
කතරගම කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට දැරූ උත්සාහය සම්බන්ධව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර සියලුම මාධ්‍ය ඔස්සේත් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විවිධ කථිකා පැවැත්වේ. නා හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සෙවීමට වඩා මාධ්‍යයේ කාර්යය වී ඇත්තේ මේ ඝාතන ප්‍රයත්නයේ ප්‍රධාන සැකකරු වන අසේල බණ්ඩාර සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර ගැනයි.
නා හිමියන් ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් මේ වන විට අංශ රැසකින් පරීක්ෂණ පැවැත්වේ. විශේෂයෙන්ම අප පසුගිය සතියේ හෙළි කළ පරිදි උන් වහන්සේට මේ ඉරණමට මුහුණ පාන්නට සිදුවූයේ කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් දේවාලයේ ප්‍රධාන කපු මහතා වන අසේල බණ්ඩාර හා උන් වහන්සේ අතර ඇති වූ අර්බුදයක් දුර දිග යෑමෙන් බව මේ වන විට පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
පසුගිය සති අන්තයේදී කොළඹ පැපිලියාන ප්‍රදේශයේදී අසේල බණ්ඩාර මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන්නට පොලිසිය කටයුතු කරන ලදී. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම තංගල්ල නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාත් තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාත් වැඩි අවධානයක් යොමු කර ඇත.
එහිදී කතරගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් මහතාත් මේ වෙනුවෙන් පරීක්ෂණ පවත්වන ලදී. මේ පරීක්ෂණවලදී මේ වන විට අනාවරණය වී ඇති තොරතුරුවලින් වාර්තා වන්නේ ධම්මින්ද හිමියන් ඝාතනය කර තමන්ට යළිත් මහසෙන් දේවාලයේ කපු තනතුර ලබා ගන්නට අසේල බණ්ඩාර කටයුතු කර ඇති බවයි. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් හා තමන්ට අයිති එක් මෝටර් රථයක්ද තිළිණ වශයෙන් ලබා දීමට අසේල බණ්ඩාර කටයුතු කර තිබේ.
ඝාතනය සඳහා අවශ්‍ය තුවක්කුවක්ද තමන් සතුව පවතින බව අසේල බණ්ඩාර මේ ගනුදෙනුව සිදු කරන අතරතුරදී කොන්ත්‍රාත්කරුවන්ට පවසා ඇති අතර ඒ තුවක්කුව බලපත්‍ර සහිත වූවක් වුවත් එහි බලපත්‍රය 2016 වසරේදී අවසන්ව ඇත.
ඒ ගිනි අවිය සහ පතුරම්ද සහිතව කොන්ත්‍රාත්තුව බාර දෙන අතර තම හයිබ්‍රිඩ් ජීප් රථයද ඔවුන්ට ලබා දී තිබේ. කොන්ත්‍රාත්තුව ලබා දීමෙන් පසුව ‘රාලහාමි‘ නමින් හදුන්වන අසේල බණ්ඩාරගේ ඥාතියකු ද මේ සඳහා සහායට එක්ව ඇත. ඔහුගේ භාර්යාව ලෙස සැලකෙන දීපිකා දිල්හානි නම් කාන්තාවද මේ අතර ඔත්තු බැලීමේ කාර්යයට සම්බන්ධ වී ඇති අතර නාහිමියන්ට වෙඩි තැබු දිනත් ඊට පෙර දින කිහිපයකුත් නා හිමියන්ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් ඔත්තු බලමින් තොරතුරු වාර්තා කර ඇත්තේ මේ කාන්තාව බව මේ වන විට පරීක්ෂණවලින් හෙළිව ඇත.
අදාළ කාන්තාව විසින් සපයන ලද තොරතුරු අනුව නා හිමියන් ඝාතනයට සුදුසුම වේලාව ලෙස ඔවුන් තෝරාගෙන ඇත්තේ රාත්‍රී කාලයේ නාහිමියන් කිරි වෙහෙර වන්දනා කර ආපසු වැඩම කරනු ලබන වේලාවයි. නාහිමියෝ සිරිතක් ලෙසින් සෑම දිනකම රාත්‍රී 10.00න් පසුව කිරි වෙහෙර වන්දනාව පිණිස වැඩම කරනු ලබති.
