
එවකට මම උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. පාසල් ශිෂ්‍ය සංගමයේ ප්රකාශනයකට දුම්රිය සම්බන්ධ විශේෂ තොරතුරු සපයාගැනීමේ අරමුණින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අවසරය මත මා දුම්රිය එන්ජිමේ ගමන් කළේ තවත් ශිෂ්‍ය නායකයකු සමඟය. උඩරට මැණිකේ දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානය පසු කර මඳ දුරක් එන විට දුම්රිය දෙස බලා හිනැහුණු වයස අවුරුදු 3ක-4ක පමණ සිඟිත්තියක් දුම්රිය මාර්ගයේ දුම්රිය දෙසට ආවාය. දුම්රිය ළං වත්ම ඇයගේ සිනහව වැඩි විය. කට පුරා සිනාව පුරවාගත් මේ සිඟිත්තිය බේරාගැනීමට රියැදුරු මහතා නළාව හඬවමින් කඩිනමින් තිරිංග යොදා දුම්රිය නවතා බලන විට සිඟිත්තියක් එහි නොවීය. එදා-මෙදා තුර මා මුහුණ දුන් ඒ ශෝචනීයම දුම්රිය අත්දැකීම ගැන මා මීට පෙර ද මේ ලෙසින්ම පුවත්පතේ සටහනක් තැබුවෙමි. අදත් ඒ ලෙසින්ම අකැමැත්තෙන් වුව සටහන් කිරීමට සිදුව ඇත්තේ පසුගිය 17 වැනිදා රාගම පේරලන්ද දුම්රිය හරස් මාර්ගයකදී වසා තිබූ දුම්රිය රේල් ගේට්ටුවක් අතුරින් රිංගා යෑමට තැත් කළ යතුරුපැදියක් දුම්රියේ ගැටී තරුණයන් දෙදෙනකුට දිවි අහිමි වීම හේතුවෙනි.
පාසල් සමයේ මා දුටු ඒ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් කටේ කිරි සුවඳ පවා නොගිය කුඩා සිඟිත්තිය යකඩ යකා සමඟ සෙල්ලම් කළේ ලෝකය ගැන කිසිවක් නොදැනය. එහෙත් මුළු ලෝකයේම තොරතුරු ක්ෂණයකින් දැනගන්න හැකියාව ඇති තරුණ-තරුණියන් යකඩ යකා සමඟ පමණක් නොව, භයානක තවත් අන්තරාදායක දෑ සමඟද සෙල්ලම් කරන්නේ තම දිවිය පවා පරදුවට තබමිනි. එවන් සිදුවීම් මාලාවක් පසුගිය කාලය පුරා අපට අසන්නට දකින්නට ලැබුණත් එයින් පාඩම් ඉගෙන ගැනීමට නොහැකි වීම විශාල සමාජ ගැටලුවක්ව තිබේ.
මහා මාර්ගයේ නම් අනතුරක් සිදුවීමට බලපාන්නා වූ හේතු රැසක් තිබිය හැකියි. එයින් පළමුවැන්න වන්නේ රියැදුරන්ගේ නොසැලකිල්ලයි. දෙවැන්න පදිකයන්ගේ නොසැලකිල්ලයි. තෙවැන්න මාර්ගය හරහා ගමන් කරනා සතුන් නිසා අනතුරු සිදු වීමයි. එමෙන්ම මාර්ගයේ තිබෙන්නා වූ යම් දෝෂ මෙන්ම ආලෝකය මඳකම නිසාද අනතුරු සිදු වීමට ඉඩ තිබේ. වාහන තාක්ෂණ දෝෂ නිසාද යම් යම් අනතුරු සිදු වන අවස්ථාද ඇත.
