
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දින කීපයකට ඉහත කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී දියත් කරන ලද ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ මංගල පියවර නිසැකයෙන්ම මෙරටේ දරුපරපුරේ සුපෝෂණය, සුරක්ෂාව, සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, කුසලතා වර්ධනය මෙන්ම ඔවුන් ගොදුරු කරගන්නා සකලවිධ දුෂ්ට බලවේග දුරලීම ආදි සාධනීය අරමුණුවලින් සමන්විත ඓතිහාසික කාර්යභාරයක් ලෙස හැඳින්විය හැකිය. දෙවසරක කාලයක් තුළ මෙරටේ සියලු දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් මේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. මෙබඳු ජාතික වැඩසටහනක් ආරම්භ වීම යනු අපේ ජාතියේ මල් සම්පත බඳු දරුවන්ගේ අනාගතය පිළිබඳ අතිශය සාධනීය අපේකෂාවක් බව සඳහන් කළ යුතුය. එහෙත් දේශපාලන කසළ බුදිමින්ද, බල දේශපාලනයට උචිත කටගැස්ම සම්පාදනය කරමින්ද නන්නත්තාර වූ සමාජ දේශපාලනයකට මෙබඳු ජාතික වැඩසටහනක් පිළිබඳ එතරම් අවධානයක් යොමු නොවීමද පුදුමයක් නොවේ.
‘දරුවන්ට හොඳම දේ දෙමු’ යන්න මානව හිතවාදී නායකයකු වූ ලෙනින්ගේ කියමනකි. තම දරුවන් සමඟ අප්‍රමාණ දුක්පීඩා විඳිමින් ජීවත් වූ කාල් මාක්ස්ගේ අවධාරණය වී ඇත්තේද දරුපරපුර සුරැකීම රාජ්‍ය පාලකයන්ගේ පරම වගකීමක් බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ අපගේ දරුවන් පිළිබඳ යථාර්ථය කුමක්ද? දේශපාලන වේදිකාවල නම් නොයෙක් පාරම්බෑම් ඇසිණි; තවමත් ඇසෙයි. එහෙත් දරුවන් මුහුණ දී සිටින ගොරතර ඉරණම කෙබඳුදැයි දිනපතා පුවත්පත්වල මෙන්ම වෙනත් විද්යුත් මාධ්‍යවලද පළ වන බොහෝ පුවත් අපට පෙන්වා දී තිබේ. වැඩිහිටියන් වන අප පොදුවේ දරුවන් ගැන දක්වන අවධානය කුමක්ද? දරුවන්ගේ ළමාවිය විවිධ අයුරින් උදුරාගත් වැඩිහිටියෝ අප අතර කොපමණ සිටිත්ද? දරුවන් වහල් මෙහෙයට යොදාගත් අය මෙන්ම දරුවන් අපයෝජනයට ලක් කරන නීච වසලයෝත් මේ සමාජයේ නොවෙත්ද? මෛත්‍රී ජනාධිපතිවරයා උතුරේ කිලිනොච්චියෙන් මේ ජාතික වැඩසටහන ආරම්භ කරන්නේද අර්ථයක් ඇතිවය. උතුර යනු දසක තුනක් ඉක්මවූ යුද්ධයේ රුදුරු විපාකවලින්ම පිරී-ගිය අත්දැකීම් බහුල ප්‍රදේශයකි. ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වය උතුරේ දරුවන් ළමා සොල්දාදුවන් බවට පත් කළ වග අපි දනිමු. මෙරටේ අනෙක් පළාත්වල දරුවන් බොහෝ දෙනකුගේ සුන්දර ළමාවිය අහිමි කිරීමටද ඒ දුෂ්ට ත්‍රස්තවාදය විවිධ අයුරින් බලපෑ බවද සඳහන් කළ යුතුය.
