පවෙන් මිදෙන හැටි දරුවාට පළමුව උගන්වන්න - දොළො­ස්වල උදි­ත­ධීර හිමි | සිළුමිණ

පවෙන් මිදෙන හැටි දරුවාට පළමුව උගන්වන්න - දොළො­ස්වල උදි­ත­ධීර හිමි

අද අප කතා කරන්න බලා­පො­රොත්තු වන්නේ මවු­පි­යන්ට
සැල­කීම පිළි­බ­ඳ­වයි. මව කියන්නේ බිහි කර­න්නිය කියන
අද­හ­සයි. ඒ මාතා කියන පාලි වච­නයේ තේරු­මයි.
සිංහ­ලෙන් මාතා කියලා කිය­න්නෙත් පාලි­භා­ෂා­වෙන් පැමිණි වච­න­යක්
ලෙසයි.
පියා කියන වච­නයේ අර්ථය වන්නේ පෝෂ­ණය කරනතැනැත්තා යන්නයි.

බුදුන් වහන්සේ මවු­පි­යන් ඉතා උතුම් කොට පිදිය යුත්තන් ලෙස දේශනා කළා. උන්ව­හන්සේ දේශනා කළා බ්‍රහ්මාති මාතා පිතාරෝ වශ­යෙන්. එනම්: මවු­පි­යන් මහා බ්‍රහ්ම­යන් ලෙස හැඳි­න්වුවා. ඇයි ඒ? මවු­පි­යන් තුළ තිබෙ­නවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගුණ­ධර්ම හත­රක්. ‍බඹ ලොව සිටින බ්‍රහ්ම­ය­නුත් මෙත්තාව, කරු­ණාව, මුදි­තාව, උපේ­ක්ඛාව යන ගුණ­ධ­ර්ම­ය­න්ගෙන් යුක්තයි. දැන් අපි බලමු මවු­පි­යන් තුළ ඇති මේ ගුණ­ධර්ම මොන­වද කියලා.

මෛත්‍රිය කියන්නේ: තමා සැප­යට කැමැ­තියි, අන් අයත් සැප­යට කැමැ­තියි, එම නිසා මා මෙන්ම අනිත් අයත් සැප­වත් වෙත්වා කියලා සිතන සිති­වි­ල්ලයි. මේ උදාර සිති­විල්ල නිසා මවු­පි­යන් නිර­න්ත­ර­යෙන්ම දරු­වන්ගේ සැපය අපේක්ෂා කර­නවා. බලන්න: සැම අම්මා කෙනෙ­කුම හිත­නවා මගේ දරුවා නිදුක් වෙන්න, දීර්ඝායු ඇති කෙනෙක් වෙන්න, දරුවා ශරීර වර්ණ­යෙන් සැ‍පයෙන් ගුණ­යෙන් වැඩෙන්න කියලා. එහෙම ප්‍රාර්ථනා කර­නවා.

ඒ වගෙම මවු­පි­යන් තුළ තිබෙ­නවා කරු­ණාව: කෙනෙක්ගේ දුක දැකලා ඔහු දුකින් නිද­හස් කර­ගැ­නීම පිණිස උප­කාර කරන මාන­සි­ක­ත්වය. හැබැයි ඇතැම් මවු­පි­යන් මේ කරු­ණාව හරි­යට හඳු­නා­ගෙන නැහැ. දරු­ව‍කුට කර­ද­ර­යක් වුණාම හැඟී­ම්බර වෙලා කට­යුතු කරන්න හොඳ නැහැ. ඒ අව­ස්ථා­වට කළ යුතු දේ කර­ගැ­නී­මට නොහැකි වුණාම කර­ද­ර­යට පත් දරු­වාට පිහිට වීම පවා ප්‍රමාද වීමට මවට පියාට සිදු විය හැකියි. හැඟී­ම්බර ගතිය නෙමෙයි කරු­ණාව කියන්නේ. කරු­ණාව කියන්නේ යම් කෙනෙක් කර­ද­ර­යක් වෙලා ඉන්න­ව‍ ­දැ­ක්කම නුව­ණින් සිහි­යෙන් කට­යුතු කරන්න ඕනෑ. මේ පුද්ග­ලයා දුකින් නිද­හස් කර­ගන්න මොකක්ද කරන්නේ කියල සිහි­යෙන් කට­යුතු කරන්න ඕනෑ. කර­ද­ර­යක් වුණ අව­ස්ථා­ව­ලදී අභී­තව මනා පෞරු­ෂ­ය­කින් යුතු කිරී­මට මවු­පි­යන් කට­යුතු කළ යුතුයි. ලෙඩක් දුකක් කර­ද­ර­යක් වුණාම මවු­පි­යන් නොනිඳා කට­යුතු කර­නවා. ඒ වගේම දරු­වන්ගේ කුස­ගිනි නිවන්න අධ්‍යා­ප­නය ලබා දෙන්න කට­යුතු කරන්නේ මේ උතුම් කරු­ණාව නමැති ගුණය නිසයි.

