
අනුරාධපුරය අදත් සිංහලයාගේ ශුද්ධ නගරය ය. මේ මහා නගරය සහමුලින් වැනසී නටබුන් වන්නේ අදින් වසර 1024ක් ඈත අතීතයේදීය. ඓතිහාසික ලෝකයේ මහත් සම්භාවනාවට ලක්වෙමින් පුරා වසර 1373 ක් තිස්සේ රජවරුන් 124 දෙනෙකු විසින් හොබවන ලද මේ කීර්තිමත් නගරය අපේ ඉතිහාසයේ අඩකට ආසන්න කාලයක් පැවතියේ මලවුන්ගේ නරගයක් ලෙසය. ඒ ඉසුරුමත් පුරය මළගෙයක් කරන මහා ඓතිහාසික කොල්ලය සිදුවන්නේ ක්‍රිස්තු වර්ෂ 993 දීය. බිහිසුණු ආක්‍රමණයක යෙදුණු චෝල හමුදා ඒ කොල්ලයත් සමග සිංහලයේ ගෞරවාන්විත යුගය නිමා කළේය. ඔවුහු අනුරාධපුර නගරය තිරශ්චීන ලෙස කොල්ල කෑහ. රටක් කොල්ලකෑ හැකි බිහිසුණුම ආකාරයට ඔවුහු ඒ කොල්ලයේ යෙදුණහ. එවකට අනුරාධපුරයේ පාලකයාව සිටියේ පස්වන මිහිඳු (ක්‍රි.ව.982-1029) රජුය. සොලීහු පස්වන මිහිඳු ජීවග්රහයෙන් ගත්හ. ඔහුගේ බිසවත් ජීවග්රහයෙන් ගත්හ. ලක්දිව පාරම්පරික ඔටුන්නත්, රාජ්‍යත්වය සංකේතවත් කළ පංච කකුධ භාණ්ඩ ඇතුළු සියලූ රාජකීය ආභරණත්, මිල කළ නොහැකි තරම් අගනා වජ්‍රයත්, බිඳිය නොහැකි සිරිය හා නළල්පටත් සහිතව ජීවග්රහයෙන් ගත් රජු හා බිසව ඉන්දියානු චෝල මණ්ඩලයේ චෝල රජු වෙත යැවූහ. අනුරාධපුර යුගය අවසන් කරන පස්වන මිහිඳු සොලී රටේ දී ( ක්‍රි.ව.1029) දුගී යාචකයෙක් බඳු සිරකරුවෙකු ලෙස මියගියේය.
ඉන් අනතුරුව සොලීහු රජරට අමුසොහොනක් කළහ. මේ නිර්දය කොල්ලයෙන් අනතුරුව බිඳ දැමුණු දාගැබ් වෙහෙර විහාර සොහොන් සේ පාළුවට ගියේය. වාරි කර්මාන්ත නටබුන්ව ගියේය. අනුරාධපුර අත්හළ නරගරයක් බවට පත්විය. මේ අවාසනාවන්ත අත්හැරීමෙන් අනතුරුව පොලොන්නරුවට විතැන්වන සිංහලයේ රාජධානිය ගලින් ගලට, කන්දෙන් කන්දට, වගුරු බිම් හරහා නිරිත දිගට මාරු වී අවසානයේ දී කන්ද උඩරටින් ස්වකීය කතාව නිමා කළේය.
ඉංග්‍රීසින් දුටු අනුරාධපුරය
මේ මහා අත්හැරීමෙන් අනතුරුව අනුරාධපුරයේ ගොඩනැගිලි ප්‍රකෘතිමත් කිරීමේ ප්රයත්නයක් මහා විජයබාවන්, මහා පැරකුම්බාවන් හා නිශ්ශංකමල්ල විසින් දරා තිබිණි. දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජුගේ පුත් තුන්වන විජයබාහු (ක්‍රි.ව.1270-72) අතර අනුරාධපුරයේ සුළු ප්‍රතිසංස්කරණ කරවීය. අනතුරුව මේ මහා නුවර සියවස් අටක් තිස්සේ මනුෂ්යවාසයකින් තොර රුදු වනදහනෙහි සැඟව ගියේය. යළි ඒ නුවර සම්බන්ධ ප්‍රාමාණාත්මක අවධානයක් යොමු වන්නේ 19 වැනි සියවස මැද භාගයේ ඉංග්‍රීසි පාලනය යටතේය.
