
එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් සමස්ත දිවයිනම මුදාගත් පසු, විශේෂයෙන්ම උතුරු හා නැඟෙනහිර ත්‍රස්ත ක්‍රියා වාර්තා නොවීය. ත්රස්තවාදීන් විසින් සඟවන ලද අවි ආයුධ හමු වීම හැරෙන්නට ත්රස්තවාදයට සම්බන්ධ වෙන යම් හෝ සිදුවීමක් හෝ වාර්තා නොවීය.
2009 වසරේ සිට 2012 වසර දක්වාම මේ නිහඬතාව මැද උතුරේ පුනරුත්ථාපන කටයුතුද සිදු විය. මේ අතර ‘ආවා’ නමැති කල්ලියක් ප්‍රදේශයේ සැරිසරන බවට වූ පුවතක් පළමුවෙන්ම වාර්තා වන්නේ යුද්ධය නිමා වී වසර තුනකට පසු එනම් 2012දීය. ආවා පමණක් නොව, සනා, පහිර්, කංචි රූබන් ලෙස හැඳින්වූ විවිධාකාර කල්ලි යාපනයේ යම් යම් ප්‍රදේශවල සැරිසරමින් මහජන සාමයට බාධා කරන සිදුවීම්වල නිරත වන බව වාර්තා විය. ආරම්භයේදී පාපැදි කල්ලි ලෙස හැඳින්වූ මේ කණ්ඩායම් පසුව යතුරුපැදි භාවිත කිරීමට පටන් ගැනීමත් සමඟ ‘මෝටර් සයිකල් කල්ලි’ බවට පත් විය. එය කාගේ නිර්මාණයක්ද? එහි අරමුණ කුමක්ද? යන්න සනාථ කිරීම සඳහා තහවුරු කරගත හැකි සාක්ෂි නැති නමුත් අදාළ කල්ලිය සිදු කළ ක්‍රියා කිහිපයක් ගැන සඳහන් කිරීම මෙහිදී වැදගත් වේ.
‘ආවා’ නමැති කල්ලිය විසින් මාර්ග ව්‍යාපෘතියක සේවය කළ සිංහල ජාතිකයෙක් යාපනයේදී කපා තුවාල කරන ලදී. ඒ 2012 වසරේදීය. පසුව 2013 ඔක්තෝබර් මාසයේදී පොලිස් නිලධාරියෙක්ද එවැනිම කැපුම් ප්‍රහාරයකට ලක්විය. මේ සිදුවීම් නිසා කළ සෝදිසි මෙහෙයුම්වලදී ‘ආවා’ කණ්ඩායමට අයත් තිදෙනකු 2014 ජනවාරි මාසයේ පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, ඔවුන්ගෙන් දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ කල්ලිවලට සම්බන්ධ තවත් 11 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන්ගේ යතුරුපැදි, කඩු ඇතුළු අනෙකුත් ආයුධ පොලිස් අත්අඩංගුවට පත් විය. මේ සියලු පුද්ගලයන් අධිකරණයට යොමු කළ අතර, මේ තරුණයන්ගේ දෙමවුපියන් වැඩිහිටියන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබිණි.
‘ආවා’ සිදුවීම් මාලාව එතැනින් මඳකට යටපත් විය. එහෙත් පසුව යළිත් කප්පම් ගැනීම්, සොරකම් ආදි අපරාධ ගැන තොරතුරු දිනපතා පාහේ උතුරින් වාර්තා වන්නට විය.
යතුරුපැදියකින් අණ නොතකා ගමන් කළ යාපනයේ සරසවි සිසුන් දෙදෙනකු පොලිසිය අතින් ඝාතනය වීමෙන් දින කිහිපයකට පසු බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුට මන්නාවලින් පහර දී තුවාල කිරීමෙන් යළිත් ‘ආවා’ කල්ලිය ගැන වැඩි අවධානයක් යොමු විය.
දකුණේ මෙන් නොව උතුරේ ඇති වන සෑම සිදුවීමක් දෙසම දැඩි අවධානයකින් පසු වන්නේ ත්රස්තවාදීන් යම් අයුරකින් හෝ සම්බන්ධයක් ඇත් දෝ යන චකිතයකිනි. විශේෂයෙන්ම යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීහු උතුරේ සිදු වන සුළු සිදුවීමක් පවා කන්ද කෙන්ද කරනා තරමට යම් යම් ක්‍රියාවන්හි නිරත වෙති. එසේම උතුරේ සිදු වන සිදුවීම්ද සුළු කොට තැකිය නොහැකිය. කෙසේ හෝ ‘ආවා’ කල්ලිය ගැන යම් හෝ තොරතුරු සොයා බැලිය යුතුමය.