මුදි­තාව කියන්නේ ඉරි­සි­යාව නැති­ක­මට කියන තවත් නමක්. ඇත්ත­ටම මවු­පි­යන් කව­දා­වත් දරු­වන්ට ඉරි­සියා කරන්නේ නැහැ; කුඩා කල සිට දරු­වන්ගෙ සැපය දැකලා සතුටු වෙනවා; දරු­වන් පිය­වර ඔස­වන දවසේ ඉඳලා උස්ම­හත් වන තුරු සියලු අවධි දැකලා සතු­ටට පත් වෙනවා. හැබැයි සම­හර මවු­පි­යන් දරු­වන් ලොකු වුණාට පස්සේ දරු­වන් විවාහ වුණාම ඉරි­සි­යා­වට පත් වෙනවා. එයින් වෙන්නේ මාතෘ ගුණය නැති වී යෑමයි. ඒ වගේම සම­හර මවු­පි­යන්ට ඉරි­සියා හිතෙ­නවා අම්මට තාත්තට නොස­ලකා අනෙත් අයට සල­ක­නවා නම්. එවැනි වෙලා­වට ඉව­සී­මෙන් කට­යුතු කර­න්නට ඕනෑ. ඉරි­සි­යාව ඇති­ක­ර­ගන්න හොද නැහැ. දරු­වන්ගේ සැප­යට ඉරි­සියා වෙන්න හොඳ නැහැ. සාප කරන්න, නින්දා කරන්න එපා; අව­ත­ක්සේරු කරන්න එපා; වටහා දෙන්න දරු­වන්ට නිවැ­රදි දේ. ඔබට මවු­පි­යන් කියන්නේ දරු­වෙක් බිහි කරපු නිසා නෙමෙයි. මේ ගුණ­ධර්ම ඔබ තුළ තිබෙන නිසයි මවු­පි­යන් කියන්නේ.

උපේක්ඛා කියන්නේ මධ්‍යස්ථ වීමයි. දරු­වන් පුංචි කාලයේ තරහා ගත යුතු අව­ස්ථා­වක් ආවාම තරහා නොගෙන ඉව­සන්න ඕනෑ. එයයි උපේ­ක්ෂාව කියන්නේ. දරු­වන් වැඩි­හිටි වෙලා තරුණ බවට පත් වුණා­මයි වැඩිම නරක වැඩ කරන්නේ. අන්න ඒ අව­ස්ථා­වේදී මවු­පි­යන්ට හැකි­යාව තියෙන්න ඕනෑ දරු­වන් පිළි­බඳ තරහා නොගෙන ඉව­සීම ප්‍රගුණ කරන්න. ගහන්න හොඳ නැහැ, රවන්න හොඳ නැහැ, බනින්න හොඳ නැහැ, පුංචි දේටත් දඬු­වම් කරන්න හොඳ නැහැ. වැරු­ද්දක් කළත් ඉව­සී­මෙන් යුතුව අව­බෝධ කර දීමට ප්‍රඥාව, නුවණ, හැකි­යාව තිබිය යුතුයි. ඒ හැකි­යාව තිබු­ණොත් දරුවා ම‍වගේ පියාගේ මිත්‍ර­යෙක් බවට පත් වෙනවා. එහෙම වුණොත් දරුවා හොඳ සහ නරක සියලු දේවල් මවු­පි­යන්ට ඇවිත් කිය­නවා. නරක දේත් කිය­නවා. ඒවත් හොඳට අහ­ගන්න ඉව­සීම තිබිය යුතුයි. වර­ද­කදී ඉව­සී­මෙන් පහදා දිය යුතුයි, වරද කුමක්ද කියලා. වැරදි කියලා දීලා දරු­වන් හදා­ගත යුතුයි. වැරැ­ද්ද­කට ගහන්න පුරුදු වුණොත් දරු­වන් ඔබ ඉදි­රි­යේදී පම­ණක් වර­දක් නොකර සිටී­ම­ටත්, නැති තැනදී එය කිරී­ම­ටත් පුරුදු වනවා. තමන්ට අසා­ධා­ර­ණ­යක් වුණත්, අවැ­ඩක් වුණත් දරු­වන් මවට පියාට නොකියා සිටී­මට පුරුදු වෙනවා. මවු­පි­යන්ට කිව්වාම නින්දා කරයි, අව­මන් කරයි, තර්ජ­නය කරයි, චිත්ත පීඩා ඇති කරයි වැනි හැඟී­මක් ඇති කර­ගැ­නීම නිසා දරු­වන් තමන්ට වන අවැ­ඩක් පවා නොකියා ඉන්න පුරුදු වෙනවා. දරුවො විවා­පත් වුණාම හිතන්න ‍ඕනෑ: මේ අය දැන් වැඩි­හි­ටියෝ, ඒ අයට දැන් තනි­යම ජීවත් වෙන්න පුළු­වන්, අපි ඒ අයට ඇඟිලි ගහන්න හොඳ නැහැ, එයා­ලගේ ජීවි­තය ඒ අයට නිද­හසේ ගත කරන්න අව­ස්ථාව ලබා දිය යුතුයි කියලා. එහෙම හිතලා උපේ­ක්ෂාව ඇති කර­ගත යුතුයි.