රටේ සිදුවූ මහා ව්‍යසනයන් අතර ලෝකයෙන් හුදකලාව ගම්කොටුවල වසමින් හේනක වවාගත් කටුසර භෝගයකින් යැපෙමින්, වැව් කොටුවක එක් කරගත් දිය ඩිංගිත්තකින් මඩ ගොවිතැනක් කරමින්, සොබාදහම විසින් තළා පොඩි කර දමනතුරු නිහඬව ජීවත්වූ මනුෂ්‍යයෝ පිරිසක් රජරට වූහ. අනුරාධපුරය සිරිමා හාමුදුරුවන් අලින්ගෙන් රක්ෂා කරගැනීම සඳහා නිකිණි පොහොයට දරමිටි බැඳගෙන අනුරාධපුරයට පැමිණියෝ මේ මිනිස්සුය. නිදිවරාගෙන ගිනිමැල පත්තුකළේ මේ මිනිස්සුය. මහා රාජවරු මුළුමනින්ම අත්හළත් සිරිමා හාමුදුරුවන් අත් නොහැර උන්වහන්සේ වෙනුවෙන් ජීවත්වූයේ මේ මිනිස්සුය. වැලිවිට සිරි සරණංකර සංඝරාජ හිමියන් ලවා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අවධානය ගෙන ජයශ්‍රී මහා බෝධිය රක්ෂා කරගැනීම සඳහා හාත්පස ඇති නටබුන් ගල් කණුවලින් ප්රාකාරයක් කරගත්තෝ මේ මිනිස්සු ය. තමන්ගේ ශක්තියෙන් ගොඩගැනීමට නොපොහොනා මහා ස්තූප කරා වන මැදින් වට අඩිපාර දිගේ ගොස් මලක් පහනක් පූජා කළෝ මේ මිනිස්සුය.
මේ මිනිස්සුන්ගේ ජීවිත වර්ෂ එක්දහස් අටසීයේ මුල් දශකවල සිටි ඉංග්‍රීසි පාලකයෝ වාර්තා කළහ. මේ ප්‍රදේශයේ පරිපාලන පහසුව තකා වර්ෂ 1833 දී පිහිටුවන ලද නුවර කලාවිය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා පරිපාලන මූලස්ථානයක් අනුරාධපුරයේ තනා ගැනීමට ඉංග්‍රීසීන්ට අවශ්‍ය විය. ඒ කාලයේ එවන් ස්ථානයක් පවත්වාගැනීමට සුදුසු වන ප්රවාහයෙන් යට නොවුණු බිම්කඩක් අනුරාධපුරයේ නොවුණු ආකාරය ආර්.ඩබ්ලියු අයිවර්ස් අතීත ලේඛන උපුටා දක්වමින් සිය Manual of the North Central Province ලේඛනයේ සඳහන් කර තිබිණි. එම වාර්තා ප්‍රකාරව ඒ වනවිට අනුරාධපුරයේ දී සමාජ ඇසුරක් සහිතව එළි පෙහෙළි වී තිබු එකම බිම වූයේ ජය ශ්‍රී මහාබෝධියට නුදුරින් වන මහා නුගරුක ප්‍රදේශයය. ඔවුහු එහි තම කච්චේරිය පිහිටුවා ගත්හ. (ලෝවා මහාපායට නුදුරුව පිහිටි චතුශ්ශාලා දාන ශාලාව අසල තවමත් ඒ ඉදිකිරීම දක්නට ඇත්තේය.)