රාලහාමිගේ දැනුම් දීම පරිදි තිදෙනකුගෙන් යුක්ත පිරිස ජූනි 12 වැනිදා රාත්‍රියේ නා හිමියන් කිරි වෙහෙර වන්දනාව පිණිස ගොස් ආපසු වැඩම කරන තුරු කිරි වෙහෙර ආසන්නයේ ඇති නුග ගසක් අසල සැඟව බලා සිටි බවට මේ වන විට තොරතුරු වාර්තා වේ. ඒ අනුව උන් වහන්සේ එදින කිරි වෙහෙර වන්දනා කර ආපසු වැඩම කරද්දී ආරක්ෂකයින්ද පසෙක සිටියදී මේ පුද්ගලයින් මළුවේදීම උන් වහන්සේට දිගට හරහට වෙඩි තබා පලා ගොස් ඇති බව මේ වන විට වාර්තා වේ. තිදෙනකුගෙන් යුක්ත වූ කණ්ඩායමක් මේ සඳහා පැමිණ ඇති බවත් මේ වන විට වාර්තා වී ඇත.
ඔවුන් වෙඩි තැබීමෙන් පසුව ඍජුවම ගමන් කර ඇත්තේ අසේල බණ්ඩාර මහතාගේ නිවසටය. එහිදී වෙඩි තැබීමට යොදා ගත් අසේල බණ්ඩාරට අයත් තුවක්කුව කපු මහතාගේ නිවසේ දර මඩුවේ සඟවා තබා ගොස් ඇත්තේ කපු මහතාටද නොදැනනෙ ලෙසින් බවද මේ වන විට වාර්තා වී ඇත.
නා හිමිට වෙඩි තැබීමට කපු මහතා සම්බන්ධ බවට තොරතුරු වාර්තා වන විට සෙල්ල කතරගම වාඩියකට පලා ගොස් ඇති කපු මහතාත් අනෙක් සැකකරුවන් දෙදෙනකුත් පසුව වාහනයෙන් කොළඹට ඇරලවා ඇත්තේද රාලහාමි විසින් බවත් වාර්තා වී ඇත. රාලහාමි විසින්ම එම වාහනය පදවා ගෙන විත් ස්ථාන කිහිපයකදීම අසේල බණ්ඩාර ඇතුළු පිරිසට බැස යෑමට සලස්වා යළි නංවාගෙන ගොස් ඇති බවත් තොරතුරු වාර්තා වේ. එසේ සිදු කරන්නට ඇත්තේ යම් විදිහකින් සී. සී. ටී. වී කැමරා පද්ධතියකට අසුවුවහොත් පොලිසිය නොමඟ යැවීමට බව දැනගන්නට ඇත.
අසේල බණ්ඩාර ඇතුළු පිරිස කොළඹට ගෙන ආ සැණින් ආපසු කතරගම දක්වා යාමට රාලහාමි පියවර ගෙන තිබේ. කතරගම දක්වා ගිය පසුව අසේල බණ්ඩාරට නිරතුරුවම පණිවිඩ හා උපදෙස් ලබා දී ඇත්තේද මොහු විසින් බව මේ වන විට අනාවරණය වී ඇත.
පසුගිය සති අන්තයේදී අසේල බණ්ඩාරත් තවත් සැකකරුවන් දෙදෙනකුත් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ තේ පැපිලියාන ප්‍රදේශයේ අසේල බණ්ඩාරගේ සොහොයුරියකගේ නිවෙස කරා ඔහු ගමන් කරමින් සිටියදීය.