කෙසේ හෝ ඒ අඳුරු අතීතය මෙරටේ දරුපරපුරෙන් වැඩි පිරිසක් සරණාගතයන්ගේ තත්ත්වයට ඇදදමා නැතැයි කාට කිව හැකිද? සරණක් නැති පිහිටක් නැති දරුවෝ වැඩිහිටියන්ගේ බල අරගලවලට කොපමණ මැදි වී සිටිත්ද? පන්ති සමාජය විසින්ද දරුවා සතු සුන්දර ජීවිතය අහිමි කරනු ලැබ තිබේ. මේ අතර කප්පම් ඉල්ලා දරුවන් මරාදැමු අශිෂ්ට අත්දැකීම්ද අපට තිබිණි. මවුතුරුලෙන් දරුවන් පැහැරගන්නා අධමයෝ එකල වූහ; මෙකලද හිඟ නොවෙති. තම ළාබාල දියණියන් සල්ලාලයන්ට විකුණන අම්මලා ගැනද ඉඳ-හිට ඇසෙයි. මත් ජාවාරම්කාරයෝ දරුවන් නොයෙක් අමන ජාවාරම්වලට යොදවති. පාසල් දරුවන් පවා මතට පෙලඹවීමේ සූක්ෂ්ම වෙළෙඳාම් ගැනද ඇසෙයි. දරුවන් අඳුරට තල්ලු කරන උවදුරු කොපමණ තිබේද? සංචාරක සල්ලාලයන්ට ළමයන් සපයන ළමා ගණිකා වෙළෙඳපොළක් ගැනද කලකට පෙර වාර්තා විය. එහෙත් ඒ එකකටවත් සංවේදි නොවු සමාජ දේශපාලන අඳුරක් අප වටා තිබිණි.
මෛත්‍රී ජනාධිපතිවරයා මේ ගොරතර විනාශයෙන් දරුවන් මුදාගැනීමේ ජාතික අවශ්‍යතාව ඉතා නිවැරදිව තේරුම් ගෙන, ඒ සඳහා කිලිනොච්චියට යන්නේද මේ පසුබිමෙහිය. මේ ජනාධිපතිවරයා වචනය:
“දරුවන් අද බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. එය අපේ රටේ පමණක් නොව, ලෝකයේ සියලු රටවල සිදු වනවා. ඒත් ආර්ථික වශයෙන් පහළ, සංවර්ධනය අඩු රටවල මේ ප්‍රශ්න වැඩියි. එසේම යුද්ධය පවතින හා යුද්ධය පැවති රටවල මේ ප්‍රශ්නය වැඩියි. දකුණු ආසියාතික රටවල දරුවන්ට ප්‍රශ්න බොහෝ වැඩියි. දරුවන් මුලින්ම ප්‍රශ්නවලට මුල් වන ස්ථාන නිවෙසයි.. තමන්ගේ ගෙදරයි...’’
මෛත්‍රී ජනාධිපතිවරයාගේ ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහන ඉදිරිපත් වී ඇත්තේ නිවෙස, පාෙළ, සමාජය යන සියලු ස්ථානවල දරුවන් මුහුණ දී තිබෙන හා දැනුදු මුහුණ දෙමින් සිටින ප්‍රශ්න හා ගැටලු පිරිසිඳ දැකීමෙන් පසුව ඒවා වළක්වාගත හැකි සාධනීය යෝජනාද සමඟය. එසේම දරුවන් සමඟ නිබඳව සිටින හා ගැටෙන, වැඩිහිටියන්, දරුවන් හා වෙනත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි. පන්තිකාමරය තුළ සිටින ඉගෙනීමට උනන්දුවක් නැති, දරුවන් කොන් කිරීමේ ආදීනව පිළිබඳවද ජනාධිපතිවරයා ළමා මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් විමසා බලා ඇත. අපේ දරුවන්ගේ සෞඛ්‍ය, මානසික වර්ධනය හා පෞරුෂත්වය නඟාසිටුවීමේ වැදගත්කම වැනි කරුණු පිළිබඳව මේ ජාතික වැඩසටහනේදී ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත.