පොලීසියට වාර්තා වන ආකාරයට ‘ආවා’ කල්ලියට නායකත්වය සපයා ඇත්තේ 1991 වසරේ උපත ලැබූ වයස අවුරුදු 27ක පමණ තරුණයෙකි. මනීපායිහි උසාවිය පාරේ පදිංචි ඔහුට ‘ආවා’ නමැති නමින් මිතුරන් හැඳින්වුවත් ඔහු ගුණසේකරම් දේවයුදන්ය.
මේ වන විට සිදු කරන පොලිස් විමර්ශන අනුව මේ ‘ආවා’ කල්ලිය ගොඩනඟා ඇත්තේ ඉතා අඩු වයසේ තරුණ පිරිසක් හවුල් කරගෙනය. ඔහුගේ ප්‍රධාන සගයන් වී සිටියේ කොකුවිල්හි පදිංචි නල්ලලිංගම් ප්‍රසන් (26) හා උඩුවිල්හි පදිංචි ස්ටැන්ලි ගුණසීලන් (24) දෙදෙනාය.
2014 වසරේ මුල භාගයේ සිදු කළ වැටලීමකදී පොලීසිය ‘ආවා’ කල්ලියේ 19 දෙනෙකු කඩු, මන්නා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් අතර, මේ පිරිස් උතුරේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් සිදු කළ බවට පොලීසියට පැමිණිලි රැසක් වාර්තා වී තිබිණි. මේ පිරිසට කප්පම් ගැනීම්, මංකොල්ල කෑම, කුලියට බියවැද්දීම, වැනි චෝදනා රැසක් තිබිණි. එසේම අවශ්‍ය නම් ඝාතනයන්ට පවා මේ පිරිස් යොමු වන තත්ත්වයක් වාර්තා වී තිබිණි.
එසේ වුවත් උතුරේ බොහෝ ජනතාව ආරම්භයේදී මේ පිළිබඳව පොලීසියට පැමිණිලි නොකළේ මේ පිරිස්වලින් තවතවත් කරදර පැමිණෙනු ඇතැයි සිතමින් විය යුතු වුවත්, මේ පිරිස්වල තර්ජන වැඩිවත්ම පොලීසියට පැමිණිලි ගලා එන්නට විය. පොලීසියට පමණක් නොව, මේ ‘ආවා’ කල්ලිය පිළිබඳව යුද හමුදා ප්රධානීන්ටද පැමිණිලි එන්නට වූයේ මේ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනි.
එසේ යුද හමුදාවට පැමිණිලි කළ පිරිස් අතර විදුහල්පතිවරයෙක් හා විදුහල්පතිනියක්ද වූහ. මේ පිරිස් විසින් දිගින් දිගටම සිදු කරනු ලබන මේ මංකොල්ල කෑම් තර්ජන ගර්ජන බියවැද්දීම් ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව ඕනෑම අයකු වෙත යොමු කරන්නට විය. එයින්ම මේ පිරිස් කිසිදු ජාතිවාදී සංවිධානයකට හෝ සම්බන්ධ නොවන බවට තහවුරු විය. බුද්ධි අංශ විසින්ද ඒ බව තහවුරු කර තිබිණි.
අත් අඩංගුවට ගත් ‘ආවා’ සාමාජිකයන් අධිකරණයට යොමු කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇති අතර, පසුව එම තරුණයන්ගේ මවුපියන් භාරකරුවන් ඇතුළු පිරිස් ගෙන්වා තරුණයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආරක්ෂක අංශ සහ ආගමික නායකයන් විසින්ද දැනුම් දී තිබිණි. මේ නිසා ‘ආවා’ කල්ලියට සම්බන්ධ පිරිස් ක්‍රමයෙන් ඉවත් වන්නට විය. එයින් ‘ආවා’ කල්ලිය අඩපණ වන තත්ත්වයකට පත් විය.