එහෙත් දුම්රිය අනතුරක් සිදු වන්නේ අපේම වරදින් බවත්, එයින් විනාශයට පත් වන්නේ අපගේ ජීවිතයම බව අප සිහි තබාගත යුතුයි. දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සුද්දා තහනම් කෙළේ මේ ව්‍යසනය දන්නා නිසාය. එහෙත් අපේ පණ්ඩිතයෝ තමන් දුම්රිය තැනූ ජෝර්ජ් ස්ටීවන්සන්ටත් උගන්වන්ට සමත් අය බව සිතා ගෙන සිටිති! ඔවුන් සිතන්නේ දුම්රියේ ගමනත් තමන්ට අවශ්‍ය පරිසි සකස් කළ හැකි බවයි. බස් රථයක් හෝ වෙනත් වාහනයක් ක්ෂණිකව තිරිංග යොදා නතර කළ හැකි ලෙස දුම්රියත් නවත්වාගත හැකි බව මේ ඇත්තන් සිතන බවයි අපට වටහාගත හැක්කේ. එසේත් නැත් නම් වෙනත් දිසාවකට හෝ දුම්රිය හරවා නවත්වා ගනු ඇති බවට මන්දබුද්ධික තීරණයක මේ අය සිටිනවා විය හැකියි!
යතුරුපැදිකරුවන් මාර්ගයේ ගමන් කරන අයුරු අප දැක තිබේ. දකුණු පසින් පළමුව ඉස්සර කර පසුව වමෙන් ඉස්සර කර ඉඩක් ඇති සෑම අස්සකින් මුල්ලකින්ම රිංගා යෑමට ඔවුහු පුරුදුව සිටිති. ඒ සෙල්ලමම දුම්රියට දැමීමට ගොස් අනතුරු සිදු කරගන්නෝ බොහෝ වෙති.
පසුගියදා පේරලන්දේදී සිදු වුණේද එවන් අනතුරකි. හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය පැමිණීමට දුම්රිය ගේට්ටුව වසා තිබියදී ත්‍රිරෝද රියක් ඒ තුළින් රිංගා ගියේය. එයින් තත්පර දෙක-තුනකට පසු ඒ අයුරින්ම යතුරුපැදියක්ද ඒ හරහා ගියේ දුම්රිය නළා හඬ නංවමින් පැමිණෙද්දීය. යතුරුපැදිය ගේට්ටුව අතුරින් රිංගා තත්ත්පර 12කින් සමස්ත දුම්රියම එතැනින් ගමන් කර අවසන්ය. ඒ, යතුරුපැදියේ ගමන් කළ දෙදෙනාද මීටර් ගණනක් ඉවතට විසි කර-දමමිනි. යතුරුපැදිය පොඩිපට්ටම් විය. යතුරුපැදිකරුවන් දෙදෙනා රාගම ශික්ෂණ රෝහලට ගෙන ගියත් සිද්ධිය වූ ස්ථානයේම ඔවුන් මිය ගොස් ඇති බව වෛද්‍යවරු පැවසූහ. මේ සියලු දර්ශන අසල සීසීටීවී කැමරාවක ඉතා පැහැදිලිව පටිගතව තිබිණි.
තත්පර 12ක් ඉවසන්නට බැරි වීමෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ කැලණියේ ගල් බොරැල්ලේ පදිංචි 41 වියැති සේනක වික්‍රමසිංහ හා ගෝනවල පට්ටිවිල පදිංචි වයස අවුරුදු 42ක් වන රංජිත් කුමාරසිරි යන දෙදෙනාටයි. තමන්ගේ ජීවිතය දුම්රිය සමඟ සෙල්ලම් කිරීමට යොදා නොගත යුතු බව වයස අවුරුදු 40 ඉක්මවා යන තුරුත් මේ දෙදෙනාට ඉගෙනගන්නට නොහැකි වීම කනගාටුවකි.
2005 වසරේදී යාංගල්මෝදර දුම්රිය රේල් ගේට්ටුව වසා තිබියදී ඒ අතුරින් රිංගා ගිය බස් රථයක් කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී පොඩි පට්ටම් වී ගියේ මඟීන් 45 දෙනකුට මරු කැඳවමිනි. එතරම් මාරාන්තික අනතුරකින්ද අප පාඩම් උගෙන නැත. පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේදී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ දෙදෙනා පමණක් නොව, අපේ රටේ බහුතරයක් මේ වන තුරුම දුම්රිය අනතුරු නොසලකා තවමත් කටයුතු කරන බව පෙනේ. දිනෙන් දිනම, මාසයෙන් මාසයම, වසරෙන් වසරම අනතුරුවලින් දුම්රියේ ගැටී මිය යන සංඛ්‍යාව වැඩි වන්නේ එහෙයිනි.
