඩනැගූ නිමැවුම්කාරිය ජයන්ති කුමාරි මදනායකයි. ඇගේ ඒ නිර්මාණය පමණටම, කාන්තාවක විහාර කර්මාන්තයේ නියැළීමද සුවිශේෂී නිමිත්තක් වන හෙයින් අපි ඇය සමඟ කතාබහකට එළැඹීමු.
“මම විහාර කර්මාන්තයට යොමු වුණේ හරියටම මීට අවුරුදු විස්සකට විතර උඩදී මගේ මේ අත්දෙකෙන් සිය ගණනක් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා තිබුණත්, මේ කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරාමයේ සැතපෙන පිළිමය වගේ එකක් මීට පෙර කවදාවත් මම නිර්මාණය කරලා නැහැ. ලෝකයේ කිසිම තැනක මම ඒ වගේ නිර්මාණයක් දැකලවත් නැහැ.”
“මේ සැතපෙන පිළිමයේ විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේගේ පෙනුම මෙහි වියපත් ස්වභාවයක් ගැනීම. අපි කවුරුත් දන්නවානේ පන්සාළිස් වසරක බුදු කිස නිමවා ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ වයස අවුරුදු අසූ හතරේදී බව. ඉතින් මම මේ නිර්මාණය කළ සැතපෙන පිළිමයේ පෙන්නුම් කරන්නේ ඒ, කයෙන් වියපත් වූ බුදුරජාණන් වහන්සේයි...” ඇය අපට පැහැදිලි කළාය. මේ නම් පෙර නුදුටු විරූ නිර්මාණයක් ම ය. එහි බුදුන්ගේ මුහුණ වියපත් ය. ශ්‍රී පාද සහ දෙ අත්වල පවා නහර ඉස්මතුවුණු පෙනුමකි. පිළිගන්නට අකැමැති වුණත් ජීවිතයේ යථාව එය බව මොහොතකින් අවබෝධ වේ. මේ නිර්මාණයේ සංකල්පය හිතට වැටුණු හැටි ගැන ජයන්ති පැවසුවේ මෙබන්දකි.
“මට මේ නිර්මාණය කරන්නට ආරාධනා කළේ කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරාමයේ ඇලිකේවල සීලානන්ද නායක හාමුදුරුවෝ යි. මේ පන්සලේ පරණ බුදු මැදුරක් තිබුණා. ඒකේ තිබුණේ හිඳි පිළිමයක් විතරයි. ඒක බොහෝදුරට පළුදු වෙලා, විනාශවෙලා තිබුණේ. මුලින්ම මම ඒ බුදු පිළිමය පිළිසකර කරලා තීන්ත ආලේප කළා. ඊළඟට තමයි මේ විශේෂ සැතපෙන පිළිමය නිර්මාණය කළේ.”
“සැතපෙන පිළිමයේ මූලික ආකෘතිය මම හදමින් ඉන්නකොට දවසක්දා නායක හාමුදුරුවෝ මේ බුදු කුටියට වැඩියා. උන්වහන්සේ මට කීවා සැතපෙන පිළිමයේ බුදුරජාණන් වහන්සේගේ පෙනුම තරමක් වියපත් ස්වභාවයක තියෙන්නට ඕනෑ කියලා. නමුත් මට හිතාගන්න බැරි වුණා. මොකද මීට කලින් කවදාවත් එවැනි දෙයක් මම දැකලාවත් තිබුණේ නැහැ.”