ඉතාම සොච්චං සාමාජිකයන් පිරිසක් සිටින ආවා කල්ලියේ සාමාජිකයන් වැඩි පිරිසකගේ මවුපියන් විදෙස්ගතය. ඔවුන් විසින් එවනු ලබන මුදලින් ඇතැම්හු මත්වතුර බොති. තවත් අය විවිධාකර අපචාරවලට යොමුව ඇත. ඔවුන් විසින් දිවා කාලයේ දකුණු ඉන්දීය චිත්‍රපට නරඹති. ඒවායේ තරුණයන් යතුරුපැදිවල නැඟී වේගයෙන් ගමන් කර සිදු කරනු ලබන අපරාධ පිළිබඳ දැනුවත් වෙති. ඒ අනුව ක්‍රියා කිරීමට පෙලඹෙති.
‘ආවා’ කල්ලියේ පිරිස් අත්අඩංගුවට ගෙන මේ වන විට අධිකරණයට පමුණුවා ඇතැයිද මේ පිරිස් ජන ජීවිතවලට තර්ජනයක් වන ආකාරයට කටයුතු කිරීම නිසා ඔවුන්ට විරුද්ධව රටේ සාමාන්‍ය නීතිය අනුව ක්‍රියා කරන බව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා අපට පැවසුවේය.
දකුණේ මෙන්ම රටේ විවධ පළාත්වල අපරාධකරුවන් සිටිය හැකි බවත් උතුරේ සිදු වන දේ ඇතැමුන් අතිශයෝක්තියෙන් පෙළගැස්වීම නිසා ගැටලු නිර්මාණය වීමට ඉඩ ඇතැයිද ඒ මහතා කීය.
අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් ආවා හෝ වෙනත් ඕනෑම පිරිසකට විරුද්ධව තටයුතු කරනු ලබන්නේ ඒ අනුව බවත් ඒ මහතා කීය.
පසුගියදා යාපනයේදී සිදු වූ දිනේෂ් සහ ‘ධනුරොක්’ සාමාජිකයකුට හා ඔහුගේ වැඩිමහල් සොහොයුරියට සිදු කළ ප්‍රහාරයකින් ඔවුන් තුවාල ලබා රෝහල්ගත කළ බව යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන‍්නේය.
ඔහු පැවසුවේ යාපනය - මනිපායි ප්‍රදේශයේදී එල්ල වූ මේ ප්‍රහාරයෙන් නිවෙසේ භාණ්ඩවලට හානි කර ඇති අතර, යතුරුපැදියකටද (XXX - 7682 ) ගිනි තබා ඇති බවයි. පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් නිවෙසේ ඇතැම් ස්ථාන ගිනි ගෙන ඇති බවද ඒ මහතා කීවේය. මේ පිරිස් ප්‍රහාරය එල්ල කර ඇත්තේ මේ අය තම කල්ලියෙන් ඉවත් වූ නිසා බව මේ වන විට වාර්තා වී ඇත.
‘ආවා’ කල්ලියට සම්බන්ධ තවත් පිරිස් සිටින්නේද යන්න සොයා බලා කටයුතු කිරීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ.
උතුරේ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ මේ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස විවිධාකාර පිරිස් යුද හමුදාවට බල කරන බවත් සාමයෙන් සිටින උතුරේ ජනතාවට ඔවුන් විශාල ගැටලුවක් වි ඇති බවයි. මේ පිරිස් සම්බන්ධයෙන් යුද හමුදාව විසින් කටයුතු නොකරනු ලබන බවත්, පොලීසිය විසින් මේ පිරිස්හි ක්‍රියාකාරීත්වය 90%ක් පමණ මර්දනය කර ඇති බවත් එම නිලධාරියා කීය.
මේ පිරිස් තරුණයන් නිසා තරුණ ජවය වැරදියට උපයෝගි කරගෙන ඇති බව ඉතා පැහැදිලිය. ඉදිරියේදී හෝ මේ පිරිස් නිසි මඟට ගැනීමට කටයුතු නොකළ හොත් එයින් ගැටලුව වන්නේ දකුණේ පිරිස්වලට නොව උතුරේ ජනතාවටමය.
එසේ වුව හොත් ‘ආවා’ කල්ලිය වෙත උතුරේ ජනතාවගෙන්ම ජන රැල්ලක් එල්ල වනු ඇත. එය නීතිය අතට ගැනීමක් වන නිසා ඊට පෙර මේ පිරිස් මර්දනය කර සහමුලින්ම ‘ආවා - නාවා’ කළ යුතුමය.