එසේම මේ තිදෙනාගෙන් ලද තොරතුරු මත මේ ඝාතන ප්‍රයත්නයට ඍජුවම සම්බන්ධ යැයි සැලකෙන තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මේ පස් දෙනාට අමතරව පසුගිය 19 වැනිදා දික්වැල්ලේදී හා කතරගමදී සැකකරුවෙක් හා සැකකාරියක්ද අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අප පෙර සඳහන් කළ රාලහාමි ලෙසින් හැඳින් වූ සුගත් හා ඔහුගේ භාර්යාව ලෙස සැලකෙන දීපිකා දිල්හානි යන දෙදෙනා වන අතර සැකකාරිය කතරගමදීත් සැකකරු දික්වැල්ලේදීත් අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 20 වැනිදා වෙඩි තැබීමට පැමිණි දෙදෙනකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලදී. එහිදී නා හිමියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල් දිසානායක (73870) හා සිවිල් ආරක්ෂක බළකා සෙබළ කේ. ඒ. නිශාන්ත විසින් එක් සැකකරුවකු හඳුනා ගෙන ඇත. ඒ 18 වියැති එම්. දිල්ෂාන් නැමැත්තායි. මේ සියලු පිරිස යළිත් ජූලි මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.
ඒ අය අතර අසේල බණ්ඩාර කපු මහතාත්, එකම පවුලේ නිවුන් සොහොයුරන් වන ජේ. කේ නුවන් කුමාර, හා ජේ. කේ. ධනුෂ්ක යන අයත් ජී. ඩබ්ලිව් අනුරාධ, කවිෂ්ක දිල්ෂාන් හා ඒ. සුගත් හා දීපිකා දිල්හානි වේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන පවත්වනු ලබන කතරගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායම විසින් මේ වන විට ඝාතන ප්‍රයත්නයට සම්බන්ධ සියලුම තොරතුරු හෙළි කරගෙන ඇත.
ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ ගිනි අවි පසුගිය 17දා වැනිදා පොලිසිය විසින් මාධ්‍ය වෙත පෙන්වනු ලදී. ඒ අතර බෝර 12 තුවක්කුවක් හා කඩුවක්ද තිබුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් නිල නොලත් වාර්තාවනට අනුව දැන ගන්නට ඇත්තේ මේ වෙඩි තැබීමේ සිද්ධියට පවුම් 5ක රන් මාලයක්ද හේතු වී ඇති බවකි. බාරයක් ඔප්පු කිරීම සදහා පුද්ගලයකු විසින් මෙම රන් මාලය මහසෙන් දේවාලයට පූජා කර තිබූ අතර එහි හිටපු කපු තනතුර දැරූ අසේල බණ්ඩාර නැමැත්තා ව්‍යාජ රන් මාලයක් එම මාලය වෙනුවට ලබාදී ඇති බවක්ද ඒ හරහා ඇති වූ අර්බුදයක් දුර දිග ගොස් මේ අපරාධයට තවත් හේතුවක් වී ඇති බවත් වාර්තා වේ.
දැන් මේ සියලු කරුණු කාරණා ඔස්සේ පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ මෙන්ම අපරාධයට යොදා ගත් ගිනි අවියත් නාහිමිට වෙඩි තැබූ ස්ථානයේ තිබූ පතුරොම් කොපු මෙන්ම සැකකරුවන්ගේ පාපොච්චාරණ සියල්ලම ඔස්සේ වැරැදිකරුවන් කවුරුන්දැයි අපට නිගමනය කළ හැකි නමුත් මේ සම්බන්ධයෙන් අප කට ඉස්සර නොකළ යුතුය.
අධිකරණය මේ සම්බන්ධ තීන්දුව ඉදිරියේදී ලබා දෙනු ඇත.
අපරාධයක් සිදු කර සැඟවෙන්නට බැරි බව පමණක් අප මෙහිදී සිහි තබා ගත යුතු වේ. කතරගම දෙවියන්ගේ බැල්ම ලබන්නට මෙවන් අපරාධකරුවන්ට හැකිවේද යන්න ගැන මෙන්ම මෙවන් කපු මහත්වරුන් හරහා ආශිර්වාද ලබා ගන්නවාට වඩා දේවාලයට ගොස් තමන් විසින්ම පිරිසුදු සිතුවිල්ලක් ඇති කර ගැනීම වඩාත් අගනා බව අපගේ නිගමනය විය යුතුය.