මෛත්‍රී ජනාධිපතිවරයා නිරන්තරයෙන් අවධානය යොමු කරන මත්පැන්වලින් තොර සමාජයක් උදෙසා ළමා පරපුර සුරකින මේ ජාතික වැඩපිළිවෙළ හොඳ ආරම්භයකි. ඇතැම් ග්‍රාමීය පෙදෙස්වල මත්වතුර භාවිත කරන පියාගෙන් දරුවන්ට සිදු වන විනාශකාරි බලපෑම් ගැනද මේ වැඩසටහන අවධානය යොමු කරයි. පරිසරය යනු ජාතික වැඩපිළිවෙළක අනිවාර්ය අවධානය යොමු විය යුතු භූමිකාවක් බව මෛත්‍රී ජනාධිපතිවරයා වටහාගෙන සිටියි. පතිරූප දේශයක් අද අපට අවශ්‍ය වී තිබේ. දරුවා වැඩෙන්නේ හොඳ යහපත් ගුණගරුක සමාජයක නම් ඔහුට යහපත් දරුවෙකු ලෙස වැඩීම අසීරු නැත. ඒ සමාජයෙන් ලැබෙන උපදේශය, ආදර්ශය ළමා මනසට සොඳුරු අහරකි. එහෙත් ළමයාගේ දෑස, දෙකන පිරී යන්නේ නරකම අසුබම ආරංචිවලින් නම් එයින් දරුවා අඳුරට, විපතට ඇදගෙන යනු වැළැක්විය හැකිද? එකල ළමයින් සඳහා පාසල්වල භාවිත වු ‘සිරිත්මල්දම’ ළමා සිතට දුන් සිතිවිලි කොතරම් සුන්දරද? යහපත්ද?
නරක සිතකින්නම්
හොඳක් නොකළැකිකිසියම්
හොඳක් නොකළේනම්
උපන් ගතියෙන් නැත පලක්නම්
එදා අපේ දරුවන්ට අතිරේක කියවීම් පොත් ලෙස නියම වී තිබුණු ‘සිරිත්මල්දම’ වැනි කෘතිවලින්ද සිදු වූයේ විශාල යහපතකි. එහෙත් අද ‘නවීන දරුවා’ගේ මනස ඇට්ටකුණා වී තිබෙන බව රහසක් නොවේ.
මෛත්‍රී ජනාධිපතිවරයා මේ සකලවිධ විනාශකාරි බලවේග ඉඳුරා දැක, එයින් උපන් හදකම්පනයෙන් ජාතියේ දරුපරපුර බේරාගැනීමට සාධනීය සැලැස්මක් ඉදිරිපත් කළ බව ඉතා පැහැදිලිය. දරුවන් ලෙස සාමාන්‍ය පිළිගැනීමට ලක්ව සිටින අවුරුදු 17ට වඩා අඩු පිරිස් ගැන රාජ්‍ය නායකයකු මේ සා උනන්දුවක්, අවධානයක් යොමු කිරීම මොන අතින් බැලුවත් ඓතිහාසික සිද්ධියකි. පුද්ගලයකුගේ සංස්කෘතිය, හැදියාව පෙනෙන්නේ ස්ත්‍රීන් හා දරුවන් මෙන්ම පීඩිතයන් ගැන සිතන ආකාරයෙනැයි රුසියානු විප්ලවය මෙහෙයවූ ලෙනින් හා ට්‍රොස්කි කියා සිටියහ. මේ පොදු චින්තනය මෛත්‍රී ජනාධිපතිවරයාගේ හද තුළ නින්නාද නොවී නම් ඔවුන් අතින් මෙබඳු සත් ක්‍රියාදාමයකට මුල පිරෙනු ඇතැයි සිතිය නොහැකිය.
සමාජ මතුමහලේ සිටින අය මෙන්ම එම මතුමහලට ගොඩ වීම සඳහා නොයෙක් මෙහෙයුම් කරන ඇතැම් වැඩිහිටියෝද තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, සුපිරි පාසලක්, සශ්‍රීක අනාගතයක් සාදා දීම උදෙසා තනිතනිව මාර්ග සොයති. දේශපාලනඥයෝද බොහෝ විට තම දරුවන් හා ජනතාවගේ දරුවන් පිළිබඳ හෙලන දෘෂ්ටියද එක හා සමාන නොවෙති. කොහොමටත් අනාගත දරු පරපුර නීරෝගි සම්පන්න, බුද්ධිමත් පිරිසක් වීම ඒ ජරපත් දේශපාලනය නඩත්තු කිරීමටද බාධාවකැයි සමහරු කල්පනා කරති. පොදු ජනතාවගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම යනු තමන්ගේ පැවැත්මට අභියෝගයක් විය හැකියයිද මේ වරප්‍රසාද හිමි පන්තියට හැඟීගොස් තිබේද යන්නත් අපි නොදනිමු. අපට පෙනෙන එකම දෙය නම් දරුවන්ට හෙටක් නිර්මාණය කිරීම යනු දේශපාලන න්‍යාය පත්‍රවලින් බැහැරව තිබෙන බවයි. දේශපාලනය යනු බලය පිළිබඳව සටනක් වී තිබෙන සමාජයක ඡන්ද බලයක් වත් නැති ළමයින් ගැන හිතන අය නොසිටීමද ස්වාභාවිකය. සරණාගතයන්ට බෙදෙන පත් පර්සලයේ, කෙසෙල් ගෙඩියේ පවා මනාප අංක, දේශපාලන හංවඩු ගසන වසල සමාජයක දරුවන් ගැන උනන්දු නොවීම සාමාන්‍ය දෙයකි.
‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ සමාරම්භක උලෙළට එක් වූ මේ ලියුම්කරුට එදින එම උත්සව ශාලාවට පැමිණි උතුරේ දෙමවුපියන් කීප දෙනකු සමඟ අදහස් හුවමාරු කරගැනීමටද අවකාශ ලැබිණි. එහිදී අප දෙසවන වැටුණු ලොමුදැහැගැන්වෙන පුවත් කීපයක්ද විය. පාසල් දරුවන් අතර ගංජා උරන දරුවෝ සිටිතියි මවක කීවේ කඳුළු පිරි දෑසිනි. දැරියන්ගේ ජීවිත ශීඝ්‍රයෙන් දුසිරිත්වලට යොමු වන බව අපට දැන්වූයේ තවත් පියෙකි. දෙමවුපියන් අහිමි වූ දරුවන් ගැනද එහිදි අපට වාර්තා විය. කිලිනොච්චි ප්‍රදේශයේ මේ වන විට එබඳු දරුවන් තුන්සියයක් පමණ හඳුනාගෙන ඇති බවද අනාවරණය විය. දරුවන්ට ලැබෙන සාහිත්‍ය, සංගීත, කලා ඥානය ඉතා අඩු බව තව අයෙක් කීහ.
උතුරේ දරුවන් බොහෝ දෙනකු පසුගිය කුරිරු යුද්ධයේ වින්දිතයන් බවට පත්ව සිටියෝය. සමහරු තවමත් ඒ භීතියෙන් පසු වන්නෝය. ඔවුන්ගේ හදවත් පුරන් වී ගොසින්ය. රළුය. දැඩිය. කුරිරුය. ළමා හැඟුම් වියළි විනාශ වී ගොසින්ය. වෙඩිහඬ, බෝම්බය, තුවක්කුව ඔවුන්ගේ ජීවිත ඉරණම සමඟ බැදී තිබිණි. අද ඒවා වෙනස් වුවද ඔවුන්ට පතිරූප දේශයක, මානව හැගීම් සහිත සමාජයක් නිර්මාණය වී නැත. කායික මානසික වධහිංසාවලින් ගහන ළමාවියක අමිහිර හා අතෘප්තිය සමඟ යොවුන් වියට එළඹෙන උතුරේ දරුවන් පිළිබඳ කිසිවකු බරපතළ ලෙස කල්පනා නොකළත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ මේ වැඩසටහන උතුරෙන් ආරම්භ වීම අතිශය වැදගත් කාර්යක් වන්නේ ඒ පසුබිමෙහිය. කාන්තාව හා දරුවා යනු මිහි මත සිටින සංවේදීම අය බව පුරාණ ඉන්දීය ඍෂිවරුද කීහ. දරුවන් පිළිබඳ ළතෙක් ගුණ නැත්තා තිරිසන් සතකු බඳු යැයි ඔවුහූ පැවසූහ.