මේ වන විට ආරක්ෂිත හා අනාරක්ෂිත දුම්රිය මාර්ගවලට පෙර, දුම්රිය මාර්ගය ඉදිරියෙන් ඇති බවත්, ඒ හරහා පරිස්සමින් ගමන් ගන්නා ලෙසත් දැක්වෙන අවවාද පුවරු ස්ථාපිත කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු යොදා ඇත. ඒ දැනුවත් කිරීම් මඟින්ද ඇතැමුන් කිසිවක් හිසට ගෙන නැති බව දිනෙන් දිනම වැඩිවන දුම්රියේ ගැටී සිදුවන මරණ සංඛ්‍යාව දෙස බැලීමෙන් පෙනී යයි.
2014 වසරේ දුම්රියේ ගැටී 305 දෙනකු මිය ගිය අතර, 2015 වසරේදී මිය ගිය සංඛ්‍යාව 396ක් ලෙස දැක්විණි. 2016 වසරේදී දුම්රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 405කි. එය 2017 වසරේදී 517ක් දක්වා ඉහළ නැඟිණි. 2018 වසරේ මේ දක්වා දුම්රිය අනතුරුවලින් 246 දෙනකු මිය ගොස් ඇත. දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසන්නේ පසුගිය වසරේ ජංගම දුරකතන හේතුවෙන් පමණක් 28 දෙනකු අනතුරුවලින් මිය ගොස් ඇති බවයි.
එසේම ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා වූ තීරයේ වෙරළ ආසන්නයේ ඇති අනවසර නිවාසයන්ට මාර්ගයක් ලෙස දුම්රිය මඟ භාවිත කරන බවත්, එසේම මේ ප්‍රදේශයේ මුහුදු සිරිය විඳගැන්මට පැමිණෙන පිරිස් ක්‍රමයෙන් වැඩිව ඇති බවත්, මේ බොහෝ පිරිස් දුම්රිය මාර්ගයේ අනතුරුදායක තත්ත්වය නොතකන බවත්ය. වෙරළ ආසන්නයේ අධික සුළඟ නිසා දුම්රියේ ශබ්දය ඉතා අඩුවෙන් ඇසෙන බවත්, විශේෂයෙන් තනි බලවේග කට්ටල දුම්රියන්හි එක් එන්ජිමක් පමණක් තිබෙන හෙයින් එක් පසෙකට ධාවනය විමේදී එහි එන්ජිම පසුපස ඇති නිසා ඉදිරිපසින් කිසිදු ශබ්දයක් නොඇසීම හේතුවෙන් දුම්රියක් ආසන්න වන තුරුම එය නොදැනීමෙන් අනතුරු සිදු වන බවත් ඒ මහතා කියා සිටී.
දුම්රිය මාර්ගය දුම්රියට සීමා නොකිරීමේ මෙන්ම දුම්රිය මඟ හරහා යෑමේදී පරිස්සම් සහගත නොවීමේ විපාක අපි දැන් ඇති තරම් අත්විඳ ඇත්තෙමු. ඉදිරියේදී හෝ මේ තත්ත්වය වළක්වාගැනීමට වහා පියවර ගත යුතු වේ. මේ වළක්වාගැනීම දැනුවත් කිරීමෙන් හෝ දඬුවම් කිරීම් හා දඩ ගැසීම් මඟින් සිදු කළ නොහැකි බව මේ වන විට පසක් වී තිබේ. කොතරම් දැනුවත් කළත් ඒ කිසිවකින් අප කිසිදු පාඩමක් උගෙන නැති නම් කළ යුත්තේ කුමක්ද? මේ ව්‍යසනය අප තම-තමන් විසින්ම පෞද්ගලිකව අවබෝධ කරගත යුතුය. එලෙසින් තමන් විසින් සිතා-මතා බුද්ධියෙන් කටයුතු නොකළ හොත් හෙට දිනයේද තවත් නිවෙසක පවුලේ අයට සිදු වන්නේ අකාලයේ වෙන් වූ තම ඥාතියා වෙනුවෙන් හඬා වැටීමටයි.