“ඒ වෙලාවේ නායක හාමුදුරුවෝ මට ඛුද්ධක නිකායේ, සුත්ත නිපාතයේ ජරා සූත්‍රය දේශනා කළා. සිංහල තේරුමත් පැහැදිලි කළා. ඒකෙන් විස්තර කෙරුණේ ජීවිතය ඒකාන්තයෙන් ස්වල්ප බවත්, කළලාදී අවස්ථාවේ පටන් අවුරුදු සියයෙන් මෙපිට ඕනෑම විටෙක ජරාවට පත් වී මිය යන බවත්. ඒ වගේම අවුරුදු සියය ඉක්මවා සිටියත් නොබෝ දිනකින්ම ජරාවට පත්ව මිය යන නිසා මමත්වය අත් හැරිය යුතු බවත් ඒ සූත්‍රයේ කියවුණා. මම පිළිමගෙයි බිම ඉඳගෙනම වැඳගෙන නායක හාමුදුරුවන්ගේ දේශනාව අහගෙන හිටියා. ඒ සූත්‍රය හිතේ තියාගෙනයි මම මේ සැතපෙන පිළිමය නිර්මාණය කළේ...” විස්මිත නිර්මාණකාරිය අපට පැහැදිලි කළාය. ඇය පවසනා හැටියට මේ පිළිමය නෙළන්නට ගත වී ඇති කාලය හරියටම මාස දෙකකි. පිළිමයේ වැඩ ඉක්මනින්ම නිමා කෙරුණත් ඒ කාලය අතරතුරදී තමන් මුහුණදුන් අභියෝග ගොන්න සුළුපටු නොවෙනා බව ජයන්ති සිහිපත් කරයි.
“කාන්තාවක් බුදු පිළිම නෙළීම කළ විට පවු සිද්ධවෙන්නේ නැද්ද කියලා ගොඩක් අය ප්‍රශ්න කළා. මට තියෙන ප්‍රශ්නය ඇයි එහෙම පවු පිරෙන්නේ කියන එකයි. මගේ හිත පිරිසුදුයි. චේතනාවත් යහපත්. මම හැම අතින්ම සුදුසු කෙනෙක්. නායක හාමුදුරුවන් වහන්සේත් පවසන්නේ මේක පිනක් මිසක් පවක් නොවේ කියලයි...”
“තව සමහරු මගෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේගේ පෙනුම මේ විදියට වියපත් කිරීම පවක් නොවෙයිද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ ලස්සනම කෙනාය කියන විශ්වාසය අපි හැමෝගෙම හිතේ තියෙනවා. ඒක ඇත්ත වුණත්, වෙනස්වීම කියන ලෝක ධර්මතාව හැමෝටම අදාළයි. මිනිස් කය නිර්මාණය වෙලා තියෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ධාතුමූල හතරෙනුයි. හැම මොහොතක් පාසාම වෙනස්වීම ඒවායේ ස්වරූපය බව වදාළේ බුදුරජාණන් වහන්සේම නේද? නිර්වාණ සුවය ඇති කරගත් උතුමනුත් දිරාපත් කය මෙලොව හැරපියා දමා, සිතෙන් නිවී යන අය. මේ පිළිබිඹු කරලා තියෙන්නේ ඒ යථාව බව මම හැමෝට ම තේරුම් කරලා දුන්නා. මුලින් මා එක්ක තර්ක කරන්න ආපු අය මේ කතාව අහලා ඇඬුවා. නමුත් ඒක තමයි ලෝක ස්වභාවය ඒ ගැන අඬලා පලක් නැහැ...”
ජයන්ති පවසන්නේ ධර්මය පිළිබඳ ව බොහෝ දැනුම් තේරුම් ඇති අයකු පරිද්දෙනි. ඇගේ හිත දහමට ළැදි ය. ඒ නිසාම ලද අවබෝධයක් ඇතිව ඇය කටයුතු කරනා බව ඇය මුණගැහෙන ඕනෑම කෙනෙකුට වැටහේ.
“මම ධර්මය ඉගෙන ගන්නවා. භාවනානුයෝගී අයකුගෙන් කමටහන් ගෙන භාවනා කරනවා. හිත එකඟකර ගන්න පුළුවන්වීම නිර්මාණකරණයටත් ලොකු ආලෝකයක්. සමහරවිට ජීවිතේ අවසාන කාලයේ මම ශාසනයට ඇතුළු වෙන්නත් බැරි නැහැ. නමුත් අනාගතය ගැන දැන්ම ස්ථීරව කියන්න බැහැනේ...”
කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට අමතරව එහි බිතු සිතුවම් සියල්ලත් ජයන්තිගේම කලා හැකියාවෙන් ජීවය ලද ඒවා ය. එහි වම්පස මුළු බිත්තිය පුරාම මියුරල් කලා මාධ්‍යයෙන් ඇය සිදුහත් උපත, දුෂ්කර ක්‍රියා සමය සහ ප්‍රථම ධර්මදේශනාව නිර්මාණය කර තිබේ. අනෙක් පස දන්ත ධාතුව ශ්‍රී ලංකාවට වැඩම වූ දන්ත හේමමාලා දෙපළගේ දැවැන්ත සිතුවමකි. තමාගේ කුසලතාවෙන් ඔපවැටුණු එකම ආරාමය මෙය නොවෙනා බව ජයන්තී පවසන්නේ නිරහංකාර සිනහවකින් මුව සරසාගෙන ය.