මෛත්‍රී ජනාධිපතිවරයා දරුවන් සුරැකීමේ ජාතික වැඩසටහන උතුරෙන් ආරම්භ කරන්නේ එහි රජ වී තිබුණු ආයුධ, බෝම්බ, කාලතුවක්කු, මෝටාර්, යුද සංස්කෘතියේ අඳුර බිඳීමටත්, ඒ ජනහදට සහජීවනයේ ශාන්තිය ලබාදීමටත් බව ඉතා පැහැදිලිය. යුදපීඩනයේ විපාක, ශෝකසන්තාප උතුරේ ජනහදවත් තුළින් ඉවත් කිරීම මෙබඳු ජාතික වැඩසටහනකින් ලැබෙන අනගි ඵලයකි. උතුරේ සමාජය මත පතිතව තිබුණු දුර්දශාව හමාර වුවද, ඒ දරුදැරියන්ගේ ලෝකයට අලුත් බලාපොරොත්තුවක් ලබා දීමට උතුරේ හෝ දකුණේ දේශපාලනය උනන්දු නොවීය. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයා ඒ සඳහා හෘදයංගම මැදිහත්වීමක් කරයි. අප ජීවත් වන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යනාදි යහපත් ගුණධර්ම ක්‍රමයෙන් ඈත් වන සමාජයකය; මුදල රජයන, මුදලට ආත්ම ගෞරවය පාවා දෙන සමාජයකය. සමාජයේ හැම දොරටුවක්ම විවර වී ඇත්තේ සුසිරිතට වඩා දුසිරිතට බව සත්‍යයකි. පුද්ගල ජීවිතයක වටිනාකම හෑල්ලු වී තිබේ. කාන්තාවන්ට, දරුවන්ට තබා ආගමික නායකයන්ටද අද තැකීමක් නැත. දේවාලය අත්පත් කරගැනීමට හාමුදුරුවන්ට වෙඩි පහර එල්ල කරන බෞද්ධ සමාජයක් ගැන කවර කතාද?
මානව හිමිකම් ගැන ඝෝෂා කරන බොහෝ දෙනෙක් වුවද ළමා හිමිකම් ළමයින්ට සිදු වන අසාධාරණකම් ගැන එතරම් උනන්දුවක් නැත. දරුවන්ට වුවමනා රැකවරණය, ආදරය, ආරක්ෂාව අහිමි වී යෑම ජාතික වශයෙන් අප මුහුණපා සිටින ඛේදජනක තත්වයකි. මාතෘත්වය, පිතෘත්වය ගිලිහීගිය කීර්ති ප්‍රශංසා හඹා යන සමාජයක් අප අබියස නිමවී තිබේ. දරු සෙනෙහස නොහඳුනන මව් පියෝය. පියවරුන් අතින් දරුවෝ මියයති. මවුවරු දරුවන් අතරමං කර යති. බුදුන් වහන්සේ වරක් සිය පිය මහරජුන්ගේ පුත්‍ර වියෝගය අනුදැන වදාළ අයුරු බෞද්ධයෝ දනිති. “පුත්‍ර වියෝගය හම සිඳියි. හම සිඳ මස සිඳියි. මස සිදඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු මත රැඳී නිබඳ දුක් දෙයි.” එහෙත් ඒ සමාජ වටිනාකම්, සාරධර්ම අද වල් වැදුණු සෙයකි. ළමයින්ට ආදරය අහිමිව තිබේ. දයා, කරුණා විරහිත ලොවක ළමයා ශ්‍රමිකයකු බවට පත්ව සිටියි. හිංසාව, පීඩාව, අපයෝජනය ළමා ලොව වසාගෙන තිබෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජගත් ආයතන ළමයින් ගැන දක්වන අවධානය කැපී පෙනුණත් ජගත් ළමා පරපුරම මුහුණ දී සිටින අනතුරු හා අභියෝග සුළුපටු නොවේ. මෛත්‍රී ජනාධිපතිවරයාගේ ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහන ජාතියේ දරුවන් සුරකින, ඔවුන්ට අහිමි වී ගිය සුන්දර ළමාලෝකය වෙත පිවිසීමට දොරටුවක් වනු ඇතැයි අපට හැඟේ. ළමා විය අහිමි වී වැඩිහිටි සමාජයට පිවිසුණු බොහෝ දෙනකු විසින් සමාජයට කරනු ලබන විපත්, අපරාධ මැඬලීම සඳහා ගනු ලබන පියවරවලට අමතරව යහපත් නීරෝගි දරුපරපුරක් නිර්මාණය කරගැනීමද අද අත්‍යවශ්‍යම දෙයක් වී තිබේ.