මෙන්න මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සිව් බඹ විහ­රණ ඇති නිසයි මවු­පි­යන් මහා බ්‍රහ්ම­යන් කියලා සර්ව­ඥ­යන් වහන්සේ විසින් හඳු­න්වන්නේ ඒ අයට ගෞර­ව­නා­ම­යක් ලෙස.

බුදුන් වහන්සේ තව නම­කින් මවු­පි­යන් හැඳි­න්වුවා. පුබ්බා­ච­රි­යාච උච්චරේ. පුබ්බා­ච­රිය කියන්නේ මුල්ම ගුරු­වරු කියන-එකයි. මුල්ම ගුරු­ව­රයා කියන්නේ ඇයි? දරු­ව­කුට අවශ්‍ය මූලික අධ්‍යා­ප­නය මවු­පි­යන් විසින් ලබා­දිය යුතු­මයි. දරු­වන්ට පුංචි කාලේ ඉඳලා හැසි­රෙන, කන-බොන අඳින-පල­ඳින විදිහ කියලා දෙන්න ඕනෑ. පුංචි­කාලේ ඉඳ­ලාම මේ දේවල් හුරු කළාම දරුවා තනි­යම ජී‍විත­යට හුරු වෙනවා. කව­දා­වත් අම්මා තාත්තා දරු­වන්ගේ වැඩ­කා­රයෝ වෙන්න හොඳ නැහැ. දැන් වෙන කොට අධ්‍යා­ප­න­යට යොමු වෙලා ඉන්න දරු­වන් පුරුදු වෙලා ඉන්නවා දෙම­වු­පි­යන්ට කියල සියලු දේ කර­ගන්න. කව­දා­හරි දව­සක තමන්ගේ වැඩ­පළ කර­ගන්න බැරි දරු­වන් බවට මේ දරු­වන් පත් වෙනවා. පුංචි කාලේ ඉල්ලන ඉල්ලන දේ දෙන්න පුරුදු වුණාම ලොකු-මහත් වෙච්ච දව­සක මවු­පි­යන්ට දෙන්න බැරි දේ පවා ඉල්ල­න්න‍ ­පු­රුදු වෙනවා. සේව­ක­ය­කුට ස්වාමි­පු­ත්‍රයා පැවැරූ වැඩක් නොක­රන කල දඬු­වම් පමු­ණු­වන්නා සේ දරු­වන්ද ‍මවුපි­යන්ට දඬු­වම් කරන්න පටන් ගන්නවා; සම­හර විට බැනීම, පහර දීම දක්වා යන්නත් පුළු­වන්; එතැ­නින් එහාට යන්නත් පුළු­වන්. ඒ නිසා මවු­පි­යන් දරු­වන්ගේ සේව­ක­යන් බවට පත් වීම ආද­රය නොවෙයි. හොඳ අභි­මා­න­වත්, ක්‍රියා­ශීලි, කාර්ය­ශූර දරු­වන් බිහි කිරීම මවු­පි­යන්ගේ මූලික වග­කී­මයි.