ඉංග්‍රීසි ජාතිකයන් ස්වකීය වාර්තාවලින් හෙළි කරනු ලැබුවේ මහා සංස්කෘතියක මලගමය. වර්ෂ 1832 දී ඉංග්‍රී ආණ්ඩුවේ බෙනට් නම් නිළධාරියා “ලංකාව” නමැති පොතේ දක්වන ආකාරයට “අනුරාධපුරය පැවතුනේ ඊට යාන්තම් ගමක් යැයි නම් කිරීමටත් නොසුදුසු” මට්ටමිනි. අනුරාධපුරය ගැන මුල්ම සවිස්තරාත්මක නිරීක්ෂණ සහිත වාර්තාව ඉදිරිපත්කළ මේජර් ස්කිනර් මේ නගරය කාන්තාරයක් මැද පිහිටි පුංචි ගමක් සේ දුටුවේය. වර්ෂ 1863 වනවිට ලෝවාමහාපාය වසාගෙන පැවැති මහා වනදහනේ සිටි මුවන් කච්චේරියේ ආලින්දයේ සිට දඩයම් කිරීමට එවකට සිටි ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයාට හැකිවිය. මේ විභූතිමත් අතීත මහා නගරය මලවුන්ගේ නගරයක් වී ඇති අයුරු එල්.සී. ලීසිං නම් ඒජනතවරයා 1866 දී කම්පනයකින් යුතුව ලියා තැබුවේය.
වන්දනාව
එහෙත් මේ මළඋන්ගේ නගරය සැදැහැවත් සිංහල බෞද්ධයින්ගේ හදවත් තුළ ජීවමානව පැවතිණි. හින්දු බලය තුළ මෙන්ම පෘතුගීසි ලන්දේසි පාලන වකවානුව තුළ සිංහල බෞද්ධ සමාජයට එල්ලවූ පීඩනය නිසා සංඝ ශාසනය දෙදරා ගියත් ඉතිහාසයේ කිසිම අවස්ථාවක බෞද්ධයෝ ජයශ්‍රීමහා බෝධිය අත් නොහළහ. ඉතිහාසයේ සෑම කල්හිම ජය ශ්‍රී මහාබෝධිය ආශ්‍රිතව සංඝයා වහන්සේ සඳහා විහාරයක් පැවතිණි. 19 වන සියවසේ මුල් භාගය වනවිට මුළු අනුරාධපුරයටම තිබුණේ ඒ විහාරාය පමණය. එහි හැම කල්හිම බෝමළුවේ නායක තෙරුන්වහන්සේ වැඩ සිටියහ. සසුන පිරිහී ගිය අවධියේ වුවද උපසම්පදා රහිත සාමනේර හිමිවරු බෝධිය රැක්කාහ. මිහිඳු හිමියන් ලංකාවට බුදු සසුන ගෙනාවා සේ ලක්දිව යළි සංඝ සමාජය පිහිටුවා සසුන චිරස්ථායී කරන්නේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණෝය. එතෙක් විතැන්ව ගිය ශාසනික සංස්ථාව විධිමත් කරවන උන්වහන්සේ අනුරාධපුරයේ ජය ශ්‍රි මහාබෝධිය මූලික කරගත් අටමස්ථානයේ භාරකාරත්වයට උන්වහන්සේගේ සමකාලීන හිමිනමක් වූ ඉලූපැන්දෙණියේ අත්තදස්සී හිමියන් වෙත පැවරූහ.