“ගෙවුණු අවුරුදු විස්සට මම පන්සල් පහළොවක විතර බුදු පිළිම, චෛත්‍ය, වාහල්කඩ ආදී නිර්මාණ බොහොමයක් කරලා තියෙනවා. සුනේත්‍රාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට නේත්‍රා තැබීමේ පින්කම අවසන් නිසා මම රඹකැපුවැව විද්‍යාලයේ දැවැන්ත බුදු මැදුරක වැඩ පටන් ගන්නවා. ඒ වගේම මේ වැඩවලට සමගාමීවම පොලොන්නරුවේ සුංගාවිල පන්සලක අඩි තිස් පහක් උස චෛත්‍යයක් මම මේ දවස්වල ඉදිකරනවා.
ගැහැනු කෙනෙක් නිසා මම ඒ වගේ ගත වෙහෙසා වැඩ කරන්නේ කොහොමද කියලා හුඟක් අය පුදුම වෙනවා. ඒත් හිත තියෙනවා නම් ගැහැනුකම ගැන හිතලා දුර්වල වෙන්න ඕනෑ නැහැ. ගමේ අයගේ සහයෝගය ඇතුව ගල්, ගඩොල් ඉහළට අරගෙන මම මගේ මේ අත් දෙකෙනුයි චෛත්‍යය බඳින්නේ....”
කාන්තාවක හැටියට ජයන්ති යනු දුර්වලව පසුපසට යන බොහෝ කතුන්ට ආදර්ශයකි. ජයන්තිගේ සවිමත් සිතට සහෝගය දෙන තවත් අපූරු තැනැත්තියක් සිටී. ඇය ගැන සඳහනක් නැති වුණොත් එය අඩුවකි.
“මේ විහාර කර්මාන්තයේදී මට අත් උදවු දෙන්නෙත් කාන්තාවක්මයි. ඇයගේ නම ගයනි සංජීවනී. බාර ගන්න හැම වැඩකටම ඇවිත් මහන්සිය නොබලා වැඩ කරන ගයනි තමයි මගේ හොඳම ගෝලයා. ඒ වගේම දක්ෂකම හා කලා හැකියාව අතිනුත් ගයනි හොඳ තැනක ඉන්නා බව මං කියන්නේ ආඩම්බරෙන් ...” ජයන්ති සිය ගෝලයාගේ හපන්කම් ගැන කියන්නේ නොමසුරු සිතෙහි. සති ,මාස ගණන් දුර බැහැර නැවතී නිර්මාණ කටයුතු කරද්දී සිය සැමියා ග්‍රේෂන් සමන් කුමාර සහ පුතුන් දෙදෙනා දක්වන සහයෝගය ඉතා වටිනා බව ඇය පවසයි. ජයන්තිගේ ස්ථිර පදිංචි නිවහන පිහිටා තිබෙන්නේ දකුණු පළාතේ රන්න ප්‍රදේශයේය. පුතුන් දෙදෙනාත් කලාවට සමතුන් වන නමුත්, විහාරාරාමවල කලා වැඩ නිසා නිතර ඔවුන් අසල රැඳෙමින් ඒ සමත්කම්වලට දිරි දෙන්නට බැරිවීම ගැන සියුම් කනගාටුවක් ඇගේ හිතේ තිබේ.
නිර්මාණ ලෝකයේදී බොහෝ දෙනා දකින්නේ පිළිම මිස ඒ පිළිම ඉදිකළ කලාකරුවන් නොවේ. ඔවුහු සිය හැකියාවෙන් ගල්, වැලි, සිමෙන්තිවලට ජීවය දී නිහඬ සතුටක් භුක්ති විඳිති. අප සමුගන්නා මොහොතේදී ජයන්තිගේ මුහුණේ දිස්වුණේ ද එවැනිම හඬක් නැති සතුටකි.
ඡායරූප - තුෂාර ප්‍රනාන්දු