උග­න්වන-එක නොවෙයි, පළ­මුව දරු­වන්ට ප්‍රගුණ කළ යුතු වන්නේ පාප­යෙන් මුදා-ලීමයි. දරු­වන්ට හොඳ දේ උග­න්වන්න ඕනෑ අණ කිරී­මෙන් නොවෙයි; ආද­ර්ශ­යෙන්. මවු­පි­යන් පුරුදු විය යුතුයි දරු­වන් ඉන්න තැනක හෝ නැති තැනක කිසි දිනක මැසි-මදු­රු­ව­කු­ට­වත් හිංසා නොකර ඉන්න. පුංචි කාලයේ ඉඳලා දරුවා ප්‍රාණ­ඝා­ත­යෙන් තොර, සිල්වත් දරු­වකු බවට පත් වෙනවා. ඒ ගේම කුඩා කල සිට පුරුදු කරන්න අව­ශ්‍යයි අන්සතු දෙයක් නොගෙන ඉන්න. නොද­න්නා­ක­මට දරු­වකු අනුන්ගේ යමක් ගෙදර ගෙනා­වොත් වහාම එය නැවත අයි‍ති­ක­රුට දෙන්න හුරු කරන්න අව­ශ්‍යයි. පුංචි දෙයක් ගෙද­රට ගෙනා­වත් මවු­පි­යන් විම­සන්න ඕනෑ ඒ දේ ලැ‍බුණු ආකා­රය පිළි­බ­ඳව. අන්සතු දේ ගැනීම පාප­යක් බව කුඩා කාල­යේ­දීම කියා දිය යුතුයි. නැති නම් හොරු, මිනී­ම­රුවො බිහි වීමට පවා ගෙදර පරි­ස­රය බල­පා­නවා.

ඊළ­ඟට: කල්‍යණි නිවේ­සෙන්ති. ඒ කියන්නේ දරු­වන් පින්ක­ම්වල යොද­වන්න ඕනෑ. දරු­වන්ට කියලා කුඩා­කල සිට මවු­පි­යන්ට වඳින්න පුරුදු කරන්න ඕනෑ. මෙහි­දීත් ආද­ර්ශ­යයි වැද­ගත්. දෙම­වු­පි­යන්ගේ මවු­පි­යන් ජීව­තුන් අතර නැති­නම් ඔවුන් සිහි­පත් කර ඡායා­රූ­ප­යට හෝ වඳින්න පුරුදු වෙන්න. එය බලන් ඉන්නවා ඔබේ දරුවා. දරුවා ඒ ගුණ­ධර්ම පුරුදු-පුහුණු කර­ග­න්නවා. දරු­වන්ට කියලා වැඩක් නැහැ අම්මාට තාත්තට වඳින්න කියලා. එහෙත් දරුවෝ බල­නවා ආච්චිට සීයාට අපේ අම්මලා වඳින්නේ නැහැ නේද කියලා. එහෙම බලන් ඉන්න දරුවා ටිකක් ලොකු වුණාම වැඳීම නතර කර­නවා. ආද­ර්ශ­යෙන්ම කියා­දෙන්න ඕනෑ මැරෙන මොහො­තෙත් දෙම­වු­පි­යන්ට වඳින්න කියලා. දව­සට එක වතා­ව­ක්වත් මල්ටි­කක් අතු­රලා බුදු­න්ව­හ­න්සේට වන්දනා කරන්න අව­ශ්‍යයි. අනි­වා­ර්යෙන්ම දරු­වන් ඒ සඳහා පුරුදු පුහුණ කළ යුතුයි. නිවෙසේ සියලු දෙනා එකතු කර­ගෙන මේ වන්ද­නාව කළ යුතුයි. බුදු­න්ව­හ­න්සේට පැන් ටිකක් පූජා කරන්න පුරුදු කරන්න ඕනෑ. කුඩා කාලයේ සිට හිත එකඟ කර­ගෙන භාවනා කරන්න පුරුදු කරන්න ඕනෑ. මිනි­ත්තු­වක් දෙකක් හෝ ඒ දේ කරන්න අව­ශ්‍ය­මයි. කුඩා කාලේ ඉඳ­ලාම මේ දේ දරු­වන්ට හුරු පුරුදු කළ යුතුයි. මෛත්‍රී­යට දරු­වන් කුඩා කාලයේ ඉදලා හුරු කළ යුතුයි.