සරණංකර හිමි ඇති කළ බෞද්ධ ප්රබෝධය දහනව වන සියවසේ මුල් කාර්තුව තුළ ඉංග්‍රීසීන්ට එරෙහිව සිංහලයන් ඇතිකළ තීරණාත්මක කැරලි දෙකකින් පසුවත් යටපත් නොවිණි. මේ ගැටුම් සහිත වටපිටාව යම් ආකාරයක බෞද්ධ පුනරුදයක් ද ඇති කළේය. එක්දාස් අටසිය තිස් ගණන්වල සිට සත්කොරළයේ සංඝයාවහන්සේලා අනුරාධපුරයේ අත්හැර දමා තිබූ සිද්ධස්ථාන ආශ්‍රිතව පදිංචි වෙමින් මේ ශාසන ව්‍යාපාරය තීවෘර කළහ. ක්‍රිස්තුවර්ෂ 1828 හා 1829 අවුරුදුවල අතිශය දිරිමත් හිමි නමක් අභයගිරියේ කටු කොහොල් හැරීමේ දුෂ්කර කාර්යයේ නිරතවූවාහු බරපතළ අනතුරකටද ලක්වූ අයුරු අයිවර්ස් සිය වාර්තාවේ ඇතුළත් කළේය.
![]() |
ථූපාරාමය - 1880 |
වර්ෂ 1840 වනවිට එක් හිමිනමක් බැතිමතුන්ගේ ආධාර සහිතව ථූපාරාමය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කර තිබිණි. මේ දාගැබ් කර්මාන්තයේ ඉදිකිරීම් කර තිබුණේ සින්න අදිකාර් නම් දෙමළ ජාතිකයෙකි. 1869 -1870 වසරවල අනුරාධපුරයේ නටබුන් තිබූ තත්ත්වය ගැන වාර්තාකරන උප ඒජන්තවරයෙක් වූ එල්.සී ලීසිං ථූපාරාම දාගැබ ඉතා මනරම්ව ඊට සුවිශේෂි ගල්කණු අතර පවතින ආකාරයත් එය බොහෝ දුරක් ඈතට දර්ශනය වන ආකාරයත් ලියා තැබුවේය. අභයගිරිය හා රුවන්වැලි සෑය අතර යටි කැලය කපා දැමීමත්, හරසරින් වන්දනාවට ලක්වෙමින් පැවැති ලංකාරාමය අවට ශුද්ධ පවිත්‍ර කිරීමත් ආණ්ඩුව විසින් කර තිබිණි.
· රුවන්මැලි සෑය
එහෙත් මේ වනවිට රුවන්මැලි සෑය පැවතියේ අඛණ්ඩ ගරාවැටීමකට ලක්වෙමිනි. ටෙනන්ට් මුලින්ම රුවන්මැලි සෑය දකින්නේ 1830 දී ය. එවිට ඒ නටබුන් ගොඩැල්ලේ උස අඩි 180 කි. එහෙත් ඔහු සිය කෘතිය කරන 1850 වනවිට අඩි තිහක් පමණ දාගැබ ගරා වැටී තිබූ බවත් එහි ඒ වන විට උස අඩි 150 ක් බවත් ලියා තැබුවේය. මේ නටබුන් සෑය මුල්කරගෙන 1853 දී සැලකිය යුතු පින්කමක් පැවැත්විනි. දාගැබ් ගර්භය බැඳ හුනු පිරියමෙහි අපොහොසත් උත්තුංග ප්‍රාර්ථනා සහිත දුගී බැතිමත්හු නටබුන් ගොඩැල්ල සුදු රෙදිවලින් ආවරණය කළහ. අනතුරුව ඒ මත තඹයෙන් කළ කොතක් තැන්පත් කළහ. වර්ෂ 1869 දී රුවන්මැලි සෑය අසල විහාරයක් ඉදි විය. රුවන්මැලි සෑය යළි ගොඩනැන්වීමේ මහා බලාපොරොත්තුව පොදු ජන සමාජය තුළ පැවැති ආකාරය මෙවැනි පුණ්‍යකර්මවලින් පෙනිණි.