අනෙක් කාර­ණාව: දරු­වන්ට අධ්‍යා­ප­නය දීමට තුන්වැනි තැනයි හිමි වෙන්නේ. දරු­වන්ට හොද අධ්‍යා­ප­න­යක් ලබා­දිය යුතු­මයි. මාතා ශස්තෘඃ පිතා වෛරී යේන­බාලො නථා ඨිතඃ. ඒ කියන්නේ මව සැති­රි­යකි, පියා වෛර­ක්කා­ර­යෙකු දරු­වන් ඉගෙ­න­ගත්තේ නැත්නම්. ඒ නිසා උග­න්වන්න ඕනෑ. අවාහ විවාහ නිසි­ක­ලට වේලා­වට කර­දීම සහ සල­කන නොස­ල­කන අයට එක එක විදි­හට දායාද නොපැ­ව­රීම තව කරු­ණක්. සැමට සමව දායාද පව­රා­දිය යුතුයි. ඒ වගේම මව, පියා දායාද පවරා දීමට පෙර යමක් තමන්ට ඉතිරි කර­ගත යුතුයි. ඇතැම් අස­ත්පු­රුෂ දරු­වන් දායාද පව­රා­ගත් පසු මවට, පියාට නොස­ලකා ඉන්න අවස්ථා තිබෙ­නවා. ඒ අස­ත්පු­රුෂ දරු­වන් නිසා තමන්ට යමක් තබා­ගත යුතුයි.

ඒ වගේම දරු­වන්ද මධ්‍යම වය­සට පත් වුණාම දෙම­වු­පි­යන් හොඳින් රැක­බ­ලා­ගත යුතුයි. කෙ‍ාහො­මද බලා­ගන්නේ? ආහා­ර­පාන, ඇඳු­ම්පැ­ල­දුම්, බෙහෙ­ත්හේත් සැප­යී­මට, ස්නානය කිරීම තනි­වම කර­ගැ­නී­මට අප­හසු දෙම­වු­පි­යන් දෝව­නය කිරී­මට කට­යුතු කළ යුතුයි. නිදා­ගැ­නී­මට සුදුසු තැන් හැකි ආකා­ර­යට ලබා දිය යුතුයි.

ඒ වුණත් මවු­පි­යන් උර­හිස උඩ තියා­ගෙන දින­පතා ඇප-උප­ස්ථාන කළත් ඒ දෙම­වු­පි­යන්ගේ ණය ගෙවා නිම කරන්න බැහැ කියා බුදුන් වහන්සේ දේශනා කළා. මවගේ කිරි ණය­ව­ලින්, තාත්තාගේ දහ­දිය ණය­ව­ලින් නිද­හස් වෙන්න නම් එක ක්‍රම­යයි - එනම්: සද්ධාව නැති මවු­පි­යන් සද්ධාව මත පිහි­ටු­වී­මයි. සිල්වත් බව නැති මවු­පි­යන් ‍ඒ මත පිහි­ටු­වීම, ධර්ම­ඥා­නය නැති මවු­පි­යන් ඒ මත පිහි­ටු­වීම, දන් දෙන්නේ නැති මවු­පි­යන් ඒ සඳහා යොමු කිරීම, පින්-පව් පිළි­බඳ අව­බෝ­ධය නැති දෙම­වු­පි­යන් ඒ මත පිහි­ටු­වීම.

මවු­පි­යන්ට මේ ආකා­ර­යට සත්කාර කරන දරුවා මෙලො­ව­දීම සත් පුරු­ෂ­යන්ගේ පැස­සු­මට ලක් වෙනවා; පර­ලොව සුග­තියේ ඉප­දිලා දෙව්සැප විඳි­මින් සතු­ටට පත් වෙනවා.

මවු­පිය උප­ස්ථා­නය මෙලොව යහ­පත උදා කර දෙන, පර­ලොව යහ­පත සුග­තිය සල­සන, ශාන්ත නිව­නට දොරටු විවර කරන කාර­ණා­වක්. ඒ නිසා මහා මංගල සුත්‍ර­යේදී මතා­පිතූ උප­ට්ඨානං ඒතං මංගල මුත්තමං කියලා දේශනා කළා. ඒ වගේම මවු­පි­යන්ට නොස­ල­කන්නා වස‍ල­යෙක් බව වසල සුත්‍ර­යේ­දීත්, දෙම­වු­පි­යන්ට නොස­ල­කන්නා මෙලො­වත් පර­ලො­වත් පරා­භ­ව­යට පත් වන බව පරා­භව සුත්‍ර­යේ­දීත් උන් වහන්සේ දේශනා වදාළා.

Comments