කඳුගැටයක් මත ඇඳුණු සිහිනය
වර්ෂ 1872 වන විටත් රුවන්මැලි මහාසෑය පුංචි මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් පමණක් පහන්වන උස් කන්දක් සහිත වන දුර්ගයකි. ඒ කඳුගැටය වසාගත් අභිමානවත් දාගැබක විත්තිය ශ්‍රද්ධා සම්පන්න බැතිමත් සිත්වල ඇඳී තිබිණි. ඒ සිහිනය බෞද්ධ ලෝකය වෙත සැබෑ කර දීම යථාර්ථවත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළේ එවකට විසිතුන් හැවිරිදි වියෙහි පසුවූ නාරංවිට සුමනසාර නම් හිමිනමකි. සුමනසාර හිමියන්ගේ අප්‍රකට තොරතුරු පිළිබඳ ලියැවුණු ලිපියක් රුවන්මැලි සෑයේ කොත් නිරාවරණ උත්සවය වෙනුවෙන් වර්ෂ 1840 ජූනි මස 18 දා දිනමිණ පුවත්පතේ පළවූයේය. ඒ ලිපිය අනුව නාරංවිට සුමනසාර හිමියන්ගේ මුල් ගම මහනුවර ප්රදේශයේය. උන්වහන්සේ පැවිදි වන්නේ රද්දොළුව සුබෝධාරාමයේය. මුලින්ම රද්දොළුවට එන්නේ ගැල්සාත්තුවක් පිටුපස පැමිණි නාඳුනන දරුවෙකු ලෙසය. ගැල් මගින් ගොස් කෝපි එකතු කර අලෙවි කිරීම වෘත්තිය කරගත් මීගමුව වෑත්තෑව ප්‍රදේශයේ මනංචි රේන්දරාල නමැත්තා සමඟ මේ කුඩා දරුවා මීගමුවට පැමිණි පසු ඔහුව ඇති දැඩි කරගන්නේ රද්දොළුවේ ලංසියාවාඩියේ ජුසේ ආරච්චි නැමැත්තෙකි.
කුඩා දරුවා අකුරු කරන්නට යන්නේ රද්දොළුවේ පන්සලටය. හේතු සම්පත් සහිත අංග ලක්ෂණ වී යැයි කියන ඔහුව නාරංවිට සුමනසාර නමින් පැවිදි කරගන්නේ රද්දොළුව සුබෝධාරාමාධිපතිව සිටි සෝමානන්ද හිමිය. සෝමානන්ද හිමියෝ රාමඤ්ඤ මහා නිකායේ මිහිනමක් වූහ. නාරංවිට සුමනසාර හිමියෝ රාමඤ්ඤ නිකායික හිමිනමක් සේ පැවිදි දිවියට පිළිපන්හ.
හිතුවක් කරනු රිසි හැඩි දැඩි සිරුරක් සහිත මේ හිමියෝ ගමේ ගැටවුන් සමඟ සංචාරයන්හි නිරතවන්නාහු වර්ෂ 1872 දී අනුරාධපුරයට පැමිණියහ. මේ මහා සෑය ගරාවැටී ඇති ආකාරය උන්වහන්සේ දුටුවහ. පැමිණි පිරිස සමගම ගරාවැටුණු සෑයේ කටුකොහොල් ඇරීම ඇරඹු උන්වහන්සේගේ කටයුත්ත ලත් තැනම ලොප් වෙන්නට වැඩ යෙදිණි. එවකට අටස්ථානාධිපතිව වැඩ වාසය කළ කළුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමියන්ට සිද්ධිය වාර්තා වී තිබුණේ පිරිසක් රුවන්මැලිසෑයේ නිදන් හාරන බවටය. උන්වහන්සේ සුමනසාර හිමි ප්‍රමුඛ පිරිස තමන් ඉදිරියට පැමිණවූහ.
![]() |
මහා බෝධිය - 1890 |
හෙළිවන පරිදි තරුණ හාමුදුරුවන්ගේ උත්සාහය රුවන්වැලිසෑය පිළිසකර කිරීමය. එහෙත් මේ තරුණ හාමුදුරුවන් රාමඤ්ඤ නිකායේය. දැන් ගැටලූවකි. රුවන්වැලි දාගැබ වනදහන ගිල ගත් පස් කන්දක් වී තිබූ බව සැබෑය. අභයගිරිය හා ජේතවනය දාගැබ් වරදවා හඳුනා ගන්නා තරමට අමතකව ගොස් තිබූ බව සැබෑය. ඒ සිද්ධස්ථානවල මිනිස් පුළුටක් නොවුණ බවත් සැබෑය. එහෙත් රුවන්මැලි සෑය ඇතුළු අටමස්ථානය අයත් වී තිබුණේ සියම් නිකායටය. මල්වත්ත මහ පන්සලටය. අටමස්ථානාධිපතිව වැඩ සිටියේ කළුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමියන් සුමනසාර හිමියන්ට කොන්දේසියක් ඉදිරිපත් කළහ.
ඒ කොන්දේසිය මෙසේය. දාගැබත් අවට භූමියත් අයත් සියම් නිකායටය. එය වෙනත් නිකායක හිමි නමකට පැවරිය නොහැකිය. අස්ගිරිය මහ පන්සලට ගොස් සියම් නිකායේ පැවිදි වී උපසම්පදාව රැගෙන පැමිණියහොත් පමණක් රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණය නාරංවිට හාමුදුරුවන්ට භාර දිය හැකිය. නාරංවිට සුමනසාර හිමියෝ එම කොන්දේසිය පිළිගත්හ.
අනතුරුව උන්වහන්සේ උපවැදි වූහ. රුවන්මැලි මහා සෑය වෙනුවෙන් රාමඤ්ඤ මහා නිකාය අත්හලහ. වැඩ කටයුතු පසෙක තබා ගිහියකු සේ මල්වත්ත පන්සලට ගියහ. ගොස් එහි පැවිදිව උපසම්පදාව ලබාගත්හ. පැවිද්ද හා උපසම්පදාව ලද බවට වූ ලේඛනයක් සහිතව යළිත් අටමස්ථානාධිපති හිමියන් හමුවූහ. දැන් නාරංවිට සුමනසාර හිමියන් සියම් නිකායේ හිමි නමකි. රුවන්මැලි සෑය පිළිසකර කිරීමේ අවසරය හා ස්ථානයේ භාරකාරත්වය උන්වහන්සේට ලැබෙන්නේ ඉන් අනතුරුවය. සියම් නිකායේ ආශීර්වාද සහිතව 1873 දී සුමනසාර හිමියෝ රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කර්මාන්තය ආරම්භ කළහ. අතේ ශත පහක මුදලක් නැතිව උත්සාහය හා යහපත් ප්‍රාර්ථනාවන් පමණක් සහිතව කටයුතු ඇරඹූහ. මහා ජන ප්‍රසාදයක් එතුමන් වටා ගොඩනැගිනි. ආධාර ගලා ආවේය.
මේ සමගම රුවන්මැලි සෑයටත් වඩා මහා අභියෝග නාරංවිට හාමුදුරුවන් ඉදිරියට පැමිණියේය. අනගාරික ධර්මපාල තුමා මේ ජාතික ව්‍යාපාරයට එරෙහිව ජනමතයක් ගොඩනැගීම ආරම්භ කළේය. සුමනසාර හිමියන් හා එක්ව සිටි ධර්මපාල තුමාගේ යහපත්ම ගෝලයා වන වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා උන්වහන්සේ අත්හළහ. අප නුදුටු, අප නොදකින මමංකාරය සහිත අශ්ලීල දේශපාලනයේ විවිධ විකෘති ඒ වකවානුවේදීත් සෑම සමාජ ව්‍යාපාරයක් තුළමත් ගැබ් වි තිබිණි.
ඉතිරි කොටස ලබන සතියට